නිම් නැති නිම්නය 51

තවමත් වැස්ස වහියි. නමුත් දැන් එහි හඬ තුනී ය. ඒ කියන්නේ වැස්ස යම් තරමකට තුරල් වෙමින් පවතිතැයි ආරාධනා සිතුවා ය. නමුත් අව්ව ගැන වැස්ස ගැන අනාවැකි කිව නො හැකි ය. ඒ සියල්ල සොබා දහමේ පාලනය යටතේ පවතින්නා වූ බැවිනි. පෙර දා දහවල ආරම්භ වූ මේ වරුසාව, විටින් විට අඩු වෙමින් ද වැඩි වෙමින් ද නො නැවතී තවමත් වහියි. සොබා දහමට උවමනා කර තිබෙන්නේ කුමක් දැයි සිතා ගත නො හැකි ය. නමුත් මේ වැහි අහස යට, සොබා දහමේ ම කොටසක් වීමේ චමත්කාරවත් සැනසීම ආරාධනා ගේ පපුවට දැනේ.

කවීශ්වර විසින් චින්තන ආරාධනා ට පහර දෙන්නට එසවූ අත අල්ලා ගනු ලබත්දී හදට දැනුණ කම්පනය, එය සිහි වෙන හැම වතාවක ම  ඇගේ හදවතේ අකුණක් පුපුරුවා ලයි. ඒ වෙලාවේ චින්තන ගේ ඇස් වල ගින්දර වූයේ ය. නමුත් ආරාධනා ට විශ්වාස කර ගත නො හැකි තරම් නිවුණු සන්සුන් බවකින් කවීශ්වර ඒ අත පහළට ගෙන දැමුවේ ය. 

“කවීශ්වර උඹ මේවට අත දාන්න එන්නැතුව හිටපං හරිද…”

එවර චින්තන කවීශ්වර වෙතට සිය තර්ජනාංගුලිය එසවූයේ ය. කවීශ්වර කල්පනාකාරීව බිම බැලුවේ ඒ ආරාධනා ගේ අයියා නිසා ය. කවර හේතුවක් මත හෝ ඇගේ හදවත පළුදු කොට ඒ හිත යළි පිළිසකර කළ නො හැකි බව ඔහු ට විශ්වීය බලවේගයක් විසින් කොඳුරා කීවා සේ ය. ඒ ඉවසිල්ල එවන් අදෘශ්‍යමාන වූ යමක් නිසා සිදු වූවකි. නො එසේ ව කවීශ්වර කියන්නේ ගැටුමක දී ඒ විදිහට බිම බලා ගන්නා මිනිසෙකු නොවේ. ගැහැනියක ගේ හදවතෙහි අයිතිකාරයා වීමට නම් ඒ ගැහැනිය ආදරය කරනා සියල්ලට ආදරය කළ යුතු බව මීට පෙර කවීශ්වර දැන සිටියේ නැත. ඒ ගැහැනියගේ නමින් වන්නා වූ සියල්ල කෙරේ උපේක්ෂා සහගත නොවුණෝතින් එතැන පරිපූර්ණ වූ ආදරයක් පිළිසිඳෙන්නට හෝ වර්ධනය වන්නට අවකාශයක් නැත්තේ ය. 

“අංකල්”

කවීශ්වර ගේ එතෙක් කතා කළ ඒ එක ම වචනයට සැනසුම් පාය ම නිහඬ විය. ඒ වචනයෙහි ඒ තරම් බරක් තිබුණේ කොහොමද කියා කිසිවෙකු දන්නේ නැත. වතුර ලිපේ තියන්නට ගොස් චින්තන ගේ ගෝරනාඩුවට හැරී ආ රාජිකා මැණිකේ පවා බාල පුතු දෙස බලා සිටියේ ගැස්මෙනි. ඒ මොහොතේ කවීශ්වර ගේ ඇස් උකුස්සෙකු ගේ වාගේ තියුණු වූයේ ය. තමන් කියන්නට යන කාරණය ගැන වන බරපතල විශ්වාසය, ඔහු ගේ ඇස් දීප්තිමත් කොට තිබිණ. 

“ඔව් පුතා”

චමල් සේනාසිංහ ගේ හඬ වැහි හඩ අතරේ දියවී වියැකී ගියේ ය. හැම නෙතක් ම යොමු වී තිබුණේ කවීශ්වර දෙසට ය. 

“ආරාධනා කැමතිනං මං එයාවයි ළමයි දෙන්නවයි බාරගන්න කැමතියි අංකල්. මං මේ ගැන අපේ තාත්තටත් කියලයි තියෙන්නෙ. ඇත්තටම…ආරාධනාටත් මං මගෙ අදහස කිව්ව”

ඊළඟට හැම ඇසක් ම දැල්වී ගත්තේ තමන් දෙසට ය යන හැඟීමෙන් ආරාධනා බිම බැලුවා ය. මඳ තත්පර වීමකට පස්සේ යළි කවීශ්වර ම හඬ අවදි කළේ ය.

“ඒත් එයා තවම මට ඒකට කැමැත්ත දීල නෑ. කාශ්‍යප කියන තාප්පෙ කඩාගෙන වෙන පිරිමියෙක්ට ලං වෙන්න එයාට පුළුවන් වෙයිද කියල දන්නෑ කියලයි කිව්වෙ”

ආරාධනා යටි තොල් පට තදින් සපා ගත්තා ය. ඇගේ ඇස් ගිනියම් කඳුළකින් පිච්චී යන්නට ගත්තේ ය. නැවත ද ඇය වෙත දැල්වෙනා ඇස් වල ගින්දරින් ඇය දැවෙනවා වාගේ ද දැනිණ. මේ නිසා ඇයට ඇස් ඔසවා ගත හැකි වූයේ ම නැත.

“ආරාධනා කැමතිනං අද වුණත් මං එයාව බඳින්න කැමතියි අංකල්. එයා කවදාවත් ඒකට අවසරයක් දුන්නෙ නැතත්…එයාවයි දරුවො දෙන්නවයි බලා ගෙන මට හැමදාම මෙහෙම ඉන්න පුළුවන්. මං ගැන මට විශ්වාසයි අංකල්. ඒත් මං දන්නෑ මාව විශ්වාස කරන්න ඕගොල්ලො මොන තරං ලෑස්තිද කියල”

රාජිකා මැණිකේ ගේ ඇස් වලින් ගිලිහුණ කඳුළු දෙපෙළක් ඇගේ කොපුල් දිගේ ගලා යමින් තිබිණ. මේ වාගේ හැඟීමක් මීට පෙර කිසි දාක ඇයට පොඩි පුතා ගැන දැනී නැත්තේ ය. මේ වාගේ ආඩම්බරයක් ඔහු ගැන දැනුණු ප්‍රථම වතාව මේ ය.

ආරාධනා අතින් මුව වසා ගත්තා ය. මේ දැනෙනා හැඟීම සිය හදවතින් දරා ගත නො හැකි තරම් බර බව ඇයට දැනේ. තාරා ඇයට ලං ව ආරාධනා ගේ පිට පිරිමැද්දා ය. ආරාධනා තදින් තාරා ගේ අතක් අල්වා ගත්තා ය. තාරා ගේ ස්පර්ශයෙහි වූයේ ‘මං උඹට කිව්වෙ කවිය හොඳ එකා කියල’ වැනි කතාවකි.

“උඹව විශ්වාස කරන්න..”

චින්තන ගේ සමච්චල් හඬ සැනසුම් පාය පුරා දෝංකාර දෙන්නට ඇත. 

“උඹගෙ අර ගෑනු ලැයිස්තුව..”

“අයිය!”

ඒ තරම් තදින් හා ඒ තරම් අචල වූ විශ්වාසයකින් සිය ස්වර තන්ත්‍ර සුසර කරන්නට ඇයට හැකි වෙතැයි ආරාධනා ම නො සිතන්නට ඇත. ඒ දැඩි හඬට, චින්තන කියන්නට ගිය දේ පවා අමතක ව ඔහු නිහඬ වූයේ ය.

