ගෙදර ඇතුළෙම තියෙන වසවිස ගැන දැනගන්න

පවුලේ සාමාජිකයන් ලෙඩ වුණාම වැඩිම කරදර විඳින්න වෙන්නෙ ගෘහනියටයි. ඒ වගේ ම දෛනික ආහාර රටාව ලෙඩුන්ට ගැළපෙන විදියට වෙනස් කරන්නත්, අමතර බෙහෙත් ඖෂධ පිළියෙල කරදෙන්නටත්, ඒ වෙනුවෙන් අමතර කාලය මිඩංගු කරන්නටත් සිදුවන්නේ ගෘහනියටයි. මේ නිසා ගෙදර සාමාජිකයන්ගෙන් නිතර නිතර අහන්නට ලැබෙන සෞඛ්‍ය ගැටළු ගැන වැඩි ම අවධානයෙන් කටයුතු කරන්නට ගෘහනිය සමත්විය යුතුමයි. ඒ සඳහා සෞඛ්‍ය ගැටළු මතුවන්නට හේතුවන වස විස ගෙදර ඇතුළෙම තියෙනවද, ඒ මොනවද කියලා ගෘහනිය විසින් හඳුනාගත යුතුයි. ඒවගේ ම ඒවා හැකිතාක් ඉක්මණින් ගෙදර වටපිටාවෙන් ඉවත් කරන්නටත් ගෘහනියක් හැටියට ඔබට හොඳ ඉවක්, අවබෝධයක් වගේම හැකියාවක් තිබිය යුතුයි. ගෘහ ආශ්‍රිතව මතුවිය හැකි එවැනි වසවිස ගැන අපි අද දැනුවත් වෙමු.

පරිහරණයෙන් තොර සහ නිතර පරිහරණය නොවන බෙහෙත් වර්ග

අසනීප වූ අවස්ථාවල දි රැගෙන ආ බෙහෙත් පෙති වර්ග, සිරප් වර්ග, බාම් වර්ග දින ඉකුත් ව තිබිය දීත් නිවසේ තැන තැන තිබී සොයාගන්නට හැකි ද බලන්න. කුඩා දරුවන් සිටින ගෙදරක් නම් ඔබ එවැනි තත්වයන් ගැන අතිශයින් ම සැලකිලිමත් විය යුතුයි. බෙහෙත් රසායනිකවල අහිතකර විෂවීම්, නිසා  මාරාන්තික අවදානමකට පවා නිවැසියන්ට ගොදුරුවන්නට ඉඩ ඇති බව මතක තබාගන්න.

මදුරු කොයිල්

මදුරුවන් බෝවීම වළක්වාගැනීමට නිවස පිරිසිදුව තබාගැනීම වෙනුවට මදුරු කරදරයෙන් මිදීමට දිනපතා මදුරු කොයිල් පත්තුකිරීම ඔබේ නිවසේත් පුරුද්දක් වී තිබෙනවා ද?. එය වහාම නතර කරන්න. වෙළඳ දැන්වීම්වලින් ඔබට කියාපාන තත්වයට වඩා මදුරුකොයිල් අතිශයින් ම ශරීරයට, විශේෂයෙන් ම ඔබේ පෙනහලුළුලට දරුණු ලෙස බලපෑම් ඇතිකරවන අහිතකර දුමෙන් යුක්ත බව මතක තබාගන්න.

හඳුන්කූරු

ආගමික කටයුතු වෙනුවෙන් නිවසේ තබාගන්නා ඇතැම් හඳුන්කූරු වර්ගවල වල සින්තටික් කෙමිකල් අඩංගු‍ වනවා. සින්තටික් කෙමිකල් ශරීරයට අතිශයින් ම අහිතකරයි. හඳුන්කූරු භාවිතයේ දී ඒ අවදානම හොඳින් සිහි තබාගැනීමත් අනවශ්‍ය වසවිසෙන් ප්‍රවේශම් වීමට ඉතා වැදගත් වනවා.

ප්ලාස්ටික් වර්ග

නිවස තුළ කැළිකසළ ලෙස විසිකරන්නට සිදුවන පොලිතින්, යෝගට් බඳුන්, ෂොපින් කවර, නිරන්තරයෙන් පුළුස්සා දැමීමත්, විශාල ප්‍රමාණයක් එකතුවන තුරු සිට පිළිස්සීමත්, නිවසට, කාමරවලට ඉතා ආසන්නයේ පිළිස්සීමත් කිසිසේත් සුදුසු නැහැ. අහිතකර අම්ල ඔබේ ප්‍රජනන පද්ධතියට, පෙනහළු ක්‍රියාකාරීත්වයට, ඇදුම, කැස්ස, වැනි රෝගවලින් පෙළෙන අයට, කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට, රෝගීන්ට, වැඩිහිටියන්ට විවිධ ආසාත්මිකතා, ඇතැම්විට මාරාන්තික අවදානම් තත්වයන් ඇතිවන්නට ද බලපෑ හැකියි. ඒ නිසා හැකිතාක් ප්ලාස්ටික් භාවිතය සීමාකිරීමත්, එකතුවන ප්ලාස්ටික් සහ පොලිතින් නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙහි යෙදවීමත් ඉතා වැදගත්.

මීට අමතර ව, පරිහරණයෙන් ඉවත ලූ ජංගම දුරකථන බැටරි, කැඩුණු සී එෆ් එල් බල්බ, සේදුම්කාරක කුඩු වර්ග සහ දියර වර්ග, Air Fresheners,  ඇස්බැස්ටස් වහල, ආදිය ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ලකරන්නට ඉඩ ඇති බව හොඳින් සිතන්න. ඒ සියලු ඉඩ අවකාශ අහුරා තබන්න. නොසැලකිලිමත්බව, නිවස පිරිසිදුව තබාගැනීමට නොහැකිවීම, නිරන්තරයෙන් ගෘහ කටයුතු මඟහැරීයාම වැනි දුර්වලතා හේතුවෙන් වසවිස ශරීරගත වුවහොත් එයින් ඔබ මෙන් ම ඔබේ පවුලේ සාමාජිකයන් ද  ඉතා අපහසුවට පත්වන බව මතක තබාගන්න.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles