මුතුබෙලි හදවත -42

ලලිතා ට සිහිපත් වන්නේ සිය තරුණ කාලය ය. ඒ කාලේ ජයලත් කඩවසම් තරුණයෙකි. ඔහු කාර්යාලයට යන එන දුම්රිය ගමනේ දී කාර්යාල තරුණියක සමග සමීප හිතවත්කමක් පැවැත්වූ අයුරු, අමතක වුණා සේ හිටියා ට ඇය ට කිසි දා අමතක නොවේ. ජයලත් තරුණියක සමග ඇසුරක් පවත්වන බව මුලින් ම ඇය ට කීවේ, දුම්රියේ දී ඔවුන් ව දැක තිබි ඥාතියෙකි. ඒ ආරංචියෙන් කලබල වූ ලලිතා ජයලත් එක්ක ඇල්ලූ අඩව් ගැන සිහිපත් වත්දී දැනුත් හදෙහි නැගෙන්නේ සුසුමකි.

ලලිතා ආදිත්‍යා ව ඔක්කේ ගසා ගෙන මහ ගෙදර ගියා ය. ටික කලක් ඔවුහු වෙන වෙන ම ජීවත් වූහ. ජයලත් නැවත විත් ඇය ව ගෙදර කැටුව ගියේ ඒ සම්බන්ධතා නතර කරනා බවට පොරොන්දු වී ය.

ඒ වෙත්දී ලලිතා ද ජීවිතය ගැන පාඩමක් උගෙන, සන්සුන් වෙමින් සිටියා ය. ආමන්තා කුසට ඒමත් සමග ජයලත් පෙරදී ට වඩා තැන්පත් සහ වගකීම් සහගත මිනිසෙකු බවට පත් විය. පරණ තුවාල ඉඳහිට පාරා ගනිමින් රණ්ඩු දබර වූ අවස්ථා නැතිවා ම නොවේ. නමුත් දරුවන් වෙනුවෙන් ඔවුන් දෙදෙනා ම සියලු තුවාල රිදුම් තනිව පිරිමැද ගනිමින් ගෘහ ජීවිතයට අනුවර්තනය වෙමින් සිටියහ. එදා එසේ නො කළේ වී නම් අද දරුවන් ට පවුලක් කියා දෙයක් නො තිබෙනු ඇත. 

“අපි එහෙම කළා තමයි. ඒත් මේක අමුතුම කාලයක්නෙ. අපි කරපු විදිහට උඹලත් කරහල්ලයි කියල කියන්න පුළුවන් කමකුත් අපිට නෑ”

එවර ලලිතා කතා කළේ අතීතයේ වළ දමා ආ සනතාපයකිනි. ඇගේ උගුර යට සුසුමක් හිර වී තිබුණේ ය.

“මං වගේ නෙවෙයි ලොකූ උගත් ළමයෙක්. හැමෝම මට දොස් කියන්නෙ මගෙ කීමට ඔයා විකුම් ව බැන්දයි කියලනෙ. මං තරහ වෙලා ලොකූවත් අරං මහ ගෙදර ගිය වෙලාවෙ තාත්තා ඇවිත් කතා කළහම මං එයා එක්ක ආවා. එහෙම නොකළනං…අද ඕගොල්ලො මට දොස් කියන්නත් තිබුණා”

“අම්ම”

ආදිත්‍යා ලලිතා ගේ උරහිසක් මත අතක් තැබුවා ය.

“අම්මව මට තේරෙනව”

“විකුම් අයෙමත් ඇවිත් ඔයාට කතා කරද්දි…මට අපේ අතීතෙ මතක් වුණා. ඒත් එදා මං කළ දේ අද ඔයා කරන්නෑ කියල මං දන්නව. අපි වගේ නෙවෙයි. දැං ගෑනු ළමයි තාත්ත කෙනෙක් නැතුව වුණත් රස්සාවක් කරල දරුවෙක් තනියම හදා ගන්න තරං හිත හයිය අය”

“අම්ම එහෙම හිතන එක ලොකු දෙයක්…”

“මට හැම තිස්සෙම හිතෙනව දරුව වෙනුවෙන් ඔය දෙන්න සමාදාන වුණානං…පහු වෙනකොට ඔය හැම දේම මගඇරිල යන්න පුළුවන් කියල”

“මං ආයෙ ආපස්සට හැරෙන්නෙනං නෑ අම්මෙ. දුමාල් නිසා නෙවෙයි…හැම දාම තනියම හිටියත්…මින්දුල ට අම්මයි තාත්තයි දෙන්නම මං ම වුණත්…මං ආයෙ විකුම් ගැනනං හීනෙකිංවත් හිතන්නෑ අම්මෙ”

ලලිතා එතෙකින් කර බා ගත්තා ය. ලොකු දුව ගේ ඇස් වල වූ අධිෂ්ඨානය ඇය ට දැකිය හැකි විය. ඒ අධිෂ්ඨානයෙන් කියැවුණේ ඈ ආපසු නො හැරෙනා බවකි. 

“ඇති යන්තං”

ආමන්තා සොයුරිය පිටුපසින් ගොස් ඇය ව වැළඳ ගන්නවා.

“ඔ..ය..මගෙ බෙල්ලත් හිර වෙනව දැං”

“මං හිතුව අම්ම කංකෙඳිරි ගාණකොට හරි එහෙනං අම්ම කියනවනං විකුම් එක්ක යන්නං කියයි කියල”

ලලිතා පොඩි දූ ට රැව්වා ය.

“අම්ම දෙයක් කිව්වත් ඒ ළමයින්ට හොඳක් කරන්න හිතාගෙනයි පොඩී. නැතුව මේ අපිට සැප විඳින්න නෙවෙයි”

ලලිතා ගේ හඬ හැඬුම්බර විය. ආදිත්‍යා නැගණිය දෙසට රැවුමක් විසි කළා ය.

“හරි හරි ඉතිං…මං එහෙම කිව්ව නෙවෙයිනෙ”

කෙසේ වෙතත් මේ සියලු සංවේග සන්තාපයන් අතරේ ආදිත්‍යා ට දැනුණේ ජීවිතේ ඇතුළෙන් හමා යන සිහින් පවනක සැහැල්ලුවකි. අන් සියල්ලට වඩා ජීවිතය නිදහස ප්‍රිය කරන බව වටහා ගන්නට ඊට වඩා සලකුණක් තව නැත. උස් වූ කඳු මුදුනකට අමාරුවෙන් නැග ගත් පසු දැනෙනා හැඟීම ඒ ය. අමාරු ම කටයුත්ත අවසාන වී තිබේ!

“මං අරූව මරනව”

විකුම් ගෙදර ගොස් ගුගුළේ ය. රූපවාහිනී ප්‍රවෘත්ති නරඹමින් උන් සේනක, දුරස්ථ පාලකයෙන් එහි හඬ අඩු කරමින් පුත්‍රයා දෙස බැලුවේ ය. ඒ ගෝරනාඩු හඬ ඇසී සඳසීලී කාමරයේ සිට පිටතට ආවා ය.

“මොකාවද…අර මොඩ්ල්ව බැන්ද බිස්නස්මන්වද…විකුම් මේ…හරක් පැටියෙක් වුණාට මේ වෙලාවෙ උම්බෑ කියන්නැතුව ඉන්නවද…”

සේනක සන්සුන් ව කීවේ වී නමුදු ඒ හඬෙහි වූයේ දැඩි බවකි.

“මං කියන්නෙ දුමාල්ව”

මේසය මත වූ වීදුරු මල් බඳුනක් බිම දමා ගසමින් විකුම් යළිත් කෑගැසුවෙ ය. ඔහු ගේ මුහුණෙහි වූයේ වියරුවකි. සඳසීලී හා සේනක මුහුණෙන් මුහුණ බලා ගත්හ.

“ඒ ගමන මොන පිස්සුවක් කෙළින්න හදනවද මිනිහො…”

සේනක අසුනෙන් නැගී සිටියේ ය.

“ඌ නිසයි ආදි ඩිවෝස් එක ඉල්ලුවෙ. අනිත් එක…ආදිව එතනට තල්ලු කරන්න ඔයත් හේතුවක් තාත්තෙ”

අත මිට මොළවා විකුම් මේසය ට පහරක් එල්ල කළේ ය. මේසය මත අතුරා තිබූ වීදුරු තහඩුව බිඳී විකුම් ගේ අතින් ලේ ගලන්නට පටන් ගත්තේ ය.

“මොනවද විකුම් මේ කරන විකාර වැඩ…”

සඳසීලී විකුම් වෙතට පැන ඔහු ව පසෙකට තල්ලු කළේ ය..සුදු ටයිල් පොළොව මත රතු පාටට ලේ වැගිරෙමින් තිබිණි.

“අජිත්..මෙන්න මේ පිස්සව අරගෙන ගිහිං බෙහෙත් ටිකක් දාං එනව. මූට අමු කැවිල ඒ ගමන”

සේකක ගාමිභීර හඬකින් අණ දුන්නේ ය. විකුම් බෙහෙත් දමන්නට යන්න එකඟ වූයේ නැත. ඔහු ව ගෙන ගියේ බලයෙන් සේ ය.

