ඔලියැන්ඩර් – 87

0
2
oleander Flower

හැඩිදැඩි දේහදාරියාගේ දෑතම සුදු පැහැ යහනට  තද වී මිට මෙළවී තිබුණේය. වේගයෙන් ඉහල පහල යන උරපතුද කමිසය අතරින් ඉලිප්පී පෙනෙන නහරද ඔහුගේ හදවත තුළ හට ගෙන ඇති දරා ගත නොහැකි විසල් කෝපය ගැන හොඳ හැටි සාක්ෂි සැපයූවේය. 

” අ.. අම්මා.. මොනවද මේ කියන්නේ ? දෙයියනේ.. අම්මා.. මල්ලි…!” 

දෝතින්ම මුව වසා ගත් පහන්‍යා මව දෙසත් , මළණුවන් දෙසත් වික්ශිප්තව මාරුවෙන් මාරුවට බලමින් සිටියාය. 

යහන මත වැතිර කඳුළු වගුරවමින් සිටි මව වෙත පහත් වූ සියත්‍ර මොහොතක් ඇගේ දෑස දෙස බලා සිටියේය. 

” සෝමතිලකගේ මරණේ උනේ මගේ අතින් කියලා හිතාගෙන මං අවුරුදු ගාණක් හරිහැටි නින්දක් නැතුව දුක් වින්ඳා අම්මා. ඒක ඔයා හොඳටම දන්නවා. ඔයා එදා මගෙන් ඇහුවා නිදි වදින්න යන එකීගේ අප්පා කවුද කියල ඇහුවේ නැද්ද කියලා ?  ඇත්තටම එහෙම අහන්න උවමනාවක් තිබ්බේ නෑ අම්මා. මොකද ඇත්තටම මං සඳැස්වි ලඟට ගියේ නිදාගන්න තමයි . අවුරුදු ගාණක් තිස්සේ පැයක් දෙකක් හරියට නිදාගන්න බැරි වෙලා හිටපු මට සඳැස්වි ලඟ හොඳට නින්ද ගියා අම්මා. ඉතිං මට ඒ කෙල්ලගේ අම්මා අප්පා කවුද කියලා හොයන්න උවමනාවක් තිබ්බේ නෑ. සඳැස්වි කියන්නේ සෝමතිලකගේ දුව කියලා ඔයා මගේ ඉස්සරහා කියපු වෙලේ ඉඳන් මමයි , ඒ කෙල්ලයි කොච්චර දුක් වින්ඳද කියලා අම්මා දන්නවද ? වැරදිකාරයා මං නෙමෙයි කියලා දැනගත්තට පස්සෙයි මං ආපහු වතාවක් සැනසීමෙන් ඉන්න පටන් ගත්තේ. දැන් මං ඒ කෙල්ල ලඟට ගිහිල්ලා මොකද්ද කියන්නේ ? ඒ කෙල්ලගේ තාත්‍තගේ මිනීමරුවා මගේ තාත්තා කියලද ? ඔලුව උස්සලා මං දැන් ඒ කෙල්ලගේ මූණ බලන්නේ කොහොමද අම්මා ? ආ ..? තමුන්ලා .. තමුන්ලා ඔක්කොමලා හැමදාම කළේ මාව නොමරා මරපු එක. එදත් එහෙමයි. අදත් එහෙමයි. යන්තං අර කෙල්ලත් එක්ක සැනසීමෙන් ජීවත් වෙන්න පටන් ගත්‍තා විතරයි. ආයෙම ආයෙම තමුන්ලා මට ඒ තිබ්බ සැනසීමත් නැති කළා. මීට වැඩිය හොඳයි මට පිහියකින් ඇනලා මරලා දැම්මනං. ” 

” අනේ මගේ පුතේ..! ” 

” අනේ.. මල්ලි..!” 

හඬා වැටෙන මව දෙසවත් , සොහොයුරිය දෙස වත් හැරී නොබැලූ ඔහු වේගයෙන් රෝහල් කාමරයේ ද්වාරය විවර කර ඉන් පිටව ගියේය. 

************************************************

බොහෝ වේලාවක් සිට ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළද ඔහුගෙන් පිළිතුරක් නොලද තැන බෙරි කර ගත් උවනින් තම ජංගම දුරකතනය පසෙකට දැමූ කුඩා තරුණිය මේසය මත හිස තබා ගත්තාය. 

” සඳා.. ! සඳා…!” 

” ඇයි ? ඒ පාර මොකද ?” 

” උඹ මේක දැක්කද ?” 

විමර්ෂා අත රැඳිව තිබූ ජංගම දුරකතනය සඳැස්වි වෙත දිගු කළාය. 

එහි වූයේ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාව ප්‍රවෘත්ති ප්‍රකාශනයකි. 

” මොකද්ද බං ?” 

” RD  ෆැක්ට්‍රි එකේ වැඩ කරපු මිනිස්සු උද්ඝෝෂණයක් කරලා. “

අමාවීගේ පැනයට විමර්ෂා පෙරළා පිළිතුරු බැන්ඳාය. 

” ඒ ඇයි ?” 

” ඇයි අහන්නේ බං , එතන මිනිස්සු දාස් ගාණක් වැඩ කරනවා. ෆැක්ට්‍රිය දැනට වහලා දාලා. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද ? ඒ මිනිස්සුන්ගේ පවුල් නඩත්‍තු වෙන්නේ කොහොමද ?” 

අමාවීගේත් , විමර්ෂාගේත් කතා බහ මැදම සඳැස්වි නිහඬවම දුරකතනයේ ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටියාය. 

” ඉතිං දැන් ඒකට මොකද කරන්නේ ?” 

” කරන්නෙද ? අපේ කතාවේ වීරයා ඒ ප්‍රශ්නේ විසඳලා. පොලිස් පරීක්ශණ සියල්ල අවසන් වන තුරු සියළුම සේවකයින්ට පඩි ගෙවනවා කියලා පොරොන්දු වෙලා. ඒ වගේම සියලු ප්‍රශ්න විසඳුනාට පස්සේ රජයේ වලංගු නීති රීති වලට අනුකූලව ආපහු ෆැක්ට්‍රි එක ඕපන් කරනවා කියලත් කියලා. “

” ක.. කවුද සියත්‍ර අයියා ?” 

” ම්ම්.. ම්ම්… “

විමර්ෂා අමාවීගේ පැනය හමුවේ හිස දෙපසට සලමින් ඔව් යැයි පැවසුවාය. 

” අඩේ .. ඉතිං.. වැඩ නොකර පඩි දෙනවා කියන්නෙ කෝටි ගාණක් වියදම් කරන්න වෙනවා කියන එකනේ බං. ආදායමක් නෑනේ ?” 

ජංගම දුරකතනයෙන් හිස එසවූ සඳැස්වි මිතුරියන් දෙදෙනා දෙස බලා සිනාසුණාය. 

” ළමායි.. ! ඕගොල්ලෝ ඔය කතා කරන්නේ සියත්‍ර රන්දෙණිගල ගැන. එයාගේ බිස්නස් වල පාඩු නෑ. ලාබ විතරයි තියෙන්නේ. ආදායමක් නැතුව රුපියලක් වියදම් කළත් ආයේ ආදායම් ගන්න කාලෙදි ඒ එක රුපියලට හරි යන්න රුපියල් දහයක් හොයයි ඔය මනුස්සයා. මං දන්නැද්ද එයාගේ හැටි . “

” කමක් නෑ කමක් නෑ.. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. “

මිතුරියන් දෙදෙනාගේ සිනහව මැද ඈ තම ජංගම දුරකතනයේ ඇති ඔහුගේ ජායාරූපය දෙස ආදරණීයව බලා සිටියාය. 

” මහ යක්ෂයෙක්…!” 

යටි සිතින් එසේ සිතු ඈ යළිත් වරක් මුව පුරා සිනහවක් නැඟුවාය. 

” ආ.. මේ ඒක නෙමෙයි.. “

” පොඩ්ඩක් හිටහන් කෝල් එකක් එනවා. “

අමාවී පැවසීමට යන කාරණය අතරමඟ නතර කළ යුවතිය වහා ඇමතුමට සම්බන්ධ වූයේය. 

” හෙලෝ අම්මේ..!” 

” අනේ.. සුද්දියේ..!” 

ඇමතුම අනෙක් පස සිට කතා කළ මවගේ වදන් වල තැවරී තිබූ හැඬුම් ස්වරය ක්ෂණිකව වටහා ගත් ඇගේ මුව මත වූ සිනා රැල්ල සැණෙකින් මැකී ගියේය. 

” අම්මේ.. ඇයි මොකද ? මොකක් හරි කරදරයක්ද ?” 

” කෝ දෙන්නකෝ අම්මේ මං කතා කරන්නං ” 

මවගේ ඉකි බිඳුම හමුවේ පසෙකින් ඇසුණු වැඩිමහලු සොයුරියගේ හඬ සමඟ සඳැස්වි තවත් මඳක් කලබල වූවාය. 

” අක්කේ ඇයි ?” 

” නංගි .. ! පොලීසියෙන් ආවා. “

” පොලීසියෙන් ? ඒ මොකටද ?” 

” මේ පො.. පොලීසියෙන් ඇවිත් කිව්වා තාත්‍තා වැඩ කරපු ෆැක්ට්‍රි එකේ අයිති මනුස්සයව පොලීසියෙන් අල්ලලාලුනේ ? ඒවට ප්‍රශ්න කරද්දි තාත්තාගෙ මරණේ අනතුරක් නෙමෙයි මිනීමැරුමක් කියලා හොයාගෙනලු. ඒක කරලා තියෙන්නේ ඔය ෆැක්ට්‍රි එකේ අයිති මහත්තයලු. නඩුව ආයේ කැඳවනවා කිව්වා නංගි. අපිට කොළඹ එන්න කියලා කිව්වා. “

හදවත මොහොතකට නැවතිණි. දින ගණනාවක් ඔස්සේ මුහුණ දුන් ප්‍රශ්න , ගැටළු සියල්ල අවසන් වෙමින් පැවතුණද හදවත කොනක ඇවිළෙමින් , නිවෙමින් තිබුණාවූ ගිනි පුළිඟුව දැන් දෑස් අද්දරම සියල්ල විනාස කර දමා හමාරය . දෙපයින් හට ගත්තා අප්‍රාණිකබව ක්ෂණිකව හිස් මුදුනින් පිට වූ අතර තව දුරටත් සුරත මත රැඳිව , සවන අද්දර වූ දුරකතනයටද වාරු නොමැතිව ගොස් එයද බිම වැටී ගියේය. 

” සඳා..! සඳා… !” 

” මොකද උනේ ?” 

කඳුළු වැගිරෙන යෙහෙළියගේ උවන දෙස බලා කලබලයෙන් ප්‍රශ්න නඟන මිතුරියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හෝ ප්‍රශ්නයකට පිළිතුරු නුදුන් ඈ අමාවී විසින් බිම වැටී අහුළා යළි මේසය මත තැබූ තම ජංගම දුරකතනයේ තීරයේ ඇති ඔහුගේ ජායාරූපය දෙස නැවත එක දිගට බලා සිටියාය. 

” ඔයා ඒකද මගේ කෝල්ස් ආන්සර් කරන්නැත්තේ සර් ? “

හිත යටින් කෑගසමින් අසන පැනය හමුවේ තදින් තොල් පට සපා ගත් ඈ තමාගෙන්ම ප්‍රශ්න කර ගත්තාය. 

************************************************

” අක්කේ.. ! “

” බය නොවී එන්න කෙල්ලේ . මොකෝ මැඩම් එන්න කිව්වේ අල්ලන් ගහන්නයෑ ?” 

” ඒ උනාට මට බයයි අක්කේ . “

” උත්පලා මැඩම් ඔයාව මුණ ගැහෙන්න ඕනේ කිව්වා කියලා ඔයා සර්ට කිව්වද ? “

ඈ නිහඬවම ශාක්‍යා දෙස බලා නැත යැයි පවසමින් හිස දෙපසට සැලුවාය. 

” යංකෝ..” 

එසේ පැවසූ ශාක්‍යා රෝහල් කාමරයේ දොරට දෙවරක් තට්ටු කර එය විවර කරමින් එයට ඇතුළු වූ අතර තරුණියද ඈ පසුපසින් වැටුණාය. 

” සඳැස්වි ..!” 

” දැන් කොහොමද මැඩම් ?” 

” හොඳයි දරුවෝ.. පොඩ්ඩක් ලඟට එන්න. “

ශාක්‍යා  දෙස මඳ බැල්මක් හෙළූ ඈ සෙමින් අඩි තබා යහන අසලට ළං වූවාය. අත දිගු කර සඳැස්විගේ අතකින් අල්ලා ගත් උත්පලා කඳුළු පිරි දෙනෙතින් ඈ දෙස මොහොතක් බලා සිටියාය. 

” කොච්චර සල්ලි බාගේ සැප සම්පත් තිබ්බත් , අඩිය අඩිය තියන තැන යාලුවෝ , නෑයෝ පිරිවරාගෙන හිටියත් අද මං මේ හොස්පිට්ල් බෙඩ් එකක තනිවෙලා දරුවෝ. මේ ළමයි තුන් හතර දෙනා ඇරෙන්න මාව බලන්න මගෙයි කියලා කවුරුවත් ආවේ නෑ. මෙච්චර කල් මං හිතන් හිටියේ සල්ලි තිබ්බොත් ඔක්කොම හරි කියලා. කොච්චර සල්ලි තිබ්බත් තමන්ගේ කියලා කෙනෙක් ලඟ නැතුව , ආදරයක් , හැඟීමක් නැතුව ජීවත් වෙන්න වෙන එක මහා කරුමයක් සඳැස්වි . අපේ පව් මගේ කොල්ලා පිටින් යන්න හොඳ නෑ. අපි කරපු කිසිම පවකට  සියත්‍රගේ සම්බන්ධයක් නෑ දරුවෝ. ඔයාගේ තාත්තගේ සිද්ධියට මගේ සියත්‍රගේ කිසිම වරදක් නෑ. එයාගේ එකම වරද එයා දිනේන්ද්‍ර රන්දෙණිගලගේ පුතා වෙච්ච එක විතරයි. ඒ දේට එයාට සමාව දෙන්න සඳැස්වි . මං දන්නවා තාත්තා කෙනෙක් නැති වෙනවා කියන එක දරුවෙක්ට දරාගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත්.. මේ කිසිම පවකට සම්බන්ධ නැති මගේ කොල්ලට සමාව දෙන්න… මේ දේවල් නිසා සියත්‍රව අතාරින්න එපා. මං ඔයාගේ කකුල් දෙක අල්ලලා වඳින්නම් “

” අනේ.. මැඩම් …!” 

දෑතම එකතු කොට සඳැස්වි දෙස බලා වැඳ වැටුණු උත්පලා කඳුළු බේරමින් හැඬූ අතර සඳැස්විද කඳුළු සළමින් ඇගේ දෝතම අල්ලා ගත්තාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here