මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ අතුළාන්තයේ සුළි කුණාටුවක කැළඹීම ඇති වී තිබිණ. එය අභ්‍යන්තර පේෂි, පටක, ඉන්ද්‍රිය සියල්ල අඹරවා ගෙන කරකවා ගෙන යනවා ඇය ට දැනිණ. වෙන දෙයක් වුණාවේ යි සිතා ගෙන ඕ හෙමිහිට හුස්ම ගත්තා ය. ඉතාමත් හෙමිහිට හුස්ම ගත්තා ය.

මේ මොහොතේ අත මින්දුල ගේ බරින් නිදහස් ව තිබීම ඇය ට පහසුවක් විය. සැනසුමක් විය.

රිය ළඟ හිට ගෙන ආදිත්‍යා බලා සිටියේ, සිය පෙම්වතිය අතේ එල්ලාගෙන රථ ගාල වෙත එමින් සිටි සැමියා දෙස ය. ඇගේ සිරුරේ සෛල බිඳි බිඳී යන්නට විය. කොහේ කොතැනින් අසා තිබුණ ද එය බොරුවකැයි සිතා ඉන්නට හිතට පුළුවන. අඩු තරමින් හිත රවටා ගන්නට හෝ පුළුවන. නමුත් ඇස් දෙකෙන් මෙවන් දර්ශනයක් දකිත්දී උහුලා දරා ගැනීම පහසු නැත.

ඔහු ට දැනුණ හැඟීම් විස්තර කිරීම හෝ තේරුම් ගැනීම හෝ විකුම් ට කළ හැකි දෙයක් නොවී ය. හෘදය සාක්ෂිය ඔහු ව වැරදිකාරයා කරන්නට හදත්දී ඉන් පළා යාම පිණිස ඔහු කළේ හිස මත වූ කළු කණ්ණාඩි වලින් දෑස් මුවහ කර ගෙන කිසිත් නො දුටුවා සේ රිය තුළ සැඟවී ගැනීම ය.

රියට ගොඩ වූ විකුම් දෙතොල් රවුම් කර කටින් හුලං පහරක් පිම්බෙ ය. වාසනාවකට ආදිත්‍යා ඔහු වෙත ඇවිත් කිසිත් නො කියා සිටියේ යි ඔහු ට සිතිණි. එසේ වූවා නම් කනක් ඇහෙන්නට නැති වෙන්නේ ශිරෝෂි ගෙන් බව විකුම් දනී. දැන් දැන් ඇය පෙර දී මෙන් නොව විවාහයක් ගැන කතා කරනවා වැඩි ය.

“ඔයා වැඩිපුර ජීවත් වෙන්නෙ මාත් එක්කනං මටයි ඔයා ගැන අයිතිය තියෙන්න ඕනෙ. මමයි ඔයාගෙ වයිෆ් කියල මිනිස්සු අඳුර ගන්න ඕනෙ. ඒ ඔක්කොම වරප්‍රසාද වෙන ගෑනියෙක්ට දීල ඔයා මාව රවට්ට රවට්ට ඉඳල හරියන්නෙ නෑනෙ”

ඊයේ පෙරේදාවක ශිරෝෂි තදින් කීවා ය. මේ වෙලාවේ ආදිත්‍යා අයිතිය ප්‍රකාශ කරන්නට ආවා නම් ඒ ප්‍රශ්නය බොහෝ දුර දිග යන්නට තිබිණි.

ආමන්තා සේ ම දුමාල් ද හිටියේ කුමක් කරන්න ද කුමක් කියන්න ද කියා සිතා ගත නො හැකි ව ය. විකුම් ගේ රිය නික්ම යන දෙස බලා උන් ආදිත්‍යා, දුමාල් හා ආමන්තා වෙතට පොදු මඳහසක් පෑවා ය. ඇය ට ඕනා වූයේ ඈ හොඳින් ය කියා පෙන්වන්නට වී ද ඒ මඳහස කියා පෑවේ ඈ කෙතරම් නම් අසරණ කමකින් පීඩා විඳිනවා ද කියා ය.

“අපි මොනාහරි බීල ටිකක් කූල් වෙලා ඉමු නේද…යන්න හදිස්සියක් නෑනෙ”

දුමාල් ඒ යෝජනාව කළේ ආදිත්‍යා හිඳින වියවුල් සහගත බව මඳකින් තුනී වන තෙක් සිටිය යුතු යයි සිතුණ නිසා ය. ඇය ඔහු වෙතට ස්තූතිවන්ත බැල්මක් හෙළුවා ය. සුපිරි වෙළෙඳ සංකීරණයේ වන සුඛෝපභෝගී අවන්හලක කුඩා මේසයක් ඔවුන් වෙනුවෙන් වෙන් විය.

“මට තේරෙනව ඔයා ශොක් කියල”

ආමන්තා සේදුම් කාමරයට ගිය වෙලාවේ, මින්දුල ට අයිස් කෝපි පොවමින් සිටි ආදිත්‍යා ට දුමාල් මුදු ස්වරයකින් පැවසී ය. ඇය ඔහු දෙසට එක බැල්මක් හෙලා සිය කාරිය වෙත යොමු වූවා ය.

“ඒත් මේ ඇත්තට මූණ දෙන එක හොඳයි නේද…”

“පිරිමියෙකුට කවදාවත් හිතා ගන්න බැරුව ඇති…මේ වගේ තත්වෙකදි ගෑනු හිතක් මොන වගේ ද කියල. ඒ අසරණකම වචන වලින් පැහැදිලි කරන්න බෑ දුමාල්”

“ආදිත්‍යා…මේ ලෝකෙ අපි කාටත් අයිති තැනක් තියෙනව. අපි කවුරුත් අසරණ නෑ”

“මට තේරෙන්නැත්තෙ…මේ වගේ පරීක්ෂණේකට ඉරණම මාව තෝර ගත්තෙ ඇයි කියලයි…මං මොන වරදක් කළාටද…”

“සමහර වෙලාවට නරකම දේවල් පෙන්නල අන්තිමට හොඳම දේවල් අපිට දෙන්න ඉරණම හිතං ඉන්නව. ඔයා කියවනවද ඕශොගෙ පොත්. මං හරිම තැමතියි එයාගෙ දර්ශනය කියවන්න. ඕශො තැනක කියනව අපි එද්දි තිබුණ විදිහටම ලෝකෙ තියල යන්න එපා කියල. ලෝකෙ ඊට වඩා හොඳ තැනක් කරන්න අපි මොනාම හරි කරල යන්න ඕනෙ කියල. ඔයත් මේක ඉරණම කියල බාර ගන්න හිතං ඉන්නවනං…මං කියන්නෙ එහෙම කරන්න එපා. ඉරණම මේ විදිහෙ පරීක්ෂණ වලට ෆේස් කරන්න ඔයා ට බල කරන්නෙ…ඔයා මීට වඩා හොඳ තත්වයක් හදා ගන්න ට්‍රයි කරයි කියන බලාපොරොත්තුවෙං කියල හිතන්න “

එහෙව් දෙයක් කරන්නට තබා හිතන්නටවත් ශක්තියක් ඒ මොහොතේ ආදිත්‍යා වෙත වූයේ නැත. විකුම් සමගින් ඒ විවාහ මංගල උත්සවයට යන්නට ඇඳුමක් තෝරන්නට හෝ ඇඟේ පණ නැති බවක් ඇය ට දැනිණ.

“ඕනෙ නෑ ඇඳුං ගන්න. මං යන්නෑ ඔය වෙඩින් එකට”

ආදිත්‍යා දැඩි තීරණයක් ගනිමින් කීවා ය. නමුත් ඇගේ හඬේ වූයේ ඒ දැඩි බව නොවේ. බිඳ වැටෙන්නට ඔන්න මෙන්න බවකි.

“ගෝල් ෆේස් යං…”

ඇය ඒ යෝජනාව කළේත් ඇය ව ම තේරුම් ගත නො හැකි තත්වයක හිඳ ය. ඈ මහා අගාධයක ගිලෙමින් හිඳිනා බවත්, හුස්ම හිර වෙන්නට ආසන්න බවත් ඇය ට දැනිණ. ඉන් ගොඩ ඒමක් අවශ්‍ය බවත් දැනෙමින් තිබිණි. නමුත් ගොඩ එත හැක්කේ කෙසේද කියා කිසිදු අදහසක් ඇය වෙත වූවා නොවේ.

ආමන්තා හා දුමාල් උනුන් ගේ මුහුණු බලා ගත්හ.

හැන්දෑවේ චමතකාරය ගාලු මුවදොර පුරා තැවරී තිබිණි. ආදිත්‍යා ඒ කිසිත් දුටුවා නොවේ. නමුත් මුහුදු හුළඟ ගත දැවටෙත්දී ඇගේ හිතට සනීපයක් දැනිණ. එය හරියට තුවාලයක් මුදු ලෙස පිරිමද්ත්දී දැනෙනාකාරයේ සුවයකි.

“මට අක්ක දිහා බලං ඉන්න බෑ අයියෙ. මගෙ පපුව පැලෙන්න එනව වගේ”

ආමන්තා වේගයෙන් ඇස් පිය සලමින් කඳුළ පාලනය කර ගත්තා ය.ගැහැනු ආත්මයකට මේ තරම් බරක් දරා ඉන්නට පුළුවන් ද කියා සිතෙන්නේ මෙහෙම දේකට මූණ දෙත්දී ය. මේ දුක දරන්නේ අක්කා නොව තමන් සේ ආමන්තා විඳවූවා ය.

“ඔයා හිත හයිය කෙනෙක්. පුතා ගැන ඔයා ඒ දේවල් කරන විදිහෙං ඒක තේරුං ගන්න පුළුවන්. ඒ හයිය නිසා ඔයා දවසක පුතාව සනීප කර ගනියි. ඒත් එදාට ඔයා ලෙඩ වෙලා ඉන්න ඕන නෑ ආදිත්‍යා”

ආමන්තා පුංචි මින්දුල සමගින් වෙරලේ මඳක් එපිටට ඇවිද ගිය අතරේ, දුමාල් ආදිත්‍යා දෙස බලා ගෙන කොඳුළේ ය. ඇගේ අරමුණක් නැති ඇස් රැඳී තිබුණේ ඈත සිතිජ රේඛාවේ ය. දුමාල් ට ඒ නිසා වඩාත් පහසුවෙන් ඒ මුහුණ නිරීක්ෂණය කළ හැකි විය. වෙහෙසකර බවක් ආදිත්‍යා ගේ ඇස් වල වේ. ටික කලකින් කිසිදු සත්කාරයක් නොලද  කෙස් කළඹ වියළී ගිහින් ය. මින්දුල බිහි කිරීමෙන් පසු ආදිත්‍යා ගේ කොණ්ඩය ගැලවී යන්නට පටන් ගත්තේ ය. දරුවන් කුස දරා හිඳීමේදීත් කිරෙන් පෝෂණය කිරීමේ දීත් අම්මා ගේ සිරුරේ වන පෝෂණ සංඝටකයන් බෙහෙවින් ඉවත් ව යන නිසා එය සාමාන්‍ය තත්වයකි. නිසි ලෙස සතකාර කොට පෝෂණය කිරීමෙන් එය යථාවත් කළ හැකි වී ද, ඔටිසම් දරුවෙකු සමගින් තමන් ගැන සිතීමේ හෝ ඉඩක් ඒ අම්මලා ට අහිමි වී යයි.

සුළඟ සමග ගසා යන්නට දඟලන කෙහෙ රොදක් කන පිටුපස සඟවා තැබීමේ අසීරු තැතක් ආදිත්‍යා විසින් ගනු ලබමින් සිටියා ය.

“මං ලෙඩ වෙලා කියල අදහස් කළේ හිතෙන් ලෙඩ වෙලා කියන එක. පුතා සනීප කර ගන්න ඔයා දාල තියෙන ශක්තිය ඔයා වෙනුවෙනුත් ඕනෙමයි. ඔයා වෙනුවෙන් ශක්තිමත් වෙන්න ආදිත්‍යා. ඔයාට ඔයාව ඕනෙ”

ආදිත්‍යා සිය කොළ පාට දෑස් හරවා දුමාල් දෙස බැලුවා ය. හමා යන සුළඟෙන් එල්ල වන බලපෑම නිසා තරුණයා ගේ දෑස් වඩාත් කුඩා වී තිබුණේ ය. ඔහු කවුදැයි ඇය බලා ගෙන ම සිටියා ය. සිය රෝගී පුතු පවා නම්මා ගත් මේ ඇස් වල තිබෙන්නා වූ විශේෂත්වය කුමක් දැයි හොයා ගන්නට සේ ඇය බලා ගෙන ම සිටියා ය.

ගෙදර යන ගමන් රිය තුළදී ත් ඇගේ හිතේ පිළිරැව් නැගුණේ ඒ වචන ටිකයි.

“ඔයා වෙනුවෙන් ශක්තිමත් වෙන්න ආදිත්‍යා. ඔයාට ඔයාව ඕනෙ”

එදා විකුම් කල් වේලා ඇතිව ගෙදර ආවේ හිතා මතා ම ය. ආදිත්‍යා හැන්දෑවේ දුටු දසුනෙන් හිත කලබල කර ගන්නා බව ඔහු ඉඳුරා දනී. වචනයක් දෙකක් කියා රවටා ඇගේ හිත නම්මා ගන්නට ඔහු සැලසුම් කර ගෙන උන්නේ ය. රෑ වන තුරු නො සිට ගෙදර යාම එහි මූලික උපක්‍රමයක් වූයේ ය.

විකුම් කාමරයට එත හැකි බව ආදිත්‍යා ද දැන සිටියා ය. ආමන්තා අතට දරුවා පත් කොට ඈ විකුම් හමු වන්නට පහළ මහලට ගියේ, සිය දෙමාපියන් ඉදිරියේ ම ඔහු ට කතා කරන්න ට තිබුණා නම් හොඳ ය යන අදහසිනි.

“ඔයා වෙනුවෙන් ශක්තිමත් වෙන්න ආදිත්‍යා. ඔයාට ඔයාව ඕන”

එකී පිරිමිකාර හඬ, ආදරණීය මිමිණුමක් ව ඈ වට කර ගෙන සිටියේ ය.

“ඔන්න දීපු සල්ලි. මං ඇඳුං ගත්තෙ නෑ”

ආදිත්‍යා දුමාල් දුන් මුදල් නෝට්ටු ටික ඔහු ගේ උකුලට විසි කළා ය. ඒ වෙලාවේ විකුම් සිටියේ සේනක සමගින් එළඹෙනා මැතිවරණයේ දී ඔහු ගේ මැදිහත්වීම ගැන කතා කරමිනි. විකුම් තිගැස්සී සිය බිරිඳ දෙස බැලුවේ ය. හැන්දෑවේ සිට ම ආදිත්‍යා ට මූණ දීම ගැන ප්‍රශ්නයක සිටි නිසා ඔහු ට එක වර කතා කර ගත හැකි වූයේ ද නැත.

“ඇයි දුව…වෙඩින් එකට අලුතෙන් සාරි එකක් ගන්න තිබුණනෙ..”

සඳසීලී රූපවාහියෙන් නෙතු ඉවතට ගෙන ලේලිය මත රැඳවූවා ය.

“අම්ම දැං මට කියන්නකො ඇයි මං ඔය වෙඩින් එකට යන්න ඕන කියල”

ආදිත්‍යා ගේ ස්වභාවය තරමක් සැහැසි වූවත්, එය නො තේරුණා සේ ඉන්නට සඳසීලි උත්සාහ දරමින් සිටියා ය.

“ඉතිං දරුවො…ඔය වගේ තැනකට විකුම් තනියම යන එක හරි නෑනෙ. මං පුතාව බලා ගන්නං. ආදි ඒ ගැන බය වෙන්න එපා”

“ඇයි ඉතිං මෙයා තනියම යන්නෙ…මෙයාට පුළුවන්නෙ අර ශිරෝෂිද නිරෝෂිද කවුද මන්දන්නෑ මොඩ්ල් එක්ක ඒ වෙඩින් එකට යන්න. වයිෆ් එක්ක යනවට වඩා කොච්චර ශෝක්ද එහෙම ගියාම…”

“ආදි…දුව. ඔයා කලබල වෙලා තියෙන්නෙ ඔය ගොසිප්…”

“අම්ම මේ…”

සඳසීලී ට පුතා වෙනුවෙන් සුදු හුණු ගානා ඉඩක් නො දෙන්නට ආදිත්‍යා වග බලා ගත්තා ය.

“මං මේ උගුලට අහු වුණා තමයි අම්ම. ඒත් මං මෝඩියක් නෙවෙයිනෙ නේ. මට ඇඳුං ගන්න කියල සල්ලි ටිකක් මේසෙ උඩට දාල ගිහිං මෙයා ශිරෝෂිව සාප්පු සවාරියෙ එක්කං යනව. ඒ ගෑනි මෙයාගෙ අතේ එල්ලිලයි මෙයා එයාව හුරතල් කර කරයි එන හැටි බලන්න මං නංගි එක්ක සාප්පු යනව. ඉතිං මෙයාට පුළුවන්නෙ ඒ සාප්පු සවාරියෙයි වෙන වෙන ගුබ්බෑයං වලටයි අරං යන කෙනාවම ඔය වෙඩින් එකටත් අරං යන්න. මන්නං එන්නෑ. එන්නෑ කිව්වොත් එන්නෑමයි. ඇයි මං මෙයාගෙ වයිෆ් විදිහට රඟපාන්න යන්නෙ…අම්ම මට කියන්නෙ මගෙ ජීවිතේ පුරාම මං එහෙම රඟපාන්න ඕනයි කියලද…බලමුකො මං යයිද කියල”

ආදිත්‍යා වේගවත් ගමනින් පිය ගැට පෙළ නැගෙන්නට පටන් ගත්තා ය. ඇගේ කම්මුල් රතු වී පුපුරු ගසමින් තිබිණි. විකුම් එක වචනයක් හෝ කියා ගන්නට සමත් වූයේ නැත. සඳසීලී ඔහු දෙස බලා සිටියේ කේන්තියෙනි.

“තමුංවනං කවදාවත් හදන්න බෑ”

කියා ගෙන ඕ තොමෝ ගස්සා ගෙන ගියා ය. විකුම් නැගිට යළි පිට ගොස් රිය පණ ගන්වා ගෙන නික්ම ගියේ ය. සේනක පුටු අතට නිය තුඩින් තට්ටු කරමින් නිහඬ ව සිටියේ ය.

“මේකිනං යක්ෂ ගෑනියෙක්”

ඔහු තනි ව මිමිණුවේ ආදිත්‍යා ගැන ය.

විකුම් රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගියේ ය. ආදිත්‍යා ව වෙනස් කර ගන්නේ කෙසේ දැයි හිතන්නට ඔහු ට ඕනෑ විය. ඊටත් වඩා ඔහු ට ඕනෑ වූයේ මේ සියල්ල අමතක කර දමන්නට ය. මේ තුළ ඊට අවශ්‍ය කරන සියල් ඔසු තිබේ!

දිය නාන ගමන් ආදිත්‍යා ටිකක් හැඬුවා ය. නමුත් ඒ නිකම් ගැහැනු කමට ය. ඒ දර්ශනය තවමත් ඈ සිත කම්පිත කොට තිබෙන බැව් සැබවි. නමුත් විකුම් කියන්නේ ඈ පෙම් කොට ඇති පුරුෂයෙකු නොවේ.

ආමන්තා ආදිත්‍යා ගේ කාමරයේ රෑ ගත කරන බව සේනක නො දැන සිටියේ ය. විකුම් දැන් ඉතින් ගෙදර එන්නේ පාන්දර යාමයේ බව ඔහු ඉඳුරා දනී. මේ වෙලාවේ ආදිත්‍යා ඉන්නේ දුර්වල වූ හිතකින් බව ද ඔහු ට ප්‍රත්‍යක්ෂ ය. හඬ නො නැගෙන සේ ආදිත්‍යා ගේ කාමරය වෙත ගිය ඔහු ඉතා හෙමිහිට දොරට තට්ටු කළේ ය. තරුණියන් දෙදෙනා ම උන්නේ කල්පනාවේ මිස නින්දේ නොවේ. ආදිත්‍යා තිගැස්සී නෙතු හැරියා ය. ඈ කන් දී ගෙන සිටියේ විකුම් ගේ ඇමතුම ඇසේවිද කියා ය. නැත. ඒ සේනක බව දැන් ඇය ට ඉර හඳ සේ විශ්වාස ය.

“අයිය නේද..”

ආමන්තා රහසින් ඇසුවා ය. ආදිත්‍යා හිස සලමින් මෙට්ටය යටට අත දමා පිහිය එහි වන බව සැක හැර දැන ගත්තා ය.

“අක්කෙ…ඇයි..”

ආදිත්‍යා දනිපනි ගා යහනෙන් බැස දොර හැරියා ය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...