ඔලියැන්ඩර් – 83

0
2384
oleander Flower

මොකද බං දුවන්නේ ? හිමින් යංකෝ . කැම්පස් එකේ ගේට්ටුව අරින්න යනවා නෙමෙයිනේ ?” 

ඉක්මන් අඩි තබා ඇවිද යන මිතුරිය වෙත කෑගැසූ අමාවිත් , විමර්ෂාත් ඈට විසුළු කරමින්ම ඈ පසුපස දිව ගිය අතර නිවෙස වෙත හැරවූ සුඛෝපභෝගී මෝටර් රථය ඒ වනවිටත් මාර්ගයේ ඇවිද එන තරුණියන් තිදෙනා දැක වහා පසෙකට කොට නතර කළේය. 

” සඳ…!” 

මෝටර් රථය දැක දැකම ඉවත බලා ඇවිද යන තරුණිය වෙත ඉන් බැස දිව යන තරුණයා දුටු මිතුරියන් දෙදෙනා හඬ නොනැඟෙන්නට සිනහා නැඟූහ. 

” ඒ.. ඒ.. ඔහොම ඉන්නකෝ ..”

වහා ඇගේ අතින් අල්ලා ගත් ඔහු දෙතොල අතර මඳ සිනහවක් නඟා ගත්තද ඔහු දෙස රවා බැලූ ඈ අත ගසා දමා යළිත් ඉදිරියට ගමන් කිරීමට පටන් ගත්තාය. 

” සඳ..! සොරි.. සොරි.. ෆෝන් එකත් ඕෆ් කරගෙන . මොකක්ද මෙච්චර තරහා ආ..? “

යළිත් වතාවක් ඇගේ පසුපසින් ගිය ඔහු  එවර ගසා දමා යෑමට නොහැකි වන ලෙසම අත තදින් අල්ලා ගත්තේය. 

” මට ඊයේ එන්න බැරි උනා . සොරි සඳ..!” 

” ඔව්. මාව බලන්න එන්නැතුව ලොකු වැඩකට වෙන්නැතිනේ ඊයේ ගියේ ?” 

” සඳ…!” 

” ඔයා ආපු නැති එක මට ප්‍රශ්නයක් නෑ සර් . හැබැයි ඔයා ගිය තැනයි මට ප්‍රශ්නේ “

” සඳ.. මේ අහන්නකෝ.. හරි.. ආහ්.. අපි වෙහිකල් එකට යං ප්ලීස්. මේ පාරනේ සඳ..” 

දුරින් සිටි ඈ තවත් අඩියක් ඔහු අසලට ළංව හිස ඔසවා එකී ප්‍රතාපවත් උවන දෙස කනස්සල්ලෙන් මොහොතක් බලා සිටියාය. 

” ඔයා මට ප්‍රොමිස් උනා ?” 

” සඳ මං එහෙම …”

ඔහු පිළිතුරු ලබා දෙන්නේ තම දෑස මඟ හැර බව හොඳින් වැටහුණු තරුණිය තවත් ඔහු වෙත ළං වූවාය.

” නෑ.. කියනවද ? ආ.. ? ඔයා ක්ලබ් එකකට බැරි නම් සීයකට ගියත් මට කමක් නෑ සර්. හැබැයි ඔයා ඔය පාවිච්චි කරන දේවල් නතර කරනවා කියලා මට ප්‍රොමිස් උනා. “

ඔහු මඳ වේලාවක් ඈ දෙස නිහඬව බලා සිටියේය. 

” සොරි..”

” ඒක කිව්වම ඔක්කොම හරි  ? ආ ? සර් ? “

තවමත් ඔහුගේ දෑස ඇත්‍තේ ඉවතකය. 

” මට ඔයාගේ සල්ලි සත පහක්වත් එපා සර් . මේ වාහන , මේ ගෙවල් මේ කිසිම දෙයක් මට එපා. මට ඕනේ ඔයාව විතරයි. ඔයා මේ කරන්නේ මට ඔයාව නැති කරන එක. ඔයා මට ආදරේ නම් මුලින්ම කරන්න ඕනේ ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න එක සර්. ඔයා ඔයාව නැති කරගන්නවා කියන්නේ මාවත් නැති වෙනවා කියන එක කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. “

නැවත වතාවක් ඔහුගේ අත ගසා දැමූ ඈ කඳුළු පිරි දෙනෙතින් දිව ගොස් මාර්ගයේ එක් පසෙකින් ආ ත්‍රී රෝද රථයක් නතර කර එයට ගොඩ වූවාය. ‍යුවතිය රැගත් තුන් රෝද රථය ඈතට යනතුරුම බලා සිටි ඔහු නිහඬවම පැමිණ මෝටර් රථයට නැංගේය. 

**********************************************

දේශන ශාලාවෙන් පිටතට ආ අමාවී විමර්ෂා දෙස බලා දෑස් ඉඟියෙන් සඳැස්වි පෙන්වා මුව ඇද කළාය. 

” එක දවසක් නාවා කියලා ඔච්චර පුපුරන්න එපා බං. මොකෝ රාජකාරියට යනවා වගේ දවස ගාණේ හැමදාම උඹව බලන්න ආපු මනුස්සයෙක් නෙමෙයිනේ ඒ. දවස දෙක කොච්චර නෑවිත් ඉඳලා තියනවද ? ” 

” ඒක නේන්නං. මං බලන් හිටියේ ලෙක්චර් එක වෙලාවෙදිත් මේකි පුපුර පුපුර හිටියේ තනියම. “

අමාවීගේ කතාව ස්ථීර කළ විමර්ෂා තව දුරටත් එසේ පවසමින් සඳැස්වි දෙස බැලුවාය. 

” මට එයා නාපු එක ප්‍රශ්නයක් නෑ. එයා ගිය තැන ප්‍රශ්නෙකුත් නෑ බං “

” එහෙනං බිව්වා කියපු එකද අවුල. අනේ.. මේ.. ඌ පිරිමියෙක්නේ යකෝ. උඹව එක්කන් යන්නෝන අපේ ගෙදර. අපේ අප්පච්චි බොන හැටි පෙන්නන්න . බොනවා නෙමෙයි ඒවානං කෙලින්ම නානවා “

අමාවී පැවසූ දෙයට ඈ දෙස හිස හරවා බැලූ තරුණිය කිසිවක් නොපවසාම යළි ඉවත බලා ගත්තාය. බීම යනු ඔවුන් පවසනා බීමක් නොවන වග තේරුම් කිරීමට යෑම හා ඔහුගේ එකී ක්‍රියාවන් නැවත නැවතත් මතක් කිරීම හදවත ගිනි අවුළන බැවින් ඈ ආයාසයෙන් සන්සුන් වීමට උත්සාහ දරමින් සිටියාය. 

” හෙලෝ.. ආ.. ඔව් අක්කේ.. ආ.. හා.. ඉන්නවා.. ඔව් ඔව්.. ඉන්න චුට්ටක්. “

ලැබුණු ඇමතුමකට එසේ පිළිතුරු දුන් අමාවී වහා සඳැස්වි දෙස බැලුවාය. 

” උඹේ ෆෝන් එක තාම ඕෆ් ද බං  ? මේ ශාක්‍යා අක්කා කතා කරනවා. “

” අක්කේ.. !” 

අමාවී දිගු කළ දුරකතනය අතට ගත් සඳැස්වි ඇය හට පිළිතුරු නොදීම ශාක්‍යා වෙත පිළිතුරු බැන්ඳාය. 

” කොහෙද නංගි ඔයා ඉන්නේ ? ඇයි ෆෝන් එක ඕෆ් කරන් ඉන්නේ ?” 

ශාක්‍යාගේ කටහඬේ තිබූ කලබල ස්වරූපය ඉවෙන් මෙන් වටහා ගත් තරුණියගේ හදවත පුරා විස්තර කළ නොහැකි බියක් ඉපදෙන්නට පටන් ගැනිණි. 

” අද උදෙන්ම ලෙක්චර් එකක් තිබ්බා අක්කේ. දැන් ඉවර උනේ. මො.. මොකක් හරි ප්‍රශ්නයක්ද ? “

” නංගි දිනේන්ද්‍ර සර්වයි , අනුජ් සර්වයි ඇරෙස්ට් කරලා. කස්ටම් එකෙන් ෆැක්ට්‍රි එකට එන්න ආපු කන්ටේනර්ස් වගයක් අල්ලලා. ෆැක්ට්‍රි එක ආයෙම සීල් තියලා. ගෙදර ප්‍රශ්නයක් වෙලා දිනේන්ද්‍ර සර් උත්පලා මැඩම්ව ස්ටෙයාකේස් එකෙන් බිමට තල්ලු කරලා. නිවුස් බලන්න නංගි. මාවත් මේ පිස්සු වැටිලා ඉන්නේ. “

ඇමතුම විසන්ධි කළ සඳැස්වි වහා ජංගම දුරකතනය තුළින් ප්‍රවෘත්ති නාලිකාවකට සම්බන්ධ වූ අතර ඈ අසලට ළං වූ අමාවීත් , විමර්ෂාත් හනි හනික එයට එබුණහ. 

” දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් වන RD foods කර්මාන්තශාලාවේ ආහාර නිෂ්පාදන කටයුතු වෙනුවෙන් මෙරටට රැගෙන ආ අමුද්‍රව්‍ය ටොන් ගණනක් සහිත කන්ටේනර් බහාලුම් කිහිපයක් අද හිමිදිරියේ ශ්‍රී ලංකා පොලීසිය සහ රේගු බුද්ධි අංශ මඟින් අත් අඩංගුවට ගෙන ඇත. එහි තිබු විදෙස් රටවලින් කල් ඉකුත් වූ ද්‍රව්‍ය යනුවෙන් සඳහන් කොට තිබූ ආහාර තොග විශාල ප්‍රමාණයක්ද , ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට තහනම් කර තිබූ Synthetic Food Coloring’ සහ ප්‍රමිතියෙන් තොර ‘Preservatives’ (කල්තබා ගැනීමේ ද්‍රව්‍ය) තොගයක්ද මෙලෙස කන්ටේනර් රථ වල අමුද්‍රව්‍ය ලෙස සඳහන් කොට මෙරටට ගෙන්වා ඇත. ඒ අනුව වැටළීම් සියල්ල අවසානයේ RD foods හී සභාපතිධූරය දැරූ දිනේන්ද්‍ර රන්දෙණිගල , ඔහුගේ බෑණනුවන් වූ අනුජ් රණබාහු සහ RD foods හී නොයෙක් තනතුරු හොබවා සිටි සේවක මණ්ඩල සාමාජිකයින් එකසිය විසි හතරක්ද මේ වන විට  පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. 

වසර කිහිපයක් පුරාවටම ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන ව්‍යාපාර ජාලයක් වූ RD foods හී අනාගත සභාපතිවරයා ලෙස පත් වීමට සිටි සියත්‍ර සංචරන රන්දෙණිගල විසින් ..,

1980 අංක 26 දරන ආහාර පනත යටතේ පොලිස් මූලස්ථානයේ වංචා විමර්ශන කාර්යාංශයට (Fraud Bureau) හා  පාරිභෝගික සේවා අධිකාරියට (CAA) පැමිණිලි කිරීමෙන් අනතුරුව සහ සියළුම විමර්ශන කටයුතු වලට අදාල සියළු ලිපි ලේඛන මෙන්ම තාක්ෂණික සහයද ඔහු විසින් ලබා දීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ වංචා හා ජාලය හෙළි කර ගත හැකි වූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව අද දින සිට RD ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවේ සහ RD ප්‍රධාන කාර්‍යාලය සහිත ගොඩනැගිල්ලේ සියලුම ලිපි ලේඛන වල නෛතික තත්වයන් පරීක්ෂා කිරීමට ඔහු විසින් ඒ සියල්ල රජයේ නිලධාරීන් හට පවරා ඇත. “

” දෙයිහාන්දුරුවනේ ..! මෙච්චර දෙයක් වෙලා තියෙද්දිද උඹ අර මනුස්සයව අර පාර මැද්දේ දාලා ආවේ ? “

අමාවීගේ පැනයට තිගැස්සුණු ඈ වෙව්ලන දෑතින් දුරකතනය අත හැර වහා තම ජංගම දුරකතනය අතට ගෙන , එය ක්‍රියාත්මක කරමින් ඔහු වෙත ඇමතුමක් ගෙන ඔහුගේ ප්‍රතිචාරය ලැබෙන තුරු අසීරුම තත්පර කිහිපයක ගිලී සිටියාය. 

” හෙලෝ…!” 

” ස්.. සර්…!” 

” කියන්න සඳ…!” 

ඔහුගේ ස්වරයේ කිසිදු කලබලයක් හෝ හදීසියක් නොමැත. සියල්ල සන්සුන්ව දරා සිටි ඔහුගේ වචන පවා මෙපසින් සිටි තරුණිය තව තවත් පීඩනයක ගිල්ලවීමට සමත් විය. 

” ස්.. සර්.. කොහෙද ඉන්නේ ? “

” ඔයා දාලා ගිය තැන..” 

” සර්.. !” 

පෙරට වඩා විසල් ශබ්දයකින් එසේ පවසමින් ගල් පඩිපෙළ මත තිබූ තම ගමන් මල්ලද ගෙන වහ වහා විශ්ව විද්‍යාල භූමියේ ඉදිරිපස දෙසට දිව ගියාය. 

” සඳා..!” 

නොනැවතී ඉදිරියට දිව යන සඳැස්වි දෙස බැලූ අමාවීත් , විමර්ෂාත් ඔවු නොවුන්ගේ මුහුණු බලා ගත්තහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here