හේමමාලී දිගින් දිගටම කඳුළු වගුරවමින් සිටියාය.
” දැන් ඇති අම්මේ.. , අඩු තරමේ අපි දැන් වෙලා තියන ඇත්ත සිද්ධියවත් දන්නවනේ.. “
” මොකටද බං එහෙම ? ඇත්ත කියන දේ හැම වෙලාවෙම ඉස්සරහට එන්න ඕනේ තමයි. මිනිස්සුන්ට ජීවිත කාලෙටම බොරුවෙන් ජීවත් වෙන්න බෑ. කවදහරි අර වතුර මැටිකෝප්පේ එබුවේ රබර් ගුලිය වගේ කොච්චර යට ගහන්න හැදුවත් ඇත්‍ත කියන එක උඩට එනවා. ඒත් එහෙම උඩට එන ඇත්‍ත අපිට දරාගන්න බැරි නම් අපි මොකද කරන්නේ බං ? තාත්තා නැති උනා. කාලෙත් එක්ක අපි නොවිඳිනා දුක් විඳලා හරි ජීවත් වුණානේ. ඒත්.. මෙහෙම දෙයක් දැනන් හිටියේ නෑ. දැන් ඉතිං සැනසීමෙන් නිදාගන්න පුලුවන්ද කියහන්කෝ ? “
මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කඳුළු වගුරවමින් හඬා වැටෙන හේමමාලි දෙසත් හිස් බැල්මකින් දුර කල්පනාවක වෙළී සිටින සඳැස්වි දෙසත් බැලූ මහීල් විසල් සුසුමක් හෙළුවේය.
” සඳැස්විගේ අම්මා.. ! අම්මා කියපු කතාව හරි. අපිට බෑ කවදාවත් ඇත්‍ත කියන දේ හංගලා තියන්න. කවදහරි දවසක ඒවා එළියට එනවා. මනුස්සයෙක් ලෙඩක් දුකක් හැදිලා හරි , අනතුරක් වෙලා හරි මැරුණා කියන එකට වඩා ඒ කෙනාගේ මරණෙට හේතුව ඝාතනයක් කියන එක අපිට රිදෙනවා වැඩියි. ඒත්.. මේ ලෝකේ කවදාවත් වැරදිකාරයෙක්ට ඉඩක් තියන්න නරකයි. සෝමතිලක නැති උනේ අසාධාරණේට විරුද්ධ වෙන්න ගිහිල්ලා. අම්මලා ඒ මනුස්සයා ගැන ආඩම්බර වෙන්න. සෝමතිලකගේ මිනීමරුවෝ දැන් ඉන්නේ රිමාන්ඩ් එකේ. සෝමතිලක කවදාවත් වරදක් කරපු මිනිහෙක් නෙමෙයි. කාගෙහරි හිතක නිකමට හරි එහෙම සැකයක් තිබ්බානං මේ වෙච්ච දේවල් වලින් ඒ ඔක්කොම නැති වෙලා යනවා නේද ?”
හේමමාලී නැවතත් දෑසින් වැගිරුණු කඳුළු පිසදා දැමුවාය.
” සර්.. ! වාහනේ ආවා.. “
” අපි ගිහින් එන්නං අයියේ.. “
” පරිස්සමට.. “
” ගිහින් එන්නං මහත්තයෝ.. “
” හොඳයි අම්මා.. !”
තරුණියත් , ඇගේ මවත්, සොයුරියත් රැගෙන යන මෝටර් රථය නොපෙනී යන තුරු බලා සිටි මහීල් දුරකතන ඇමතුමක් ලබා ගත්තේය.
” වැඩේ ඉවරද ?”
” ඔව්. “
” අම්මලා ගියාද ?”
” අම්මලා විතරක් නෙමෙයි දුවත් ගියා “
” මොකක් ?”
” ඔව්. “
” විහිළු කරන්නෙපා බං “
” ආසාවකට මූණේ හිනාවක් නැති උඹ වගේ එකෙක් එක්ක විහිළු කරලා මං තනියෙන් හිනා වෙන්නද ? සඳැස්වි අම්මලත් එක්කම ගමේ ගියා. “
” යකෝ… ! නෙක්ස්ට් වීක් එග්සෑම්. “
” මාත් ඇහුවා . දවස් දෙකක් ඉඳලා එන්නං කිව්වේ. “
” පුදුම හිතුවක්කාරකමක්නේ මේක.. ?”
” හිතුවක්කාරයිනං තොට තිබ්බනේ ඇවිල්ලා නතර කරගන්න. ? තෝ ඒ කෙල්ලගේ කෝල් එකක්වත් ආන්සර් නොකර ඔහොම ඉන්නකොට ඒකිට මොනා හිතෙනවා ඇද්ද ?”
” මට මූණ බලන්න බෑ බං. අඩෝ.. මං කියන දේ තේරුම් ගනින්කෝ. “
” තොට අනිත් හැමදේම ඒ කෙල්ලගේ මූණ බලන් කරන්න පුලුවන්නං ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට කතා කරලා ඒක විසඳගන්න බැරි කමක් නැති වෙන්න බෑනේ. ? අර ඉස්කෝලේ යන පොඩි උන් වගේ දෙපැත්තට වෙලා කතා නොකර බුම්මන් ඉන්නේ. ? තරහ වෙන්න එපා. උඹ මගේ යාලුවා තමයි. ඒ උනාට මේ වෙලේ මං ගන්නේ ඒකිගේ පැත්ත.”
එසේ පැවසූ මහීල් දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය.
” ආපු වෙලේ ඉඳන් ඇඳ බදාගෙන. මොකද්ද නංගි ඔයාට වෙලා තියෙන්නේ ? අසනීපයක්ද ?”
” ආ.. නෑ.. “
ඇගේ අසලින්ම යහන මත වාඩි වූ සඳමාලි කුඩා යුවතිය දෙස බලා විපරමින් ඇසුවාය.
” එහෙනං ? මං මේ අහන්න හිටියේ ඇයි තාම කතා කළේ නැද්ද ? “
වැඩිමල් සොහොයුරිය දෙස හිස ඔසවා බැලූ ඈ නැත ලෙසට පවසමින් හිස දෙපසට සැලුවාය.
” අර ලෝයර් මහත්තයා කිව්ව වගේ ඔයාට මූණ දෙන්න බැරුව ඇත්‍තේ. “
” ඒ උනාට මං මුකුත් කිව්වේ නෑනේ අක්කේ. හිත යට පොඩි කොස්සක් නොතිබ්බම නෙමෙයි. ඒත් අර උත්පලා මැඩම් ඔලුව උස්සගන්න බැරුව මගේ දිහාට අත් දෙක එකතු කරලා කියපුවා මතක් වෙනකොට පපුව පිච්චෙනවා අක්කේ. එයාට තියා එයාගෙ මුලු පවුලටම සමාව දෙන්න බැරි කමක් මට නෑ. ඒත් .. මට තරහා මෙහෙම වචනයක්වත් නොකිය මඟ ඇරලා ඉන්න එකට. අඩුම කෝල් එකක් වත් දීලා කතා කළානං අපි දෙන්නාට එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගන්න තිබුණනේ. ?”
” ඒක නං ඉතිං ඇත්ත. හැබැයි ඒ මනුස්සයා දැක්කම එහෙම මඟෑරලා යන කෙනෙක් විදිහට පේන්නෑ නංගි. මං එදා දැක්කනේ ටීවි එකෙන්. අම්මා කිව්වා රජෙක් වගේ කොල්ලෙක්නේ කියලා. මට ඉතිං කියන්න හිතුණා පොඩි දුව රජාව අල්ලගෙන කියලා “
” අනේ.. අම්මේහ්.. අක්කේ .. දැන්මනං එපා. “
” ඇයි ?”
” පස්සේ හිමින්සැරේ කියමු “
” කොයික උනත් අම්මට මේ ගැන කියලා තියන්න සුද්දි. එතකොට හිතටත් හොඳයිනේ ?”
” හ්ම්ම්.. “
” වාහනයක් ආවා නේද ?”
” ආ.. ?”
” වාහනයක් ආවා. ඉන්න බලන්න. “
එසේ පැවසූ සඳමාලී හිඳ උන් යහනෙන් නැඟී සිටියාය.
” ගන්කන්ද මහත්තයනේ ? මං බැලුවා කවුද කියලා. ?”
මිදුල දෙසින් ඇසුණු හේමමාලිගේ කටහඬට සඳමාලි වහා ආලින්දයට පැමිණි අතර අවුල් වූ කෙස් කළඹ පීරා ගත් සඳැස්විද වහා ආලින්දය දෙස බලා ගල් ගැසී සිටින සඳමාලි අසල නතර වූවාය.
” ඇ…”
සඳමාලිගේ පාෂාණීභූත වීම විමසීමට පෙරම නිවසේ ප්‍රධාන ද්වාරයෙන් ගන්කන්ද පසුපසින් මතු වූ රුව දුටු සඳැස්වි වහා තදින් තමා අසල උන් සඳමාලිගේ අතින් අල්ලා ගත්තාය.
සිනහවක් මුව පුරා නඟමින් පැමිණි ගන්කන්ද හා මහීල් ආලින්දයේ තිබූ කුඩා වේවැල් පුටු මතට බර වූ අතර නිවසේ ප්‍රධාන දොර ඉදිරියේ සිටගෙන සිට නේවි බ්ලූ පැහැ ගත් වැළමිට තෙක් නැවූ අත් දිගු කමිසයෙන්ද , නිල් ඉරක් වැටුණු සුදු පැහැ සරමකින්ද සැරසුණු කඩවසම් දේහදාරියා සිහින් කර ගත් ගැඹුරු දෑසින් කුඩා යුවතිය දෙස බැලූවද ඈ නෝක්කාඩු උවනක් මවමින් ඉවත බලා ගත්තාය.
” වාඩිවෙන්න ලොකු මහත්තයා.. !”
හේමමාලි බොහෝ බයාදු ස්වරයෙන් නිවසට ඇතුළු වූ ප්‍රතාපවත් තරුණයා දෙස බලා පැවසූ අතර ඈ දෙස බලා මඳ සිනහවක් නැඟූ ඔහු සෙමින් විත් මහීල් අසලින් හිඳ ගත්තේය. ඒ සැණින් කුඩා ටීපෝව මතත් ඒ අසල තිබූ තවත් වේවැල් පුටුවකුත් පිරෙන්නට තිබූ තෑගි මළු වෙතද දෑස ගිය කුඩා යුවතිය යළිත් වතාවක් උවන ඇඹුල් කර ගත්තාය.
” මහත්තයලා මේ අර හෝටලේ බලන්න යන අතරමඟද ?”
” නෑ.. හේමමාලී. අපි ආවේ මෙහෙටමයි. අපි ආවේ සඳැස්වි ගැන පොඩි යෝජනාවක් අරන්. “
ගන්කන්ද හේමමාලි දෙස බලා නැවත සඳැස්වි දෙස බැලූ අතර තව දුරටත් බියෙන් මෙන්ම චකිතයෙන්ද වෙළී ගිය හේමමාලී දියණියන් දෙදෙනා දෙස බැලුවාය. ඇගේ මුහුණේ ඇති වූ හැඟීම් සියල්ල හොඳින් කියවාගත් දේහදාරියා යළිත් වරක් හිඳ උන් වේවැල් පුටුවෙන් නැඟිට හේමමාලි අසලට ගොස් සිට ගත්තේය.
” සඳැස්විගේ අම්මේ.. ! මං සියත්‍ර . සියත්‍ර රන්දෙණිගල . “
” මං.. මං දන්නවා මහත්තයෝ.. ”
උස මහත වංශවත් තරුණයා දෙස හිස ඔසවා යළිත් වතාවක් හිස බිමට බර කරගත් හේමමාලි නැවත වතාවක් දියණියන් දෙදෙනා දෙස බැලුවාය.
” සඳැස්වි ගැන මගේ හිතේ අදහසක් තියනවා අම්මේ.. මං කියන්නේ මං කැමතියි සඳැස්විව කසාද බඳින්න. “
කුඩා යුවතිය නැවත වතාවක් වැඩිමල් සොයුරියගේ අත තදින් අල්ලා ගත් අතර හේමමාලි ගොළු වී යළිත් වරක් දියණියන් දෙදෙනා දෙස බැලුවාය.
” මගේ තාත්තා ඒ කියන්නේ දිනේන්ද්‍ර රන්දෙණිගල අතින් සෝමතිලකට වෙච්ච වරද වහන්න හදනවා කියලා වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මගේ හිතේ සඳැස්වි ගැන කැමැත්තක් ඇති උනේ මීට ගොඩක් කාලෙකට කලින්. සෝමතිලකට වෙච්ච කරදරේ නිසා මේ ගෙවිච්ච අවුරුදු ගාණම අම්මලා කරදර ගොඩකට මූණ දුන්නා කියන්න මං දන්නවා. ඒක කටක් ඇරලා සමාවක් ඉල්ලන්න සුදුසු වරදක් නෙමෙයි. ඒත්.. මේ වෙලාවේ මං මගෙයි කියන ගරු නම්බු නාම , සල්ලි , දේපළ , තත්වේ මේ හැමදෙයක්ම පැත්තකට දාලා අම්මගෙන් ඒ වෙච්ච දේට සමාව ඉල්ලනවා. අම්මා කැමති ඕනෙම විදිහකට මං අම්මගෙන් සමාව ගන්න ලෑස්තියි. අම්මා කැමති ඕනෙම වන්දියක් මං ඒ වෙනුවෙන් ගෙවන්නත් ලෑස්තියි. මං මේ තරම් කතා කරන මනුස්සයෙක් නෙමෙයි අම්මා. අඩුම මං මනුස්සයෙක් එක්ක හිනාවෙන්නවත් දන්නේ නැති කෙනෙක්. මං මේ හැමදේම පුරුදු උනේ සඳැස්විගෙන් . සඳැස්වි කියන්නේ මගේ ජීවිතේ අම්මා.. මං මේ ලෝකේ මටත් වැඩිය ආදරේ කරන එකම එක්කෙනා එයා. අම්මා මට එයාව දෙනවනං මං ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි . ඕනම දෙයක්. “
දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු වහ වහා පිසදා ගත් යුවතිය මුවින් නැඟෙන ඉකිය පිටතට ඒම වළකනු පිණිස දකුණතින් වහා මුව වසා ගත්තාය.

