” ම.. මහත්තයා.. අපි හරි පොඩි මිනිස්සු මහත්තයෝ.. සෝමතිලක නැති උනත් හරි අපි නොවිඳිනා දුක් වින්ඳා . මගේ මේ දරුවා සඳැස්වි නොකා නොබී ඉගෙනගත්තේ මහත්තයෝ. මං උනත් සෑහෙන්න ලෙඩා දුකා. ඒත් .. මේ කෙල්ල අපිවවත් , එයාගෙ ගමනවත් අතෑරියේ නෑ. ඔය අත් දෙකෙන් ඇති තරං දැලි වළං හෝදලා ඇති. ඇති තරම් කුඹුරු වැඩ කරලා ඇති . පොළොව කොටලා ඇති . මගෙත් අම්මා වගේ මාවයි , අර පොඩි දරුවාවයි බලා ගත්‍තේ . ඒත් … මේ කෙල්ලව මට මහත්තයාට දෙද්දි කෙල්ල වෙනුවෙන් දෙන්න දෙයක් නෑ මහත්තයෝ. මගේ පණ ඩිංග මේ.. “
” සඳැස්විගේ අම්මා..! මට ඕනෙ සඳැස්විව විතරයි. මට එයා වෙනුවෙන් එක රුපියලක දෙයක් එපා. එතනින් එහාට ඔයාලා හැමෝවම මං බලාගන්නං. ඒ කිසිදේකට වද වෙන්න එපා. “
හේමමාලී කඳුළු පිරි කොපුල දෑතින්ම පිස දමමින් යළිත් වතාවක් දියණියන් දෙදෙනා දෙස බැලුවාය.
” මහත්තයා..! “
සඳැස්විගේ අත තදින් අල්ලා ගත් සඳමාලි කඳුළු වැගිරෙන කොපුල් පිසදා සියත්‍ර දෙසට හැරුණාය.
” අම්මා කිව්වා වගේ මේ ඉන්නේ අපේ පණ ටික මහත්තයා. අද මං උනත් මගේ දරුවා එක්ක කාලා ඇඳලා ඉන්නේ මගේ නංගි නිසා. මේ කෙල්ල ඉගෙනගත්තේ අර කිව්වත් වගේ බඩගින්නට වතුර බීලා මහත්තයා. මගේ තාත්‍තා හරි ආසාවෙන් හිටියේ නංගි ඉහලට ඉගෙනගන්නවට. මහත්තයාට මගේ නංගිව කසාද බඳින්න හිතක් පහල වෙච්ච එකම අපේ පෙර පිනක් මහත්තයෝ. කසාදයක් ඉක්මනට සිද්ධ උනොත් ඒත්.. මගේ නංගිට දිගටම ඉගෙන ගන්න දෙන්න. අඩුම කැම්පස් ගමන ඉවර වෙනකන් වත්. “
” ඒ ගැන බය වෙන්න දෙයක් නෑ අක්කා. එයාට මේ ඩිග්‍රි එකෙන් පස්සේ උනත් ඉගෙනගන්න ඕන තරං නිදහස තියනවා. එයා විතරක් නෙමෙයි සඳැස්විගේ චූටි නංගි , අක්කගේ දුව උනත් ඒ හැමෝම ගැන මං බලන්නම්. “
සුසුමක් හෙළූ සඳමාලි කඳුළු අතරින්ම නැඟණිය දෙස බලා සිනහවක් නැඟුවාය.
” ලොක්කී.. තේ ටිකක් හදමු. “
හේමමාලි සඳමාලි කැටුව මුළුතැන්ගෙට ගිය අතර තවමත් කඳුළු වගුරවමින් සිටි යුවතිය නැවතත් නිදන කාමරය වෙත ගොස් ජනේලයේ යකඩ කූරක එල්ලුණාය . ඈ පසුපසින් කුඩා නිදන කාමරයට ඇතුළු වූ ඔහු බර අඩි තබමින් ගොස් ඇගේ බඳ වටා දෑත යවා ඈ තුරුළු කර ගත්තේය.
” ඕන්නෑ.. අතාරින්න.. !”
” අනේ.. සඳ ..!”
” එපා.. ! මොකටද ආවේ ? ඇයි ආවේ ? දවස් දෙක තුනක්ම හිටියේ කෝල් එකක්වත් නොදී. ඒ විදිහට ඉන්න තිබ්බනේ.. ?”
” ඔයාව ඕන නිසානේ ආවේ සඳ. අච්චර දෙයක් දැනගත්තට පස්සෙ කොහොමද සඳ මං ඔයාගේ මූණ බලන්නේ ? “
එවර ජනෙල් කූරු මතට පිටදුන් ඈ ඔහු දෙසට හැරුණාය.
” ඔයා මං ගැන දන්නේ නැද්ද සර් ? ආ.. ? කවුරුවත් කරපු වරදකට මං ඔයා එක්ක තරහා ගන්නේ ඇයි කියන්නකෝ ?”
” මං .. මං ඒක දන්නවා සඳ… මං ඒක දන්නවා. ඒත් .. මං පිරිමියෙක්නේ සඳ.. කොන්ද කෙළින් තියාගෙන ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා ඔයත් එක්ක කතා කරන්නේ කොහොමද කියන්නකෝ ? බය හිතුණා සඳ.. ඇත්‍තමයි.. මට බය හිතුණා. ඔයා නැතුව ජීවත් වෙන්න තේරෙන්නෑ සඳ.. ඒකමයි ඕන දෙයක් කියලා අද මේ එන්න ආවේ. මාත් එක්ක යන්න එනවා නේද සඳ… ?”
මොහොතක් ඔහු දෙස බලා සිටි ඈ ඔහුට තුරුළුව යළිත් ඉකි ගසමින් හැඬුවාය.
” ඔය කිව්වට ආයේ මොකක් හරි වෙච්ච ගමන් මාව දාලා යයි. කතා නොකර ඉඳියි . කෝල් එකක්වත් නොදී ඉඳී. “
” නෑ.. නෑ.. නැ.. ආයේ කවදාවත් එහෙම වෙන්නෑ. අනික ඒකනේ මාව ඉක්මනට කසාද බැඳගන්න කියන්නේ. එතකොට මට ඔයාව දාලා කොහෙවත් යන්න බෑනේ. ?”
” ඇත්තට.. ? ලොකු මහත්තයට දැන් විහිලු කරන්නත් තේරෙනවනේ නේ.. ?”
” මට ඕනෙනං තව තව දේවලුත් කරන්න පුලුවන් . “
ඇගේ බඳ වටා වෙළුණු තම අත තවත් තද කරගනිමින් ඈ තමා වෙතට ළං කරගත් ඔහු ඇගේ සවන අද්දරට පහත් වී මිමිණුවේය.
” සුද්දි අක්කේ..!”
නිදන කාමරය අසලට දිව ආ කුඩා සඳසි එහි දොර රෙදි තීරයෙන් එබී සඳැස්වි දෙස බලා ඈ අසල උන් සියත්‍ර දෙස බලා නැවතත් දොර රෙද්දට මුවා වූවාය.
” චූටි.. එන්න..”
” අම්මා කිව්වා තේ බොන්න එන්න කියලා ”
“මෙයාද චූටි ? කෝ බලන්න මං දැක්කේ නෑනේ ? ”
සඳැස්විගෙන් මෑත් වූ සියත්‍ර දොර රෙද්දට මුවා වී සිටින කුඩා දැරියගේ අතකින් අල්ලා ගත් අතර ඈ මඳක් ලැජ්ජාවෙන් ඇඹරුණාය.
” එන්නකෝ.. මං ඔයාට දෙයක් ගෙනාවා. “
එසේ පැවසූ ඔහු කුඩා සඳසිගේ අතින් අල්ලා යළි ආලින්දයට ගොස් එහි තිබූ චොක්ලට් පාර්සලයක් ගෙන කුඩා එකිය අත තැබුවේය.
” චූටිගේ නම මොකද්ද ?”
” සඳසි “
චොක්ලට් පාර්සලය වෙත දිළිසෙන නෙත් යොමු කළ කුඩා දැරිය ඒ සමඟම පෙර තිබුණාවූ ලැජ්ජාව පසෙකළා සිටියාය.
” එච්චර ලස්සන නමක් තියෙද්දි ඇයි චූටි චූටි කියන්නේ ? “
” ඒ මං චූටි නිසා. “
” ඒක හරි. ඒ උත්තරේ ගැළපෙනවා මචං ”
එතෙක් නිහඬව සිටි මහීල් එසේ පවසා සඳසිගේ හිස මත අත තබා සිනහවක් නැඟුවේය.
***********************************************
ඉන්දීවරගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුණේය. එක දිගට ඇගෙන් මතුවන වේදනාකාරී හඬ තවත් දරාගත නොහැකිය. වායු සමනය කළ පෞද්ගලික රෝහල් කොරිඩෝව තුළ වුවද ඔහුගේ නළල දෙපසින් එක දිගට දා බිඳු බේරෙමින් පැවතුණේය.
” ඉන්දීවර මොකද ?”
වේගයෙන් ඇවිද ආ සියත්‍ර සූතිකාගාරය ඉදිරියේ එහා මෙහා ඇවිදිමින් සිටි ඉන්දීවර දෙස බලා එසේ ඇසුවද ඔහුගෙන් එල්ල වූයේ භීතිය මුසු වූ බැල්මකි .
” මෙච්චර වෙලා යන්නේ ඇයි ?”