“කවීශ්වර ගැන මට ඔයාගෙන්වත් වෙන කිසි කෙනෙක්ගෙන්වත් චරිත සහතිකනං ඕන්නෑ අයිය. මොකද මං කාශ්‍යපත් එක්ක මේ ගෙදර අවුරුදු නවයක් ජීවත් වුණා. කාශ්‍යප නැතුව මාස ගාණක් හිටිය. කවීශ්වර මේ ගෙදර ඉද්දි. ඒක නිසා වෙන කෙනෙක්ගෙ කැරැක්ටර් සර්ටිෆිකේට්ස් නැති වුණාට එයාව මං දන්නව. ඕනනං මට පුළුවන් එයා ගැන චරිත සහතික දෙන්න ඕන කෙනෙක්ට…ඕනම කෙනෙක්ට…”

ආරාධනා හඬන්නට සිටියා නොවේ. නමුත් ඇගේ ඇස් වලින් හෝ ගා කඳුළු ගලන්නට විය. වක්කඩ කැඩුවා සේ කඳුළු කඩා හැලෙන්නට විය. තාරා ඇගේ උරහිස වටා අතක් දමා ඈ තම සිරුරට හේත්තු කොට ගත්තා ය. කවීශ්වර ඇදෙස බැලුවේ නැත. නමුත් මෙදිවියෙහි කිසි දාක ඇය සිය පාදපරිචාරිකාව නොවූවත් කම් නැතැයි අප්‍රමාණ වූ හැඟීමකින් ඔහු උතුරා යමින් සිටියේ ය. චමල් සේනාසිංහ අඩි කිහිපයක් තබා ආරාධනා වෙතට ආවේ ය. දියණිය ගේ හිස මත අතක් තබා කතා කළේ ය.

“දුව. ඔයා දැන උගත් ළමයෙක්. හොඳ නරක දෙක වෙන් කරල අඳුරගන්න දන්න ළමයෙක්. ඒ නිසා අපි මොනවත් තෝරන්න බේරන්න යන්න ඕන නෑ. හොඳට හිතල ඔයාට හොඳයි කියල හිතෙන තීරණයක් ගන්න. පුතේ…ඔයා සතුටෙන් ඉන්න එක ගැන මේ ලෝකෙ වැඩියෙන් ම සතුටු වෙන කෙනා මමයි අම්මයි. ඒ වගේම ඔයා කී වතාවක් වැටුණත්…නැගිටින්න අත දෙන්න අපි ඉන්නව. ඔයා හොඳම දේ කරයි කියලත් අපි විශ්වාස කරනව”

චින්තන අඩි පොළොවේ හප්පා ගොස් රියට නැගුණේ ය. තාරා ඉතා තදින් ආරාධනා වැළඳ ගත්තා ය. 

“මොනා වුණත් මාත් උඹත් එක්ක ඉන්නව කෙල්ල”

“ඉතින් නංගිල ඔය යන්නද…තේ ටිකක්…”

ඒ රාජිකා මැණිකේ ය. 

“එපා අක්කෙ. අපි වෙන වෙලාවක නිවී සැනසිල්ලෙ තේ බොමු. දැං අපි ගිහිං එන්නං”

ඒ සමු ගැනීම සිදු වූයේ ඒ වාගේ හිත් බරක් එක්ක ය. ඒ විදිහට කතා කිරීම හොඳද නරක ද කියා ආරාධනා තවම දන්නේ නැත. ඇය වඩාත් අපහසුවට පත් වූයේ සිය මව් පියන් නික්ම ගිය අහවර ය. ගජධීර යුවළට මුහුණ දිය නොහී ඕ කාමරයට වැදී ම සිටියා ය. රාජිකා මැණිකේ රෑ වී විත් කන්න කියා පෙරැත්ත කළ ද ‘බඩගිනි නෑ’ කියා පිටතට නොයා සිටියා ය. බිඟුනි ට කැව්වේ රාජිකා මැණිකේ ය.

කවීශ්වර ද එවෙලේ කාමරයට වැදුණ ගමන් පිටතට නාවේ ය. “මට පුළුවන් එයා ගැන චරිත සහතික දෙන්න..ඕන කෙනෙක්ට…ඕනම කෙනෙක්ට..” යන ආරාධනා ගේ ප්‍රකාශය කොයි තරම් වාර ගණනක් ඔහු ගේ හිතේ පිළිරැව් නැගුණා ද කියා කවීශ්වර ම නො දනී. විටෙක ඔහු ගේ පපුව පිපිරෙන්නට තරම් දැනුණේ ය. විටෙක ඔහු ගේ ඇස් වලින් කඳුළු වැටුණේ ය. කිසිවෙකු දකීවියි බියෙන් ඔහු ඉක්මන් කොට ඒ කඳුළු පිස දා ගත්තේ ය.

සැනසුම් පාය ගැඹුරු නිහැඬියාවක ගිලී තිබිණ. ඒ නිහඬ බව අතරින් උගුර පාදා ගෙන, බෝ රෑ බෝ වූ පසු ගජධීර කාමරයට ආවේ ය. කවීශ්වර දනිපනි ගා යහනෙහි හිඳ ගත්තේ ය. ප්‍රතාපවත් කේෂර සිංහයෙකු සේ විත් ගජධීර පුත්‍රයාට යාබද ව අසුන් ගත්තේ ය.

“සේනාසිංහලට කෙළින්ම එහෙම කියපු එක හොඳයි. කාට කාටත් දැනුම් දීල මිසක් අපි රහසින් මුකුත් කරන්න ඕන නෑනෙ”

“ඒ වුණාට තාත්තෙ…ආරාධනා…”

“කසාදෙකට තාම හිත හදාගන්න බැරි වුණත් කෙල්ලගෙ අකමැත්තක් නෑ පොඩීට. එහෙම නැත්තං එයා ආයෙ මෙහෙට එන්නෑ. තමංගෙ සහෝදරයට විරුද්දව…පොඩීගෙ පැත්තෙ ඉඳං කතා කරන්නෙත් නෑ. දේවල් සිද්ද වෙන්න නියමිත විදිහට වෙන්න ඇරල…හෙමිහිට බලං ඉමු. ම්…”

කවීශ්වර පියා ගෙන් හංගා ගෙන මූණ බිමට හරවා ගත්තේ ය. හදවත ඇතුළේ සරැලි නගනා සිනහව ඔහු ගේ දෙතොල් වලින් පිටමං වෙන්නට පාර හෙව්වේ ය. ගජධීර බාල පුතා ගේ උරහිසට තට්ටුවක් දමා ගෙන කාමරයෙන් නික්ම ගියේ ය. 

හිරි පොදයේ හඬ අසමින් ම යහනෙන් නැගිට විත් ආරාධනා විද්‍යුත් කේතලයට වතුර පුරවා පේනුව සවි කළා ය. ‘එයා කවදාවත් ඒකට අවසරයක් දුන්නෙ නැතත්…එයාවයි දරුවො දෙන්නවයි බලා ගෙන මට හැමදාම මෙහෙම ඉන්න පුළුවන්’ යන කවීශ්වර ගේ වදන් ඇගේ හදෙහි තවමත් ප්‍රතිරාව නැගේ.

ආරාධනා ගේ කාමරයේ දොර හැරෙනු ද ඉන් පසු මුළුතැන්ගෙයි හඬවල් ද කවීශ්වර අසා සිටියේ ය. ඔහු නැගිට එහි නොයා සිටියේ හිතා මතා ම ය. ආරාධනා තේ හදත්දී රාජිකා මැණිකේ නැගිට ආවා ය. කවදාවත් නැති ලෙස ඇගේ මූණ බලන්නට බැරි අපහසුවක් ආරාධනා ට දැනේ. ඒ පවුර බිඳ දැමිය යුත්තේ තමන් විසින් ම බව ඇය තීරණය කර ගත්තා ය.  

“අම්මෙ…අම්මල මං ගැන…කොහොම හිතනවද කියල මං දන්නෑ”

“කොහොම හිතන්නද දරුවො…හැමදාම හිතපු විදිහටම තමයි. ඔයා අපිට ලේලි නෙවෙයි. දුවෙක්. ලේලි වුණානං දික්කසාදෙත් එක්ක ඒ නෑකං නැති වෙලා යන්න තිබුණ. හැබැයි අපිට කවදාවත් ඔයා නැති කරගන්න බෑ. දුවයි දරුවො දෙන්නයි නැතුව ඉන්නත් අපිට බෑ. මං දන්නෙ එච්චරයි”

“අනේ තෑන්ක් යූ අම්මෙ…”

රාජිකා මැණිකේ ගේ තේ කෝප්පය ඈ අතට දුන් ආරාධනා, බිඟුනි ගේ කිරි එක නිවෙන්නට තබා තේ බන්දේසියත් කැටිව ගජධීර වෙත ගියා ය. ඈ හිස පිරිමැද ඔහු කෝප්පය ගත්තේ ය. ඉතිරි තේ දෙකත් සමග කවීශ්වර ගේ දොරකඩ නතර වූ ඕ එයට තට්ටුවක් දැමුවා ය.

“එන්න”

ඒ හඬ හිතුවක්කාර වූයේ ය.  කවීශ්වර සිටියේ යහන මත හිද ගෙන ය. ඔහු අවදි වී සිට ඇති බවක් ඒ අනුව ආරාධනා ට සිතා ගත හැකි විය.

“අද බිඟුව ඉස්කෝලෙ යවන්න ඕන්නෑ නේද…පීඑච්ඩී එක කරනව නෙවේනෙ. මේ වැස්සෙ යන්න ඕන්නෑ. ගෙදර හිටපුදෙං”

කවීශ්වර තේ කෝප්පය ගෙන මේසය මතින් තැබුවේ ය. ආරාධනා බන්දේසිය එක් අතකට ද අනිත් අතට සිය තේ කෝප්පය ද ගනිමින් එකඟතාවය හඟවන්නට හිස සැළුවා ය. ඔහු මේ විදිහට දරුවන් ගැන අයිතිවාසිකමකින් කතා කරත්දී ඇගේ පපුවට දැනුණේ සැහැල්ලුවක් ද නැත්නම් බරක් ද කියා වෙන් කොට හැඳින ගත නො හැකි ය.

“තෑන්ක් යූ”

ඊළඟට කවීශ්වර කතා කළේ ඇගේ නෙත් විල් හි කිමිදෙමිනි. ඔහු කියන්නේ කුමක් ගැන දැයි ආරාධනා ට එක වර පැහැදිලි වූයේ නැත. ඒ අනුව ඇගේ ඇස් කුඩා විය.

“මාව විශ්වාස කළාට…මං ඒ විශ්වාසෙ කවදාවත් කඩන එකක් නෑ. ඒක මං මටම දෙන පොරොන්දුවක්”

‘වදෙං පොරෙං බලෙන් පොරොන්දු රකින්න යන්න ඕන නෑ කවීශ්වර. ඔයාට යන්න ඕන කියල හිතුණ දවසක අහිතක් නැතුව යන්න අරින්න මට පුළුවන් වෙයි. ඉස් ඉස්සරෝම මට ආදරේ කරපු පිරිමියා ඔයා කියන හරිම සිනිඳු සිතිවිල්ල මැරෙන මොහොතෙත් මගෙ හිතේ තියෙයි. මං ඒ සිනිඳු හැඟීමට මැරෙනකල්ම හරි ආදරෙයි’ 

එහෙම හිතුවාට ආරාධනා ඒ කියන්නට ගියේ නැත. ඇය කාමරයෙන් නික්මෙන්නට හැරුණා ය. කවීශ්වර එක තත්පරයකට ඉස්සර වූයේ ය. ඇගේ බඳ වටේ දෑත් යැව් ඔහු ඒ ගෙල පාමුල හරි ඉක්මන් හාදුවක් තැබුවේ ය. හද ගැස්ම කෙතරම් වේගවත් වී ද ආරාධනා ඊළඟ පියවර පෙරට තබා තිර රෙද්ද අතරින් නො පෙනී ගියා ය. නමුත් ගැස්සුණ තරමට කිරි තේ බිඳක් ටයිල් පොළොව මත ඉහිරිණි. කවීශ්වර ගේ දෙතොල් අතරේ දඩබ්බර සිනහවක් මනමාලකම් කරමින් තිබිණ.

💜️මගේ අලුත් ම නවකතා වන නිබ්බුත ගීත, ප්‍රේම ගාථා හා අහස තරු සහ කළුවර ඔබ ඉන්නා තැනකට ගෙන්වා ගන්නට අවැසි නම්, 0788376053 අංකයට වට්සැප් පණිවිඩයක් තබන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles