” ඔයා කවුරු ගැනද කියන්නේ ඩියෝන් ?”
මොහොතකට පෙර ඉශිනි ඇසූ ප්‍රශ්නයට ඩියෝන් සෘජු පිළිතුරක් නොදී උන්නේ තම සිතැඟි පැවසීමට එය සුදුසු වෙලාවක් නොවූ බැවිනි.
” මම කියන්නේ ඔයාට රිහාන් එක්ක ඉන්නකොට කරන්න බැරි වුණු දේවල් ගැන. ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න, ඔයා කැමති දේවල් කරන්න නිදහස දෙන කෙනෙක් ගැන “
” ඒ කියන්නේ මම රිහාන්ව අතහැරලා වෙන කෙනෙක් හොයාගන්න ඕන කියලද? “
“මම එහෙම කිව්වේ නැහැ ඉෂිනි. ඔයාට ඇත්තටම ඕන මොකක්ද කියලා හිතලා බලන්න. කෙනෙක්ට ආදරේ කළා කියලා ඒ කෙනා එක්ක හැමදේකදීම ගැළපෙන්නම ඕන නැහැ නේ. අනික ඒක ඇයි ඔයා විතරක් කරන්නේ ? රිහාන්ට වුවමනාවක් තියෙනවනං එයාට පුළුවන්නේ ඔයාගේ විදිහට හැඩගැහෙන්න ? “
එය සත්‍යයක් වුවත් ඩියෝන් පැවසූ කාරණාව සමඟ එකඟ වීමට ඉශිනි හට හැකි වූයේ නැත. රිහාන් සමග ඇතිවූ ගැටලු අමතක කර ඔහුගෙන් ඈත් වීමට තමන්ට නොහැකි වූයේ තවමත් ඔහු කෙරෙහි වූ බැඳීම නිසාය. එහෙත් ඒ බැඳීම වෙනුවෙන් තමන්ව අත්හැරිය යුතුදැයි සිතන විට ඇගේ සිත තුළ ඇති වූයේ නොසන්සුන් බවකි. අනෙක් අතට තමන්ට අවශ්‍ය ජීවිතය කුමක්දැයි තීරණය කිරීමටත් පෙර රිහාන්ගේ ප්‍රතිචාරය ගැන සිතීමට තමා පුරුදු වී සිටි බව පිළිගැනීමටද ඉශිනි හට පහසු නොවීය.
” ඔයාට එයා එක්ක කතා කරන්න ඕන නම් ටිකක් කල් දීලා බලන්න. හැබැයි ඉතින් අන්තිමට වෙන්නේ මේ පාරත් ඔයා එයාට ඕන විදිහට වෙනස් වෙන එක නම් ඒක ඔයා ඔයාටම කරන අසාධාරණයක් ”
ඩියෝන්ගේ වචනවලට නිසි පිළිතුරක් නොදුන් ඉෂිනි පසුව අමතන්නට පොරොන්දු වී ඇමතුම අවසන් කළාය. ඔහුගේ අදහස් පිළිගැනීමට ඇයට නොහැකි වුවත්, ඒවා සම්පූර්ණයෙන්ම නොසලකා හැර සිටීමටද ඇයට හැකි වූයේ නැත.
ස්ටුඩියෝවේ පුහුණුවීම් අතරතුර රිහාන් තුළ පුහුණුවීම් සඳහා වූ අවධානය දිගින් දිගටම බිඳ වැටෙමින් තිබිණි. පෙර දිනයේ සිදු වූ සිදුවීම් නැවත නැවත ඔහුගේ සිත මත මතු වූ අතර මගින් ඔහුට දැනුනේ අතිශය පීඩාකාරී බවකි. ඉෂිනිගෙන් ලැබුණු ඇමතුම් පෙර දිනයේ සිටම මගහැර සිටියද ඇයගෙන් ඇමතුමක් ලැබෙන විට පවා රිහාන් හට දැනුනේ පෙර දිනයේදී ඇයව දුටු විට දැනුණු කම්පනයමය.
එහෙත් නිහඬව සිටීමෙන් කිසිවක් විසඳෙන්නේ නැත. ඉෂිනි පවසන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි නොඅසා ඇය පිළිබඳව තීරණයක් ගැනීමද සාධාරණ වන්නේ නැත. ඒ නිසා ඇයටද ඉඩක්දිය යුතුය. පුහුණුවීම් අවසන් වූ පසු රිහාන් දුරකථනය අතට ගත්තේය. ඉෂිනිගෙන් ලැබුණු පණිවිඩ කිහිපයම කියවා තිබුණද, ඒවාට පිළිතුරු යැවීමට උවමනාවක් රිහාන් තුළ මෙතෙක් නොවූ අතර මොහොතක් කල්පනා කළ ඔහු අවසානයේ ඇයට පණිවිඩයක් යැවුවේය.
