සේපාලිකා.

“කියන තරම් ලොකු ගාණක් යන එකක් නෑ නාරද වැඩේට…”

ජයනි එහෙම කිව්වේ නිවසේ සැලැස්ම අතේ තියාගෙන.ගෘහ නිර්මාණ ශිල්පියාගේ දාහක් යෝජනා එක්ක එකඟ වෙනවට වඩා ජයනි කළේ එයාගේ අදහස් කියන එක.ඒත් ජයනිට ඕනෑ කරන විදියට ගේ අලුත්වැඩියා කරනවට වඩා අලුත්ම ගෙයක් හදන එක ලාබයි කියලා නාරදටත් නොහිතුණා නෙවෙයි.

“අර මිදුලෙ තියන ලොකු සේපාලිකා ගහ.අන්න ඒකනම් අයින් කරන්න ඕන නාරද..”

ජයනි එහෙම කියද්දී ගැස්සිලා ගියේ නාලිකා.ගාමිණිගේ මරණයෙන් පස්සේ එකම පුතා මහ ගෙදර ගැන බලන එක නාලිකාට සැනසීමක්.ඒත් ගාමිණී දාඩිය මහන්සියෙන් ගොඩ නගපු ගේ කඩන්න යනකොටත් නාලිකා ටිකක් තිගැස්සුණා.

“ළමයි හිතන්නෙ අලුත් තාලෙටනෙ මැණිකේ.”

පින්තූරෙකට වෙලා හිනා වෙන ගාමිණි එහෙම කියනව වගේ නාලිකාට ඇහුණේ.ඒ නිසා තමයි ගෙවල් අලුත්වැඩියා කරන පුතාටත් ලේලිටත් මොකුත්ම නොකියන්න තීරණය කළේ.

“ඒක ඔහෙ තිබ්බාවේ ජයනි.නුවන් කිව්වෙත් ඒක අයින් කරන්න ඕන නෑ කියලනෙ.”

නාරද කියද්දී ජයනි නාරදට එරෙව්වා.ඊටත් පස්සේ අලුත් ගෙඋයන සැලසුම් කරපු හැටි සහ ඒ සැලැස්මට පරණ තාලේ සේපාලිකා ගහක් ගැලපෙන්නේ නැති හැටි විස්තර කරා.

“සේපාලිකා ගහක් හරි සිරියාවයිනෙ දුවෙ..”

නාලිකා එහෙම කියාගත්තේ අමාරුවෙන්.ඒත් ජයනි හිනා වුණේ ඒ කතාව අනුමත නොකරන අන්දමකින්.මේ වැඩේ ලස්සනට ඉවරයක් කරන්න හදන ජයනිට නැන්දම්මාගේ පරණ තාලේ අදහස් එච්චර වැදගත් වුණේ නෑ.

“කවද්ද පුතේ ගේ කඩන්නේ?”

හවස් යාමයේ තේ හදාගෙන ඇවිල්ලා මේසෙන් තිබ්බ නැන්දම්මා ආයේ චුරු චුරුව පටන් ගනිද්දී ජයනිට කේන්තියකුත් ආවා.මැරෙනකොට අරන් යන්න වගේ අහන තාලේ!

“ලබන සතිය දිහාවේ වැඩ කරන කට්ටිය එයි අම්මෙ.සති තුනහතරකින් වැඩේ ඉවර කරමු..”

නාරද එහෙම කිව්වේ අම්මා හදපු වැලිතලප කෑල්ලක් කන ගමන්.

“අප්පේ ඉතිං..අප්පච්චිට ගේ හදන්න අවුරුදු කීයක් ගියාද? ඇයි ටික ටිකනෙ කරේ.මුලින්ම අර කාමර දෙක තමා හදා ගත්තෙ.පුතා පොඩි හින්දා අපි කුලී ගෙවල්වල හිර නොවී පුලුවන් හැටියට ගේ හදාගෙන ආවනෙ දුවේ.කුලී ගෙවල්වල ඉතිං හරියකට දණගාන්නවත් ඉඩක් නෑනෙ දරුවන්ට..”

නාලිකා කියන්නේ අතීතයේ අතරමං වෙලා වගේ.

“අප්පච්චි ඒ දවස්වල ගේ හදන්න ණය වුණායින් අපිට අමාරුකමුත් තිබ්බා.ඒත් ඉතිං හරියකට ගෙයක් හදාගත්තු එක ගැන නම් පුදුම සන්තෝසයක් තිබ්බෙ..”

නාලිකා කියන්නේ බිත්ති අතගාන ගමන්.පුතාවත් තමනුත් සතුටින් තියන්න ගාමිණි මොන මහන්සියක් ගත්තද කියලා හිතනකොට ඇස් දෙක තෙමෙන්න නොදැනීම.

“මං හරි ආසයිනෙ වවන්න.ඔය පළතුරු ගස් හිටෙව්වේ පුතාටමයි.මහත්තය ඉතින් කිව්වා ඕවයින් අපි නොකෑවත් මුණුබුරෝ ලේලිලා එහෙම කයි කියලා.හරිනෙ ඉතින්..එයාට ඉන්න බැරි වුණා..”

ගෙඩි පිරිච්ච පේර ගහට ඇස් අලවාගෙන නාලිකා කියන්නේ වේදනාවෙන්.ඒ කාලෙත් ඔය හැම ගහකම ගෙඩි ඉදෙනකම් බලන් ඉන්නේ පුතාට දෙන්න.පුතා වෙනුවෙන් කරන්න තියෙන හැම යුතුකමම කරලා තමයි ගාමිණි යන්න ගියේ.

“මේ පේර ගහ හිටෙව්වෙ පුතාගෙ උපන් දිනේකට.අර ලොකු අඹ ගහ හිටෙව්වෙ පුතා සිස්සත්තෙ පාස් වුණහම ඒ සතුට සමරන්නනෙ..අපි හැමදාම මතක හිටින දවස්වලට ගස් හිටෙව්වා..”

නාලිකා එහෙම කියන්නේ ජනේලෙන් එළිය බලාගෙන.කියනවා නම් පැය ගාණක් තිස්සේ විස්තර කියන්න පුලුවන්.මතක කොච්චරක් නම් තියනවද?

“එතකොට අම්මේ අර සේපාලිකා ගහත් ස්පෙෂල්ද?”

ජයනි එහෙම ඇහුවේ ඒ ගහ කපනවට නාලිකා අකමැති වුණු හැටි මතක් කරගෙන.ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර නොදී නාලිකා ටිකක් වෙලා නිහඬව හිටියා.

“පුතාට නංගියෙක් හම්බ වුණානෙ දුවේ.වීදුරු කාමරේ දාලා සතියයි හිටියෙ.මොකක්ද අසනීපයක් තිබිලා.දැන් කාලෙ වගේ ඉතිං ස්කෑන් පරීක්සන එහෙමත් ඒ කාලේ නෑනෙ.ඒ දුවට අපි තිබ්බ නම තමයි සේපාලිකා..”

නාලිකා උඩට ගත්තු හුස්ම පහළට දැම්මේ වේදනාවෙන්.ඒ වේදනාව කොහොම එකක් වෙන්න ඇතිද කියලා ජයනි හිතුවේ තවම නොපිරුණු කුසට අතක් තියන ගමන්.හැම මාසෙකට බලාපොරොත්තු රතු පාටට හේදිලා යනකොට තමන් විදින වේදනාව මොනතරම් ද? නව මාසයක් දැක්ක හීන සතියක් ජීවත් වෙලා යන්න ගියාම නාරදගේ අම්මා ඊට වඩා වේදනාවක් විඳින්න ඇති.

“දුගේ පළවෙනි උපන්දිනේ දා අපි ඔය මල් ගහ හිටෙව්වෙ දුවේ..කවදාවත් ගහ මල් වැරුවේ නෑ..”

නාලිකා හිස් කෝප්ප ටිකත් එකතු කරගෙන ගෙට ගියේ එහෙම කියාගෙන.

රෑ හඳ එළිය ඉහිරුණු මිදුලේ ජයනි එහෙමෙහෙ ඇවිද්දේ සේපාලිකා මල් සුවඳ විඳගෙන.අම්මාට නම් සේපාලිකා මල් සුවඳ හරි තනි රකිනවා.

“නාරද, අපි නුවන්ට කියමුද ගේ හදන වැඩේ අත් ඇරියා කියලා.අපිට පුලුවන් නම් තීන්ත ටිකක් ගාලා වහලෙ එහෙම හදලා ගමු.තාත්තගෙයි නංගිගෙයි මතක අපි විනාස කරන්න නරකයි..”

නාරද මොකුත්ම කීවේ නෑ.සේපාලිකා මලක් අහුලාගෙන ඒ මල ජයනිගේ කොන්ඩේ ගහලා හීනියට හිනා වුණා.මල් සුවඳ හුළං කැරැල්ලක එතිලා ජනේලෙන් ගෙට රිංගුවේ නාලිකා හොයාගෙන.

“දුවෙක් කියන්නේ මල් සුවඳකට ඒක දවසක මටත් හොඳටම තේරෙයි..” ජයනි ඒක කියාගත්තේ තමන්ටමයි.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content