පමණට වඩා බීමතින් සිටි සියත්‍ර රන්දෙණිගල මෝටර් රථයෙන් බැස ඉතා අපහසුවෙන් නිවසේ තරප්පු පෙළ නඟිමින් ඉහල මහල වෙත අඩි තබමින් සිටියේය. සෙමින් සෙමින් ඇවිද විත් තම නිදන කාමරයේ දොර විවර කරන මොහොතේම ඇසුණු උස් හඬ නිසාම ඔහු සිහින් වූ දෑසින් වේගයෙන් ඇසි පිය සලමින් ඒ හඬ ආ දෙසට හිස හැරවුවේය. පමණට වඩා බමණ මතින් සිටි ඔහු නිදන කාමරයට යාම පසෙක තබා නැවතත් අපහසුවෙන් අඩි තබමින් හඬ ආ දෙසට හැරුණේය. උඩු මහලේ විසල් බැල්කනිය තුළට ඇතුළු වනවාත් සමඟම සිහින් වූ දෑසින් දුටු දර්ශනයෙන් කැළඹී ගිය ඔහු වහා වහා ඉක්මන් අඩි තබා ඒ දෙසට දිව ගියේය . ඉන් පසුව වහාම තම හැඩි දැඩි අත දිගු කොට තම පියා වූ දිනේන්ද්‍ර රන්දෙණිගලගේ කොලරයෙන් අල්ලා මරණ තර්ජනය කරමින් සිටි පිරිමි පුද්ගලයාව වහා පසෙකට ඇද ඔහුගේ මුහුණට තදින් පහරක් ගැසුවේය.
” තෝ.. කවුද #$& මගේ තාත්‍තට අත තියන්න ? ”
එසේ පැවසූ ඔහු වේගයෙන් තවත් පහරක් එල්ල කළ අතර පිරිමි පුද්ගලයා විසිවී ගොස් තෙමහල් නිවසේ ඉහලම බැල්කනියෙන් පහළට ඇද වැටුණේය.
යහනේ හිඳගත් සියත්‍ර වේගයෙන් හති ළන්නට වූයේය . නිතර නිතර තමා අතින් සිදු වූ ඝාතනයක් පිළිබඳව සිහිනයෙන් දැක පීඩා විඳිමින් අවුරුදු ගණනාවක් පුරාවටම සුව නින්දක් අහිමි කරගෙන හුන් ඔහු අදද එකී සිහිනයෙන්ම අවදි වී තම නින්ද අහිමි කරගෙන තිබුණේය. ඔහු වහා අනෙක් පස හැරී අසල තිබූ ජංගම දුරකතනය අතට ගෙන වේලාව බැලු අතර එහි පාන්දර දෙක පසුවී මිනිත්තු දහසයක් ගත වී ඇති බව පෙන්නුම් කළේය . වහා යහනෙන් බැස නිදන කාමරයේ පසෙක තිබූ කුඩා ශීතකරණයෙන් ගත් වතුර බෝතලයක් එක හුස්මට පානය කළ ඔහු දුම් වැටියක් දල්වා ගනිමින් නිදන කාමරයට යාබද බැල්කනිය වෙත පිය නඟා නිහඬවම එය පානය කරමින් තම වේගයෙන් ගැහෙන හදවත සනසා ගන්නට උත්සාහ දැරුවේය . නමුදු බැල්කනියෙන් පහල බැලූ සැණකින් ලේ ගංගාවක් මත වැටී මිය ගොස් සිටි පිරිමි පුද්ගලයාගේ මළ සිරුර තවමත් තම ගෙමිදුලේ ඇති ආකාරය ඔහුට ක්ෂණිකව පෙනී නොපෙනී ගියේය.
” මොන #$& ක්ද මට මේ කරුමෙන් ගැලවීමක් ඇත්තෙම නෑ.. “
හේ තදින් බැල්කනියේ බරාඳයට පහරක් ගැසුවේය.
***********************************************
කාලය ගතව යන්නේ ඊයක වේගයෙනි. ශාක්‍යාගේ දෙමහල් නිවසේ උඩු මහලේ ඇති කුඩා නිවසෙන් , විශ්ව විද්‍යාලයටත් , විශ්ව විද්‍යාලයෙන් රස විමනටත් , රස විමනෙන් යළි නිවසටත් ගෙවෙන දවස් ඉතා කාර්‍යබහුල හා වෙහෙසකාරී උවද කුඩා තරුණියගේ සිතෙහි ඒ කිසිවක් පිළිබඳව කණගාටුවක් නොතිබිණි. කෙතරම් කාර්‍යබහුල වුවද සිත් පීඩා නොමැතිව සියල්ල පැහැදිලිව හා යහපත් අන්දමින් ගෙවෙන ඒ දින ගණනට ඈ බොහෝ සෙයින් ආලය කළාය . විශ්ව විද්‍යාලය තුළ අලුතින් හඳුනා ගැනීමට ලැබුණු මිතුරු මිතුරියන් ප්‍රමාණය ඉතා අධිකය. රස විමනේ සිට දිනපතා යන RD ප්‍රධාන ගොඩනැගිල්ලේ සේවක මඬුල්ලද ඉතා ලෙංගතුය . ශාක්‍යාගේ කුඩා නිවහන මෙන්ම ශාක්‍යාගේ කුඩා පුතු පැටියාද ඉතා ස්නේහවන්තය. පුංචි පුතුට මාස තුනක් වැනි කාලයකදි මිය ගොස් තිබූ ශාක්‍යාගේ සැමියා පිළිබඳවද , දරුවාගේ අපලයක් හේතුවෙන් පියා මිය ගිය බව පවසා දෙස් දෙවොල් තැබූ නැදි මළණුවන් ගැනද හැන්දෑවක තොළ ගානා තේ කෝප්පයක් , නැතහොත් රාත්‍රියට බෙදා හදා ගන්නා ඉඳිආප්පයක් , එළවලු රොටියක් කන අතර මඟ ශාක්‍යා පවසා තිබුණාය . තම දෙමාපියන්ගෙන් උරුම වූ මෙම නිවසේ කිසිදු ඥාතියෙකු ආස්‍රය නොකර , නිදහසේ හා පාඩුවේ ජීවත් වන ශාක්‍යා බොහෝ විට සඳැස්වියට එක කුස උපන් සහෝදරියක් මෙන් වූවාය. සියල්ල එසේ යහපත් අන්දමින් සිදු වද්දී කෙතරම් කාලයක් ගත වුණිද රකුසු දෑස් හිමිකාරයාගේ යහපත් වචනයක් තබා එකදු බැල්මක් හෝ ඈ දෙසට වැරදීමකින් හෝ නොවැටුණු අතර ඉතා කුඩා සිදුවීමකදී පවා කඩා පනින ඔහුගේ ගොරහැඬි වදන් හා හැසිරීම ගැන පමණක් ඈ තනිවම හදවතින් දුක් වූවාය.
ගෙවී ගිය සති දෙකක කාලය තුළ රස විමනට සුදුසු ආකාරයට RD ප්‍රධාන ගොඩනැගිල්ලේ පහත මහලයේ පරිසරය සැකසෙමින් තිබුණේය. ඉදින් ඒ දින කිහිපය ඉතා කාර්‍යබහුල දින ගණනාවක් වුවද සඳැස්වි එයට මහත් සේ ප්‍රිය කළාය. විශ්ව විද්‍යාල දේශන අවසන් වූ වහා RD ප්‍රධාන ගොඩනැගිල්ලට දිව එන ඈ එහි නිර්මාණය වන රස විමන අවන්හල වෙනුවෙන් වෙනදාට වඩා වැඩි වේලාවක් ගෙන රාජකාරියේ නිරත වූවාය. තම කුඩා පාසල් යන නැඟණියට අලුතින් පාසල් බෑගයක් හා සපත්තු යුවළක් රැගෙන දිය යුතු බව ඈ නිතරම මතකයේ තබා ගත්තාය . වැඩ කරන අතිකාල දින කිහිපයේ පුංචි මුදලක් හෝ වැඩිපුර උපයා ඉන් නැඟණිය වෙනුවෙන් වියදම් කළ යුතු බව ඈ මාසය මුලම සිතට ගනිමින් සිටියාය . ඉදින් පෙරට වඩා වැඩි වේලාවක් රස විමනේ රාජකාරි කිරීමට යොදා ගත් ඇය බොහෝ දුරට මැදියම් රැයත් පහව යන තුරු ඉගෙනීමේ කටයුතු වල නිරත වූවාය.
**********************************************
” Hi guys..Today I’m in Rasa Vimana… an authentic Sri Lanka Restaurant.
This has the friendliest staff I ever met…
Also… the yummiest food I’ve ever tasted”
“හායි මිතුරනි , අද මං ඉන්නේ ශ්‍රී ලංකාවේ මේ වෙනකන් මං ආහාර ගත්තු ස්ථාන වලින් රසවත්ම ආහාර හා සුහදශීලීම සේවක පිරිසක් ඉන්න අවන්හලක් ඇතුළේ. “
සමාජ ජාලා ක්‍රියා කරුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක එදින ප්‍රධාන කතිකාව ගොඩ නැඟී තිබුණේ රස විමන පිළිබඳවය.
