දුරකථනයේ අනෙක් පසින් ඉෂිනිගේ හඬ ඇසෙත්ම රිහාන් මොහොතක් නිහඬව උන්නේය. ඇයට ඇහුම්කන් දීමට තමා සූදානම් වුවද, ඒ වෙනුවෙන් ඇයව තවත් වාරයක් හමුවීමට තිබුණු අවශ්‍යතාවය පවා ඒ වන විට ඔහු වෙතින් ගිලිහී ගොස් තිබිණි. සිදු වූ දේ පිළිබඳව තමාට තේරුම් ගත නොහැකි කිසිවක් ඉතිරිව නොතිබෙන අතර ඉෂිනිට ඩියෝන්ව මුණගැසීමට අවශ්‍ය වූයේ කුමන හේතුවක් මත වුවත් ඇය තමාට බොරුවක් පැවසීම ඔහුට ඉවසාගත හැකි වූයේ නැත.
” රිහාන්, ඔයා මට මැසේජ් එකක් එවලා තිබුණා. මම රිප්ලයි කළාට ඔයාගෙන් උත්තරයක් ආවේ නැති නිසා මම මේ බලාගෙන හිටියේ “
” මම මෙසේජ් එක දැක්කා “
” එහෙනම් ඇයි රිප්ලයි කළේ නැත්තේ?”
“මම කල්පනා කරේ අපි ආපහු හම්බවෙලා කතා කරන එකේ තේරුමක් තියෙනවද කියලා”
රිහාන්ගේ හඬෙහි කෝපයක් නොවූ නමුත් ඔහුගේ වචනවල තිබූ දුරස් බව ඉෂිනිට හොඳින් දැනිණි.
” අනේ රිහාන්, මට ඔයා එක්ක කතා කරන්න ඕන. මට කියන්න දේවල් ගොඩක් තියෙනවා “
” ඉෂිනි, ඔයාට කියන්න තියෙන දේවල් මට ෆෝන් එකෙන් කියන්න පුළුවන් නම් කියන්න. මට තේරෙනවා ඔයාට මේ ගැන කතා කරන්න ඕන කියලා. ඒත් අපි හම්බවෙලා මොනවා කතා කරන්නද ඇත්තටම ?”
” එහෙම කියන්න එපා රිහාන්. මම කියන දේ එක පාරක් අහන්න. මම කරපු දේ වැරදියි. මම ඒක පිළිගන්නවා. ඒත් මට ඔයාට ඒක පැහැදිලි කරන්නවත් අවස්ථාවක් දෙන්නෙ නැතුව ඔයා කොහොමද මේ වගේ තීරණයක් ගන්නේ? “
රිහාන් සුසුමක් හෙළුවේය. ඇයට සවන් දීම ප්‍රතික්ෂේප කිරීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. එහෙත් ඇයගෙන් තවත් පැහැදිලි කිරීම් අසා තම සිත තුළ බිඳ වැටී තිබෙන විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට තමාට හැකි වේදැයි කියා ඔහුට විශ්වාසයක් තිබුණේද නැත.
” ඔයාට ඩියෝන්ව මීට් වෙන්න ඕන වුණා නම් ඒක ඔයාගේ අයිතියක් ඉෂිනි. ඔයා කැමති කෙනෙක්ව මීට් වෙන්න, ඔයාට ඕන තැනකට යන්න ඔයාට සම්පූර්ණ නිදහස තියෙනවා. මම කවදාවත් ඔයාට ඒ දේවල් එපා කියලා නැහැ. මට ප්‍රශ්නයක් තියෙන්නේ ඔයා එයාව මීට් වෙන්න ගිය එක ගැන නෙවෙයි. ඔයා මට බොරු කිව්ව එක ගැන “
” මම දන්නවා රිහාන්. මම ඒකයි ඔයාට කියන්න හදන්නේ. මම ඒ වෙලාවේ එහෙම කළේ.. “
තවදුරටත් එකම කාරණාවට නැවත නැවත සවන් දීමට රිහාන්ට අවශ්‍ය වූයේ නැත. එබැවින් ඉශිනි පවසන්නට ගිය කාරණාව සම්පූර්ණ කරන්නට පෙර ඔහු එය නතර කළේය.
” ඇයි කළේ කියන එකෙන් මට සිද්ධ වුණු දේ වෙනස් වෙන්නේ නැහැ ඉෂිනි. ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් වුණාට මට ඔයාව විශ්වාස කරන්න බැරි තැනකට ඔයා මාව ගෙනත් තියෙනවා. මට ඒක හිතාගන්නවත් අමාරුයි “
ඉෂිනිගේ දෑස් තෙත් වූ අතර රිහාන්ගේ වචන වලට විරුද්ධව කිසිවක් පැවසීමට ඇයට හැකි වූයේ නැත. ඔහුට රිදවීමට හිතාමතා කළ දෙයක් නොවන බව පැවසීමට ඇයට අවශ්‍ය වුවද, එය එසේ වූ පමණින් තමන් කළ වරද නිවැරදි නොවන බව ද ඇය දැන උන්නාය .
” ප්ලීස් රිහාන් , එක පාරක් මාව හම්බවෙන්න බැරිද? මට ඔයා එක්ක මේක කතා කරන්න ඕන. මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා ඔයා දන්නවා. අපි අතරේ මේ වගේ දෙයක් වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නැහැ. මම දන්නවා මම වැරදියි. ඒත් මට ඔයාව නැති කරගන්න බැහැ “
ඉශිනි බොහෝ සේ බැගෑපත් වුවත් ඇය තමාව රැවටූ හැඟීමෙන් මිදීමට රිහාන්ට හැකි වූයේ නැත.
” මට ඔයා කියන දේ තේරෙනවා ඉෂිනි. ඒත් මම හිතන්නේ අපි හම්බවෙන එකේ තේරුමක් නැහැ. ඔයා මට ආදරෙයි කියන එක මම දන්නවා. ඒත් මට දැන් තියෙන ප්රශ්නය ඔයා මට ආදරේද නැද්ද කියන එක නෙවෙයි නේ. මට ඔයා ගැන තිබුණු විශ්වාසය නැති වුණ එක “
” රිහාන්, මම ඔයාට ආදරේ නිසා තමයි මේ හැමදේම කළේ. ඔයාට මාව තේරුම් ගන්න බැරි වුණත් මම ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කළාද කියලා ඔයා දන්නෑ. අර ශෙනෝලිව උනත් ඔයාගෙන් අයින් කරන්න මට ඕන උනේ…. “
ඉශිනි වහාම නතර වූයේ නොකිව යුතු යමක් කියවුණු බැවිනි.
” මොකක්ද ඔයා කිව්වේ? “
රිහාන්ගේ හඬ එක්වරම වෙනස් විය.
” නෑ රිහාන්.. මං කිව්වේ.. මේ.. මම ඔයා වෙනුවෙන්… “
” නැහැ. ඊට කලින්. ඔයා මොකක්ද කිව්වේ? ශෙනෝලි ගැන ?”
ඉෂිනි නිහඬ වූවාය. තමාට කියවුණු වචනවල බර ඒ මොහොතේ ඇයට දැනෙන්නට විය.
“මම… මම මේ කියන්න හැදුවේ රිහාන්…”
” ශෙනෝලිව මගෙන් අයින් කරන්න ඕන උනා කිව්වේ ? ”
” නෑ… රිහාන්, ඒක එහෙම “
” එතකොට ඒ සෝෂල් මීඩියා ප්‍රශ්නෙත් ඔයාගේ වැඩක්ද? “
” අනේ රිහාන්, මට කියන්න දෙන්න. මම හිතලා ඒ දේවල් කළේ නැහැ. මට ඕන වුණේ ඔයාට “
රිහාන් හට දැනුනේ කම්පනයකටත් වඩා අප්‍රසන්න හැඟීමකි. තමා සහ ඉෂිනි අතර ඇතිවන ගැටලු වලට කිසි දිනකත් සැබවින්ම ශෙනෝලි හේතුවක් වී තිබුණේ නැත. ඉශිනි මේ සෙල්ලම් කර තිබෙන්නේ එහෙව් තරුණියකගේ ආත්ම ගරුත්වය සමඟය.
” මොකක්ද ඔයාට ඕන වුණේ?”
ඔහුගේ හඬෙහි වූයේ අදහාගත නොහැකි වූ කම්පනයකි. මෙතෙක් තමා මුහුණ දුන් සියලු සැකයන්ට වඩා මොහොතකට පෙර ඇසුණු වචන ඔහුගේ සිතට තදින්ම කා වැදී තිබිණි. ශෙනෝලි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වූ ගැටලුවට ඉෂිනිගේ සම්බන්ධයක් තිබීමම සියලු ගැටලු සංකීර්ණ කරවීමට හේතුවක් වනු නොඅනුමානය.
” ඇත්තටම මම හිතුවේ නැහැ ඉෂිනි, ඔයාට ඔය වගේ පහත් තත්ත්වයකට වැටෙන්න පුළුවන් කියලා “
” රිහාන්, ප්ලීස් “
” ඔයා මට බොරු කිව්වා. ඒක එක දෙයක්. ඒත් ශෙනෝලිට මොකක්ද කළේ? එයා ඔයාට මොන වරදක් කළාටද? ඔයාගේ ප්‍රශ්න විසඳගන්න තවත් කෙනෙක්ව මේ විදිහට පාවිච්චි කරන්න ඔයාට පුළුවන් වුණේ කොහොමද ඉශිනි ? ඔයා දන්නවද ඔයා කලේ කොච්චර බරපතල වැරද්දක්ද කියලා ?”
” මට ඔයාට ඒක පැහැදිලි කරන්න පුළුවන්. මම ඒ දේවල් කළේ ඔයා ගැන… “
” එපා ඉෂිනි. හැමදේටම මගේ නම ගාවන්න එපා. ඔයා කරපු දේවල්වල වගකීම ඔයා ගන්න ඕන “
තවදුරටත් කතා කිරීමට නොහැකි තරම් රිහාන්ගේ සිත බර වී තිබිණි. ඇයගෙන් පිළිතුරු අසා සියල්ල විසඳාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඔහුට දැනෙමින් තිබුණේ තමන් නොදැන සිටි ඇයගේ තවත් ස්වරූපයක් තමන් ඉදිරියේ නිරාවරණය වූවාක් වැනි හැඟීමකි.
” රිහාන්, මම ඔයාට ආදරෙයි. ඒක විතරක් විශ්වාස කරන්න. මට ඔයාව නැති කරගන්න ඕන නැහැ “
” ඒත් ඔයා කරලා තියෙන්නේ මට ඔයාව විශ්වාස කරන්න තිබුණු හැම හේතුවක්ම නැති කරපු එක “
එසේ පැවසූ රිහාන් ඉශිනි හට තවත් කිසිවක් කීමට ඉඩ නොතබා ඇමතුම අවසන් කළේය.
ඉෂිනි නැවත නැවතත් රිහාන්ගේ අංකයට ඇමතුම් ගත්තද ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. තවත් වරක් උත්සාහ කළ පසු දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවට පණිවිඩයක් ඇසුණු අතර රිහාන් තමාව සම්බන්ධ කරගැනීමට නොහැකි වන සේ දුරකථනය ක්‍රියා විරහිත කර දැමීමද ඇගේ සිත තවත් බිඳ දැමීය.
රිහාන් මෝටර් රථයේ සුක්කානම මත දෑත් තබාගෙන නිහඬව බලා උන්නේය . තමන්ගේ නම ඇසූ පමණින් උද්යෝගයට පත්වුණු, තමන් වේදිකාව මත සිටින විට ඒ දෙස බලා සිටීමට මඟක් සොයාගත් තරුණියන් ඇතුළු ප්‍රේක්ෂකයන් සිය දහස් ගණනක් අතර තමා සැමවිටම කැපී පෙනුණේය. දක්ෂතාවයෙන් මිනිසුන්ගේ ආදරය දිනාගත් තමාට, ජීවිතයේ තමන්ට වඩාත්ම සමීප වූ තැනැත්තිය ඉදිරියේ මෙතරම් අසරණ වීමට සිදුවීම රිහාන්ට සිතාගත හැකි වූයේ නැත.
ඉෂිනි සමඟ ගොඩනඟාගත් අනාගතය පිළිබඳ බලාපොරොත්තු එකින් එක සිත තුළින් ගිලිහී යද්දී, ඒ වෙනුවට රිහාන් තුළ ඉතිරි වූයේ ඇය කෙරෙහි වූ ආදරයත්, ඒ ආදරය තුළම තමන් රැවටී සිටි බව දැනගැනීමෙන් ඇති වූ වේදනාවත් පමණි. කෝප වීමට වඩා ඔහුට දැනුණේ තමන් විශ්වාස කළ සියල්ල මෙතරම් පහසුවෙන් බිඳ වැටුණේ කෙසේද යනුවෙන් සිතාගත නොහැකි හිස් හැඟීමය.
ඉෂිනි ඩියෝන් හමුවීමට තීරණය කළේ තවත් කිසිවක් තනිව දරා ගැනීමට ඇයට තවදුරටත් නොහැකි වූ බැවිනි. පෙර දින ඔවුන් හමුවූ එම අවන්හලේදීම ඇය ඩියෝන්ව මුණගැසුනු අතර ඔහු ඇයව දුටු සැණින් ඇගේ මුහුණේ තිබූ නොසන්සුන් බව හඳුනාගත්තේය.
” මොකද වුණේ? රිහාන් කතා කළාද? “
ඉෂිනි නිහඬව හිස සැලුවාය.
” අපි කතා කළා ඩියෝන්. ඒත් දැන් හැමදේම ඉවරයි “
” ඒ කිව්වේ? “
රිහාන් සමඟ කෙරුණු දුරකථන සංවාදය පිළිබඳව ඉශිනි විස්තර කළේ ශෝකයෙනි. සියල්ල පවසා අවසන් වන විට ඇගේ දෑස් බොඳ වී ගොස් තිබුණු අතර ඩියෝන් මොහොතක් ඇය දෙස බලා උන්නේය.
” ඉෂිනි, ඔයාටත් පුදුම කලබලයක්නේ තියෙන්නේ. බලන්නකෝ ඔයා ප්‍රශ්නෙ එක දෙක කරගත්ත හැටි. ඔයාට මේකෙන් හරි ලස්සනට අයින් වෙන්න තිබුණා. ඒත් දැන් රිහාන්ට බොරු කිව්ව එක විතරක් නෙවෙයි, ශෙනෝලි ට ඔයා කරපු දේවලුත් එයා දන්නවා “
” අනේ මම ඒක හිතලා කළේ නැහැ ඩියෝන්. මට එකපාරටම කියවුණා. මට කියන්න ඕන වුණේ මම එයාට කොච්චර ආදරෙයිද කියලා විතරයි “
ඩියෝන් තුළ වූයේ ඉෂිනි කෙරෙහි අනුකම්පාව මුසු හැඟීමකට වඩා කලකිරීමකි.
” දැන් ඉතින් ඒක කියන්න හම්බුණාද? “