“දැනුයි කුලප්පු වෙලා තියෙන්නෙ. මී හරකා”

විකුම් නික්ම ගිය පසුත් සේනක කියවන්නට වූයේ ය.

“අර ගෑනි කසාද බැන්ද හින්ද තමයි මූට කසාදෙ දික්කසාද වෙච්ච බව මතක් වෙලා තියෙන්නෙ”

ඔහු විකුම් ට දොස් පවරමින් නොසන්සුන් ලෙස ආලින්දයෙහි ඒ මේ අත සක්මන් කරන්නට වූයේ ය. සඳසීලී බලා සිටියේ කේන්තියෙනි. තාත්තලා පුතාලා එක ම අච්චුවේ ය. කළ දේවල් ගැන සිහිපත් වන්නේ පමා වී ය. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා ඇති පලක් නැත. අනිත් අතට දුමාල් ගෙන් පලි දරන්නට සිතීම ඔවුන් දැන හෝ නොදැන කරනා දැවැන්ත ම අනුවණකම වන්නට පුළුවන.

“දුමාල් ට මේ පිස්සා මොකක්හරි කළොත් මේව කොහෙන් කොහොම කෙලවර වෙයිද කියන්න බෑ. තාත්තල පුතාලට රෙදි නැතුව තමයි මිනිස්සුංගෙං ඡන්දෙ ඉල්ලන්න යන්න වෙන්නෙ”

සඳසීලී එසේ කියා ගෙන යළිත් කාමරයට වැදුණා ය. හිතුවාට වඩා සියල්ල සංකීර්ණ වන බවක් ඇයට දැනේ. හිතේ වන මෝහය මත විකුම් දුමාල් ගේ ජීවිතයට අනතුරක් කළ හොත් දෙවන වතාවටත් ආදිත්‍යා ගේ ජීවිතය කඩා වැටෙනු ඇත. අනිත් අතට එක ගැහැනියක අරබයා සහෝදරයන් දෙදෙනෙකු මරා ගැනීම කියන්නේ සභ්‍යත්වයෙන් බෝ ඈත පවත්නා අමානුෂීයත්වයකි. මේ මිනිසුන් ජීවිතයේ වන සැබෑව වටහා ගෙන ඔවුන් හුස්ම ගන්නා මායාවෙන් එතෙර වන්නේ කවදා දැයි ඇය සංවේගයෙන් යුතුව සිතුවා ය. 

“දුමාල්ට මොනාහරි කරල තිබුණොත් මං නරක මිනිහ කියන්න එපා විකුම්”

රෑ බෝ වී තරමක මත් බවකින් ගෙදර පැමිණි විකුම් ට, ඔහු ගේ කාමරයට ම ගොස් සේනක ඇඟිල්ල දිගු කොට කීවේ ය. විකුම් ඒ මත් බව තුළ දී වුව මඳක් ගැස්සී ගියේ ය. සේනක ගේ ඇස් වල ලියවී තිබි දේ වටහා ගන්නට ඔහු ගේ පුත්‍රයා සමත් වූවා නොවේ. නමුත් තාත්තා ගේ හදවතේ ඔහු සිටි තැන ම දැන් දුමාල් ද සිටින බවක් ඉවෙන් වාගේ විකුම් ට දැනිණ.

විකුම් ගෙදර එන තුරු ම සේනක කල්පනා කරමින් සිටියේ මේ පටලැවිලි ගැන ය. කිළිටි රෙදි කඩකින් ඔතා ගෙන ගීතා රැගෙන ආ දරුවා ගේ මූණ දෙස නො බලා ම හරවා යැව්වා ට, කොතක් සේ සිව් දිගට පේන්නට වැඩී හිඳිනා දුමාල් ව නොදුටු සේ ඉන්නට දැන් ඔහු ට නුපුළුවන. දුමාල් කියන්නේ පින් කඳක් බව ඔහු ට දැනේ. සේනක හැබැහින් ඔහු දැක තිබෙන්නේ කිහිප වතාවකි. ඒ ඔය බැල්කනියේ සිටියදී ය. ඒ ඔහු ගේ ම ලේ ඇති පුත්‍රයෙකැයි සිතෙත්දී දැන් සේනක ගේ හිත කීරි ගැහී යයි. ඒ හැඟීම බලයෙන් උපදවා ගත හැක්කක් නොවේ. එසේ ම බලයෙන් මරා දැමිය හැක්කක් ද නොවේ!

උදේ ම සේනක බැංකුව වෙත ගියේ ය. දුමාල් ට කතා කිරීමේ සිතිවිල්ලෙන් මිදීම පහසු වූයේ නැත. නමුත් ඔහු ගේ බලාපොරොත්තු සුන් කරමින් දුමාල් එදා නිවාඩුවක් ගෙන තිබුණේ ය.

නිවාඩු ගෙන ඔහු ගියේ ආදිත්‍යා ගේ ගෙදර ය. ඒ වෙලාවේ ඇය ගෙදර නැත. පෙර පාසලේ ය. ආමන්තා ද පාසල් ගොස් සිටියා ය. 

ජයලත් පටු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වැතිර හිස් දෑසින් බලා සිටියේ ය. ඔහු ගේ බැල්මේ අරමුණක් වූයේ නැත. ජීවිතයේ මේ හැන්දෑ කාලය මීට වඩා වෙනස් විය යුතු වූයේ නැත්දැයි සිතන්නට ඔහු ට උවමනා ය. අතීතය දෙස ආපසු හැරී බලත්දී, ඒ ඒ අවස්ථා වල ගත් තීරණ ඉතාම නිවැරදි දැයි සිතේ. නිවැරදි ම නොවුණත් සියලු තත්වයන් සලකා ගත යුතු වූ හොඳ ම තීරණ ගන්නට ඔහු උත්සුක වූයේ ය. පුංචි පුංචි පැටලිලි කෙබඳු වී ද ජීවිතය කියන්නේ ගෙදරට ය. 

කළු පැහැති රියක් මිනුලේ නතර විය. ආයේමත් විකුම් දැයි බලන්නට ජයලත් හාන්සි පුටුවේ කෙළින් වූයේ, දෙකක් කියා එලවනවා යි සිතා ගෙන ය. නමුත් රියෙන් බැස්සේ ඔහු නොවේ. 

“තාත්තෙ මං…”

දුමාල් ට කියා නිම කරන්නට ලැබුණේ නැත.

“දුමාල්!”

ජයලත් ඔහු ව හඳුන්වා දුන්නේ ය. දුමාල් ගේ දෙතොල් පෙති ලිහී සිනහවක් පිපිණි. මේ කොල්ලා සැබවින් ම ආදිත්‍යා ව රැක බලා ගනු ඇතැයි ජයලත් ට සිතිණි. නමුත් එසේ සිතුණේ ඇයි කියා නම් ඔහු නො දත්තේ ය.

“ඉඳගමුකො ඉලන්දාරිය”

කටහඬ නිසා ලලිතා ඇතුල් ගෙයි සිට ඉස්සරහට ආවා ය. 

“තාත්තෙ මං ආවෙ…මං ආදිත්‍යා වයි පුතාවයි බාර ගන්නව කියල කියන්න”

එවන් තීරණයක් ගත හැකි සේ ඔහු නිදහස් ව හිඳීම ගැන ජයලත් දෙවියන්ට පින් දුන්නේ ය.නමුත් ඔහු ගේ හදවතේ අතීත තුවාලයක් පෑරී තිබිණි.

“ලොකූ ගෙ සතුට තමයි පුතා මගෙත් සතුට. ලොකූ පුතා එක්ක සතුටෙන් ඉඳියි කියල මාත් හිතනව. අපිට කෙනෙක් එක්ක සතුටෙන්…නිදහස් හැඟීමෙන් මේ ගමන යන්න පුළුවන් ද කියන එකයි වැදගත්..අපිට අපිව සතුටෙන් තියන්න පුළුවන් නං අනිත් ඕන දෙයක් බොහොම පුංචියි. ඒ කොයි දේත් උපයා සපයා ගන්න පුළුවන්. එහෙම ජීවත් වෙන්න ලැබෙන එක වාසනාවක්”

ලලිතා බිම බලා ගෙන කෙළ බිඳක් ගිල්ලා ය. ඇගේ උගුරෙහි අතීත රිදුමක් අලුත් විය. ජයලත් මෙතුවක් කල් ඈ සමගින් දරු මල්ලන් හදා ගෙන වයසට ගිය ද ඔහු හිටියේ සතුටෙන් නොවේ කියා සිතන්නට වීම මොන තරම් ඛේදවාචකයක් ද? එදා ඔහු ත් එක්ක ආයේ එක වහලක් යටට වෙන්නේ නැතිව, ඔහු ට සතුට දුන් තරුණිය සමග ජීවිතය ගෙවන්නට නිදහස දුන්නා නම් මැනවැයි ප්‍රථම වතාවට ලලිතා ට සිතිණි. 

මගේ යයි බලයෙන් අල්ලා රඳවා ගැනීම තුළ කිසිත් ඉතිරි වන්නේ නැත. ඊට වඩා දැවැන්ත වූ යමක්, අත්හැර යන්නට දීම තුළ ඉතිරි වනු ඇතැයි නො සිතිය හැකි ද?

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...