” Meet this cute little waitress. As you can see she is so pleasant and a resemblance of Sri Lankan hospitality . Her service is beyond than a mere service.. It feels like home”
” මේ අවන්හලේදී මට මුණ ගැහුණා ඉතාම හුරුබුහුටි තරුණියක්. ඇයගේ කතාව ඉතා ප්‍රියමනාපයි. ඔබට ඔබේ නිවසට පැමිණියාක් මෙන් හැඟීමක් මේ අවන්හල තුළ මොවුන්ගේ ලෙංගතු සේවාව හරහා දැනෙන්න පුලුවන් “
” Hello… Tell us your good name, beautiful”
” හායි ලස්සන ගෑනු ළමයෝ , කියන්න අපිට ඔයාගේ නම ?”
” Hi, I am Sandaswi.”
” හායි , මම සඳැස්වි “
” S.. da, sa oh.. I can’t pronounce that name. I’m sorry. It’s okay. Tell me why the food at your restaurant is so delicious and good? “
“ස.. ඩ , සඩ ඔහ්.. මට ඒ නම උච්චාරණය කරගන්න බෑ . මට සමාවෙන්න. හරි කමක් නෑ. මට කියන්න ඔයාලගේ මේ අවන්හලේ කෑම ඇයි මෙච්චරම රස හා ගුණ ? “
” The reason for it is that we only use organic & quality products in cooking. We never add any artificial colours & flavours, but only carefully selected finest & fresh ingredients.
Also we have an excellent panel of chefs. Each dish is tailor made to your requirements.”
” ඒකට හේතුව අපි ආහාර සෑදීමට ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ වස විස තොර අමුද්‍රව්‍ය. ඒ වගේම අපි කිසිම රසකාරකයක් යොදා ගන්නේ නෑ. අපිට ඉන්නවා දක්ශ සූප වේදියෝ පිරිසක්. ඒ අය තත්වයෙන් සහ ගුණාත්මක ආකාරයෙන් ආහාර පිසිනවා වගේම හැම ආහාරයකම ගුණය රැක ගනිමින් ස්වභාවික රස ඉස්මතු කරමින් ආහාර පිසින්න ඒ අය ගොඩාක් උනන්දු වෙනවා. “
” Wow… sounds good & nice explanation “
” වාව්.. ඔයා හරි ලස්සනට කතා කරනවා වගේම ඔයාගේ පැහැදිලි කිරීම් අති සාර්ථකයි “
” Thank you very much. “
” බොහොම ස්තූතියි “
” Once you enter here..you can smell the aroma of authentic Sri Lankan dishes. It surely makes you hungry even if u are not…”
” මේ අවන්හලට එන විටම ශ්‍රී ලාංකික කෑම වල ආවේණික සුවඳ වර්ග දැනෙනවා. ඒක බඩගින්නක් නැති කෙනෙකුට උනත් බඩගින්නක් ඇති කරවන්න පුලුවන් ජාතියේ සුවඳවල්. “
” That’s the aroma of our secret ingredients. We use only organic & natural spices exclusively manufactured in our own RD Foods “
” ඒ අපි භාවිතා කරන කුළුබඩු වල සුවඳ. අපි මේ රසවිමන අවන්හලේ සියලුම ආහාර වර්ග සඳහා භාවිතා කරන්නේ RD foods වෙතින් නිෂ්පාදනය කරන කුළුබඩු සහ අමුද්‍රව්‍ය වර්ගයි. “
” Does this restaurant serve local and foreign food? “
” දේශීය ආහාර වර්ග වගේම විදේශීය ආහාරත් මේ අවන්හලේ තියෙනවා ? “
” Yes, of course. We prepare a wide variety of food in the restaurant, including bakery products from Sri Lanka and many other countries.”
” ඔව් , ඇත්ත වශයෙන්ම . අපි ශ්‍රී ලංකානු මෙන්ම රටවල් බොහෝමයක බේකරි නිෂ්පාදන ඇතුළු බොහෝමයක් ආහාර වර්ග අවන්හල තුළ පිළියෙළ කරනවා. “
බ්‍රිතාන්‍ය ජාතිකයා හා සඳැස්විගේ කතා බහ තව දුරටත් වීඩියෝවේ දර්ශනය වෙමින් තිබුණද එය අක්‍රිය කළ සියත්‍ර රන්දෙණිගල තමා ඉදිරියේ උන් මහීල් හා ශාක්‍යා දෙසට තම දෑස විතැන් කළේය.


