මුතු බෙලි හදවත – 15

සවස් වන තුරු උද්‍යානයට වී සිටි ආදිත්‍යා, මින්දුල සමගින් රියට ගොඩ වීම ප්‍රතික්ෂේප කළා ය. දිගින් දිගට ම තරුණයෙකු ඇසුරු කිරීම ගැන නිකරුණේ කතාවක් හදා ගන්නට ඇය ට ඇත්තට ම ඕනෑ වූයේ නැත. සැමියා ගේ රැකවරණයෙන් තොර ව දරුවෙකු සමගින් ලෝකයේ තනි වෙන ගැහැනියක වෙත එළඹිය හැකි සියලු ම ආකාරයේ නින්දා පරිභව සහ මුලා කිරීම් ගැන ආදිත්‍යා ට අවබෝධයක් වේ. මාමණ්ඩිය වන සේනක විජයවික්‍රම ත් අවසථාවෙන් ප්‍රයෝජන ගන්නට බලනා එකේ, දුමාල් අවස්ථා වාදී පිරිමියෙකු සේ නො පෙනුණත්, ඔහු සමගින් වුව සීමා සහිත ඇසුරු කිරීමකට යන එක හොඳ යයි ආදිත්‍යා සිතුවා ය.

“විකාරද ආ…”

ඇදෙස බැලූ දුමාල් ගේ ඇස් මත වූයේ තියුණු බවකි. ආදිත්‍යා මඳහස් වතින් මුදු කෝල බැල්මක් හෙළුවා ය.

“නෑ ඉතිං…මං කැබ් එකක් ගන්නං. ඔයා අපි නිසා කරදර වෙනව වැඩියි. අපි නෙවෙයි. සොරි…පුතා නිසා”

“මං කිව්වනෙ පුතා ගැන මට සීමාවක් නැතුව කරදර වෙන්න පුළුවන් කියල”

ආදිත්‍යා ගේ පපුව හෝස් ගා දැවී ගියේ ය.

“යමු”

ඔහු රියෙහි ඉදිරි දොර හැර ඇය ට ආරාධනා කළේ ය. තව දුරටත් ඒ ළෙංගතු කම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඇය ට වූයේ නැත.

“අම්ම වගේ ම තමයි ආඩම්බරකම”

රියදුරු අසුනේ හිඳ ගන්නා ගමන් දුමාල් සිතුවේ ය. බියගුළු දුමාල් කොලුවා තුරුලු කර ගත් ගීතා නානායක්කාර ද මින්දුල විජයවික්‍රම තුරුලු කර ගත් ආදිත්‍යා වරුසවිතාන ද මාරුවෙන් මාරුවට දුමාල් ගේ හිත ඉහත්තාවේ මැවෙන්නට විය. ඒ සිතිවිල්ල ඔහු ගේ මුහුණට සිනහවක් නංවන්නට සමත් වූ අතර ආදිත්‍යා ඒ සිනහව අඩැසින් දුටුවා ය.

මේ ගමන කොයි වාගේ එකක් දැයි දුමාල් සිතුවේ ය. ඔටිසම් රෝගී දරුවෙකු හිඳිනා විවාහක ගැහැනියක මේ විදිහට රියෙහි නංවා ගෙන තමන් යන්නට හදන ගමන කුමක් දැයි ඔහු හරියට ම දැන සිටියේ නැත. නමුත් හැන්දෑවේ ආදිත්‍යා දුරකතනය ට ප්‍රතිචාර නො දැක්වූ වේලේ හිත වෙලා ගත් පාළු සංකා හැඟීමත්, දැන් මේ මොහොතේ දැනෙමින් පවත්නා වූ සැහැල්ලු පිරිපුන් බවත් අතරේ වෙනසක් වන බව නම් ඔහු ට පැහැදිලි ව දැනේ.

“ඩිනර් අරං යං”

අතර මගක දී දුමාල් කීවේ ය. ආදිත්‍යා ඔහු දෙස බැලුවා ය. නමුත් තරුණයා ඇය දෙස නෙතගින් හෝ බැලුවේ නැත.

“දැං රෑ වෙලා”

ඇය ඔහු දෙස බලා ගෙන ම කීවා ය.

“රෑට තමයිනෙ රෑ කෑම ගන්නෙ”

ඔහු කවදාටත් වඩා හිතුවක්කාර වී සිටියේ ය. ආදිත්‍යා කෙරේ සිය ආධිපත්‍යය පතුරුවමින් සිටියේ ය. ඇගේ ස්ත්‍රී හදවත, මහ රුකක කඳ මත වෙලෙනා ලතාවක් සේ ඔහු ගේ ඒ හිතුවක්කාර සේ ම ආදරණීය බවක් ජනනය කරන පිරිමි පෞරුෂය කෙරේ බැඳෙන්නට ම බැලුවේ ය. නමුත් ආදිත්‍යා සිය සිත මෙල්ල කරනා හැටි දැන සිටියා ය. 

