නිම් නැති නිම්නය 10

ගැඹුරු තුවාල පහසුවෙන් සුව වෙනවා නොවේ. නමුත් ඒ ගැඹුරු වේදනාවට හුරු වූ විට එය උහුලා ගත හැකි වේ. ඒ වූ කලී යම් ආකාරයක නිර්වින්දිත තත්වයකි. ආරාධනා පත් ව සිටියේ ද එබඳු තත්වයකට ය. ඇතැම් අවස්ථා වල නිර්වින්දිත බව අඩු වී රිදුම් ඉස්මතු ව ආවේ ය. එවන් අවස්ථා වල කාශ්‍යප සිහි කොට ඇය කඳුළක් සැළුවා ය. නමුත් එසැනෙන්, හිත හදා ගත යුතුව ඇති බව සිහි විය. එතකොට වහ වහා ඕ ඒ කඳුළු පිස දා ගත්තා ය. 

මෙය වූ කලී අතුරේ යාමක් බඳු තත්වයකි. ඊළඟ මොහොත ගැන කිසි සේත් කිව නො හැකි ය. එතැන කඳුළු හෝ සුසුම් හෝ රිදුම් හෝ සිනහව හෝ තිබෙන්නට පුළුවන. ඒ ඒ අවස්ථාව මත ය. ඇතැම් විට ඇය දැවෙනා සුළු රිදුමක හුස්ම ගත්තා ය. ඊළඟ නිමේශයේ කිසිදු සංවේදනාවකින් තොර හිස් බවක් ඇගේ පපුව පුරවා දැමී ය. වෙලාවකට ඕ බලා ගත් අත බලා ගෙන සිටියා ය. කන්න කියා ද නාන්න කියා ද සඳයුරු ට කිරි දෙන්න කියා ද හිස කේ පීරා ගන්න කියා ද රාජිකා මැණිකේ සිහිපත් කළ යුතු විය. එසේ කියත්දී ආරාධනා එය කළා ය. නමුත් ඇතැම් වෙලාවට යන්ත්‍රයක් සේ හුස්මක් පවා නො ගෙන ඕ සියල්ල පිළිවෙලට කර ගෙන ගියා ය. ඒ ඒ අවස්ථාව මත ය!

සමහර දරා ගත නො හැකි මොහොතක කාමරයේ දොර වසා ගෙන හෝ කොට්ටයට මූණ ඔබා ගෙන හෝ නාන කාමරයේ දොර වසා ගෙන හෝ ඇය ඉකි බිඳිමින් හැඬුවා ය. තවත් සමහර වෙලාවක සඳයුරු ගේ හපන් කමක් ගැන හෝ බිඟුනි ගේ දඟ වැඩක් ගැන හෝ ගෙදර කෙනෙකුට කියමින් හඬ නගා සිනහ වූවා ය. ඒ ඒ අවස්ථාව මත ය!

ඇය යම් කිසි ඍතුවක් හරහා ගමන් කරමින් සිටියා ය. වේදනා කලාපයක් තරණය කරමින් සිටියා ය. තමුන් තුළ ටර්නාඩෝ සුළි සුළං ප්‍රවාහයක් වැනි තත්වයක් කැරකෙමින් පවතින බව ඇය ට දැනිණ. එය ප්‍රචණ්ඩ විය. ඇතැම් වෙලාවක ආරාධනා ඒ ප්‍රචණ්ඩත්වය තුළ යටත් වැසියෙකු බවට පත් වූවා ය. සමහර වෙලාවක ඊට එරෙහි ව සටන් වැදුණා ය. යටත් ව අවනත වීම ද එරෙහි ව සටන් කිරීම ද යන දෙක ම තමන් පීඩාවට පත් කරනා බව ඇය අවබෝධ කර ගනිමින් ද සිටියා ය. 

සමහර වෙලාවක ජීවිතය නිස්කාංසුවේ සිඳු රළ පෙළක් සේ සරැළි නැංවූයේ ය. පෙණ පිඬු ඉපදෙව්වේ ය. සිහිල් දිය බිඳිති ඉස්සේ ය. ඒ සුවදායක බවට ඇය රිසි වූවා ය. ලොබ වූවා ය. කුණාටු කලාපය තරණය කොට සන්සුන් වෙරළකට අවතීර්ණ විය යුතු බව ආරාධනා ගේ අභ්‍යන්තරය අපේක්ෂා කළේ ය. ඇයට ඇයව ම පීඩාවෙන් විනිර්මුක්ත කිරීමේ අවශ්‍යතාවය විය. නමුත් අනිච්ඡානුගව ඇතැම් විට යළිත් කුණාටුව මැද්දට ම වැටුණා ය.

කාලය ගත වූයේ එසේ ය. රාජිකා මැණිකේ දකුණු අත බිඳ ගෙන එක්තැන් වීමෙන් පස්සේ එකී හැඟීම් සයුරේ ගිලෙමින් ද පිහිනමින් ද ගොඩ එමින් ද සිටීමේ අවස්ථා අඩු වී ගියේ ය. ගෙදර වෙනුවෙන් ඉටු විය යුතු වූ යුතුකම් තිබූ බැවිනි. වෙනදා ට රාජිකා මැණිකේ අතින් සිදු වූ ගෙදර වැඩ කිසිවක් දැන් ඇයට කළ නො හැකි ය. ගජධීර ට ඉන් කර දිය හැකි වූයේ මිදුල අමදින එක පමණකි. හෙතෙම උදයෙන් ම මිදුලට ගොස් ඉදල ගෙන අතුගෑවේ ය. නමුත් රාජිකා මැණිකේ  වාගේ රටා තබා ලස්සනට අතු ගාන්නට ඔහු දන්නේ නැත. රතු දුඹුරු බොරළු, ඉදල් පහරට තැන් තැන් වල ගොඩ ගැසුණේ ය.

“තියන්න තාත්තෙ මං අතුගාන්නං”

කියා ආරාධනා මිදුලට එබී කියන්නී ය. කුකුළෙකු හෑරුවා වගේ තැන් තැන් වල එකතු වෙන බොරළු ගොඩවල් දකිත්දී ඇගේ මුවට මඳ සිනහාවක් එයි.

“ඔය ළමයට තනියම කර ගන්න තියන වැඩ මදැයි. මේක මං කළහම මක් වෙනවද…”

එතකොට, අමදිමින් ම ගජධීර කියයි.

“පුතාලගෙ තාත්තගෙ අතුගෑමේ ලස්සන නිසා තමයි දුව එහෙම කියන්නෙ”

රාජිකා මැණිකේ සිනහව ගිල ගෙන පවසයි.

“කුණු ටික අතුගෑවුණානං එච්චරනෙ. ඕකෙ අමුතු ලස්සනක් මොකද්ද…”

උනුන් වෙනුවෙන් තම තමන් ව දරා ගැනීම හදවත ට අමුතු හැඟීමක් දනවයි. ගෙදර හැම කෙනෙකුගේ ම හදවත් ඒ නැවුම් හැඟීමෙන් පිරෙමින් පවතින්නට ඇත. රාජිකා මැණිකේ ගේ දකුණු අත බිඳීම ද ඒ නිසා ආරාධනා මත ගෙදරක වැඩ පැටවීම ද කියන කාරණා දෙක ලිහිල් කොට දෙනු වස් හැම කෙනෙකු ම හැකි හැම මොහොතක ම උත්සාහ දරන්නට ඇත. වෙනදාට ගෙදරට අවැසි එළවළු මාළු හා වෙනත් කලමණා ගෙන එන්නට කඩ පිළට යන්නේ රාජිකා මැණිකේ ය. පොළ දවසට නම් ඇය පොළට ගොස් ගමේ ගොඩේ එළවළු ටිකක් ද බෙහෙත් නොගසන ලද පළතුරු ටිකක් ද එකතු කර ගෙන එයි. 

“පුතාලගෙ තාත්තට හෙට කඩේ ගිහිං බඩු ටිකක් ගේන්න වෙනව”

කියා රාත්‍රී ආහාර ගන්නා ගමන් රාජිකා මැණිකේ කී දිනෙක,

“මං ගිහිං ගේන්නං අම්මෙ. කොහොමත් මට බිඟුගෙ බඩු වගයක් ගන්න තියනව”

කියා ආරාධනා කීවා ය.

“බිඟුට මොනාද අඩුපාඩු…”

කියා කවීශ්වර ඇසුවේ නිකමට ය. 

“නෑ ලොකු දේවල් නෙවේ. පෑන් පැන්සල් ටිකකුයි…ලන්ච් බොක්ස් එකක් බලල ගන්න ඕන”

කියා ආරාධනා කීවා ය.

“එහෙනං පුතාලගෙ තාත්ත දුවත් එක්ක යන්නකො.  ඔය එළවළු මාළු ගන්න දුවව කඩේ යවන්න බෑ”

“අනේ මට මොකද බැරි අම්මෙ…”

“හරි හරි ඉතිං යමුකො. මායි දුවයි ඒක කර ගන්නං මැණිකෙ කළබල නොවී ඉන්නකො”

ඒ වාගේ සරල කතා බහකින් වුව කාශ්‍යප නැති අඩුවක් ඔවුන් කිසිවෙකුට නො දැනෙන බවක් හඟවන්නට උනුන් උත්සාහ කරන්නට ඇත. ඒවා හරියට තුවාල වලට පිටතින් ගල්වන ඔසු වාගේ ය. ඇතැම් විට පිටතින් සුව වූ බවක් පෙනෙතත් ඇතුළත සුව නොවූ තුවාල තිබිය හැක. 

