මුතු බෙලි හදවත -43

දුමාල් දෙස බලා සිටියදී ජයලත් ගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට වූයේ සිය තරුණ විය ය. ඒ කාලේ ඔහු ගේ ඇස් වල වූ බලාපොරොත්තුවේ දීප්තිය වෙනසක් නැතිව දුමාල් ගේ ඇස් වල ද දකිත හැකි ය. නමුත් ඉරණම ජීවිත එක්ක කරන්නේත් සුළු පටු විහිළු නොවන බව ජයලත් දනී. හිත රැඳෙන හැම තැනක ම ජීවිතය නතර කළ නො හැකි බව ඇත්ත ය. නමුත් ජීවිතය යම් කිසි තැනක නතර කරන්නට සිදු වූවා ට පස්සේ හිත තව තැනක නතර වෙන්නට තැනීම වූ කලී බරපතල අවාසනාවකි.

ජයලත් සැබවින් ම රූපිකා ට ප්‍රේම කළේ ය. ඔහු විවාහකයෙකු බව දැන දැන ම ඇය ද ඔහු ට ලං ව සිටියේ පාපී චේතනාවකින් නොවන බව ජයලත් දනී. කෙටි දුම්රිය ගමනේ දී ඈ ඔහු ගේ අත් කෙතරම් තදින් අල්ලා ගෙන සිටියේ ද යත් ඒ උණුහුම මේ දැනුත් ඔහු ට දැනෙන්නා මෙනි. ලලිතා හා ආදිත්‍යා අතැර විත් ඈ විවාහ කර ගන්නයි රූපිකා කිසි දා ඔහු ගෙන් ඉල්ලා සිටියේ නැත. ඈ සිය සීමාවන් මැනවින් හැඳින සිටියා ය. ඉල්ලුවේත් දුන්නේත් ආදරය පමණකි. නමුත් ලෝකය එය දුටුවේ කෙතරම් අශෝභන ඇසකින් දැයි ජයලත් එදාත් සිතුවේ ය. අදත් ඔහු ට එසේ සිතෙයි.

“ජරා ගෑනියෙක්. ළමයෙක් ඉන්න මාව පාරට ඇදල දාල මගෙ මනුස්සයව අයිති කර ගන්න හදන ජරාම ගෑනි”

ලලිතා රූපිකා ගැන කීවේ එසේ ය. නමුත් රූපිකා තුළ එවන් අදහසක් නොවූ බව ඔහු සක් සුදක් සේ දනී. අවමන් විඳගෙන ඈ කළේ ආදරය ම පමණි. පෙරලා කිසිත් ම බලාපොරොත්තු නොවී, දුන්නේ ආදරය ම පමණි. ඒ ප්‍රේමය හිමි කර ගැනීමේ චේතනාවෙන් තොර වූවක් නිසා මුල සිට ම බෙහෙවින් සුන්දර වූයේ ය. නිදහස් හැඟීමක් දැනවූයේ ය. නමුත් ලෝකය ඊට ‘අනියම් ප්‍රේමය’ යන කැත නමක් ආරූඩ කොට තිබුණෙන්, එය හදවත මත පැටවුණු බරක් ම විය.

“මට කිසි වරදක් නොකරපු ගෑනියෙක්ට දුක් දෙන්න බෑ. මගෙ ලෙයිං බිහි වෙච්ච දරුවෙක් අසරණ කරන්න බෑ. මේ ලෝකෙ මෙහෙම බැඳීමක් තේරුං නො ගන්න නිසා අපි මීට පස්සෙ මුණ නො ගැහි ඉමු”

ජයලත් අන්තිමට හමු වූ හැන්දෑවේ ඇය ට කීවේ ය. ඔහු ගේ අතක් තද කොට අල්ලා ගෙන උන් ඇගේ අත සීතල වෙන හැටි ඔහු ට දැනිණ. රූපිකා වදනක් හෝ නො බිණුවා ය. නියමිත දුම්රිය නැවතුමේ දී මුණිවතින් ම බැස ගිය ඇය යළි සිය ජීවිත දුම්රිය ට ගොඩ වූයේ නැත. ලලිතා හෝ ආදි දැරිය නොමැති ගෙදර පාළුවේ හැඬූ ජයලත්, පසු දා ලලිතා ගේ මහ ගෙදර ගොස් ඈ හා දියණිය කැටුව ආවේ ය.

