සමහර මිනිත්තු ජීවිතයටම ප්‍රමාණවත් ය. ජීවිතය ගැන සිතා සිටි බොහෝ කාරණා අමතක කර දමන්නටත් ජීවිතය දෙස හැරී බලන්නටත් සමහර මිනිත්තු උදව් වන බව සඳරැස් උගනමින් සිටියේ ය. මෝටර් රථය පුරා පැතිරෙන සිහින් සුවඳ කුමක්දැයි අසන තරමේ දොළක් ඔහුට ඉපදිණ. මේවා වෙනත් කෙල්ලන්ගෙන් ඇසූ ප්‍රශ්න නොවේ.
“මොනවද ඔය ළමයගෙ ඔය සුවඳ? අපේ අක්කගෙ පර්ෆියුම් එකක් ඉස්සුවද?”
ඔහු අසන්නේ හිනැහෙමිනි. දුලන්‍යා කම්මුල් රත්පැහැ කර ගත්තා ය. ඔහුටත් ඕනෑ නැති එකක් නැත.
“කොලොන් එකක්.”
ඒ කතාවට සඳරැස්ට සිනාවක් නැඟිණ. මිලාධික විලවුන් සුවඳ ප්‍රිය කරන පෙම්වතියන් ඔහුට ඕනෑතරම් සිටි නමුත් ළඳරු කොලොන් භාවිතා කරන කෙල්ලක් ගැන ඔහු ඔය ඇසුවාම ය.
“චූටි මැණික ආවම නැන්දයි බබායි දෙන්නම එකම සුවඳක් තිබිලා හරියන් නෑ සුදු මැණිකේ”
දුලන්‍යා තිගැස්සුණේ ළදරු විලවුන් කතාවට නොවේ. ඔහුගේ ආමන්ත්‍රණය නිසා ය. ඇයට අයියා අමතන ආදර නාමය ඔහු මඳ වෙනසකට ලක් කර තිබේ. ඒ ඇමතුමෙන් හදවත හිරිවැටී ගිය ගතියක් දුලන්‍යාට දැනෙන්නට විය.
“බර්ත්ඩේ එක කවද්ද? මං අරන් දෙන්නම්කෝ හොඳ පර්ෆියුම් එකක්.”
දුලන්‍යා එයට පිළිතුරු නොදී ඉන්නට සිතුවා ය. විලවුන් හුවමාරු කරගන්නා පෙම්වතුන් කිසිදා එක් නොවන කතාවක් ඇය අසා තිබේ. ඒවා අතීතයේ හිනැහෙන්නට කාරණා වුව ද දැන් එවැනි කතාවක් පවා ඇයව බියට පත් කරන්නට සමත් ය. එහෙත් අහිමි වන්නට සඳරැස් ඇගේ පෙම්වතා නොවේ. ඔහු මිතුරෙකුවත් නොවේ. ඥාති සහෝදරයෙකි. එපමණකි.
“වාහනයක් ඩ්‍රයිව් කරනකොට හෙට ගමනක් අද යන්න වගේ ඩ්‍රයිව් කරන්න එපා මිනිහෝ.”
මිතුරන් සඳරැස්ට එසේ දොස් නැඟීම සාමාන්‍ය සිරිතකි. එය ඔවුන් අතර ඉතා සාමාන්‍ය සරදමක් වී තිබුණි. සඳරැස් එතරමට හදිසි රියැදුරෙකි. අක්කා ගර්භනී වූ දා පටන් ඇය රැගෙන යන ගමන් පමණක් ප්‍රවේසමෙන් යන්නට ඔහු වග බලාගෙන තිබිණ. නමුත් දැන් සියල්ලම වෙනස් වී තිබේ.මේ කුඩා කෙල්ල ගැන ද ඔහුට දැනෙන්නේ රැක ගත යුතු හැඟීමකි.
“ඔයා මෙතනින් බහිනවා කියන්නෙ තනියම යන්න වෙනව කියන එක.”
දුලන්‍යා සරසවි ගේට්ටුව අසලින් හැරලවන අතරේ සඳරැස් පැවසී ය. සැබෑවටම ඔහුට තනිකමක් දැනෙමින් තිබිණ. ඇය හදවතේ කොටසක් වෙමින් පවතින බව දැනේ. මෙතැනින් එහා තනිව යාම පවා අසීරු බව දැනෙන්නේ ඒ හන්දා ය.
“සින්දුවක් අහගෙන යන්න.”
සින්දු අහන්නට එහෙමකට මනාපයක් නැතැයි සඳරැස් කියද්දී දුලන්‍යා තොල නොපිට පෙරළුවා ය. ඔහු සෑම මොහොතකම කාමරයට වැදී කරන්නේ මොනවාදැයි අහන්නට සිතුණත් එසේ නොඅසා ඉන්නට ඇයට ඕනෑ විය. ගීත නාසන කතාව බොරුවකි. ඔහු ඕනෑ තරම් ගී අසන බව ඇයට ද ඇසී තිබේ. එහෙත් කිසිම දවසක ඔහු අසන හඬක් නොඇසුණු ගීයක් සඳරැස්ට අසන්නට දෙන්නට දුලන්‍යාට ඕනෑ විය.හදවත පැහැර ගත් ගැහැනු ළමයෙකු අසන්නට ලබා දෙන ගීතය එතැනින් එහා කොල්ලෙකුගේ ජීවන ගීතය වන බව කියන්නට සිතුණේ සඳරැස්ට ය. නමුත් ඔහු ඒවා කියන්නට ගියේ නැත.ඒ වෙනුවට ඇය යෝජනා කළ ගීතය අසමින් ඔහු රිය ධාවනය කරන්නට පටන් ගත්තේ නැවතිල්ලේ ය.
“රෑ අහසේ තරු තිබුණට
නෑ එළියක් හඳ වාගේ
ජීවිතයට මොනවා තිබුණද
නෑ කිසිවක් නුඹ වාගේ”
ඇතැම්විට මේ ප්‍රේම කතාවේ ගීතය මෙය විය යුතු බව ඔහු සිතුවේ ය. ඒ ඇය මුලින්ම අසන්නට දුන් ගීතය ය. ජීවිතයට මොනවා හිමි වුවත් ඇය තරමට නොදැනෙන බව දැනෙන මොහොතක ඔහු සැනසීමෙන් රිය පදවමින් සිටියේ ය.ජීවිතය එහෙම සැනසිලිදායක හැඟීම් ද රැගෙන එයි.ඔහු ඇගේ ප්‍රේමයෙන් සැනසෙමින් සිටියේ ය.
නමුත් දුලන්‍යා සරසවියට ඇවිද ගිය ආනන්දය තත්පර කිහිපයකින් අතුරුදහන් විණ. සහස් ඇය වෙතට ඇවිද ආවේ කෝපයකිනි. ඒ කෝපය වෑහෙන දෑසේ කතාව කියවා ගන්නට දුලන්‍යාට නුවුමනා ය. අද බොහෝ සතුටුදායක දවසකි. කෝපයෙන් දැවෙන දෑසකට ඒ සතුට විනාශ කරන්නට ඉඩ දිය යුතු නැත.
“මට ලැජ්ජා කරන්නේ ඇයි තමුසෙ?”
ගැහැණු ළමයෙකුට කතා කරද්දී ගෞරවාන්විතව ඇමතීඅට නොදන්නේ නම් කතා නොකර හිඳින්නැයි ඔහුට කියන්නට තරමේ කෝපයක් දුලන්‍යාට පහළ විය. නමුත් ඇය ඔහුට නොසැලකිලිමත් බැල්මක් හෙළුවා ය. දන්නා තරමින් සහස් ට ලැජ්ජා කරන්නට කිසිවක් ඇය සිදු කර නැත.
“බබෙක් වගේ බලන්න එපා හලෝ.”
ඔහුගේ දෙවැනි වාක්‍ය ඛණ්ඩය ද ඉතා අශෝභන ය.
“මාත් එක්ක මල් කඩ කඩ තමුසෙ කොහොමද වෙන මිනිහෙක්ගේ කාර් එකකින් ඇවිල්ල මෙතනින් බහින්නේ?”
මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ තේරුම් නොගන්නා කිසිම කෙනෙකුට තමන්ගේ ජීවිතයට ඇතුල් වීමට ඉඩ දිය යුතු නැති පාඩම ඇයට කියා දුන්නේ තාත්තා ය. ඒ පාසල් කාලයේ දී මිතුරියක සම්බන්ධයෙන් සිදු වූ සිත්තැවුලකදී ය.ඒ පාඩම මේ මොහොතට ඉතා වැදගත් බව ඇය සිතුවා ය.
සහස්ට පැහැදිලි කරන්නට කාරණා දෙකක් තිබේ. පළමුවැන්න දුලන්‍යාට සහෝදරයන් තිදෙනෙකු සිටියි.අද ඇය පැමිණියේ ඉන් දෙවැන්නා සමඟ ය.
“ඒ තමුසෙගෙ නෑනාගෙ මල්ලි. ඌ එක්ක කොමල කර කර එනවා මං සෑහෙන දුරක් ෆලෝ කරා.”
දන්නා ගැහැණු ළමයෙකු පසුපස ලුහු බැඳීම වැරදි බව කියන්නට ඇය ඊළඟට කාලය වැය කළා ය. හොඳ උගත් කමක් තිබීම කොල්ලෙකුට ආභරණයක් බව ඇත්තකි. නමුත් හැසිරීම් ද ඒ තරමට ඉහළ විය යුතු වේ. එවැන්නක් සහස්ගෙන් පෙනෙන්නට නැත.
“ඔයා කතා කරනකොට මං ඔයාට කතා කරා තමයි. ඒත් මල් කඩනවා වගේ කතාවක් කියන්නේ ආදරේ කරනවනම් නේද? මං ඔයාට ආදරේ නෑ අයියේ. කිසිම දවසක එහෙම බැඳීමක් ඇති වෙයි කියලා මම හිතන්නේ නෑ.”
කියන්නට තිබෙන දේ සෘජුව පැවසූ පසු මොනවා වුණත් කමක් නැති බව ඇයට සිතේ. ඒ හන්දාම ඇය එසේ පවසා සහස් දෙස සෘජුව බලා සිටියා ය. සහස් ඇගේ මුහුණට ඇඟිල්ලක් දිගු කළේ ය. ඇයට මෙසේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම පහසු බව ඔහු සිහිනයකින්වත් නොසිතී ය. “කබීර් සිං” ආවේශ කරගෙන ඇය තමන්ගේ බව කියමින් කණිෂ්ඨයන් දැනුවත් කළ අන්දම දුලන්‍යා දන්නේනම් තත්ත්වය මොන අතට හැරේදැයි ඔහු ඉන් අනතුරුව සිතී ය.
(සඳ ගංතෙර ආදරයෙන් වැළඳ ගන්නවාට ස්තූතියි. ඔබේ අදහස් වචන පේළියකින් තබා යන්න.)