කියනවකො, මට කැමති සින්නෙට ගන්න ද?

602

තාර ගුදමක් වගේ
පාරක කොහොම එක්කන් යන්නද
යාර හතරයි සායටම
දන්නවද, මිම්මත් දෙන්න ද
සාරි ඇන්දම තව කැතයි
මේ මහත කොහෙ හංගන්න ද
ආරි ඇත්තට කියනවකො
මට කැමති සින්නෙට ගන්න ද?

විජේ කලු චන්දරේ, පියතිලකයත්
දුක සැප අහ අහා
හතේ කොළණියෙ ඉර නිවාගෙන
කලුවරේ ඇවිදින් ගියා
හිතේ මනමාලියට අන්දා
පැදුරු පොට රත්කර තියා
පුරා අවුරුදු හතලිහක්
දොර ඇරියෙ උන් නවතියි කියා

මං කැතයි මහතයි කලුයි
සහතිකයි ඒ ගැන දන්නවා
ඒ වුණත් හැම රෑම කොණ්ඩෙට
රන් තැඹිලි තෙල් ගානවා
මේ කඩේ උන් ඕන මඟුලක්
හිතපුදෙන් හිත කියනවා
උඹේ නාහෙන් ඇදල ඩිංගක්
තොඳොල් වෙන්නට හිතෙනවා

මේ කවි පෙළ Creative You විශේෂාංගයට අපි තෝරාගත්තේ අනුරාධා නිල්මිණි කිවිඳියගේ මදහසක මැදියම කාව්‍ය සංග්‍රහයෙනුයි. කාන්තාවන් අතර සිටින තවත් එක් කාන්තාවක් ගැන අව්‍යාජ අදහසක් පළ කරන නිසාම අපි මෙය තෝරාගන්නට අදහස් කළා. මේ කවි පෙළ තුළ ආරිට ආදරය කරන, ඔහු තමා විවාහ කරගන්නවාට කැමති, ඔහුගේ නහයෙන් ඇද ඩිංගකට හෝ තොඳොල් වන්නට කැමති හතලිස් වියත් සපිරුණ එහෙත් තවමත් අවිවාහක කාන්තාවක් අපට හමුවෙනවා. ඇය ආරි සමඟ කරන සංවාදයක් හැටියටයි මේ කවි පෙළ ගලාගෙන යන්නේ.

ඇය තමාට එතරම් සුන්දර රූ සපුවක් නැති බවක් පවසනවා. කායික ආශාවන් සපුරාගන්නට පමණක් ඇය සොයා ගෙන එන පිරිමින් ඕනෑතරම් සිටියත් ඇගේ මහත, කලු සිරුරට සැබැවින්ම ආදරය කර ඇය විවාහ කරගන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා හතලිස් විය පසුවන තුරුත් ඇය අවිවාහකව ලිංගික සූරාකෑම්වලට යටත් වෙමින් ජීවත් වන බව හෙළිවෙනවා. බොහෝ පිරිමින් තම අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට මෙවැනි කාන්තාවන් යොදාගත්තත් විවාහය නමැති කාරණය ඉදිරියේ දී ඉදිරිපත් කරන බාධක කිවිඳිය විසින් අදාළ තරුණියගේ මුවට නංවනවා.

“තාර ගුදමක් වගේ – පාරක කොහොම එක්කන් යන්න ද”

සායට විතරක් ම යාර හතරක රෙදි ඕනෑ බව ඇය ලවාම කියවන කිවිඳිය සමාජයේ බොහෝ පිරිමින් විවාහයට බාධා හැටියට ඉදිරිපත් කරන මහත වැඩි බව, කලු බව, අවලස්සනබව පිළිබඳ සියුම් උපහාසයක් ද දනවනවා. සැබෑ ආදරයට මේ කිසිවක් කිසිසේත්ම හරස් නොවන බවත් ඒ තුළ ව්‍යංගයෙන් කියවෙනවා. සාරි ඇන්දම තව කැතයි, මේ මහත කොහෙ හංගන්න ද? යන්න ඇය ලවා විමසන්නේ ද පිරිමින් විසින් අපේක්ෂා කරන සිහින් තරුණියන් වීමට සියලු කාන්තාවන් සේ තමන්ගේ හදවතේ ද ඇති සියුම් ආශාව දෙස පාඨකයා සානුකම්පිත හැඟීමකට කොටු කරමිනුයි.

