ජීවිතය අන් තැනක

202

”කවියා සැබවින්ම පිළිසිඳ ගත්තේ කවදාද ? කොහේ ද?”

ඔහුගේ මව මේ ගැටලුව ගැන කල්පනා කල විට බරපතල අවධානයට යොමු කල යුතු අවස්ථා ඇත්තේ තුනක් පමණක් බව ඇයට පෙනිණි. එක්කෝ එක්තරා සැන්දෑ යාමයක උද්‍යාන බංකුවක් මතදීය. නැතිනම් එක්තරා පස්වරුවක කවියාගේ පියාගේ මිතුරෙකු සතු වූ මහල් නිවාසයකදීය. එසේත් නැතිනම් එක්තරා උදෑසනක ප්‍රාග් නුවරට නුදුරු රමණිය පිටිසරකදීය.

කවියා ගේ පියා මේ ප්‍රශ්නය තමාගෙන්ම විමසා ගත් කල සිය මිතුරාගේ මහල් නිවාසයේදී කවියාගේ පිළිසිඳ ගැනීම සිදුවන්නට ඇතැයි තීරණය කළේය. එය අවාසනාවන්ත දිනයක් විය. එහි යෑම ගැන කවියාගේ මව තුළ මනාපයක් තිබුණේ නැත. ඔවුහු ඒ ගැන දෙවරක් කළහ කරගෙන දෙවරක් සමාදාන වී සිටියහ. අවසානයේදී ඔවුන් රමණයේ පැටලෙන්නට සැරසෙත්ම කිසිවෙක් ශබ්ද නගමින් යාබද නිවසේ දොර අගුල විවර කළේය. කවියාගේ මව තැති ගත්තාය. ඔවුන්ගේ ආලිංගනය බිඳී ගියේය. රමණය අවසන් වූයේ සැක සහිත කඩිමුඩියකිනි. කවියාගේ පිළිසිඳ ගැනීම ගැන ඔහු දොස් පැවරුවේ කලබලයෙන් ගත කල මේ විරාමයටයි.”

අරුණ ප්‍රේමරත්න විසින් පරිවර්තනය කල ”ජීවිතය අන් තැනක” නවකතාව මිලාන් කුන්දේරා නම් ලෝ ප්‍රකට සාහිත්‍යකරුවාගේ ”The Life is Elsewhere” නම් නාම ගැන්වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි.
අරුණ සිය පෙරවදනේදී පවසන්නේ නුතන ලෝකය අන් කවරදාටත් වඩා ලඝු වී, වකුටු වී, බව කුන්දේරා පවසන බවයි. ජීවිතය යනු උගුලකි. මේ ධර්මතාව සියලුම යුග වලට පොදු නියතයකි. අපගේ උවමනාවෙන් තොරව අප උපදින්නෙමු. අපට තෝරා දෙනු ලබන සිරුරක සිරවී සිටින්නෙමු. මේ ශරීරය මරණය උරුම කරගෙන පවතී. එහෙත් ලෝකය පුළුල්ව පැවතීම නිසා අතීතයේදී මිනිසාට පලා යෑමේ හැකියාව තිබිණ. නිදසුනක් ලෙස යුද්ධයෙන් පලා ගොස් අසල්වැසි රටක නව ජිවිතයක් ආරම්භ කිරීමේ හැකියාව සොල්දාදුවෙකුට තිබිණ. අපගේ යුගයේදී ලෝකය එක්වරම කුඩා වීමට පටන්ගෙන තිබේ. එබැවින් නුතන යුගයේදී ලෝකයද උගුලක් බවට පත් වී තිබේ.

නිර්මාණ කරුවෙකු ලෙස කුන්දේරාගේ අරමුණ වන්නේ නුතන මිනිසාගේ පැවැත්ම හසු කරගත හැකි මාධ්‍යක් ලෙස නවකතාව භාවිතයට ගැනීමයි. උපදේශාත්මක බවින් තොරව, පණිවිඩ ඉදිරිපත් කිරීමෙන් බැහැරව, නවකතාව ප්‍රේක්ෂකයා හමුවට ගෙන එම ඔහුගේ අරමුණයි.

”කවීන් සාමාන්‍යයෙන් පැමිණෙන්නේ ගැහැනුන් විසින් පාලනය කරනු ලබන නිවෙස්වල සිටයි. එසෙනින්ගේ සහ මායාකොවුස්කිගේ සොහොයුරියෝ, බ්ලොක්ගේ නැන්දාවරු, හෝල්ඩලින්ගේ සහ ලෙමන්තොව්ගේ ආච්චි අම්මලා, පුෂ්කින්ගේ කිරිමව් මේ සඳහා නිදසුන් වෙති. මේ සියල්ලටම ඉහලින් අම්මාවරු සිටියහ. පියවරුන්ට ඉහළින් දැවැන්ත ලෙස පැතිරී සිටි අම්මාවරු සිටියහ. වයිල්ඩ් ආර්යාව සහ ෆ්රෝව් රිල්කී ඔවුන්ගේ පුතුන් සැරසුවේ ගැහැණු ළමයින් ලෙසිනි. ඉතින් කොලුවා තැවුල් සිතින් කැටපත වෙත එබීගෙන සිටීම පුදුම විය යුතු දෙයක්ද ? දැන් මිනිහෙක් වෙන්න කාලේ හරි, ඔර්ට්ස් තම දින පොතේ එසේ ලීවේය. සිය මුහුණ තුලින් පුරුෂ භාවයේ ලක්ෂණ ගවේෂණය කර ගැනීම පිණිස කවියා මුළු ජිවිත කාලයක්ම ගත කරන්නේය.”

ඉතාමත් වෙනස්ම තේමාවක් රැගත් මේ නවකතාව අපව ජීවිතයේ වෙනස් තලයක් වෙත ඔසවා තබනවා. ජීවිතයේ අප විඳින එහෙත් අපගේ අවධානයට ලක්නොවූ වෙනත් තලයකට අපව රැගෙන යනවා .ඉතින් ඔබේ ජීවිතය කොහෙද කියා සොයා යන්න ,ජීවිතය අන් තැනකදී හෝ ඔබට හමු වේදැයි සොයා බලන්න .

-චම්මි.

Comments

comments

SHARE