රිදුණු තටු පිරිමදිමි – 37

සදෙව්මා පාසල් සේවා රියෙහි ගෙදර නො පැමිණි බව අම්මා විසින් දැනුම් දුන් පසු වින්දි ගේ සිතේ ඇති වූයේ කැළඹීම මුසු සැක සංකාවකි. දියණිය නිසැක වශයෙන් අංජන වෙත යන්නට ඇතැයි ඇය සිතුවා ය. ඊට මඳ වෙලාවකට පස්සේ අම්මා යළිත් කතා කොට එය සහතික කළා ය. නමුත් වින්දි ගේ හදවත තුළ ඇති වූ කැළඹීමත් අපේක්ෂා භංගත්වයත් තුනී වී ගියා නොවේ. හවස වැඩ නිම වී ඇය ගෙදර එන විට සදෙව්මා පැමිණ සිටියා ය. එහෙමය කියා වින්දි ට සැනසීමක් හෝ පහසුවක් දැනුණේ නැත. සදෙව්මා ට ඇය බැණ වැදෙනු ඇතැයි කවුරුත් බලාපොරොත්තු වූ නමුත් එවැන්නක් සිදු වූයේ ද නැත. වින්දි කතා නොකර සිටියා ය. අම්මා තරහින් පසු වන බව දැනුණෙන් සදෙව්මා ද ඇය හා කතාවකට ගියේ නැත. ඒ ඔස්සේ වින්දි ගේ පීඩනය තව තවත් වැඩි වූ අතර ඇය තමන් එපා වී යන හැඟීමකින් වැසෙමින් සිටියා ය. කිසිවෙකුට තමන් ඕනේ නැත යන ආත්ම වේදනාවෙන් වියරු වැටෙමින් සිටියා ය. ඔවුන් ට සිය අගය දැනෙනු ඇත්තේ ඇය ජීවිතය හැර ගිය විට යයි සිතෙන්නට විය. පවුලේ අය සිය දෙණ වටා හිඳ හඬා වැටෙනු වින්දි ගේ මනසේ මැවි මැවී පෙනෙන්නට විය. අළුයම වන තුරු ම ඇයට නින්ද නොගිය අතර ඒ අවිවේකී බව ඇගේ මානසික තත්වය තව තවත් වියවුල් කරනා ලදී. ජීවත් වීම මහත් වෙහෙසක් සේ ඇයට හැඟෙන්නට ගත්තේ ය. ඒ වෙහෙස වින්දා ඇති ය. ජීවිතය කිසි දා ක ඇයට සැනසුම ගෙන ආවෙ නැත. සැනසෙන්නට නම් මරණය තුරුලට යා යුතු ය. ඒ ස්ථිර වූ සමාදානය ළඟා කර ගන්නට මේ තරම් පමා වන්නේ මන්දැයි ඇය ට සිතිණ. 

ඇය යහනෙන් නැගිට ගත්තා ය. නිරන්තර දැනෙන්නා වූ හිස රදය සඳහා වේදනා නාශක ගන්නට ඇය පුරුදු වී සිටියා ය. ඉන් ටිකක් වැඩිපුර ගත් විට මිය යන බව දැන ගත්තේ කාගෙන් කොතැනකින් දැයි ඇයට නිනව් නැත. නමුත් පෙති අහුරක් ඇසුරුම කඩා ඉවතට ගෙන ඕ ඒවා එක වර මුවෙහි ලා වතුර වීදුරුවක් බී ගෙන ගියා ය.

ඊළඟ මොහොත තුළ ඇය මඳ සන්තුෂ්ටියක් ද අප්‍රමාණ ශෝකයක් ද අත්වින්දා ය. ශෝකය ඇගේ දිවිය තුළ සතුටක් නොවීම ගැන ය. සන්තුෂ්ටිය ඇය ඒ ශෝකය නිමා කිරීම ගැන ය. එක එක විකාර රූප රාමු ඇගේ මනසේ ඇඳිණි. හිස් බවක් මිස පූර්ණත්වයක් නො විඳි දිවියෙන් මරණය කරා යන දොරටුව ළඟ ඇය බලා සිටියා ය. එතැන වූයේ ඇස් නිලංකාර කරවනා එළියකි. ආයේ එන්නට ඕනේ කියා වින්දිට හදිසියේ ම සිතිණි. ඇයට සදෙව්මා සිහි විය. අංජන ද අම්මා හා තාත්තා ද අතීත ප්‍රේමයක ඡායා ද සිහි විය. ඇය ඇස් හරින්නට උත්සාහ කළා ය. යහනෙන් නැගිටින්නට උත්සාහ කළා ය. නමුත් ඇස් පියන් මත කිලෝ ගණනක බරක් තබා ඇතිවා සේ ඒවා නො හැරී තිබිණි. නැගිටින්නට තබා අතක් පයක් සොලවා ගන්නට හෝ හැකි වූයේ නැත. 