” සර්.. ! කලබල නොවී ඉන්නකෝ.. එහෙම තමයි. ටිකක් වෙලාව යනවා. “
සඳැස්වි සෙමින් ඔහුගේ අතක් අල්ලා ගනිමින් පැවසුවාය.
අඩ පැයකටත් ආසන්නයේ කොරිඩෝවේ එහා මෙහා නොසන්සුන්ව ගමන් කරනා තරුණයින් දෙදෙනා දැක මුවඟට මතුවන සිනහව ආයාසයෙන් දරා සිටි සඳැස්විගේ දෙනෙත බලාපොරොත්තු සහගතව සූතිකාගාරයේ ද්වාරය දෙසට යොමු වී තිබූ අතර විවර වූ ද්වාරයෙන් පැමිණි හෙදියක් පිටත උන් අය හා මුව පුරා සිනහවක් නැඟුවාය.
” දුවෙක් ලැබුණා. අම්මයි බබයි දෙන්නම හොඳින්. “
හෙදියගේ එකී පණිවිඩයත් හමුවේ මෙතෙක් නොඉවසිලිමත්ව සිටි තරුණයින් දෙදෙනාටම විසල් සැනසුම් සුසුම් අත හැරුණු අතර එවර එතෙක් පාලනය කර සිටි සිනහව මුවින් අත හැරුණු සඳැස්විගේ උවනේ සිනා මල් පොකුරු රැසක් පිපුණි.
” ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ?”
රෝහල් කාමරය වෙත පැමිණීමෙන් පසු පහන්‍යා වෙත පැමිණි ඉන්දීවරත් , සියත්‍රත් දෙදෙනාම ඉතා උවමනාවෙන් පහන්‍යාගේ සුව දුක් විමසූහ.
” මෙන්න බබා ගෙනාවා . කාටද මුලින්ම දැන් බබාව දෙන්නේ ?”
නැවත වතාවක් රෝහල් කාමරය තුළට පැමිණි හෙදිය රෝස පැහැ ෆැනල් රෙදි කඩකින් ඔතා අතේ ගුලි කර ගන පැමිණි කුඩා සිඟිත්තිය දෙස බලා කාමරයේ උන් අය දෙස බැලුවාය.
” මල්ලී.. ගන්න..!”
” අක්කා..! මං.. ? එපා.. “
පහන්‍යාගේ ඉල්ලීමට එතෙක් උවනේ තිබූ සැනසිලිදායක සිනහව අතුරුදන් වූ දේහදාරියා කලබල ස්වරූපයක් මවමින් පැවසුවේය.
” ගන්න මල්ලි..!”
” එයා චූටි වැඩියි අක්කා. “
” ගන්න .. ගන්න.. බය වෙන්නෙපා. තව ටික දවසක් යද්දි මෙයා මාමාගේ කරින් බිමට බහින එකක් නෑ.. “
එසේ පැවසූ හෙදිය බලෙන්ම මෙන් කුඩා සිඟිත්තියව තරුණයාගේ අතෙහි තැබුවාය. ඉතා පරිස්සමින් සහ චකිතයකින් ඈ අතට ගත් ඔහු රෝස පැහැයෙන් දිලෙන කුඩා රෝස පොහොට්ටුවක් බඳු වූ තද නින්දක වෙළී උන් කුඩා සිඟිත්තියගේ මුව දෙස මඳ වේලාවක් බලා හිඳ ඈව ඉන්දීවරගේ දෑත මතින් තැබුවේය.
” ආහ්.. මටත් බයයි. එයාට රිදෙයිද දන්නෑ අපි අල්ලද්දි .. ”
බිය මුසු ආදරණීය බැල්මකින් කුඩා රෝස සිඟිත්තිය දෙස බලා උන් ඉන්දීවර ඒ බැල්මෙන්ම පහන්‍යා දෙස බැලුවේය.
” සතුටුයිද ?”
රෝහල් කාමරය තුළ ඉන්දීවරත් , කුඩා සිඟිත්තියත් , පහන්‍යාත් තනි කරමින් පිටතට පැමිණි සඳැස්වි තමා අසල උන් හැඩිදැඩි තරුණයා දෙස බලා විමසුවාය.
” හ්ම්ම්.. ඔව්.. Thank you …!”
” ඇයි මට ?”
ඔහු සෙමින් ඇගේ කොපුලක් මත අත තැබුවේය .
” අමාරුම තැන් වලදි මාව හයියෙන් අල්ලන් ඉන්නවට . හැමදාම මෙහෙම මං ලඟට වෙලා ඉන්න සඳ…”
පිළිතුරක් ලෙස වචනින් පිට නොකළ හැඟීම් දහසක් ලියැවුණු සිනා මල් පොකුරක් සහිතව මුව පුරා සිනාසුණු යුවතිය ඔහු දෙස ආදරණීයව බලා උන්නාය.
අවසානයි..!