නමුත් රූපිකා ඔහු ගේ හදවතේ උණුහුම් තැනක හැම මොහොතක ම හුස්ම ගවිමින් සිටියා ය.

ආදරය කියන්නේ එහෙව් හැඟීමකි. ආදරය හැම විට හිමි කර ගත හැකි වන්නේ නැත. නමුත් එක වතාවකට හෝ එය හමු වී හිතක් සදාකාලික වන්නේ ය. 

දුමාල් යනු එහෙම ආදරයක් හිමි කර ගන්නට වාසනාවන්ත වූ මිනිසෙකැයි ජයලත් ට සිතිණි.

“පුතා…ලොකූ හිතනවනං ඔයා ළඟයි එයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කියල…මගෙ කිසිම විරෝදයක් නෑ. මගෙ කෙල්ලට මං ආශිර්වාද කරනව. ඒ වගේම පුතා ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් කියල බය නැතුව කියන්න මට පුළුවන්. කසාද බැඳල ළමයෙකුත් ඉන්න ගෑනියෙක්ට ආදරේ කරන්න බෑ කියල ලෝකෙ මිනිස්සු හිතනවනං…ඒක එහෙම නෑ කියල ඔප්පු කරල පෙන්නපං පුතා. මං උඹලගෙ පැත්තෙ”

ජයලත් ගේ හඬ බිඳී ගියේ ය. ඇස් තෙත් වුණේ නිමේශයකිනි. උළුවස්ස අල්ලා ගෙන හිට ගෙන උන් ලලිතා වහා හැරුණා ය. නාස් කුහර දවා ගෙන ආ ඉකියක් මුවින් පිටමං වෙත්දී ඕ ඒ හඬ නො නැගෙන්නට අතින් කට තද කොට වසා ගත්තා ය. අනිත් අතින් කේතලය ගෙන වතුර එකක් පුරවා ගෑස් ලිප මතින් තැබුවා ය.

මේ තරම් අසරණ හැඟීමක් මීට පෙර දැනී ඇතැයි මතකයක් ඇයට නැත!

“අපි කොච්චර මෝඩ මිනිස්සුද දෙයියනේ…”

ඇය උගුර යටින් තනිව මිමිණුවා ය.

තේ පාණයෙන් පසු දුමාල් ආදිත්‍යා ගේ ගෙදරින් නික්මුණේ රටක් රාජ්ජයක් දිනුවෙකු ගේ අභිමානයෙනි. ඔහු කෙළින් ම පෙර පාසලට ගියේ ය. ඒ වෙලාව වන විට පෙර පාසල නිම වී ළමයින් නික්ම ගොස් සිටියහ. මින්දුල කොළයක් මත පැස්ටල් වර්ණ තවරමින් සිටියේ ය.

 ආදිත්‍යා ගේ මූණේ ගැස්මක් ඇඳිණි.

“මොකෝ මූණ නරක් වුණේ…”

ඔහු ඇසුවේ දඩබ්බර යෞවන විලාශයකිනි.

“මං කිව්වනෙ අනේ ඔයාට..වෙච්ච කරදර මදිද…මෙහෙ එනකොට මට බයයි ඔයා ගැන”

ඔහු ආදිත්‍යා ගේ උරහිස මතින් අත යවා ඇය ව ඔහු ට ලං කර ගත්තේ ය.

“දැං ඔයා වෙන කාගෙවත් නෙවෙයි. මගෙ වෙන්න ඉන්න ගමං”

ඇස් ඔසවා ඔහු දෙස බැලු ආදිත්‍යා ගේ මුහුණේ වූයේ දෝරෙ ගලනා ආදරයකි. 

“ඒත් මට එක බයක් තියෙනව දුමාල්”

වචන වී මේ පිට වූයේ ටික දවසක් තිස්සේ ඇගේ හදවත් කුටීර ඇතුළේ ඇය ට වද දෙමින් තිබි භීතියකි.

“බයක්…”

ඔහු සිය සුරත ඇගේ කොපුලත් කන් පෙත්තත් අතරේ තබමින් ඒ මූණට එබී බැලුවේ ය.

“හ්ම්. ඔයා දවසක පසුතැවෙයිද කියන බය. දරුවෙක් ඉන්න කෙනෙක්ව බැන්ද එක ගැන…”

“ශ්….”

දුමාල් සිය දබරැඟිල්ල ආදිත්‍යා ගේ දෙතොල් පෙති මත්තේ තබා නිහඬ වන ලෙස ඉඟි කළේ ය. සමහර දේවල් ජීවිතය මත සිදු වන්නේ කලින් සැලසුම් කර තිබූ පරිදි නොවේ. විවාහක ගැහැනියක සමග ඇසුරක් ඇති කර ගන්නට දුමාල් ද කලින් සිතුවේ නැත. ආදිත්‍යා සිය අසල්වැසි තරුණියක ලෙස දුටු මුල් දින වල වුව එහෙම දෙයක් වේවියි ඔහු ට සිතී නැත. නමුත් දෛවය ඔවුන් මුණ ගස්වන්නට ඇත්තේ ම එහෙව් සැලසුමක් සහිතව යයි ආපසු හැරී බලත්දී සිතේ. දුමාල් සේනක ගේ පුතෙකු වීමත්, විකුම් පාය ට යාබද නිවසේ නේවාසිකයෙකු වීමත්, මින්දුල ඔටිසම් දරුවෙකු ලෙස ඉපදීමත්, විකුම් සිය දරුවා ප්‍රතික්ෂේප කිරීමත් යන සියල්ල, ඒ සැලැස්මේ නිශ්චිත ස්ථාන නොවන්නේ ද? 

“දවසක පසුතැවෙන්න වෙන තීරණ මං ගන්නෑ ආදි. මේක මං හුඟක් හිතල ගත්ත තීරණයක්”

ඔහු ඒ වාක්‍ය දෙක කීවේ නිකං මතුපිටින් නොව, හදවතේ ගැඹුරෙන් සේ දැනෙනා ස්වරයකිනි. 

“මිනිස්සු හිතනව ආදරේ කියන්නෙ මීට කලින් වෙන කෙනෙකුගෙ බැල්මවත් වැදිල නැති හිතක ඉපදෙන දෙයක් කියල. කසාද බඳින්න ඕන වෙන කෙනෙක් ගෙ හුස්මවත් වැදිල නැති කෙනෙක්ව කියල. අපි වුණත් එහෙම හිතපු කාලයක් තියෙන්න ඇති. ඒත් ඒක ඇත්තටම එහෙම නෑ කියල දැං දන්නව ආදි. කොහොමත් ඔයා කියන්නෙ…කාව බැඳල හිටියත් ඉස්සෙල්ලම මට ආදරේ කරන කෙල්ලෙක් කියල මං දන්නව”

ආදිත්‍යා දුමාල් ගේ පපුව මත්තේ සිය මුහුණ හොවා ගත්තා ය. ඔහු දෑතින් ම ඇය ව වැළඳ ගත්තේ ය. ටික වෙලාවක් ඇස් දෙක පියා ගෙන ආදිත්‍යා ඒ උණුහුම විඳ ගත්තා ය. විකුම් ඇසුරේ කිසි දා ඇය මෙහෙව් උණුහුමක් විඳ නැති බව ඇය ට සිහි කළ හැකි ය. ඔහු ට ඕනෑ වූයේ ඉක්මන්, කලබලකාරී හා නීරස ලිංගික ගනු දෙනුවක් පමණකි. ආදිත්‍යා ඉන් මහත් අප්‍රසන්න බවක් අත් වින්දා ය. නමුත් විකුම් එය වුව තේරුම් ගත්තේ නැත. ආදරය සේ ම කායික ස්පර්ශය ද දිව්‍යමය සුවයක් දනවනා බව ඇදහූ ආදිත්‍යා ට, විකුම් නිසා ලද හැකි වූ සියල්ල දඬුවමක් පමණක් විය.  