දිවා ආහාරයෙන් පසු හැන්දෑ වී ටවුමට යන්නට මාමණ්ඩිය හා ලේලිය කතා බහ කර ගෙන සිටියහ. නමුත් කවීශ්වර දිවා ආහාරය සඳහා ගෙදර ආවේ ලොකු මල්ලක් ඔසවා ගෙන ය. එහි උඩින් ම වෙන ම තිබූ බෑගයක් ඔහු බිඟුනි ට දුන්නේ ය.

“බලන්න තව මොනාද අඩු කියල”

ආරාධනා බිඟුනි අත වූ බෑගයට එබී බැලුවා ය. පොත්, පෑන්, පැන්සල්, පාට පැන්සල්, චෝක්, වතුර බෝතලයක්, කෑම පෙට්ටියක්…එකී නොකී සියල්ල ඒ තුළ විය.

“අම්මෝ…අලුත් පන්තියකට බාර දෙද්දි වගේ ඔක්කොම දේවල් උස්සං ඇවිත්නෙ…”

කවීශ්වර එක තත්පරයකින් ආරාධනා ගේ බැල්ම මගහැරියේ ය.

“හරි ඉතිං නරක් වෙන ඒව නෙවේනෙ. තියා ගන්න පුළුවන්නෙ”

“අම්මෙ බලන්නකො කවීශ්වර ගෙනත් තියන එළෝළු ගොඩ. එක ජාතියකින් කිලෝ එක එක වගේ තියනව. මෙච්චර මොනාටද අනේ එළෝළු…”

“සැරෙන් සැරේ යන්න බෑනෙ ඉතිං. ෆ්‍රිජ් එකේ තියාගන්න”

“මෙයා කඩේ ගියොත් ඉතිං බාගෙට බාගයක් විසි කරන්න වෙයි නරක් වෙලා. කවද කඩේ ගිහින්ද ඉතිං”

රාජිකා මැණිකේ එසේ කීවේ අහිතකින් නොවේ. නමුත් ඒ කතාවට කවීශ්වර තරමක් කෝප ගත්තේ ය.

“අම්මට ඉතිං මං මොනා කළත් වැරදිනෙ. යකෝ…පුළුවන් හැටියට දෙයක් කරල දුන්නත් හොඳක්නං අහන්න බෑ මේ සම්මජ්ජාතියෙ..කාශ්‍යප මොනා හරි කළානං අන්න ඒව විතරයි අම්මට වටින්නෙ”

ඔහු අඩි පොළොවේ හැප්පුවේ ය. රාජිකා මැණිකේ ද නො රිස්සුම් වූවා ය.

“හරි හරි දොසක් කිව්ව නෙවෙයි. මං කිව්වෙ ඉතිං…බොරුවට සල්ලි නාස්ති කරන්න ඕන නෑනෙ…ඒකයි…”

“සල්ලි මගෙනෙ. මන්නෙ හම්බ කරන්නෙ”

කියා ගෙන ඔහු කාමරයට වැදුණේ ය. සතුටු වෙන්නට තිබුණ නිමේශයක් ක්ෂණික නො රිස්සුම් සහගත වචන කිහිපයක් නිසා විනාශ ව ගියා යයි ආරාධනා ට සිතිණ.

“කවීශ්වරට හිත රිදුණා. මොනා වුණත් අම්මගෙ අත කැඩුණට පස්සෙ කවීශ්වර වෙනදට වඩා ගෙදර ගැන හොයල බැලුවනෙ. මේ බඩු ටික වුණත් උස්සං එන්න ඇත්තෙ මායි තාත්තයි කඩේ යන්න හිටිය නිසා. පව්”

ඇය හෙමිහිට කීවා ය. රාජිකා මැණිකේ මූණ නරක් කර ගෙන සිටියා ය. හිත් රිදීම් කියන්නේ මේ ගෙදර මිනිසුන්ට තවත් විඳිය නො හැකි දෙයක් බව ආරාධනා දනී. හැම හිතක ම තුවාලයක් වේ. පුංචි හිත් රිදීමකින් වුව ඒ තුවාල පෑරී අලුත් විය හැකි ය. ඒ නිසා කතා කළ යුත්තේ ත් ඉතා පරෙස්සමෙනි.

ආරාධනා කෑම මේසය සූදානම් කොට ගොස් කවීශ්වර ගේ කාමරයේ දොරට තට්ටු කළේ ය. කොහොමටත් එය හැර දමා තිබිණ.

“එන්න”

කවීශ්වර සිටියේ යහනේ පෙරලී සිවිලිම දෙස බලා ගෙන ය. ආරාධනා දොර රෙද්ද මෑත් කළා ය.

“කෑම කන්න එන්න කවීශ්වර”

“මට කන්න බෑ”

“අනේ මේ පිස්සු නැතුව කෑම කමු. අම්මගෙන් පිට වෙන පොඩි වචනයක් අල්ලගෙන රණ්ඩු වෙන්න එපා ඉතිං”

“රණ්ඩු වෙනව නෙවෙයිනෙ අප්ප. එයාට මං මොනා කළත් හොඳක් නෑ”

ඔහු යහනේ හිඳ ගත්තේ ය. ආරාධනා උළුස්සට හේත්තු වූවා ය.

“මේ වෙලාවෙ හැමෝම හිත් රිදෝගෙන ඉන්නෙ කියල ඔයා දන්නවනෙ. කරදර ඉවරයක් නෑ. අත කැඩිච්ච එකත් අම්මගෙ හිතට ප්‍රෙශර් එකක්නෙ…”

“ඒක කර ගත්තෙත් ලොකු පුතා ගැන විකාර වලින් ඔළුව පුරෝගෙන ඉන්න නිසානෙ. නැත්තං වෙනදට නොගිය බාත් රූම් එකක් නෙවේනෙ ලිස්සල වැටෙන්න”

“හරි කවීශ්වර. නරක වෙලාවට ඕනම දෙයක් වෙන්න පුළුවන්. දැන් එන්න කෑම කන්න. නැත්තං අම්ම කන එකකුත් නෑ”

කියා ගෙන ආරාධනා කෑම මේසය වෙත ගියා ය. ඇය මීට ටික වෙලාවකට පෙර බිඟුනි ට කෑම කැව්වා ය. දැන් රාජිකා මැණිකේ ට කවන්නට බත් බෙදුවා ය.

“මේ කෙල්ල අපේ පව් ගෙවනව”

පළමු බත් කට මුවට ගනිමින් රාජිකා මැණිකේ හැඬුම් බර වූවා ය. කවීශ්වර බත් බෙදා ගත්තේ මූණ එල්ලා ගෙන ය. 

“එහෙම නෑ අම්මෙ. හැබැයි ගිය ආත්මෙක හරි අපි එකට ම පවක් කරල ඇති. ඒකයි දැන් මේ එකටම ඒ පවේ විපාක විඳින්නෙ. ඒක ඉතිං ගෙවල ඉවර කරන්නම ඕනනෙ අම්මෙ”

කිසිවෙකු කතා කළේ නැත. නමුත් ආරාධනා ගේ ඒ වචන ටික හැම හදවතක ම පිලිරැව් නගමින් තිබිණ. කවුරුත් තම තමන්ගේ ලෝක වල හුදෙකලා වී යම් කිසි ශෝකයක කිමිදෙමින් සිටියහ. තනි වීම හා කල්පනා කිරීම කියන්නේ මේ වාගේ තත්තවයක දී මරණීය වේදනා දනවන්නක් බව ආරාධනා අත්දැකීමෙන් දනී. දැන් ඇයට උවමනා ආයෙ ආයේත් ඒ වේදනාවේ පත්ලට කිමිද ගොස් පතුල අත පත නොගා ඉන්නට ය. පුළුවන් තරම් සිනහවකින් හෝ බොරු කතාවකින් හෝ රිදුම් අමතක කොට සිටින්නට ය. නො හිතුවත් හිතේ ඇවිලෙන ගින්න කාලයත් සමග නිවී යන්නට හරින්න ය.

“අද එළෝළු තියන නිසා රෑට සුප් එකක් හදන්නද…කවිශ්වර එනකොට පාන් ගේනවද…පාන් ටෝස්ට් එක්ක එළවළු සුප්. හොඳයිනෙ…”

ආරාධනා ඒ කටුක නිහඬ රිදුම බින්දා ය. ඇදෙස බැලූ කවීශ්වර ගේ ඇස් වල එළියක් දැල්විණ. ගජධීර සිනහවකින් කකුලක් පුටුව මතට ගත්තේ ය.

“ඒකනං පංකාදුයි. දුව වැඩ කර ගන්නකල් මං පොඩි එකා බලාගන්නංකො”

“මටත් පුළුවන් උකුළෙං තියං ඉන්නනං”

රාජිකා මැණිකේ කීවා ය.

“තව මොනාහරි ගේන්න තියනවනං කියන්න”

කවීශ්වර කෙළින් ම ආරාධනා ගේ මූණ බලා ගෙන කියා සිටියේ ය. ඇය ‘හා’ යි කියන්නට හිස දෙපසට සැළුවා ය. සතුට කොහේදෝ සිට සුළඟක් වගේ හමා ඇවිත් තිබිණ. ආරාධනා ඒ සුළඟ හමා පිටතට යනු වලක්වනු පිණිස හදවතින් බදා ගත්තාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles