“උඹට කොල්ලෙක් නැත්තෙ උඹ උයන්ඩ දන්නැති හන්ද.දැන් කොල්ලෙක් නැති උනාම බදින්ඩ එකෙක් නැතුව යනව.ඊට පස්සේ ලමේක් නැතුව යනව.එතකොට වයසට ගියාම සලකන්ඩ එකෙක් නැතුව යනව.තනි වෙනව.ජීවිතේ අදුරු වෙනව.ඉර හඳ තරු පායන්නැතුව යනව.හැමදා නියං එකදා වැහි වලාවේ වෙනව.වැඩිහිටි නිවාසෙක තමා අන්තිමට ඉන්ඩ වෙන්නෙ.එතෝට මගෙ ලමයි එක්ක මං එන්නං උඹව බලන්න.අපි දෙන්න සෙල්පියක් ගාල එප් බී දාමු ඈ.විත් උයන්ඩ බැරි වෙච්චි හන්ද ගෙදරට නාකි වුණ මා පෙන් කියලා”
මේ වූ කලී පාප මිතුරියකගේ උපදෙසකි.මගේ ඉහින් කනින් ස්වේදය වැගිරෙන්නට විය.දනහිස් සන්ධිය මැන්ඩලීන් ගසන්නට විය.හදවතේ ලප් ඩප්, දඩිහ් බිඩිහ් බවට පරිවර්තනය විය.මිනිහෙක් නැති වීම වගේ නොවේ නාකි වූ කලද මෙවැනි එකියක් සමග සෙල්පි ගසන්නට වීම. බුවෑක්කා.චීක්කා.ඈක්කාම වැඩකි.මං පුරුස ධෛර්ය,ස්ත්‍රී ධෛර්ය,ආත්ම සක්තිය,විශ්ව සක්තිය ඔක්කොම එකතු කරලා අරන් ඇදන් උන් සෝටේ සාක්කුවට දාන් මුලුතැන්ගෙට පියනැගුවෙමි.
“අම්මෙ මට උයන්ඩ උගන්නන්ඩකො”
අම්මාගේ හදවත නතර උන බව මට පෙනිනි.සුදුමැලි වී වැටෙන්නට ගිය අම්මාව මං පැනලා අල්ලාගත්තෙමි.වතුර එකක් ගේන්ඩ දුවන්න හැරෙද්දීම “හා එන්ඩ එහෙනම්.අද ඔයා උයන්න.මං කියන්නං උයන විදිහ” වෙව්ලන කටහඩින් අම්මා කියනු ඇසිනි.
“රයිස් කුකර් එකේ බත් උයන්න ඉගෙනගෙන වැඩක් නෑ.ලිපේ උයමු.ලිප පත්තු කරන්න” දෙයියනේ කියා දර ටික දාලා ඉවර වෙද්දී ගිනි කූරු ගහන්නට බැරි බව මතක් උනි.මං හිතන් ඉන්නේ ගිනි කූරක් ගැහුවොත් ඒම මාව පිච්චිලා,කලු වෙලා,අලු වෙලා මැරිලාම යයි කියලාය.
“අම්මේ ගිනි කූර ගහන්න”
“ගිනි කූරක් ගහන්න බැරුව කොහොමද ලමයො උයන්නෙ”
“ඇයි ගිනි කූරුද උයල කන්නෙ?”
හාල් එකට වතුර දාලා බත් එක ලිපේය.අපෝ ඉවිල්ල මහ සිම්පල් වැඩකි.ඒත් නිකං බත් කන්ඩ බෑය.
“අම්මේ පොලොස් උයමු”
අම්මා කපලා කරල ඔක්කොම ඉවර වෙනකං මං ඇහැව්වේ කොස් ගහෙයි පොලොස් ගහෙයි වෙනස, වැලයි වරකයි දෙකක් වෙන්නේ කොහොමද හා ඒවා එච්චරටම ගද මොකද කියලාය.ඕවා ඇවිල්ලා උගත් ගෘහනියක් දැනගන ඉන්ඩම ඕනෑ එව්වාය.
“ඕන් බලාගන්න තුන පහ දාන හැටි”
“බුදු අම්මෝ ඔයා ඔච්චර මිරිස් දාල කෑම කවල මාව ගෑස්ටික් වැඩි කොරල මරන්නද හදන්නෙ?”
“කහ දාන්ඩ එපා පොලොස් දුබුරු පාටට තිබ්බම මොකෑ වෙන්නෙ”
“ආපෝ උලුහාල් නං දාන්ඩ එපා හැපුනම මට කෑමත් එපා වෙනව”
“ඊයා අම්මෙ සුදු ලූණු දාන්නෙ.ඈක්කා”
“මොකට මේ ලූණු කියන ජාතිය මෙච්චර ගදද මන්දා” කියලා ලූණු කපලා ෆේස් වොෂ් එක දමා අතහෝදන් ඒමත් මං අම්මා කෙරේ තුන් හිතකවත් අමනාපයක් නැතුව මාත්රූ ස්නේහයෙන් කෙරූ දේ උනත් ඒක වැරදියට තේරුම් ගත් අම්මා “කෑමවලට ඈක්කා ගාන්ඩයි.ජරාව ගාන්ඩයි එන්ඩ එපා” කියා හැදි මිට උරුක්කු කිරීම අතිශය ශෝචනීයය.
“ඔය බත් එක වහල තියන නෑබිලිය අරින්න.බත් එක උතුරනව” කියූ කල වෙන කල්පනාවකින් ඉදලා ලිපේ තිබ්බ නෑබිලිය නිකම්ම අතින් අල්ලා ඇරීම නිසා මගේ ස්නායු උත්තේජනය වී මොලයේ හෝ සුසුම්නාවේ අනුදැනුමක් නැතුව නෑබිලිය විසික්කා වී ගියද ඒක අම්මා පිලිගත්තේ නැත.එයා හිතුවේ හැදි මිටේ තරහ මං නෑඹිලියෙන් ගත්තා කියා විය යුතුය.දෙවියනි ඔබ මැවූ ලොව නං වැඩක්ම නැත.
අන්තිමට අපි සියලු තරහ අමතක කර “ආච්චිට කොහිල උයමු.එයා කනවනෙ” කියලා වැඩේ නැවත කන්ටිනියු කල නමුත් අම්මා කොහිල කටු අරිනවා දැක “අපරාදේ කටු ටික.ඒව පිටින්ම උයලා දුන්න නං ආච්චිට යකා නගින එකවත් නතර වෙයි” කියා කුප්ප හිනාවක් ඇතෑරීම නිසා….අතිශෝචනීයයි පින්වතුනි.මාව කුස්සියෙන් නෙරපා හරින ලද්දේ “මගෙ යකා අවුස්සන්නැතුව මෙතනින් යනවා” කියා බැනවැදීමක්ද එක්කය.
දැන් ඉතින් කල යුතු අන් දෙයක් නැත.”ඕන්නොහෙ මිනියෙක් හොයා ගත්ත කාලෙක ඒකවවත් කුකරි කාස් යවනව” කියා හදවත සනසාගෙන මං දෑස් අග මුතු කදුලු හංගාගෙන හිනාවුනෙමි.
-චරිතා බණ්ඩාර-