“ඔයා ට දවසක එහෙම පසුතැවීමක් දැනුණොත් හරි මට කියන්න”

ආදිත්‍යා දුමාල් ගෙන් මිදුණේ එසේ කියමිනි. සිනහ වෙන උත්සාහයක් ගත්තත් ඇය ගේ මුවෙහි සිනහවක් නැගුණේ නැත.

“කියල…”

දුමාල් නම් දඟකාර සිනහවකට අර ඇන්දේ ය.

“ඔයාට සතුටෙන් ඉන්න පුළුවන් තැනකයි ඔයා ඉන්න ඕනෙ. මං දන්නවනෙ සතුටක් නැති කසාදයක් ඇතුළෙ රැඳෙන එක මොන වගේ දුකක්ද කියල. ඔයාට ඕන වෙලාවක…ඕන ම වෙලාවක නිදහස් වෙලා යන්න පුළුවන් දුමාල්. යන්න බැරි විදිහට මං හිර කර ගන්නෙ නෑ. කසාදයක් කවදාවත් හිර ගෙයක් වෙන්න ඕන නෑ. වගකීමක් හරි යුතුකමක් හරි විතරක් වෙන්න ඕනත් නෑ. තේරුං ගැනීමයි විශ්වාසයයි ආදරයයි නැතුව…බැඳීමක් විතරක් තිබිල වැඩකුත් නෑ. අපි ඒ විදිහෙ විනිවිද භාවෙකින් ජීවත් වෙමු. එහෙම බැරි වුණ දාට වෙන් වෙලා යමු”

“එහෙනං මැරි කරන්න ඕන නෑ”

දුමාල් ඒ කළේ විහිළුවකි.

“ඇත්තටම මටනං ඕන නෑ. මිනිස්සු හිර වෙන තරමටයි නිදහස හොයන්න ගන්නෙ..නිදහසේ ඉන්නකොට ඒක අමුතු දෙයක් නෙවෙයි. ඒත් අපේ වගේ රට වලට ඒක හරියන ක්‍රමයක් නෙවෙයි. අපේ උප්පැන්න සහතික වලත් දෙමව්පියන් විවාහකද කියල අහනවනෙ. එතකොට ඒ උප්පැන්න සහතිකේ අතේ තියං තැනකට යන ළමයෙක් දවසක අන්ත අසරණ වෙන්න පුළුවන්”

ආදිත්‍යා මේ තරම් විවෘත මනසක් ඇති තරුණියක ලෙස දුමාල් ඇය ව දුටු මුල් ම වතාව මේ ය. ඈ කී සියල්ල ඇත්ත ය. ඈ අන්තිම ට කී, අපේ රටට හරි යන ක්‍රමය විවාහය බවත් ඉඳුරා ඇත්ත ය. 

“යං”

ඔහු මින්දුල ව පුංචි පුටුවෙන් නැගිටුවමින් කීවේ ය.

“කොහෙද..”

ආදිත්‍යා කුඩා දැරියක ගේ සතුටින් විමසුවා ය.

“රෙජිස්ටර් කරල දාල ඉක්මනට ගත්තු ගෙට යමු අප්ප. රෙජිස්ට්‍රාර් ගෙන් වෙලාවක් කන්ෆර්ම් කරගෙන එහෙමම ගිහිං ගෙට ඕනම කරන බඩු ටික ගමු”

“දැං…”

“ඉතිං ඕක කල් දදා ඉඳල මොකටද…අන්තිමට වෙන්නෙ ඕකමනං”

ගෙදරක් කියන හැඟීමෙන් ආදිත්‍යා පිරීතිරී ගියා ය. විකුම් ගේ ගෙදර දී ඇය ට ඇගේ ය යන හැඟීම එක මොහොතකටවත් දැනී නැත. කොහොමටත් ඒ ගෙදර ඇය ගෘහ පතිණිය නොවුණා ය. සිය යොවුන් විය ගෙවුණු ඔවුන් ගේ ගෙදර ඇය ට හිමි වූයේ දියණියක ගේ හිමිකම පමණි. නමුත් තමුන් ට රිසි සේ සියල්ල පාලනය වන, තමන් ගේ හීන එළි දකින, තමන්ගේ කියා කිව හැකි ගෙදරක් ගැන ඕනෑ ම ගෑනු ළමයෙකු ගේ හිත තුළ හීනයක් වන්නේ ය. නමුත් මෙතෙක් අදි ගේ සිතේ ඒ හීනය හීනයක් ලෙසට ම පැවතිණ. දැන් දුමාල් මේ කතා කරන්නේ එහෙම ගෙදරකට කලමනා ගන්න යන්න ය. ආදිත්‍යා දෙතොල් පුළුල් කොට සිනහවක් පෑවා ය.

“ඇත්තටමද…”

දුමාල් හිස සැළුවේ ය.

සේනක සිටියේ ලෝදිය පැසවනා ගිනි කන්දක ස්වභාවයෙනි. කිසිදු විදාරණයක් සිදු නොවෙනවා නම් ඔහු දැන් කැමති ය. තමන් හොඳ මිනිසෙකු නොවන වග ඔහු දනී. හොඳ වැඩක් කියා දෙයක් ඔහු ගේ අතින් සිදු වී ඇතැයි මතක් කර ගත නො හැකි තරම ය. ඔහු කළේ ම නොහොබිනා නොසණ්ඩාලකම් ය. ඔහු ට අවශ්‍ය පරිදි දේවල් සිදු කර ගැනීම වෙනුවෙන් හොඳින් හෝ නරකින් ඕනෑම දෙයක් කළේ ය. ඕනෑ ම දෙයක් වෙනස් කරන්නට ගියේ ය. එහිදී අගතියට පත් වන පාර්ශවය ගැන මොහොතකට හෝ තැකීමක් නො කළේ ය. 

නමුත් දැන් දැන් ඔහු ගේ අතුණුබහන් කළඹණ නොසන්සුන්කමක් වටෙන් ම ඔහු ව තෙරපමින් සිටී. එය දුමාල් සම්බන්ධ කාරණයක් බව සේනක ට දැනුණේ ය.ඔහු දෙවරක් නොසිතා දුමාල් මුණ ගැහෙන්නට බැංකුවට ගියේ ත් මේ අසහනයෙන් මිදෙනු වස් ය. නමුත් ඔහු මුණ නො ගැසුණෙන් සිදු වූයේ අසහනය තවත් දැඩි වෙන එකයි.

අන්තිමට සේනක දුමාල් ගේ දුරකතනය අංකනය කළේ ය. එතකොට දුමාල් සිටියේ ආදිත්‍යා හා මින්දුල සමගින් ගෘහ භාණ්ඩ තෝරමිනි.

“මං සේනක”

දුමාල් තත්පර කිහිපයක් සිය හදවත තුළ නැගෙනා ඒ දෝංකාරය අසා සිටියේ ය. තමා කේන්ද්‍ර කර ගෙන පෘථිවිය භ්‍රමණය වන්නා සේ ඔහු ට දැනිණ. 

“කවුරු…”

තත්පර කිහිපයක සන්‍ත්‍රාස සමයකින් පසු දුමාල් අසා ගත්තේ ය. ඔහු ගේ හඬ වෙව්ලුම් කෑවේ ය.

“සේනක…සේනක විජයවික්‍රම”

“ඇයි දන්නෑ නේද…”

දුමාල් ගේ අත මිට මෙළවී තිබිණි. ඔහු ගේ ඇස් කුඩා වූයේ ය. සුදු ඉංගිරියා රතු වූයේ ය. දත් ඇඳි දෙක එකට හැපෙනවා ඔහු ට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles