පියවි සිහිය එළඹෙනතුරු විහස් මඳ වෙලාවක් ගෙවා දැම්මේ ය. ඔහුගේ ඇති මානව සබඳතාවල ස්වරූපය අනුව සඳරැස් මල්වැන්නගේ දුරකථන අංකය පවා සොයා ගන්නට මහ වෙලාවක් ගත වන්නේ නැත. නමුත් චාන්දනී විජේවර්ධනගේ බාල පුතු බව කියමින් සඳරැස් දිනා ගන්නට ඔහුට ඕනෑ නැත.
විනාඩි කිහිපයක සෝදිසියකින් පසු ඔහුට තීරණයක් ගැනීම වඩා පහසු විය. විහස් දුරකථන ඇමතුමක් ගත්තේ ඒ වෙනුවෙනි. Fitness Club කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු ජේඩ්න් නම ඇසුණු වහා විහස්ව හඳුනා ගත්තේ ය. විහස් වෙනත් තැනක තම ව්‍යායාම් කටයුතු කරන්නෙකි. ස්ථානය මාරු කරන්නට හේතුව පවා නාසා හිඳින්නට ජේඩ්න්ට නොහැකි විය.
“මං මාලන්ගේ ජිම් එක අතාරින් නෑ. මං උඹේ ජිම් එකට එන්නේ මචං කොල්ලෙක් ෆලෝ කරන්න. ඌට ගේමක් දෙන්න අනන්මනන් වලට නෙවෙයි. මට කොල්ලව පොඩ්ඩක් ෆිට් කරගන්න ඕන.”
සඳරැස් මල්වැන්න, සෑම කෙනෙකු සමඟම සුහද කොලුවෙකි. නමුත් ඔහු නාහෙට නාහන එකෙකු බව ජේඩ්න් හෙළි කළේ ය.
“ඉන්ජෙක් වුණාට බං අර ඉගෙන ගත්තු ඩීසන් කෑල්ල හිටි ගමන් අමතකත් වෙනවා ඌට. හැබැයි මට නම් ඌ එළ කොල්ලෙක්. ගේමක් දෙන වැඩක් නෙවෙයි එච්චරයි”
නමුත් මේ එහෙම කාරණාවක් නොවන බව විහස් පැහැදිලි කළේ ය. මේ අතිශය පෞද්ගලික සංවේදී කාරණාවකි.
“මට විහස් කියන්න එපා. මට සත්සර කියලා කෑල්ලකුත් තියනවනෙ. අන්න ඒ නමින් කතා කරපං”
ජේඩ්න් එයට ද එකඟ විය. කොහොමටත් කරන්නට යන්නේ යම් නසරානි වැඩක් නම් එය කොළය හංගා ගැසීම විහස්ගේ ක්‍රමය නොවේ. ඔහු ඇත්ත කියන කොල්ලෙකි. විජේවර්ධන පරම්පරාවේ නම්බුව සහස් බව කියන්නන් බොහෝ ය. නමුත් විජේවර්ධන පරම්පරාවට වටින්නේ විහස් නොවේදැයි ජේඩ්න් සිතී ය.
“උඹ හදන්නේ ඔය කොල්ලා මරන්න උනත් මං උඹ එක්ක ඉන්නව. හැබැයි මේ එහෙම කුණු කේස් එකක් නෙවෙයි කියල මං දන්නව.”
ජේඩ්න්ට විහස්ගේ කහටක් නැති සිනා හඬ ඇසිණ.
“ඇත්තටම මචං මට ඕනෑ ඌට ඌව ඉතුරු කරන්න. පොඩි කාලෙම නැතිව ගිය දේවල් කොහොම වුණත් ඌට දැන් හරි උගෙ ජීවිතේ ඉතුරු කරන්න. ඌ හොඳ කොල්ලෙක්”
සඳරැස් මල්වැන්නට අම්මා කර තිබෙන්නේ සුළුපටු අසාධාරණයක් නොවේ. එය අයියාට ද කරන්නට දෙන්නට නොහැකි ය. සඳරැස් තමන්ගේ පාඩුවේ ජීවත් වන්නට ඕනෑ ය. අනෙක් අතට නිවුන් සහෝදර උරුමයක් තිබුණ ද විහස්ට තනිකම මිස සහෝදරත්වය දැනෙන අවස්ථා අල්ප ය.
ඒ අඩුව ද පුරවා ගත යුතු වේ.
“ළමයින්ගෙ ප්‍රශ්නවලට ඔයා අත දැම්මේ ඇයි?”
චාන්දනී අසන්නේ කෝපයෙනි. ඇත්තටම සහස් හා සඳරැස් එකම කෙල්ලට තරඟ කිරීම කමල්ට අයිති දෙයක් නොවේ. කමල් නිහඬ බැල්මකින් චාන්දනී දෙස බලා සිටියා ය.
“උන් අපේ ළමයි නිසා. එක කෙල්ලකට මරා ගන්න උන් රාජ කුමාරයො නෙවෙයිනෙ. ගෑනු ළමයටත් අයිතිය තියෙන්නෙ ඕන තමන් කැමති කොල්ලා ගාව ඉන්න.”
කමල් පැවසූ කතාවේ චාන්දනීට රිදෙන තැනක් වේ. ඇය වහා එය නිවැරදි කරන්නට සිතුවා ය.
“ඔයා ඔයාගේ පුතාට රිද්දන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න කමල්.”
කමල්ගේ මුවෙහි ඇඳුණේ සිනාවකි. ඔහු චාන්දනීට වඩා සමීපව අසුන් ගත්තේ ය.
“මොන දේ කොහොම කිව්වත් තමන්ව ඉස්සරලම තාත්තෙක් කරපු දරුවට පිරිමින්ගෙ හිතේ ඉඩ වෙන් වෙනවා වැඩි. මට කියලත් ඒක වෙනසක් නෑ.”
චාන්දනී උන්මාදයෙන් නැගී සිටියා ය. සඳරැස් විජිතගේ මිසක කමල්ගේ නොවේ. ඔහු උපන්නේ ඇය මල්වැන්න මහත්මිය වී සිටි කාලයේ ය.
“විජිත හින්දා ජීවිතේ කලකිරවගෙන ඔයා පොඩි ගරාජ් එකක් කරපු කොල්ලෙක්ට ආදරේ කරෙත් සඳරැස් ලැබෙන්න කලින් චන්දි. ජීවිතේ වෙන දෙයක් වෙන්න ඔයාව අරන් කොහෙ හරි යන්න කියලා ඔයා කිව්වේ ඒ කාලේ. සඳරැස් ඉපදෙන්න ආවම ඔයා ඒ දරුවා විජිතගෙ කරේ ගරාජ් කාරයට ළමයෙක් ලැබෙන්න ඉන්න ගෑනියෙක් බලාගන්න බැරි නිසා. ආදරේ පරද්දගෙන ඔයාට දුක් විඳින්න තියන අකමැත්ත නිසා. අපේ කතාවේ වැඩියෙන්ම අසාධාරණයකට ලක් වෙලා ඉන්නේ සඳරැස්. ඌ උගෙ ඇත්ත තාත්තට වෛර කරනවා. අම්මාගෙ පළවෙනි කසාද මනුස්සයට දේවත්වෙන් සලකනවා.”
චාන්දනී දැනෙන සත්‍ය පිළිගන්නට අකමැති වූවා ය. සඳරැස් විජිතගේ ගතිගුණ දරන්නෙකි.
“ඒ සඳරැස් තාපසාරාමේ ඉන්න ගිරා පැටියා හින්දා. නාහෙට නාහන ගතියි සෙල්ලක්කාරකමුයි ඇවිල්ලා තියෙන්නේ ලේ වලින්. වැදගත් ජීවිතයක් ගෙවන්න මතක් වෙන්නේ විජිත දුන්නු ජීවිතෙන්”
චාන්දනී ගලක් වී බලා සිටියා ය. අනතුරුව වචන ගලපා ගත්තා ය.
“තාරකාට කවුරුත්ම නැති කරන්න එපා. එයා අම්මා වුණේ ඔයාගෙ ළමයෙක්ට නෙවෙයි. එයාගේ තාත්තගෙ පොඩි පුතාට.”
කමල් සන්සුන් මඳහසක් හෙළී ය.
“සඳරැස් ජීවිත කාලෙම විශ්වාස කරන්න ඕන එයා විජිතගෙ කියලා. ඌ උගත් දරුවෙක්. විජේවර්ධන සල්ලි වලින් සතයක් ලැබුණේ නැතත් ඉගෙන ගත්තු දේවල් එක්ක සඳරැස් හොඳට ජීවත් වෙයි. අර පුංචි කෙල්ල ලැබුණම සඳරැස්ට ඊටවඩා ලබන්න දෙයක් නෑ. මේ ගේ ඇතුළෙ පවුලක් නෑ චන්දි. හැබැයි සඳරැස්,තාරකා, දුලාජ්, අර පොඩි දැරිවි පවුලක් හදාගෙන ඉන්නවා. උන්ට උන් ඉන්නවා. ඉගෙන ගත්තු දේට පිං සිද්ධ වෙන්න හොඳට කාලා ඇඳලත් ඉන්නවා. මං සඳරැස්ට මමයි උඹේ අප්පා කියන අදහසක නෑ.”
නමුත් ඒ ඔහුගේ පළමු දරුවා ය. තමන්ගේ තවත් දරුවෙකු අතින් හෝ සඳරැස් බිඳී යන්නට ඉඩ දෙන්නට කමල්ට ඕනෑ නැත.
“සහස් ආදරේ කියන දේ තේරුම් ගන්න ඕන.කාටවත් රිද්දන්න නෙවෙයි තමන්ව සනසා ගන්න ආදරේ කරන්න ඕන කියලා සහස් තේරුම් ගන්න ඕන.මට මේ වෙලාවේ වෙන්න ඕන එච්චරයි.”
කමල් බිරිඳට එසේ අවධාරණය කළේ ය. චාන්දනී මල්වැන්න නොවී විජේවර්ධන වන්නට තීරණය කළේ හිස්තැන් පුරවා ගන්නට ය. එහෙත් ආදරය කියන්නේ හිස්තැන් පුරවා ගැනීමක් ම නොවේ.