සදෙව්මා පාසල් යන්නට අවදි වී වින්දි ආහාර පිසින්නේ නැති බව දැක ඇගේ කාමරයේ දොරට ගැසුවා ය.

“අම්මි…දවල් වෙලා…උයන්නැද්ද අද..”

කාමරයෙන් හඬක් නො නැගුණෙන් ඇය දොර හැරියා ය. වින්දි සිටියේ නිදි ඉරියව්වේ ය. සදෙව්මා ඇගේ ළඟට ගොස් කතා කළා ය.

“අම්මි..අමමි…දවල් වෙලා…උයන්නැද්ද අද…”

වින්දි හෙලවුණේ හෝ නැත.

“මාර නින්දක්නෙ අනේ”

කියමින් සදෙව්මා අම්මා ගේ අතකින් අල්ලා සොලවමින් කතා කළා ය. නමුත් ඇගේ හැල හොල්මනක් නො තිබිණි. සදෙව්මා ගේ හිතට බයක් ද ගැස්මක් ද චකිතයක් ද එක වර ඇතුළු විය. වරින් වර සන්තුෂී විසින් කියනා ලද කාරණා වල එකතුවක් එන්නත් කිරීමක් සෙයින් ඇගේ මනසට ඇතුළු විය. සදෙව්මා කලබලයෙන් වට පිට බැලුවා ය. වේදනා නාශක පෙති වල පොලිතීන් ආවරණ මේසය මත තිබී ඇය දුටුවේ ඒ වෙලාවේ ය.

“ආච්චම්මේ”

සදෙව්මා ට කෑ ගැසිණි. නමුත් හඬ පිට නො වෙනා බවක් ඇයට දැනුණේ ය. ඇය කාමරයෙන් පිටතට යන්නට උත්සාහ කළ ද දෙපා සොලවා ගත නො හැකි බවක් දැනිණ. කෙසේ හෝ අසීරුවෙන් දෙපා අවනත කර ගෙන ඕ කාමරයෙන් පිටතට ආවා ය. ආච්චි අම්මා එතකොට ම ඔවුන් ගේ කාමරයෙන් පිටතට එමින් සිටියා ය.

“අම්…අම්..අම්..ම…”

සදෙව්මා ගොත ගැසුවා ය. ඒ ගමන් අතකින් වින්දි ගේ කාමරය දෙස පෙන්වූවා ය. ක්ෂණික භ්‍රාන්තියක් ඒ මව ගේ පපුවට දැනිණ.

“මොනා වෙලාද කෙල්ලෙ..”

කියමින් ඕ තොමෝ වින්දි ගේ කාමරය වෙතට පය ඉක්මන් කළා ය. සදෙව්මා ඇය පස්සේ වැටුණා ය. මේසය මත වන වේදනා නාශක ඇසුරුම් ඇගේ නෙත ගැටුණේ ඒ වෙලාවේ ය. සදෙව්මා වෙව්ලමින් ඒවා අතට ගත්තා ය. එතෙක් කකුල් වල නොවූ අශ්ව ගායක් ඒ මොහොතේ ඇයට දැනිණ. ඕ සිය කාමරයට දිව ගොස් ජංගම දුරකතනය ගෙන අංජන ට ඇමතුමක් ගත්තා ය. එතකොටත් ඔහු හිටියේ නින්දේ වුව සදෙව්මා ගේ නම දකිත්දී මුළුමනින් නින්දෙන් අවදි වූයේ ය.

“සදෙව්මා..පුතේ…”

“අම්මි පේන් කිලර්ස් කාඩ් දෙකක් විතර බීල තාත්ති. එයාට සිහි නෑ”

අංජන යහනෙන් බිමට බැස්සා නොව පැන්නේ ය. මූණ හෝදන්නේ හෝ නැතිව, නිදන්නට හැඳ උන් බොටම් කලිසමට මත්තෙන් ටී ශර්ට් එකක් දමා ගෙන ඔහු මෝටර් රථයට රිංගා ගත්තේ ය. විනාඩි කිහිපයක් තුළ ඔහු සිටියේ පිළියන්දල ය.

වින්දි ව වහ වහා කළුබෝවිල රෝහල කරා ගෙන යන ලදී. සදෙව්මා ගේ අතේ පෙති වල ඇසුරුම් සිර වී තිබිණ. වින්දි ගේ සිරුරෙන් බෙහෙත් වල රසායනික ක්‍රියාකාරිත්වය අවම කරනු වස් කළ යුතු පිළියම් හා ප්‍රතිකාර යුහුසුළු ව සිදු විය. ඇය බේරා ගත හැකි බවට වෛද්‍යවරු දන්වා සිටියහ. නමුත් එය ජීවිතය හැර යන්නට කළ උත්සාහයක් නිසා රෝහල් පොලීසියට කට උත්තර දීම් ආදිය සිදු කරන්නට ද විය. සන්තුෂී ට මේ ගැන කියා ඇමතුමක් දෙන්නට අංජන ට අවස්ථාව ලැබුණේ දිවා කාලයේ ය. ඇය වහා ම රෝහල වෙත පැමිණියා ය. සදෙව්මා සන්තුෂී වැළඳ හඬන්නට වූවා ය. වචනයකින් හෝ ඇගේ හිත නො තලා පරෙස්සමෙන් වචන තෝරා බේරා ගෙන කතා කළා ය.

“අපි ඩොක්ටර්ව හම්බ වෙලා කතා කරමුද අංජන…”

කළ යුතු දේවල් තීරණය කරන්නට තරම් නිරවුල් බවක් අංජන ට හෝ වූයේ නැත. නමුත් සන්තුෂී විශ්වාස කරන්නට ඔහු ට හැකි වූයේ ය. සන්තුෂී සදෙව්මා හා අංජන සමගින් ඒ වෙලාවේ වාට්ටුවේ උන් වෛද්‍යවරයා හමු වූවා ය. වින්දි ගේ අසාමාන්‍ය සැකය හා කෝප ගැනීම ගැනත්, ඇයට අවශ්‍ය මානසික සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ඔවුන්ට වන අපහසුතාවය ගැනත් කියා, හැකි නම් රෝහල් මාර්ගයෙන් ඇය ව මානසික ප්‍රතිකාර සඳහා යොමු කරනා ලෙස ඉල්ලා සිටියා ය.

“අපිව ඒ බැක්ග්‍රවුන්ඩ් එක ගැන දැනුවත් කරපු එක හොඳයි. අපි එයාව අවශ්‍ය ක්ලිනික් වලට යොමු කරන්නං”

හැම නරකක ම හොඳක් ද බලාපොරොත්තු විය හැකි ය. වින්දි බෙහෙත් පෙති අහුරක් බී ජීවිතය හැර යාමට උත්සාහ කළ ද ඉන් ඇගේ මානසික සෞඛ්‍ය පිළිබඳව වෛද්‍ය අවධානය යොමු කර ගත හැකි වූයේ ය. රෝහල් ගත ව සිටියදී ම ඇයව උපදේශනය සඳහා යොමු කොට ඇති අතර ඖෂධ ප්‍රතිකාර ද නියම කොට තිබේ. රෝහලෙන් පිටත් කොට හැරි පසුව ද ඇයව මානසික රෝග සායන සඳහා යොමු කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.

“ඒක තමයි වෙන්න ඕන හොඳම දේ. දැන් ඔයා වින්දිවයි දුවවයි ගෙදර එක්කන් යන්න. එයාගෙ හිත බිඳෙන්නැති විදිහට එයාව බලා ගන්න”

රෝහලෙන් වින්දි නිදහස් කරන දා ට පෙර දා, සදෙව්මා ගේ අවශ්‍යතාව මත සන්තුෂී මුණ ගැහෙන්නට විත්, අවන්හලක සිසිල් බීමක් තොල ගාන අතරේ සන්තුෂී කීවා ය. අංජන ගේ ඇස් වල වූයේ මඳ උමතුවකි. බැඳීම් කියන්නේ කිසි දවසක අත් හැරිය නො හැකි, මරණයෙන් මිස අත් හැරිය නො හැකි දෙයකි. අංජන වින්දි ට වරදක් කරන්නට හීනයෙන් හෝ හිතා නැත. සන්තුෂී ගැන ඇති වූවා වගේ හැඟීමක් වින්දි ගැන ඇති කර ගන්නට නො හැකි වීම ඔහු ගේ වරදක් නොවේ. නමුත් ඇය අත් හරිනා අදහසක් ඔහු ගේ තුන් හිතක හෝ වූයේ නැත. 

ඔහු පෙම් කළ ගැහැනිය, ඔහු විවාහ වූ ගැහැනිය ගැන එසේ පවසත්දී අංජන ගේ බඩ පපුව කැළඹී යනවා ඔහු ට දැනිණ. හුස්ම හිර කරනා අසීරුවකින් හෙතෙම හිස සැළුවේ ය.

“ඒත් මටනං බයයි අක්කි. ඇත්තටම දැං මං අම්මි ඉන්න තැනක ඉන්න බයයි. එයා මාව මරයිද කියල හැම තිස්සෙම මට හිතෙනව”

සදෙව්මා කීවේ කිසිවෙකු කිසි විටෙක බලාපොරොත්තු නොවූ කතාවකි. සන්තුෂී වහා ඇය වැළඳ ගත්තා ය. දැරිය ඉතා තදින් සන්තුෂී ට තුරුළු වූවා ය. ඒ ග්‍රහණය තුළ, ඇය කෙතෙක් බිය වී හෝ මානසික වශයෙන් බිඳ වැටී ඇත්ද යන්න ගැන සාක්ෂි මොනවට විය. 

සන්තුෂී හා අංජන උනුන් ගේ මුහුණු බලා ගත්තේ දෙගිඩියාවෙනි.

“බය වෙන්න එපා පුතේ. අම්ම කවදාවත් ඔයාට එහෙම දෙයක් කරන්නෑ. අම්මලට බෑ දරුවන්ට එහෙම කරන්න. එයා එයාගෙ ජීවිතේ නැති කර ගන්න ගියේ එයාගෙ මානසික පීඩනෙන් මිදෙන්න වෙන මාර්ගයක් නොදැක්ක නිසා. හැබැයි තව කෙනෙක්ට එයා එහෙම කරයි කියල හිතන්න බෑ”

“අනේ ඒත් එහෙම කළොත්…”

“නෑ දරුවො නෑ”

දැරිය සනසනු වස් අවස්ථානුකූල ව එසේ කීව ද මේ ප්‍රශ්නය මීටත් වඩා දරුනු ලෙස සදෙව්මා ගේ මනසට බලපෑ හැකි බව ඒ මොහොතේ සන්තුෂී හා අංජන යන දෙදෙනාට ම දැනිණ. අංජන ගේ බැල්මේ අසරණ කමක් විය. නමුත් සන්තුෂී ට ඔහු සැනසිය හැකි වූයේ එක්තරා සීමාවක හිඳ ය. ඇය වඩාත් දුක් වූයේ ඒ ගැන ය. 

“ඔයත් කඩං වැටෙන්න එපා මේ වෙලාවෙ. සදෙව්මා බය වෙලා ඉන්නෙ. එයා පොඩි දරුවෙක්නෙ. ඔයා හයියට ඉන්න”

හයියට ඉන්නේ කොහොමද කියා අංජන දන්නේ නැත. ඔය මානසික ව්‍යාධිය නොවන්නට වින්දි ඔහු ට කළ වරදක් නොවන බව අංජන දනී. ඈ ගැන ඔහු තුළ හැමදාමත් වූයේ අනුකම්පාවකි. නමුත් සදෙව්මා ද සමග සිය පවුල තුළ මේ තරම් බැරෑරුම් ප්‍රශ්නයකට මූණ දෙන්නේ කොහොමද කියා ඔහු ට සිතා ගත නො හැකි ය. 

“අනේ තාත්ති අපි දෙන්නට තනියම අම්මි එක්ක ඉන්න බෑ. ඉස්සර වගේ නෙවෙයිනෙ…දැන් මං දන්නවනෙ එයාට මෙහෙම ලෙඩක් තියනව කියල. ඒක නිසා මට බයයි. ඔයා එන්නකො ආච්චි අම්මලගෙ දිහා”

සදෙව්මා බැගෑපත් වූවා ය. අංජන ඇය වෙත නැඹුරු වී ඇගේ හිස පිරිමැද්දේ ය. හෙළා ගන්නට බැරි කඳුළු පොදියක් ඔහු තුළ හිර වී ඇති සැටි සන්තුෂීට පෙනිණි. ඇය ලොකු හුස්මක් ගත්තා ය. ඔවුන් වෙනුවෙන් ඉකි ගසා හැඬිය හැකි කඳුළක් ඇය ළඟ තිබිණි.

“මං එහෙම කරන්නං පුතේ”

අංජන සදෙව්මා ගේ හිස අත ගාමින් ම කීවේ ය. සිය පපුව පුපුරා යන්නට එන සෙයක් සන්තුෂී ට දැනිණ.

“ඔයා හරි හොඳයි අංජන”

වෙව්ලන දෙතොල් අතරින් ඇය අමාරුවෙන් කියා ගත්තා ය. අංජන සිය රතු වූ දෑස් ඇගෙන් ඉවතට හරවා ගත්තේ ය. නමුත් ඒ ඇසින් ගිලිහුණ කඳුළක් කොපුල් වල රැවුල් ගස් අතරේ හැංගී ගනු සන්තුෂී දුටුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles