පෝරුවට නගින්නේ කොහොම ද?

0
57006

විවාහ ජීවිතයට පිවිසෙන්නට සැරසෙන ඔබට පෝරුවේ චාරිත්‍ර ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. කරන්නන් වාලේ සිරිත් කරනවාට වඩා අවබෝධයෙන් චාරිත්‍ර ඉටු කිරීම ඉතා වැදගත්. පරපුරෙන් පරපුරට ඒ සිරිත් නොනැසී පවතින්නේ යම් කිසි වටිනාකමක්, අර්ථවත්බවක් ඒ සෑම චාරිත්‍රයක් තුළ ම අන්තර්ගතව පවතින නිසයි. කොහොම ද හරියටම පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නේ. අපි අද ඒ ගැන දැනගනිමු.

පුරාතන ලංකාවේ මංගල චාරිත්‍රවල තිබුණේ වෛදික ස්වභාවයක්. ඒත් මහින්දාගමනයෙන් පසු එම චාරිත්‍ර බුදු දහමෙහි ආභාසය ඇතිව ඔපවත් වුණා. මෙහිදී යුවල පෝරුවට නැගීමට පෙර ත්‍රිවිධ රත්නයෙන්, සතර වරම් දෙවියන්ගෙන් හා මිහිකතගෙන් අවසර ගන්නවා. ඒ නිසා එයට පූජනීය බවක් ආරූඪ වෙනවා. ඒ නිසාම පන්සලේ, පල්ලියේ, කෝවිලේ, දෙව්මැදුරේ ඇති පූජනීය බවක් මංගල පෝරුවේ චාරිත්‍රයන් තුළ අපට දැකගන්නට පුළුවනි.

මංගල පෝරුවේ මනාලයා දකුණුපසින් ද මනාලිය වම්පසින් ද සිටිනවා. මෙය ඉතිහාසයෙන් පැවත එන්නක්. අතීතයේ ගෝත්‍රිකයන් තම මංගල ගමනේදී පිරිමියා දකුණින් ද ගැහැණිය වම්පසින් ද ගමන් කර තිබෙනවා. අභියෝගයක් ආ විට එම ගෝත්‍රික තරුණයා කරනුයේ දකුණතින් හෙල්ල ගෙන වමතින් තම බිරිඳ ආරක්ෂා කරමින් සටන් කිරීමයි. ඒ අයුරින්ම අදත් මනාලයා දකුණුපස ද මනාලිය වම්පස ද සිටියි. ගෝත්‍රික විවාහවලදී මනාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයෙකු මෙහිදී මනාලයා සමගින් සටන් කර මනාලිය පැහැර ගන්නා අවස්ථා පවා තිබුණු බව වාර්තා වෙනවා. මෙයට උපක්‍රමයක් හැටියට ගෝත්‍රික යුවළ සමඟ මනාලයාගේ සම වයසේ පසුවන එම සවිශක්තියෙන් යුත් තරුණයෙකු කැටුව යාම පසුකාලීනව සිදුවුණා.

මනාලිය පැහැර ගැනීමට කිසිවකු අවොත් සටන් කරන්නේ මනාලයා නොව ඒ අමතර තරුණයායි. අද දවසේ දෙවෙනි මනමාලයා ලෙස හඳුන්වා ඇත්තේ එදා සිටි ඒ ගෝත්‍රික තරුණයායි. සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇති වන බවට එදා විශ්වාසයක් තිබුණා. මේ නිසා මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක් මනාලියක් ලෙස සුන්දර සැරසිලි කර මංගල උත්සවයට ඉදිරිපත් කරනවා. එවිට භූතයින්ට මනාලිය හඳුනා ගැනීමට නොහැකිව දෙදෙනා දෙසම බලපෑම් නොකර බැලීම පමණක් කරන බවට විශ්වාසයක් පැවතුණා. භූතයන් රැවටීමේ එදා උපක්‍රමය තමයි අද දවසේ දෙවෙනි මනාලියන් සැරසීම දක්වා විකාශනය වෙලා තියෙන්නේ.
පෝරුවේ චාරිත්‍ර ඉතා පැහැදිලිව අසන්නාට හා නරඹන්නාට ආකර්ශනය ඇති වන පරිදි සිදු කරනවා. මඟුල් ගෙදර ඇති වටිනාම අංගය වන්නේ පෝරුවේ චාරිත්‍රයි.

වරම් ගැනීම

ප්‍රථමයෙන්ම මංගල පෝරුවට නැගීමට වරම් ගන්න. බුද්ධාගම අනුව නම් ප්‍රථමයෙන්ම “නමෝතස්ස” පාඨය තෙවරක් කියවන්න. ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක් කියවන්න. “සංසාර සාරෝඝ විනීතත නීසං.” වැනි ශබ්ද රසයද ඇති ගාථාවන් නම් ඉතා මැනවි. ඉන් පසු භූමිදේවි නමස්කාරය වූ “ චන්ද කුසුම මාලං” යන්න කියවන්න. ඉන් පසු පෝරවට නැගීම සඳහා අවසර ගන්නා කවියක් හෝ කවි කීපයක් කියවන්න. දැනට එවැනි කවි 6 ක් පමණ භාවිතා කරයි. කාලවේලාව අනුව කවි සංඛ්‍යාව ඔබම තීරණය කරන්න.උදාහරණයක් ලෙස එක කවියක් මේ බලන්න.

එදා සිදුහත් කුමරු හට බිම්බා කුමාරිය සරණ පාවා
උදාරව දෙනු ලැබු සුබ කරකාර මගුලෙදි මන පබෝවා
මුදාහල ලෙස යුවලගේ පා මඟුල් පෝරුව මතයි බෝවා
මෙදා පින්බර මෙනව යුවලක් මඟුල් පෝරුව මත නගීවා

ආශිර්වාද ගායනා

දැන් සුබ නැකත උදාවී තිබෙන්නේ. මගුල්බෙර නාද මධ්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නඟිනවා. එසේ නැගුනු විට කෙටි ආශිර්වාද සිලෝවක් කියන්න.

සඟල බුලත් හුවමාරුව

මෙහිදී බුලත් අතවල් 07 ක් දෙදෙනා අතර හුවමාරු වෙනවා. බුලත් අතකට ඇති උපරිම බුලත් සංඛ්‍යාව 40 ක්. අවම සංඛ්‍යාව 02 ක්. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතකට ගන්නේ අවම බුලත් සංඛ්‍යාවයි. බුලත් අතකට කාසියක් ද එකතු කරගන්නවා. බුලත් අතවල් 07 න් කියවෙන්නේ මේ විශේෂ අවස්ථාවේදී අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, මී ,මුත්තා යන හත්මුතු පරම්පරාව සමරන බවයි. උතුම් ජාතීන් මෙවැනි වැදගත් අවස්ථාවලදී තම අතීත පරපුර සමරනවා. බුලත් වලින් සංස්කෘතිය ද කාසි වලින් ආර්ථිකයද කියවෙනවා. සඟල බුලත් හුවමාරුවෙන් සංකේත වන්නේ අද සිට දෙදෙනා අතර සංස්කෘතික ලෙස මෙන්ම ආර්ථික ලෙස ද සහජීවනයක් ඇතිවන බවයි.

තැලිපිළි පැළඳීම

වෛදික දහම අනුව සැමියාට බිරිඳගේ හිමිකම ලැබෙන්නේ මල් මාලයක් දැමීමෙනුයි. එදා ඒ මල් මාලය අද වන විට තැල්ලක් සහිත චේන් පොටක් දක්වා විකාශනය වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් 4 වෙනි යුතුකම බිරිඳට ඉසුරු සම්පත් පැවරීමයි. 5 වෙනි යුතුකම ඇයට ඇඳුම් හා ආහාරපාන සැපයීමයි.

මුදු මාරු කිරීම

ඉන් පසු මුදු මාරු කිරීම සිදුවෙනවා. මුද්ද යනු සදාකාලික භාවයේ සංකේතයි.පෙරදිග වෙද නීතිය අනුව අතේ වෙදගිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධතාවයි. විශ්ව නීතිය අනුව ගැහැණියට වමතත් පිරිමියාට දකුණතත් විශේෂ වේ. සිංහල වෙද මහතා ප්‍රතිකාරවලදී පිරිමියාගේ දකුණතේ නාඩි බලයි. ගැහැණියගේ වමතේ නාඩි බලයි. හස්ත රේඛා ශාස්ත්‍රඥයා පිරිමියාගේ දකුණතේ රේඛා බලයි. ගැහැණියගේ වමතේ රේඛා බලයි.ඒ අනුව සදාකාලික බවේ සංකේතය හදවතට සම්බන්ධ වූ වෙදඟිල්ලේ මුල් පුරුකට පැළඳවීම මනාලියගේ වමතේ ද මනාලයාගේ දකුණතේ ද සිදු කරයි.

අතපැන් වැඩීම

බිම්බිසාර රජු වේළුවනාරාමය පවරා දුන්නේ ද දෙවන පෑතිස් රජු මවමෙව්නාව පූජා කළේ ද වෙස්සන්තර රජු දේපොළ පවරා දුන්නේ ද අතපැන් වැඩීමෙනුයි. ඔබ කරන පින් ඔබේ මළගිය ඥාතියාට පවරන්නේ කෙසේද? පැන් වැඩීමෙනුයි. මෙය පැරණිම පවරා දීමේ චාරිත්‍රයයි.තම දියණිය සැමියාට පවරා දීම අත්පැන් වැඩීමෙන් සිදු කරනුයේ වෛදික දහම් නීතිය අනුවයි.

රසකැවිලි පිරිනැමීම

මංගල පෝරුව මත දී පැන් වීදුරුව හා රස කැවිලි පිරිනැමීමේ චාරිත්‍රයත් ඉතා වැදගත්. මෙය උම්මග්ග ජාතකයෙහි අමරාදේවි හා මහෞෂධ පඬිවරයා මුණගැසීම සිහිකරන්නක්. ආහාරයට පෙර, පැන් පිරිනැමෙයි. ඉන් පසු දෙදෙනා සහජීවනයෙන් ආහාර ගැනේ. ඉන් පසු නැවත පැන් පානය කරයි.මේ ජීවත් වීමේ කලාවයි.

ජයමංගල ගාථා ගැයීම

බුදුරදුන් විවිධ අභියෝග ජයගත් බැවින් ඒ තේජසින් ජය මගුල් ඔබටත් ලැබේවා! යන පැතුම ජය මංගල ගාථා කියවීමෙන් ලැබෙනවා. මේ සඳහා තෝරාගන්නේ මානවිකාවන්. පාරිශුද්ධත්වය සංකේවත් කරමින් මේ සඳහා මානවිකාවන් යොදාගන්නවා.

කිරිකඩ සේලය පිරිනැමීම

ඔක්කාක රජ සමයේ සුබ්‍රහ්මා , සෝමසීලි යන බමුණු යුවළට ජාතක වූ බ්‍රහ්මජාලි කුමරිය දීගෙට යන විට මවගේ කිරි වල ණය ගෙවීමේ කථා වස්තුවක උපයෝගි කරගෙන කිරිකඩ සේලය පිරිනැමීමේ චාරිත්‍රය සාදා තිබෙනවා. දියණියක මවකගෙන් පානය කරන ලද කිරි වල ණය කිසිදා පිරවිය නොහැකි බව මේ චාරිත්‍රයෙන් කියන පණිවිඩයයි.

බුලත් දීම

වැඩිහිටියන්ට බුලත් දීම පෝරුවේ චාරිත්‍රවල තවත් වැදගත් අවස්ථාවක්.මහා මංගල සූත්‍රයේ 3,11,12 යන මංගල කරුණුද සප්ත අපරිහානි ධර්මයේ 4 වෙනි අපරිහානි ධර්මය ද දස පුණ්‍ය ක්‍රියා වල 4 වෙනි පුන්‍ය ක්‍රියාව ද සිඟාලෝවද සුත්‍රයේ සදිසා නමස්කාරයෙන් නැගෙනහිර නමස්කාරය ද කිතුණු දස පනතේ 4 වෙනි පනත ද මෙම චාරිත්‍රයෙන් ඔපවත් කරයි.

පෝරුවෙන් බැසීම

අවිවාහකයන් ලෙස භාරකරුවන් යටතේ පෝරුව දෙපසින් නැඟි යුවල විවාහකයන් ලෙස එකිනෙකාට භාරකරුවන් වෙමින් සුභ දිසාවට මුහුණ ලා පෝරුවෙන් බසින්නේ මේ අවස්ථාවේ දීයි. පෝරුවෙන් බැසීමට පෙර වරම් ගැනීම සඳහා ආශිර්වාද කවි 08 ක් කියනු ලබනවා. කාලවේලාව කළමණාකරණය කරමින් මින් කීපයක් පමණක් ගායනා කිරීම වර්තමානයේ සිදුවෙනවා.

පහන් දැල්වීම

පෝරුවේ චාරිත්‍රවල අවසාන අංගය පෝරුවෙන් බැස පහන දැල්වීමයි. පහනක් දැල්වෙන විට අඳුර පලා යයි. අඳුර පලා යන විට මඟ හොඳින් පෙනේ.මේ ආලෝකවත් වන්නේ නව යුවලගේ ජීවිතයයි.ජීවන මාර්ගයයි. පහන දල්වන විට මඟුල් බෙර වාදනය කෙරේ.

මේ චාරිත්‍රය කරන විට අවස්ථානුකූලව දළඳා අෂ්ඨකය, ශ්‍රීවිෂ්ණු අෂ්ඨකය, අට විසි විවරණ අෂ්ඨකය, කන්ද කුමාර අෂ්ඨකය, මහා මංගල අෂ්ඨකය, නවග්‍රහ මංගල අෂ්ඨකය, ගණේෂ අෂ්ඨකය, දැඩිමුණ්ඩ අෂ්ඨකය, නාරායන අෂ්ඨකය, බෞද්ධ අෂ්ඨකය,අෂ්ඨදේව, මංගල අෂ්ඨකය පත්මාවතී අෂ්ඨකය, වැනි අෂ්ඨකයන් අතුරින් කීපයක් ගායනා කර චාරිත්‍රය ඔපවත් කිරීමට ද දක්ෂ චාරිත්‍රවේදීන් කටයුතු කරනවා.

වත්මන් මගුල් ගෙවල්වල බොහෝ අවස්ථාවලදී දකින්නට ලැබෙන, ආකාරයට මත්පැන් පානය කරමින් හිස් බස් දොඩවනවාට වඩා, කනට ඇසීමට අපහසු වේග රිද්මයේ සංගීතය මත කිමිදෙනවාට වඩා, දඟර නැටුම් නටනවාට වඩා මංගල පෝරුවේ චාරිත්‍රයන් තුළ ඇති වැදගත්කම අවබෝධ කරගනිමින් ඔබේ විවාහ මංගල උත්සවයත් සැලසුම් කරගන්න මේ තොරතුරු වැදගත් වෙනවා නිසැකයි.

-නිරංජලා-