රිහාන් ඇතුළාන්තයෙන් දැවෙමින් උන්නේය. වාහනයේ සුක්කානම මත තබාගෙන සිටි අත පවා වේගයෙන් ගැහෙන බව ඔහුට දැනෙමින් තිබුණු අතර හදවත තුළ එකිනෙකට ගැටෙන සිතුවිලි රාශියක් සමඟින් ඔහු නිමේෂ්ගේ අවන්හල වෙත රිය පැදවූයේ වේගයෙනි.
පුහුණුවීම් අවසන් වී වාහන අංගනයට පැමිණෙන විට රිහාන් හට නිමේෂ්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම කිසිසේත්ම අපේක්ෂා නොකළ එකක් විය. එම නිසා ඒ වන විටත් ඔහු උන්නේ හදවතින් බිඳී ගොස් වූ අතර නිමේෂ් විසින් පැවසූ කාරණාව ඔහුගේ සිත තුළ ඉතිරිව තිබූ අවසන් බලාපොරොත්තු කිහිපය පවා සොලවා දැමීමට සමත් වී තිබිණි.
නිමේෂ් විසින් පැවසූ වචන කිහිපය ඔහුගේ මනස තුළ නැවත නැවතත් දෝංකාර දෙන්නට විය. මුලින්ම විශ්වාස කළ නොහැකි බවක් සහ නිමේෂ් සමග වෙනත් තරුණියකව පටලවාගෙන ඇති බවක් සිතන්නට උත්සාහ කළද රිහාන් හට එය කළ හැකි වූයේ නැත. ඇතැම් විට ඒ ඉෂිනිගේ මිතුරෙකු විය හැකිය. සමහරවිට ඇයගේ කාර්යාලයේ කෙනෙකු විය හැකිය. එසේත් නැතිනම් නිමේෂ් දුටු දේ නිවැරදිව වටහා නොගෙන තිබෙනවා විය හැක.
එහෙත් ඒ සියල්ල සිතුවිලි පමණක් බව අවසානයේදී රිහාන් හටම වැටහෙමින් තිබිණි.
තමන් ආදරය කරන තරුණිය වෙනත් තරුණයෙකු සමග අවන්හලක අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිනවා යැයි පැමිණි දුරකථන ඇමතුම රිහාන්ව බොහෝ සේ සසල කර තිබිණි. එය සත්‍යයක් නොවේවා යැයි ඔහුගේ සිත තුළ වූ කුඩා බලාපොරොත්තුව පවා ඒ වන විට තිබුනේ බිඳී ගොසිනි.
වාහනයේ වේගය තවත් වැඩි කරමින් නිමේශ්ට හිමි අවන්හල පිහිටි ගොඩනැගිල්ල වෙත පැමිණි රිහාන් වාහනය වාහන අංගනයේ නතර කළේය. එන්ජිම ක්‍රියා විරහිත කළද ඔහු වාහනයෙන් නොබැස ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන ගොඩනැගිල්ල දෙස බලාගෙන මොහොතක් නිහඬව උන්නේය.
නිමේෂ් පැවසූ දේ සත්‍යයක් නම්, තවත් මොහොතකින් තමන්ට කුමනාකාරයේ දසුනක් දැක ගැනීමට සිදුවනු ඇති දැයි සහ එය කෙතරම් දුරට තමාට දරා ගත හැකි වේදැයි රිහාන් කල්පනා කළේය. අවසානයේදී ඔහු වාහනයෙන් බැස්සේ ඕනෑම දෙයකට මුහුණ දීමට හැකි ධෛර්යයක් ආයාසයෙන් සිතට ගනිමිනි . ගොඩනැගිල්ලේ පිවිසුම දෙසට දෑස් යොමු කළ රිහාන් නැවතත් පියවර තබා ගොස් ඇවිද වාහන අංගනය පුරා බැල්මක් හෙළුවේය.තත්පර කිහිපයකදී ඔහුගේ නෙත ගැටුණේ වාහන අංගනයේ කෙළවරක නවතා තිබූ ඉෂිනිගේ වාහනය ය.
ඔහුගේ පියවර එතැනම නතර වූ අතර ඒ වාහනය දැකීමෙන් පසු තවදුරටත් නිමේෂ්ගේ කතාව වැරදි වැටහීමක් විය හැකි බව සිතමින් තමන්ව සනසා ගැනීමට රිහාන් හට හැකි වූයේ නැත. ඔහු පැවසූ පරිදි ඇය තවත් තරුණයෙකු සමඟ සිටියේ නම්, ඒ දෙදෙනා තමාට ඉදිරියෙන් පෙනෙන මේ ගොඩනැගිල්ල තුළ සිටිය යුතුය.
රිහාන්ට දැනුනේ තම හදවත තුළ යමක් තදින් හිර වෙන්නාක් මෙනි. ඔහුට අවශ්‍ය වූයේ වහාම අවන්හල තුළට ගොස් ඇයව සොයාගැනීමටය. ඇය ඉදිරියේ සිටගෙන මේ සියල්ලට හේතුව විමසීමටය. එහෙත්, තවමත් කිසිවක් නොදැන තමන් විසින් ඇයව විනිශ්චය කිරීම ඒ තරම් දුරට සාධාරණ දැයි රිහාන් නැවත සිතුවේය.
තමා තුළ ඇය කෙරෙහි තිබූ ආදරය සත්‍යයකි. ආදරය තුළ ඇය කෙරෙහි තිබුණේද අසීමාන්තික විශ්වාසයකි. එසේ තිබියදී තවත් කෙනෙකු පැවසූ දෙයක් පමණක් අසා ඇය ගැන අවසන් තීරණයක් ගැනීමට රිහාන් හට අවශ්‍ය නොවූ අතර තමා නොදන්නා යමක් තිබිය හැකි බවට ඔහු තවදුරටත් සිතන්නට උත්සාහ කළේය.
නැවත වාහනය වෙත පැමිණි රිහාන් දුරකථනය අතට ගෙන ඉශිනි ගේ අංකයට ඇමතුමක් ගෙන ඇය ඇමතුමට සම්බන්ධ වනතුරු බලා උන්නේ ගැහෙන හදිනි.
අවන්හල තුළ ඩියෝන් සමඟ කතා කරමින් හුන් ඉෂිනි දුරකථනය නාද වන විට දුරකථන තිරය දෙස බලා එහි රිහාන්ගේ නම දුටු සැණින් මඳක් නිහඬ වූවාය.
“රිහාන්ද?”
ඉෂිනි හිස සැලුවාය.
“ආන්සර් කරලා බලන්නකෝ එහෙනම් එයා මොකද කියන්නේ කියලා.”
ඩියෝන් පැවසුවේ සාමාන්‍ය හඬකිනි. අවන්හල තුළ තිබූ කතාබහ නිසා නිහඬ තැනකට ගොස් ඇමතුමට පිළිතුරු දීමට සිතූ ඉෂිනි දුරකථනය අතට ගෙන පුටුවෙන් නැගිට පිවිසුම අසල වූ කොරිඩෝවට පැමිණියාය.
“හෙලෝ රිහාන් “
අනෙක් පසින් රිහාන්ට ඇයගේ සුපුරුදු හඬ ඇසුණු අතර වෙනසක් නොතිබූ ඒ හඬ ඇසීමෙන් ඔහුගේ සිත තුළ වූ වේදනාව තවත් තීව්ර වී ගියේය. ඇය තමාට කතා කරන්නේ වෙනදා මෙන්ම සාමාන්‍ය ආකාරයටය. තමන් මේ මොහොතේ ඇය සිටින තැනට පැමිණ සිටින බවවත්, ඇය ගැන දැනගත් දෙයින් තමන්ගේ සිත කඩා වැටී ඇති බවවත් ඇය නොදන්නා බව රිහාන් සිතුවේ වේදනාවෙනි.
තප්පර කිහිපයක් නිහඬව සිටි රිහාන් ගැඹුරු හුස්මක් ගත්තේය.
“ඉෂිනි කොහෙද ඉන්නේ?”
ඔහු තමන්ගේ හඬ හැකි තරම් සාමාන්‍ය කරගැනීමට උත්සාහ කළේය.
“මම මේ ඔෆිස් එකේ මීටින් එකක් ඉවර කලා විතරයි අද නම් හරිම බිසී රිහාන් “
” එහෙමද ? “
රිහාන් දිගු සුසුමක් හෙලුවේ ඊළඟට ඇසිය යුත්තේ කුමක්දැයි හිතා ගත නොහැකිවය.
” මට තව පොඩි වැඩ වගයක් තියෙනව රිහාන්. මම ඔයාට පස්සේ කෝල් එකක් දෙන්නද ? “
ඔහුගේ දෑස් නතර වී තිබුණේ වාහන අංගනයේ වූ ඉෂිනිගේ වාහනය මතය. ඇය තමා වෙත සත්‍යය නොපවසන බව සක්සුදක් සේ පැහැදිලිය.
“හරි ඉෂිනි.”
රිහාන් හට කියාගැනීමට හැකි වූයේ එපමණක් වූ අතර ඉශිනි අනෙක් පසෙන් ඇමතුම අවසන් කළාය. දුරකථනය සවනට තද කරගෙන තබාගෙන සිටි රිහාන් මොහොතක් එලෙසම උන්නේය. ඇමතුම අවසන් වී තිබුණද ඔහුට ඒ බව පවා දැනුණේ තත්පර කිහිපයකට පසුව වූ අතර අනතුරුව ඔහු සෙමින් දුරකථනය පහතට ගත්තේය.
තමා ඉදිරියේ තම පෙම්වතියගේ වාහනය පැහැදිලිව පෙනෙන්නට තිබේ.ඉදිරියෙන් පෙනෙන්නට ඇති අවන්හලේ හිමිකරු වන තම මිතුරෙකු තම පෙම්වතිය එහි වෙනත් තරුණයෙකු සමග සිටින බවද කියා තිබේ. සියල්ල එසේ වෙද්දී තමන් සිටින්නේ කාර්යාලයේ බවට තම පෙම්වතිය විසින්ම තමාට මුසාවක් කීවේ කෙසේදැයි හිතා ගත නොහැකිව රිහාන් ගොළු වී බලා උන්නේය.
රිහාන්ගේ සිත තුළ තිබූ අවසන් බලාපොරොත්තුවද ඒ මොහොතේ බිඳී ගියේය. ඇයට ආදරය කළ නිසාම මේ සියල්ල විශ්වාස කිරීමට ඔහුගේ සිත කැමති වූයේ නැත. එහෙත් ඇයගේ වචන සහ තමන්ගේ දෑස් ඉදිරියේ පෙනෙන්නට තිබෙන සත්‍යය අතරින් එකක් තෝරාගැනීමට ඔහුට සිදුව තිබිණි.
ඉෂිනි නැවතත් අවන්හල තුළට පැමිණ ඩියෝන් ඉදිරියේ අසුන් ගෙන දුරකථනය මේසය මත තබා බීම වීදුරුව අතට ගත්තාය.
“රිහාන් ඔයාට මීට් වෙන්න එන්න කිව්වද?”
ඩියෝන් ඇසුවේය.
“නැහැ. මම කොහෙද ඉන්නේ කියලා ඇහුවේ විතරයි.”
“ඉතින්?”
“මම කිව්වා ඔෆිස් එකේ මීටින් එකක් ඉවර වෙලා ඉන්නේ, අද ගොඩක් බිසී කියලා. පස්සේ කෝල් කරන්නම් කිව්වා.”
ඉෂිනි පැවසුවේ එය එතරම් වැදගත් දෙයක් නොවන ආකාරයෙනි. රිහාන් ඇයව හමුවීමට නොවිමසීම පිළිබඳව ඇයට යම් සහනයක් දැනුණු අතර ඔහුට තවත් යමක් පැහැදිලි කිරීමට සිදු නොවීම ද ඇයට ඒ මොහොතේ යම් සැහැල්ලුවක් ගෙන දී තිබිණි. ඇය නැවතත් සිනහවකින් ඩියෝන් සමඟ කතාබහට එක් වූයේ මඳ වේලාවකට පෙර ලැබුණු ඇමතුම පිළිබඳව තවදුරටත් සිතන්නට උත්සාහ නොකරමිනි.
වාහනය තුළ වාඩිවී සිටි රිහාන් අසුනට හිස බර කරගෙන ඉදිරියෙන් පෙනෙන ගොඩනැගිල්ල දෙස ඇසිපිය නොහෙලා බලා උන්නේය. ඉෂිනි තමාට යමක් සඟවනවා යන සිතුවිල්ල නැවත නැවත සිත තුළ මතුවීම වළක්වා ගැනීමට ඔහුට හැකි වූයේ නැත.
ඒ සමගම රිහාන් හට සිහිවූයේ ඇය තමාගේ නිවසේ ලිපිනය සොයාගෙන මල් කලඹක් එවා තිබුණු දිනයය. අනතුරුව ප්‍රසංගයකදී ඇය තමා ඉදිරියට නැවත මල් රැගෙන පැමිණි ආකාරයත්, ඉන් පසුව ඇයව හමුවන්නට හේතු කාරණා යෙදුණු ආකාරයත් ,ඇය තමා වෙනුවෙන්ම නුවරඑළියට පැමිණි ආකාරයත් රිහාන් සිහි කළේ වේදනාවෙනි. තමාව රැවටීමට තරම් ඇයට තිබෙන උවමනාව කෝ හේතුව කුමක්දැයි රිහාන් නැවත නැවත සිතුවේය.
සම්බන්ධය පිළිබඳව දෙමව්පියන් දැනුවත් කළ යුතුය යන අදහස තමා ඉෂිණි වෙත පැවසූ අවස්ථාවේදී පවා ඇය ඒ පිළිබඳව උනන්දුවක් නොදැක්වීමට හේතුව ඒ මොහොතේදීත් ඇය තමාව රවටමින් සිටීම යැයි සිතන්නට රිහාන් මැලිවූයේය. ඇය තමා හා පවතින සම්බන්ධය පිළිබඳව දෙගිඩියාවකින් පසුවූවා නම් ඒ පිළිබඳව පැහැදිලිව තමා සමඟ කතාබහ කර වෙන්වීමට හෝ තිබුණා නොවේදැයි සිතුවිල්ලක් රිහාන් තුළ ඇති වුවද ඔහුගේ හදවත තුළ නැගෙමින් තිබුණු වේදනාව ඒ සියලු සිතුවිලි වලට වඩා බලවත් වෙමින් තිබිණි.
සිත තුළ නොනවත්වා නැගෙන ගැටලු වලට කිසිදු පිළිතුරක් රිහාන්ට නොවූ අතර වේදනාකාරී වුවද තමා මේ මොහොතේ සත්‍ය පිළිගත යුතු බව පමණක් ඔහු සිතුවේය. ඇය වෙනත් තරුණයෙකු සමඟ අවන්හලක සිටීම පමණක්ම ඇයට චෝදනා කිරීමට ප්‍රමාණවත් නොවිය හැකි වුවත් ඇය තමාට බොරු පිළිතුරක් ලබා දීම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැකි නොවේ.
ඉෂිනිව දැකගැනීමටත්, ඇය සමඟ සිටින තරුණයා කවුරුන්දැයි දැනගැනීමටත් රිහාන්ට අවශ්‍ය වූයේය. ඒ දැනගැනීමෙන් පසු කුමක් කිරීමට සිදුවනු ඇත්දැයි ,කුමක් සිදුවනු ඇත්දැයි හිතාගත නොහැකි වුවත් ආපසු හැරී යාමට ඔහුට වුවමනා වූයේ නැත.
ගොඩනැගිල්ලේ පිවිසුමෙන් මිනිසුන් ඇතුළු වන ආකාරයත්, පිටතට පැමිණෙන ආකාරයත් රිහාන් වාහනය තුළ සිට බලාගෙන උන්නේය. වෙනත් යුවළක් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන විට පවා රිහාන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත් අතර ඒ සෑම වතාවකම ඔහුගේ බලාපොරොත්තු තත්පර කිහිපයක් තුළ බිඳී ගියේය.
සවස් කාලය කෙමෙන් රාත්‍රියට හැරෙමින් තිබිණි. අවට වූ වාහන කිහිපයක් පිටව ගිය අතර තවත් වාහන පැමිණ නතර විය. රිහාන් ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකළ අතර ඔහුගේ දෑස් සීමා වී තිබුණේ ගොඩනැගිල්ලේ පිවිසුම වෙතටය.
රාත්‍රී දහයට ආසන්න වෙද්දී ඔහුගේ දුරකථනය නාද විය. තිරය මත දිස් වූයේ නිමේශ්ගේ නමය.
රිහාන් වහාම ඇමතුමට පිළිතුරු දුන්නේය.
“හෙලෝ නිමේශ් ? “
“මම මේ කරපු දේ හරිද කියලා මම දන්නේ නැහැ බං. ඒත් ඉෂිනි උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා දන්න නිසා තමයි මම උඹට කතා කළේ. දැනටමත් ගොඩක් දෙනෙක් ඒක දන්නවනේ “
රිහාන් දෑස් පියාගත්තේය. නිමේශ් ගේ වචනවලින් ඔහුට දැනුණේ තමන් මෙතෙක් වේලා බලාපොරොත්තු වූ දෙය ළඟා වෙමින් පවතින ආකාරයකි.
“උඹ කරපු දේ කිසිම වැරැද්දක් නෑ මචං. උඹ මට කළේ ලොකු උදව්වක්.”
රිහාන් පැවසුවේය. තමන්ගේ හඬ හැකි තරම් ස්ථාවරව තබාගැනීමට ඔහු උත්සාහ කළද, ඒ වචන පවා පිටවූයේ විශාල වෙහෙසකින් පසුවය.
“මම උඹට කතා කළේ ඒ දෙන්නා බිල් එක ක්ලෝස් කළා කියලා කියන්න. සමහරවිට දැන් පහළට එයි.”
රිහාන්ගේ ඇඟිලි දුරකථනය වටා තද වූ අතර ඔහු නිමේෂ්ට නැවත ස්තූති කරමින් ඇමතුම අවසන් කළේය. ඉන්පසු නැවතත් ගොඩනැගිල්ලේ පිවිසුම දෙසට දෑස් යොමු කළ රිහාන් ඒ දෙස බලා උන්නේ පෙරටත් ශෝකය මුසු හැඟීමකිනි.
රිහාන් සුක්කානම මත තිබූ අත ඉවත් කර තම ළය මත තබාගත්තේය. හදවත ඒ තරම් වේගයෙන් ගැහෙන්නේ ඇයිදැයි ඔහුටම සිතාගත නොහැකි වූ අතර තමා බලා සිටි මොහොත ළඟා වෙමින් තිබුණද, ඒ මොහොත දැකගැනීමට ඔහුගේ සිත සූදානම්ව උන්නේ නැත.
විනාඩි කිහිපයක් ගත වූ පසු විවෘත වූ ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවෙන් ඉශිනි පිටතට පැමිණි අතර ඒ සමගම ඩියෝන්ද පිටතට පැමිණියේය.
රිහාන්ගේ හුස්ම මොහොතකට නතර විය.
ඉශිනි සමග සිටින්නේ පෙර දිනයකදී මුණගැසුණු ඩියෝන් නම් තරුණයා බව ඔහු වහාම හඳුනාගත්තේය.ඔවුන් දෙදෙනා පිවිසුම අසලම නවතා තිබුණු වාහනයක් අසලට පැමිණ නතර වී තවත් විනාඩි දෙක තුනක් කතා කරමින් සිටියහ.
රිහාන් ඉෂිනිව දුටුවේය. ඇයගේ මුහුණේ තිබූ සිනහවද දුටුවේය. ඇය ඩියෝන් සමඟ කතා කරන ආකාරයත්, ඔහු සමඟ සිටින විට ඇය තුළ තිබූ සැහැල්ලු බවත් ඔහු පැහැදිලිවම දුටුවේය.ඔහුගේ සිත තුළ යමක් බිඳී යන හඬ ඔහුටම ඇසුණාක් මෙන් දැනුනු අතර මෙය මෙතෙක් වේලා තමන් සිත තුළ මවාගත් දර්ශනයක් නොව, තමන් ඉදිරියේ සිදුවන සත්‍යයක් බව ඔහුට පිළිගැනීමට සිදු විය.
ඩියෝන් වාහනයට නැගීමට පෙර ඉෂිනිව වැළඳගත්තේය. ඒ දර්ශනය දුටු මොහොතේ රිහාන්ගේ අත සුක්කානම මත තදින් මිටි මෙළවිණි. ඒ සමගම ඩියෝන් වාහනයට නැග පිටත් වූ අතර ඉෂිනි මොහොතක් ඔහුගේ වාහනය දෙස බලා හිඳ තම වාහනය නතර කර තිබූ ස්ථානය වෙත ගමන් කළාය.
රිහාන් වාහනයෙන් බැස්සේය.ඔහුගේ දෙපා ඒ වන විටත් වෙව්ලමින් තිබිණි.ඔහු සෙමෙන් පියවර තබමින් ඉශිනිගේ වාහනය නතර කර තිබූ ස්ථානය වෙත ඇවිද ගියේ ඇය ඉදිරියේ සිටගෙන තමන් දුටු දේ පිළිබඳව විමසීමටය.
නමුත් ඇයගේ මුහුණ දෙස බලා ඒ ප්රශ්නය ඇසීමට තරම් ශක්තියක් තමන් තුළ ඉතිරි වී තිබේදැයි ඔහුට විශ්වාසයක් වූයේද නැත.
ඉෂිනි තම වාහනය අසලට පැමිණ අත්බෑගයෙන් වාහනයේ යතුර ගෙන දොර විවෘත කළාය. ඇය වාහනයට නැග දොර වසා ගන්නා විට රිහාන් ඇයට පෙනෙන තරම් සමීපයට පැමිණ උන්නේය.වාහනය පනගැන්වීමට සූදානම් වූ ඉශිනි රිහාන්ව දුටුවේ ඒ මොහොතේදීය.
ඇයගේ දෑස් පුදුමයෙන් විශාල විය.
මොහොතකට ඇයට සිදුවන්නේ කුමක්දැයි සිතාගත හැකි නොවූ අතර රිහාන් මෙහි සිටිනු ඇතැයි ඇය කිසිසේත්ම බලාපොරොත්තු වී උන්නේද නැත. පැය කිහිපයකට පෙර ඔහු සමඟ දුරකථනයෙන් කතා කළ විට තමන් සිටින්නේ කාර්යාලයේ බව ඔහුට පැවසූ බවද ඇයට එකවරම සිහි විය. ඇය වහාම වාහනයේ දොර විවෘත කර පිටතට පැමිණියාය
“රිහාන්…”