” අපිට කතා කරන්න ඕනේ. හෙට මීට් වෙමු”
රිහාන් එවැන්නක් පමණක් සටහන් කර යැව්වේය.පණිවිඩය කියවූ ඉෂිනි එයට පිළිතුරු යැවීමට පෙර මොහොතක් නතර වී ඒ දෙස බලා උන්නාය. පණිවිඩය තුළ ගැබ්වී ඇත්තේ සම්පූර්ණ ආගන්තුක බවකි. රිහාන් මෙතෙක් නිහඬව සිටීමෙන් පසු කතා කිරීමට කැමැත්ත පළ කිරීම ඇයට යම් සහනයක් ගෙන දුන්නද, ඒ හමුවේදී කුමක් සිදුවේදැයි සිතන විට ඇගේ සිතට නැඟුණේ බියකි. ඔහු සූදානම් වන්නේ තමාට ඇහුම්කන් දීමටද නැතහොත් ඔහුගේ තීරණය තමන්ට පැවසීමටද කියා ඇයට සිතාගත හැකි වූයේ නැත.
” කොහෙදිද මීට් වෙන්නේ ?”
බොහෝ සිතා බලා රිහාන්ගේ පණිවිඩයට පිළිතුරු යැවූ පසු ඉශිනි දුරකථනය අතේ තබාගෙන තවදුරටත් ඒ දෙස බලා උන්නාය. රිහාන්ගෙන් ඊළඟ පණිවිඩය ලැබෙන තුරු වෙනත් දෙයකට අවධානය යොමු කිරීමට උත්සාහ කළද, ඉශිනි ගේ සිත දිගින් දිගටම යොමු වූයේ රිහාන්ව මුණගැසීමේ මොහොත පිළිබඳවය. නමුත් බොහෝ වේලාවක් ගත වූ පසුවද ඉශිනි බලාපොරොත්තු වූ පරිදි රිහාන්ගෙන් පිළිතුරක් ලැබුණේ නැත. සිත තුළ යන්තමින් නැගෙමින් තිබුණු බලාපොරොත්තු සහගත බවද එයින් බිඳ වැටී ගියේ ඉශිනිගේ සිතට අධෛර්යයක් එකතු කරමිනි.
දුරකථනය පසෙකින් තැබූ ඉෂිනි නැවතත් ටික වේලාවකට පසුව එය අතට ගත්තේ අලුත් පණිවිඩයක් ලැබී ඇත්දැයි බැලීමටය. නමුත් පැය භාගයක් පමණ ඉක්මවා ගිය පසුවත් රිහාන්ගෙන් පිළිතුරක් නොවූ තැන ඇය පෙර සිටියාටත් වඩා නොසන්සුන් වූවාය. රිහාන් පිළිතුරු නොදීමට හේතුව කුමක්දැයි ඇයට සිතා ගත නොහැකි වූ අතර ඔහුට ඇමතුමක් ගැනීමට සිතුණද, ඔහු සමඟ කතා කිරීමට අවශ්‍ය කාලය ඔහුට ලබා දිය යුතු බව සිතා ඉශිනි එම අදහස ද අතහැර දැමුවාය.
මද වේලාවකින් දුරකථනය නාද වන විට ඉශිනි වහාම එය අතට ගත්තේ ඇමතුම රිහාන්ගෙන් යයි සිතමිනි.එහෙත් උදෑසන සේම ඇමතුම පැමිණෙමින් තිබුණේ ඩියෝන් ගෙනි.
” අදත් මීට් වෙමුද ? office ඉවර වෙලා ඔයා ෆ්‍රී නේ ?”
“ඊයේ වෙච්ච දේවල් එක්ක අදත් අපි හම්බවෙන එක හොඳ නැහැ ඩියෝන්. රිහාන්ට කොහෙන් ආරංචිය යයිද දන්නේ නැහැ. මම මේ තාම කල්පනා කරනවා ඊළඟට මොකක්ද කරන්නේ කියලා “
” ඔයා තව කොච්චර කල් රිහාන්ට බයේ ජීවත් වෙනවද අනේ ? “
ඉශිනි දිගු සුසුමක් හෙළුවේ පසුතැවීමකිනි.
