” රිහාන් ”
ඉෂිනිගේ හඬේ වූයේ පුදුමයත් කලබලයත් එකට මුසු වූ ස්වරයකි. රිහාන් තමන් ඉදිරියේ සිටගෙන සිටිනු දුටු මොහොතේ ඇය තුළ පැය ගණනාවක් පුරාවට තිබූ සතුට සහ සැහැල්ලුව ක්ෂණයකින් පලා ගිය අතර කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව ඇය රිහාන් ඉදිරියේ සිට ගත්තාය. එහෙත් ඔහුගේ මුහුණෙන් දක්නට ඇත්තේ කෝපයක්ද එසේත් නැත්නම් හැඟීමක්ද කියා ඇයට පැහැදිලි වූයේ නැත.
” ඔයා මෙහේ මොකද කරන්නේ? “
ඇය රිහාන්ගේ මුහුණ දෙස බලා විමසූ නමුත් ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. රිහාන්ගේ දෑස් මොහොතකට ඇය වෙත යොමුව තිබුණද, ඒ දෑස් තුළ වෙනදා දකින්නට ලැබුණු ආදරණීය බැල්ම නොතිබුනු අතර ඒ වෙනුවට තිබුණේ ඇයව හඳුනාගත නොහැකි තරම් දුරස් වූ බැල්මකි.
” රිහාන් “
රිහාන් තවදුරටත් ගල් ගැසී නිහඬව බලා සිටින බැවින් ඉෂිනී නැවතත් හඬ අවදි කළාය.
” මම ඔයාගෙන් දෙයක් අහන්නද? “
රිහාන්ගේ හඬ බිඳී ගොස් තිබුණු අතර එහි වූයේ දැඩි වෙහෙසකි. එය හඳුනාගත් ඉෂිනි මොහොතක් ඔහු දෙස බලා උන්නාය.
” අහන්න “
” ඔයා කොහෙද ඉන්නේ කියලා මම කෝල් කරලා අහද්දී ඔයා කිව්වේ ඔෆිස් එකේ කියලා නේද? “
ඉෂිනිගේ මුහුණේ වූ වෙනස රිහාන්ට හොඳින්ම පෙනිණි. ඇය මොහොතකට නිහඬ වූ අතර අනතුරුව ඔහුගේ දෑස් මඟහරිමින් පිළිතුරු දීම ඇරඹුවාය.
” රිහාන්, මම ඒක කිව්වේ…”
” ඇයි ඉෂිනි? “
ඔහු ඇගේ කතාවට බාධා කළේය.
” ඇයි මට බොරු කිව්වේ? “
ඉෂිනි සුසුමක් හෙළුවාය. මේ මොහොතේ තමන් කුමක් පැවසුවත් රිහාන් එය පිළි නොගන්නා බව පැහැදිලිව පෙනෙන්නට තිබුණද ඔහු ඉදිරියේ නිහඬව සිටීමටද ඇයට හැකි වූයේ නැත.
” රිහාන්, ඔයා ඩියෝන්ට වැඩිය කැමති නැහැ වගේ කියලා මට එදා දැනුණා. ඒ නිසායි මම ඔයාට කිව්වේ ඔෆිස් එකේ ඉන්නවා කියලා.ඔයා.. ඔයා වැරදියට හිතයි කියලා මට හිතුණා “
ඉශිනි අපහසුවෙන් වුවද කෙසේ හෝ වචන ගලපාගෙන පිළිතුරු දුන්නාය.
රිහාන් ඇය දෙස බලා උන්නේය. ඔහුට ඒ වචනවලට පිළිතුරක් දෙන්නට අවශ්‍ය වුවද, සිත තුළ එකවර නැඟුණු හැඟීම් නිසා ඔහු උන්නේ වචන ගළපා ගැනීමට පවා අපහසුවෙනි.
” ඔයා මට බොරු කිව්වේ මම වැරදියට හිතයි කියලා බය වුණ නිසා ? “
” මම කියන්නේ ඒක නෙමෙයි රිහාන්. ඩියෝන් මගේ යාළුවෙක් විතරයි. අපි අතරේ ඔයා හිතන විදිහේ දෙයක් නැහැ “
” මම මොනවද හිතන්නේ කියලා ඔයා දන්නේ කොහොමද ඉෂිනි?”
රිහාන් ආපිට ඇසුවේ ඇය දෙසම බලාගෙනය.
” මම ඔයාට කවදාවත් ඔයාගේ යාළුවෝ ආශ්‍රය කරන්න එපා කියලා නැහැ. ඔයා කාත් එක්ක හරි එලියට යනවා නම් ඒ ගැන මට කියන්න බැරි තරම් දෙයක් අපේ සම්බන්ධය ඇතුළේ තියෙනවද? මම ඔයාගෙන් ඇහුවේ ඔයා කොහෙද ඉන්නේ කියලා විතරයි. ඔයාට තිබුණේ ඇත්ත කියන්න ඉශිනි “
ඉෂිනිගේ දෑස් රිහාන් මත නතර වී තිබිණි. ඇයට ඔහුගේ කතාවට එකඟ නොවී සිටීමට හැකි වූයෙ නැත.
” මට තේරෙනවා රිහාන්. ඒත් මම හිතුවේ ඔයා මේක නිසා ප්‍රශ්නයක් ඇති කරගනීවි කියලා. ඒකයි මම එහෙම දෙයක් කිව්වේ. මට ඔයාට මේ හැමදේම පැහැදිලි කරන්න පුළුවන් රිහාන්.ප්ලීස් “
රිහාන් හිස පහත් කරගත්තේය. මොහොතකට පෙර සිටම තම සිත තුළ ගොඩනැඟෙමින් තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේවි යැයි ඔහු බලාපොරොත්තු වූ නමුත් තමන්ට දැනෙමින් තිබුණු වේදනාව වැඩි වූවා මිස අන් කිසිවක් සිදුවී නැත. ඒ සියල්ලටම වඩා රිහාන් හට සිතාගත හැකි නොවූයේ තමන්ට බොරු පවසා ඩියෝන් මුණගැසීමට යාමට තරම් තමන් හා ඉෂිනි අතර පවතින සම්බන්ධය දුර්වල වූයේ කෙසේද යන්නයි.
” ඉෂිනි “
රිහාන් නැවතත් ඉශිනි දෙස බැලුවේය.
“මම ඔයා ගැන හිතාගෙන හිටියේ මීට වඩා වෙනස් විදිහට ඉශිනි “
ඉෂිනිගේ මුහුණ වෙනස් වූයේ තප්පර කිහිපයක් ඇතුළත දීය.
” රිහාන්, ප්ලීස්. ඔහොම කියන්න එපා. මම ඔයාට කිසිම වැරැද්දක් කරන්න හිතාගෙන හිටියේ නැහැ “
” මම දන්නේ නැහැ ඉෂිනි. මට දැන් කිසිම දෙයක් හිතාගන්න බැහැ “
රිහාන්ගේ හඬ බිඳී ගියේය. ඔහුට තවදුරටත් ඇය ඉදිරියේ සිටගෙන සිටගෙන අසරණ වීමට අවශ්‍ය නොවූ අතර ඇය තවත් යමක් පැවසුවහොත් ඒ සියල්ල අසාගෙන සිටීමට තරම් මානසික ශක්තියක් තමන් තුළ නොමැති බව ද ඔහුට දැනෙමින් තිබිණි.
” රිහාන්, මට ඔයා එක්ක කතා කරන්න ඕනේ. අපි කොහේට හරි ගිහින් මේ ගැන කතා කරමු “
ඉෂිනි ඔහුට සමීප වෙමින් පැවසුවද රිහාන් පියවරක් පසුපසට ගත්තේය.
” ප්ලීස් ඉෂිනි “
රිහාන් ඉදිරියට ඔසවමින් ඉශිනි ව නතර කළේ ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයටය.
” මම දැන් ඔයත් එක්ක කතා කරන්න පුළුවන් සිටුවේෂන් එකක නෙවෙයි ඉන්නේ. I need sometime alone “
ඉෂිනි කිසිවක් නොකියා ඔහු දෙස බලා උන්නාය. රිහාන්ගේ මුහුණේ වූ වේදනාව ඇයට පැහැදිලිව පෙනුණු නමුත් ඔහුට කුමක් පැවසිය යුතුදැයි ඇයට සිතාගත හැකි වූයේ නැත.
” රිහාන්, ඔයා යන්න කලින් මම කියන දේ අහන්න “
ඇය නැවතත් රිහාන් හට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළාය.නමුත් රිහාන් ඒ වන විටත් ඇයගෙන් දෑස් ඉවතට ගෙන තිබිණි.
” පස්සේ කතා කරමු “
එපමණක් පැවසූ ඔහු ආපසු හැරී තම වාහනය දෙසට ඇවිද ගියේය.
” රිහාන් “
ඉෂිනි ඔහුට කතා කළද ඔහු නතර වූයේ නැත. ඇය ඔහු පසුපස යාමට පියවර එසවූවත්, ඊළඟ මොහොතේ ඇගේ පියවර නතර වූයේ ඔහු පසුපස හඹා යාමට තරම් ශක්තියක් ඇය තුළ නොවූ බැවිනි.
රිහාන් තමන්ට මෙතරම් ආදරය කරන බව ඉශිනි හොදාකාරවම දැන උන්නත් ඔහුගේ විශ්වාසය බිඳී ගිය විට ඒ ආදරයට සිදුවන්නේ කුමක්දැයි කියා ඇය කිසිවිටෙකත් සිතා තිබුණේ නැත.දැන් සිදුවෙමින් පවතින්නේ එවැනි අනපේක්ෂිත දෙයකි.
වාහනයට නැඟුණු රිහාන් දොර වසාගෙන සුක්කානම මත දෑත් තබාගත්තේය. පිටව යා යුතු දිශාව පිළිබඳව පවා සිතාගත නොහැකි තරමට ඔහුගේ සිත අවුල් වී තිබිණි.
ඉෂිනිගේ වචන නැවත නැවතත් ඔහුගේ මනස තුළ දෝංකාර දුන් අතර තමා තුළ ඩියෝන් පිළිබඳව එතරම් පැහැදීමක් නොවූ බව දැනුනු නිසා තමන්ට බොරු පැවසූ බවට ඉශිනි නිදහසට කරුණු ඉදිරිපත් කළද එය සම්පූර්ණ පිළිතුරක්දැයි රිහාන්ට සිතාගත හැකි වූයේ නැත.
තමා ඇයට බොහෝ සේ ආදරය කළේය. ඇය සමඟ අනාගතයක් ගැන සිහින මැව්වේය. තම පවුලට ඇයව හඳුන්වා දීමට පවා සිතා උන්නේය. නමුත් මොහොතකට පෙර සිදු වූ සිදුවීමෙන් පසුව ඒ සියලු බලාපොරොත්තු පිළිබඳව නැවත සිතා බැලිය යුතු යැයි ඔහු සිතුවේය.
රිහාන් වාහනය පණ ගන්වාගෙන සෙමෙන් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වුවද යා යුත්තේ කොහේදැයි ඔහු දැන උන්නේ නැත. නමුත් ඒ මොහොතේ ඔහුට අවශ්‍ය වූයේ කිසිවෙකුත් නොමැති තැනකට ගොස් සිත තුළ නැඟෙන ප්‍රශ්න සමඟ මොහොතක් තනි වී කල්පනා කිරීමටය.
මද වේලාවක් වාහනය ධාවනය කිරීමෙන් අනතුරුව එතරම් කලබලකාරී බවක් නොතිබුණු මාර්ගයක් අයිනේ වාහනය නතර කල රිහාන් ඉදිරියෙන් පෙනෙන මාර්ගය දෙස හිස් බැල්මකින් බලා උන්නේය. අනපේක්ෂිත ලෙස ජීවිතයට පැමිණි ඉශිනි අනපේක්ෂිත මොහොතකම තමා මුලා කර ඇති බව දැනගන්නට ලැබීම කෙතරම් වේදනාකාරී දැයි රිහාන් තවදුරටත් කල්පනා කළේ කම්පනයෙනි. මෙවැනි කම්පනයක් මින් පෙර ජීවිතයේ කිසි දිනක තමාට ලැබී තිබෙනවාදැයි සිතා බැලුවද එවැනි දිනයක් පිළිබඳව ඔහුගේ මතකයට ආවේද නැත.
ඉශිනි ඩියෝන්ව මුණගැසීමටත් වඩා ඇත්තේ ඇය තමා තුළ තිබූ විශ්වාසය බිඳ දැමීමේ ගැටලුවය. තමා නොමැති තැනක වුවද තමාගේ ගෞරවය විශ්වාසය රැකීමට නිසි සහකාරියකට හැකි විය යුතු අතර ඉශිනි සිදුකර ඇත්තේ ඒ සියල්ල සහ මුලින්ම බිඳ දැමීමය. එම නිසා නිසි තීරණයක් ගන්නා තුරු නිහඬව සිටීමට අවසානයේදී රිහාන් තීරණය කළේය.
බොහෝ වේලාවකට පසුව රිහාන් නිවස බලා යාමට තීරණය කර වාහනය පණ ගන්වන විටම ඔහුගේ දුරකථනය නාද විය.


