අශේන් විසින් මීට පෙර ලියන ලද ගීතවල පද සේම මෙවර ලියන ලද ගීතයේ පද ද ඉතා හොඳ තත්ත්වයක වූ බැවින් සියලු දෙනාම එම පද ගීතයක් බවට පත් කිරීමට අශේන් හට සහයෝගය දීමට එකඟත්වය පළ කළේ ඉතා කැමැත්තෙනි. සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස ඔහු කටයුතු කළද ගායකයෙකු ලෙස ඔහුට ඔහුගේම මාවතක් ඇති බැවින් කිසිවෙකුත් ඔහුගේ එම ගමනට බාධා කලේ නැත.
” Okay, the lyrics are good. Shall we try coming up with a melody for this? “
මේඝ අශේන්ගේ දුරකථනයේ වූ පද දෙස බලා කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙස බැලුවේය.
” ඒක තමයි මාත් හිතුවේ. මට ඕනේ මේක ටිකක් වෙනස් විදිහට කරන්න “
අශේන්ගේ අදහසට රිහාන් ද එකඟ වූයේය. ඔහු තමන්ගේ බේස් ගිටාරය පසෙකින් තබා රඳවනය මත තබා තිබූ අනෙක් ගිටාරය අතට ගෙන අශේන් ලියා තිබූ පද නැවතත් කියවා බැලුවේය. ගීතයේ අදහසට ගැළපෙන සංගීත රටාවක් පිළිබඳව අනතුරුව ඔවුන් අතර කතාබහක් ඇති වූ අතර සිහින ඇතුළු අනෙක් සාමාජිකයන් කිහිප දෙනා ද තම තමන් තුළ වූ අදහස් එයට එක් කළහ.
ශෙනෝලි තම වැඩකටයුතුවල නිරතව උන්නත්, අලුත් ගීතය සඳහා සියලු දෙනාම යුහුසුළුව යුතු කරන දෙසට වරින් වර තම අවධානය යොමු කළාය. අශේන් ගීතයේ පද කිහිපයක් නැවත නැවතත් ගායනා කරමින් ඒවාට ගැළපෙන සංගීත රටාව සොයද්දී රිහාන් සහ මේඝ ඔහුට අවශ්‍ය වෙනස්කම් යෝජනා කරමින් කාලය ගත කළේ පෙර නොවූ උද්යෝගයකිනි.
” මගේ නොවනා මගේ මලේ
නුඹ පිපී උන්නේ මහද විලේ
මේ කොටසට ටිකක් ස්ලෝ මෙලඩි එකක් දාමු අශේන්. මොකද ඒ ටික තමයි ලස්සනම “
රිහාන් පැවසුවේ ගිටාරයේ තත් කිහිපයක් වාදනය කරමිනි.
” Yes, that’s good Rihan . I want the listener to feel the emotion behind the song “
අශේන් පිළිතුරු දුන්නේය. පැයකට ආසන්න කාලයක් ඔවුන් ගීතයේ මෙලඩිය සකස් කිරීමට ගත කළ අතර, අවසානයේදී අශේන්ගේ අදහසට ගැළපෙන සංගීත රටාවක් සකස් කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි . ගීතයේ ඇතැම් කොටස් නැවත වෙනස් කළ යුතු වුවත්, අවසානයේදී එහි සැකැස්ම පිළිබඳව සියලු දෙනාම සෑහීමකට පත්ව සිටියහ.
දහවල් කාලය එළඹ තිබුණු බැවින් මේඝ ආහාර ඇණවුම් කළ අතර දිවා ආහාරයෙන් පසුව එදිනට නියමිත පුහුණුවීම් ආරම්භ කළ අතර, සවස වනතුරුම ඔවුන්ගේ කාලය ගෙවී ගියේ ඒ වෙනුවෙනි.
ඉශිනි එදින උදෑසනම කාර්යාලයට පැමිණ සිටි නිසා වෙනදාට වඩා කලින් තම වැඩකටයුතු අවසන්කර කාර්යාලයෙන් පිටවීමට යුහුසුළු වූවාය.නව වැඩසටහන් කිහිපයකට අදාළ ලිපිගොනු කිහිපයක් පරීක්ෂා කර, තම මේසය මත තිබූ ලිපි ලේඛන පිළිවෙළට සකස් කළ ඇය පරිගණකය ද ක්‍රියා විරහිත කර කාර්යාලයෙන් පිටවීමට පෙර දුරකථනය අතට ගෙන වේලාව බලා ඩියෝන්ට කෙටි පණිවිඩයක් ද යැවුවාය.
” මං වැඩ ඉවරයි “
පණිවිඩය යවා මොහොතකට පසු ඔහුගෙන් පිළිතුරක් ලැබුණි.
” Okay. I’m here
ඉශිනි දුරකථනය බෑගයට දමාගෙන කාර්යාලයෙන් පිටතට පැමිණ තම වාහනයට නැග පිටත් වී ඒ ආසන්නයේ පිහිටි අවන්හලක් වෙත පැමිණියාය. වීදුරු දොරෙන් ඇතුළට පැමිණි ඉශිනි ඩියෝන්ව සොයා අවන්හල පුරා දෑස් යැව් අතර ජනේලයට ආසන්න මේසයක වාඩි වී සිටි ඔහු දුරකථනය දෙස බලාගෙන උන්නේය.
” මං හිතුවේ අදත් ඔයා පරක්කු වෙයි කියලා “
ඉශිනි මේසය වෙත පැමිණෙන විට ඩියෝන් පැවසුවේය.
” අද වැඩ ටික ඉක්මනට ඉවර වුණා. නැත්නම් ඔයාට තව පැයක්වත් මෙතන ඉන්න වෙනවා”
ඉශිනි සිනාසෙමින් පිළිතුරු දී තම අත්බෑගය පුටුව අසල තබාගෙන වාඩි වූවාය. ඩියෝන් මේසය මත වූ මෙනුව ඇය වෙතට තල්ලු කළේය.
“මොනවද බොන්නේ? මං තාම මුකුත් ඕඩර් කළේ නැහැ “
” දැනට මොනවා හරි කූල් එකක් බොමු. පස්සේ බැරියෑ රූෆ්ටොප් බාර් එක පැත්තට යන්න “
” එහෙනම් ඔයා කැමති එකක් ඕඩර් කරන්න. අද ඔයාගේ දවසනේ “
ඩියෝන් පැවසුවේ සැහැල්ලුවෙන් සිනාසෙමිනි.
ඉශිනි මෙනුව අතට ගෙන එහි තිබූ බීම වර්ග දෙස බලා අවසානයේදී පාන වර්ග දෙකක් සහ කෙටි කෑම වර්ගයක් තෝරාගෙන ඇණවුම් කර මෙනුව නැවතත් මේසය මත තැබුවාය. ඩියෝන් ඇය දෙස බැලුවේ ඇය යමක් ගැන කල්පනා කරමින් සිටින බව දුටු නිසාය.
” ඒ ෆේස්බුක් පෝස්ට් එක ගැනද තාම හිතන්නේ?”
ඩියෝන් ඇසුවේ ඇයගේ හැසිරීම නිරීක්ෂණය කරමිනි.
” ඒක ගැනම නෙවෙයි. ඒත් මං ඒ වෙලාවේ රිහාන් එක්ක අවුලෙන් හිටපු නිසා ඒක කරාට දැන් ඒක ගැන හිතද්දි මගේ හිතට එච්චර හරි නෑ ”
රිහාන් සමඟ ඇති වූ සිදුවීමෙන් පසුව තමන්ට දැනුණු කෝපය ඉශිනිට නැවත සිහි වූ අතර ඒ මොහොතේ ඇතිවූ හදිසි සිතිවිල්ලකට අනුව එවැන්නක් කලද, මේ මොහොතේදී ඒ පිළිබඳව සිතා බලන විට එය අනවශ්‍ය දෙයක් බව ඇයට දැනෙමින් තිබිණි.
” මං ඒක කලේ රිහාන් එක්ක කේන්ති ගිහින් හිටපු නිසා. ඒ වෙලාවේ මට ඕන වුණේ ශෙනෝලිව ටිකක් සයිලන්ට් කරන්න “
ඩියෝන් මොහොතක් ඇය දෙස බලා උන්නේය. ඉශිනි මේ පිළිබඳව නැවත සිදුවූ සිදුවීමෙන් ඇයට ගැටළුවක් ඇතිවේ යැයි සිතමින් නොව ඒ පිළිබඳව ඇගේ සිතේ ඇතිවී තිබෙන පසුතැවීමෙන් බව වටහා ගන්නට ඔහුට අපහසු වූයේ නැත.
” කේන්ති ගිය වෙලාවට මිනිස්සු එක එක දේවල් කරනවා ඉශිනි. හැබැයි දැන් ඒ ගැන හිත හිත ඉඳලා වැඩක් නැහැ “
ඉශිනි සුසුමක් හෙළුවාය. දුර දිග නොබලා කළ ක්‍රියාව වෙනස් කිරීමට නොහැකි බැවින් ඒ ගැන නොසිතා සිටීම හැරුණු කොට කල හැකි දෙයක් ඇයට වූයේ නැත.
” දැන් ඒක වෙනස් කරන්න බැහැනේ. ඔයා ඒ වෙලාවේ මටවත් ඒක කිව්වනම් මං ඕක කරන්න දෙන්නේ නැහැ. ඉස්සරහට ඒ වගේ දේවල් නොකර ඉන්න බලන්න. එතකොට වැඩේ ඉවරයි “
ඩියෝන් පැවසුවේ කතාව එතැනින් අවසන් කිරීමට මෙනි. ඉශිනි හිස සලමින් එයට එකඟ වූ අතර ඒ පිළිබඳව තවදුරටත් කතා කිරීමට ඇයටද අවශ්‍ය වූයේ නැත. සේවකයෙකු පැමිණ ඔවුන් දෙදෙනා ඉදිරියේ සීතල බීම වීදුරු දෙකක් සහ ඔවුන් ඇණවුම් කල කෙටි කෑම වර්ගයක්ද මේසය මතින් තැබුවේය.
“අදත් රිහාන් මාව හම්බවෙන්න ඕනේ කියලා කෝල් කරයිද දන්නේ නැහැ “
ඩියෝන්ගේ මුහුණේ තිබූ සිනහව මඳක් අඩු වී ගිය අතර ඔහු පුටුවට හේත්තු වී ඇය දෙස බැලුවේය.
“කෝල් කළොත් ඒක ඒ වෙලාවට බලමු.උනේ නැති දෙයක් ගැන හිතන්න එපා ඉශිනි “
“එයා කතා කළොත් මං මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ ඩියෝන්. දැන් එයාව හම්බවෙන්න යන්නත් මට හිතෙන්නේ නැහැ “
ඉශිනි පැවසුවේ දුරකථනය දෙස නැවතත් බලමිනි. ඇයට රිහාන්ව මුණගැසීමට නොහැකියාවක් දැනුනේ සමාජ මාධ්‍ය පුවත සම්බන්ධ සිදුවීම නිසා පමණක් නොවූ අතර ඔහු සමඟ කතාබහ කරන විට තමන්ට දැනෙන අපහසුතාවත්, ඔහුගේ ගෞරවය පිළිබඳව සිතමින් ඔහුගේ ආකාරයට හැඩ ගැසීමට සිදුවීමත් ඇයව වෙහෙසට පත් කර තිබුණු නිසාය.
” ඔයා හැම වෙලාවෙම රිහාන්ගේ ඩිග්නිටි එක ගැන හිත හිත හිටියා මිසක් ඔයා ගැන හිතුවේ නැහැනේ. මාව ආයෙත් හම්බුණාට පස්සෙනේ ඔයා ලයිෆ් එක එන්ජෝයි කරන්න පටන් ගත්තේ. ඉතිං මොකටද ආපහු ඒවා ගැන හිත ඔයාට මේ ලැබිච්ච වෙලාවත් නාස්ති කර කරගන්නේ ඉශිනි ? “
ඩියෝන්ගේ වචන ඇසුණු ඉශිනි මොහොතකට නිහඬ වූවාය. රිහාන් සමඟ ගත කළ කාලයේදී තමන් කටයුතු කළේ බොහෝ දේවල් පිළිබඳව සිතා බලමිනි. ඔහුගේ තත්ත්වය, ඔහුගේ පවුලේ පසුබිම සහ ඔහුගේ හැසිරීම්වලට ගැළපෙන ලෙස තමන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව නිතරම සැලකිලිමත් වීමට තමන්ට සිදු වූ නමුත් ඩියෝන් සමඟ කාලය ගත කරන විට ඒ කිසිවක් පිළිබඳව සිතන්නට තමන්ට සිදුවී නැත. තමන් ජීවත් විය යුත්තේ එසේ නොවේදැයි ඉශිනි නැවතත් කල්පනා කළාය.
” ඒත් රිහාන් එක්ක මං මෙහෙම දේවල් ගැන කතා කළොත් ඒකත් වෙනම ප්‍රශ්නයක් වෙනවා. මොකද එයා හැමදේම සීරියස් ගන්නවා”
ඉශිනි පැවසුවේ පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් කිහිපයක් සිතෙන් ඉවත් කරගැනීමට උත්සාහ කරමිනි.
” ඒක තමයි. ඔයාට ඔයා විදිහට ඉන්න බැරි තැනක කොච්චර කාලයක් තව ඉන්නද හදන්නේ ඔයා ?”
ඉශිනි ඊට පිළිතුරු නොදී තමා ඉදිරියේ මේසය මත තබා තිබුණු බීම වීදුරුව අතට ගෙන ඉන් උගුරක් පානය කළාය. ඇයට ඩියෝන් විමසූ කාරණාවෙහි කිසිදු වරදක් නොපෙනුනු අතර රිහාන් සමඟ සිටින විට තමන්ට දැනෙන පීඩනය පිළිබඳව ඇය කිහිප වරක්ම සිතූ නමුත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගැනීමට තරම් ඇගේ සිත ඒ වනවිටත් සූදානම් වී තිබුණේ නැත.
“දැන් ඔය දේවල් ගැන හිත හිත ඉඳලා වැඩක් නැහැ ඉශිනි. අපි වෙන දෙයක් කතා කරමු “
ඩියෝන් පැවසුවේ ඉශිනිගේ නිහඬ බව සහ නොසන්සුන් බව දෙස බලා හිඳීමට බැරිම තැනය. ඉශිනි හිස සලා අනතුරුව ඩියෝන් පැරණි මිතුරෙකු පිළිබඳව පවසන්නට ගත් කතා බහට එකතු වූවාය. ඔහු සමඟ කතාබහ කරමින් සිටියදී ඇයගේ අවධානය දුරකථනයෙන් ඈත් වූ අතර රිහාන්ගෙන් ඇමතුමක් ලැබේදැයි නැවත නැවතත් පරීක්ෂා කිරීමට ඇයට තිබූ අවශ්‍යතාව ද ක්‍රමයෙන් අඩුවිණි.
එකිනෙකාට අලුතින් හඳුන්වා දිය යුතු කිසිවක් ඔවුන් අතර නොවූ අතර ඩියෝන් තුළ ඉශිනිගේ ස්වභාවය පිළිබඳව මනා අවබෝධයක්ද වූයේය. එම නිසා ඔවුන් දෙදෙනාගේ කතාබහ කිසිම විටෙකත් ඔවුන්ට නීරස නොවූ බැවින් ඉශිනි කාලයකට පෙර සිටි කෙළිලොල් සහ දඟකාර යුවතිය බවට නැවත පත්වෙමින් උන්නාය.
ඔවුන් දෙදෙනාගේ කතාබහ එසේ ඉදිරියට ඇදී යන අතරේ ඒ වෙත අවධානය යොමු කරගෙන හුන් තවත් පුද්ගලයෙක් ඒ අවන්හල තුළ සිට ඔවුන් දෙදෙනා දෙස බලා උන්නේය.
ඔහු වාඩි වී සිටියේ ඔවුන්ට තරමක් ඈතින් පිහිටි මේසයක වූ බැවින් ඉශිනි සහ ඩියෝන්ගේ සංවාදය ඔහුට පැහැදිලිව ඇසුණේ නැත. එහෙත් ඔවුන් එකිනෙකා සමඟ හැසිරෙන ආකාරයත්, ඉශිනිගේ මුහුණේ විටින් විට මතු වූ සිනහවත් ඔහුගේ අවධානයට ලක්ව තිබිණි.
විනාඩි දහයක් පමණ ඔවුන් දෙදෙනා දෙස බලා සිටි ඔහු තම දුරකථනය අතට ගෙන අංකයක් තෝරා ඇමතුමක් ගත්තේය. ඇමතුම සම්බන්ධ වන තුරුත් ඔහුගේ දෑස් යොමු වී තිබුණේ ඉශිනි සහ ඩියෝන් සිටි මේසය දෙසටය.
අනෙක් පසින් ඇමතුමට පිළිතුරු ලැබුණු විට ඔහු හඬ අවදි කළේය.
” රිහාන්, උඹ කොහෙද ඉන්නේ “