” මම එයාට බය නැහැ. ඒත් මෙතන මගේ වැරැද්දකුත් තියෙනවානේ”
” එහෙනම් ඔයා ගන්න හැම decision එකකදීම එයා මොනවා හිතයිද කියලා හිතන්නේ ඇයි? “
ඉෂිනිට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට හැකි වූයේ නැත. රිහාන්ගේ අදහස් තමන්ට වැදගත් වීමත්, ඔහුගේ ප්‍රතිචාරයට බියෙන් තමන්ගේ තීරණ වෙනස් කරගැනීමත් කාරණා දෙකක් බව ඇය සිතුවාය. එහෙත් තමන්ගේ හැසිරීම දෙස ආපසු හැරී බලන විට ඩියෝන්ගේ චෝදනාවද මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමටද ඇයට හැකි වූයේ නැත.
” අපි දැන් මේ ගැන කතා නොකර ඉමු ඩියෝන්.මං ටිකක් අවුල් වෙලා ඉන්නේ.මට පොඩි වෙලාවක් දෙන්න “
ඉශිනි ඇමතුම අවසන් කළාය. ඩියෝන් විමසූ කාරණාව පිළිබඳව තවදුරටත් සිතන්නට අකමැති වුවද, එය සම්පූර්ණයෙන් අමතක කර සිටීමටද ඇයට හැකි වූයේ නැත. තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණ ගන්නා සෑම අවස්ථාවකදීම රිහාන්ගේ කැමැත්ත පිළිබඳව සිතීම මුල් කාලයේදී කිසිදු ගැටළුවක් නොවුවද එය මේ වන විට ඉශිනි තුළ ඇතිකර තිබුණේ නොරිස්සුම් සහගත හැඟීමකි.
ඉෂිනි නැවතත් දුරකථනය අතට ගෙන වට්සැප් පණිවිඩ පරීක්ෂා කළද රිහාන්ට යැවූ පණිවිඩයට පිළිතුරක් ඔහු ඒ වන විටත් එවා තිබුණේ නැත.එම පණිවිඩය කියවා තිබුණු බවට සලකුණු පෙනෙන්නට තිබුණද පිළිතුරු නොයවා තිබීම ඉශිනි වෙත ගෙන ආවේ පරාජිත හැඟීමකි. එළඹෙන දිනයේදී ඔහු මුණගැසීමෙන් පසුව ඔහු හා තමා අතර ඇති ප්රශ්නය විසඳාගත හැකි වේ යැයි කියා තුළ තිබුණු සියුම් විශ්වාසයද ඒ සමගම මැකී ගියේය.
රිහාන් පුහුණු වීම් අවසන් කර වාහනයට නැඟුන ද නිවසට යාමට පිටත් වූයේ නැත. ජීවිතයේ සොඳුරුතම සමයක් උදා වීමට නියමිතව තිබියදී අනපේක්ෂිත ආකාරයෙන් අතිශය දුෂ්කර වූ නියං සමයක් උදා වූවා වැනි හැඟීමක් ඔහුගේ හදවත පෙළමින් තිබිණි. තමා ඉශිනි සමග අනාගතයක් ගැන සිහින දුටුවේ ඇය කෙරෙහි වූ තදබල විශ්වාසයෙනි.එහෙත් එම විශ්වාසය දැන් වචනයකට පමණක් සීමා වූ දෙයක් බව ඔප්පු වී තිබේ. විශ්වාසයක් රැක ගත නොහැකි බැඳීමක ඇති අර්ථය කුමක්දැයි කියා රිහාන් සිතුවේ වේදනාවෙනි. එළඹෙන දිනයේදී ඉශිනි මුණගැසී කිව යුත්තේ කුමක්දැයි කියා අදහසක් හෝ නොවූවද ඇය සමග පවතින බැඳීමෙහි පදනම දැනටමත් බිඳී ගොස් ඇති බැවින් කතා බහ කර විසඳාගත යුතු යමක් තමා හා ඇය අතර තවදුරටත් නොවේ යැයි අවසානයේදී සිතුවේය.
රිහාන් යන්තමින් බොඳ වූ දෑස් වලින් ඉදිරියෙන් පෙනෙන මාර්ගය දෙස බොහෝ වේලාවක් බලා හිඳ දුරකථනය අතට ගත්තේය. අනතුරුව වෙව්ලන ඇඟිලි තුඩුවලින් ඉෂිනිගේ අංකය සොයාගෙන එයට ඇමතුමක් ගෙන ඇය ඇමතුමට සම්බන්ධ වන තුරු රිහාන් කිසිදු හැඟීමකින් තොරව බලා උන්නේය.
” හෙලෝ රිහාන් ”