ආරි ඇත්තට කියනවකො, මට කැමති සින්නෙට ගන්න ද?

සින්නකරේට ඔප්පු ලියාගත්විට ඉඩමක් වුවද පිට අයට ඇඟිලි ගසන්නට බැහැ. ඉඩමේ අයිතියට විශ්වසනීයත්වයක් තැබීමට එවිට හැකිවෙනවා. ආරි ඇයට කැමති බව ඇය දන්නවා. එහෙත් ඇයට දැනගන්නට ඕනෑ කර ඇත්තේ ඒ කැමැත්ත සින්නක්කර වූ කැමැත්තක්ද යන්නයි.  විජේ, කලු චන්දරේ, සහ පියතිලක ද නිතර නිතර දුක සැප විමසමින් හතේ කොළණියේ සියලු දෙනාට හොර රහසේ ඇය වෙත පැමිණ බව ඇය පවසනවා. ඔවුන්ගෙන් කවුරුන් හෝ ඇය සමඟ සදාතනකිව දුක සැප බෙදාගන්නට ඇයට සින්නක්කර කැමැත්තක් ලබා දෙනු ඇතැයි ඇය අපේක්ෂා කළා. එහෙත් එය එසේ සිදුවුණේ නැහැ. හැම රාත්‍රියක ම ඇගේ හිත තුළ පොරබදමින් හැඩ වන මනමාලියක් සිටියා. ඇගේ අපේක්ෂාව යථාර්ථයක් වන තුරු ඇය පැදුරු පොට රත්කරමින් බලා සිටියා. හැම දිනකම කොණ්ඩයට රන්තැඹිලි තෙල් සාත්තු කරමින් ඇය මනමාලියක් වන්නට පෙරුම් පිරුවා. අවට සමාජයේ මිනිසුන් මොනවා කිව්වත් ඇගේ සියුම් අපේක්ෂාවන්, අව්‍යාජ හැඟීම් සඟවා සිටින්නට බැහැ. මේ කඩේ උන් ඕන මඟුලක් හිතපුදෙන් හිත කියනවා… යනුවෙන් එලියට පනින්නේ ඇගේ ඒ එඩිතර අපේක්ෂාවයි. ආරි සමඟ ඇතිකරගත් ආදරය සින්නක්කර ආදරයක් වන තෙක් ඇගේ ඒ අපේක්ෂාසහගත ආශාව සන්සිඳෙන්නේ නැහැ. නහයෙන් ඇද ඔහු සමඟ තොඳොල් වෙන්නට ඇගේ හිතිවිලි ඇයට බලකරනවා.

ජීවිතය නොයෙක් විදියට නොයෙක් දෙනාට හමුවෙනවා. ජීවිතය වගකීමක් ලෙස නොව සැහැල්ලු සුළඟක් සේ ඇඟේ දැවටෙන තරමට තමයි ජීවත්වීම පහසු වෙන්නේ. එහෙත් ආරිට කැමති මේ කොළනි කත වගේම බහුතරයක් කාන්තාවන් ජීවිතයේ සැනසිල්ල විවාහය තුළින් අපේක්ෂා කරනවා. ඒ, ආසියාතික තරුණියට විවාහයෙන් ලැබෙන රැකවරණය සහ පිළිගැනීම තුළ එය ඉබේම දැඩි සමාජ අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන නිසා. මේ විදියට විවාහය ජීවිතයට ළඟාවන තුරු නොසන්සිඳෙන අපේක්ෂා සමග බලා සිටින තරුණියන් අතර ලිංගික සූරාකෑම්වලට ලක්වෙමින්, අනේක විඳ සමාජ ප්‍රශ්නවලට ගොදුරුවෙමින්, ශරීර ස්වභාවය, සුන්දරත්වය ආදිය පිළිබඳ පවත්නා සමාජ සම්මතයන්ට හිස නමමින් පීඩා විඳින කාන්තාවන් ගැන අවදිමත් වන්නට අප පොළඹවන කවි පෙළක් ලෙස අනුරාධාගේ මෙම කවි පෙළ ඉතා විශිෂ්ට නිර්මාණයක් හැටියට අගය කරන්නට පුළුවනි.

– නිරංජලා –

Comments

comments

SHARE