ආදිත්‍යා සිය උකුල මත හිඳින මින්දුල ව දෑතින් අල්ලා ගෙන ම හිස රිය අසුනට බර කොට මඳකට නෙතු පියවා ගත්තා ය. ඇගෙන් සුසුමක් ගිලිහුණේ ඈ දැනුවත් ව නොවේ. ඒ සුසුමේ හඬින් දුමාල් හැරී බැලුවේ ය. නෙතු පිය වසා හිඳින ඇගේ අවිහිංසක ශාන්තිදායක වත දෙස ඔහු ට තත්පර කිහිපයකට වඩා බලා සිටිය හැකි වූයේ නැත. ඒ, සුක්කානම ඔහු ගේ දෑත් මත වූ නිසා ය.

ආදිත්‍යා ගෙන් දෙනෙත් මුදවා ඉදිරියෙහි වන මග දෙස බලනා අතර තුරදී, දුමාල් දුටුවේ ස්ටියරින් වීලය දෙස බලා හිඳිනා මින්දුලව ය. මග පැහැදිලි බව දැනුණෙන් තරුණයා සිනහ මුවින් දරුවා ට කතා කළේ ය. 

“පුතා ආසයිද බූම් පදින්න…ම්…”

එසේ අසමින් දුමාල් එක අතකින් මින්දුල ගේ සිඟිති අතැඟිලි අල්ලා ගත්තේ ය. ආදිත්‍යා නෙත හැර බැලුවා ය.

“බූම් ආසයිද…”

දුමාල් සේ ම ආදිත්‍යා ද කිසි සේත් බලාපොරොත්තු නොවූ ලෙස මින්දුල ප්‍රතිචාර දැක්වූයේ ය. ආදිත්‍යා ගේ ඇස් වල දීප්තිමත් එළි යුග්මයක් දැල්වෙන්නට ගති.

“බූම් පදින්න ආසයිද මගෙ පුතා…”

ඇය මින්දුල ගේ මූණට එබුණා ය.

“බුම් ආසයිද…”

“පුතා යන්තං උත්තර දෙන්නෙත් අපි අහන ප්‍රශ්නෙ කෑල්ලකින් ම තමයි”

අනතුරුව ඇය දුමාල් වෙතට සිය බලාපොරොත්තු සහගත දෑස් දල්වා ගෙන කිවා ය. මග අයිනට කොට රිය නතර කළ තරුණායා, දරුවාව සිය කකුල් මත්තට ගත්තේ ය. පුදුමයකට සේ මින්දුල කිසිදු විරුද්ධ වීමක් පෑවේ නැත.

“ආව්…එයා ගියා…”

ඇය සතුටෙන් පිනා ගොස් කෑ ගෑවා ය. පුතා ඔටිසම් ය කියා දැන ගන්නට පෙර වුණත් ඔහු විකුම් අතට වුව ගියේ දැඩි සේ විරෝධය පෑමෙන් බව ආදිත්‍යා ට සිහිපත් කළ හැක. 

දුමාල් යළි රිය පණ ගන්වා ගත්තේ ය. මින්දුල සුක්කානම මත දෑත් තබා ගෙන එය කැරකෙව්වේ ය. දරුවා සිටියේ සතුටෙනි. ඔහු කොහොමත් කැරකෙන දේවල් ගැන උනන්දු ය. එය ඔටිසම් දරුවන්ගේ ලක්ෂණයක් බව, ඒ ගැන ඕනවාටත් වඩා තොරතුරු හොයා ඇති ආදිත්‍යා සේ ම දුමාල් ද දනී. 

දුමාල් අවන් හලක් ඉදිරියේ රිය නතර කළේ ය. 

“එන්න පුතා”

ආදිත්‍යා මින්දුල ව ගන්නට හැදුවා ය. නමුත් දුමාල් රියෙන් බැස්සේ ඒ නෑසුණ ගානට මින්දුල ව වඩාගෙන ය.

“ළමයෙක් වඩං යනකොට කට්ටිය හිතයි ඔයා බැඳපු කෙනෙක් කියල”.

ඇය ටිකක් අමුතු විදිහේ විහිළුවක් කළා ය. දුමාල් කළේ ඇස් පුංචි කර ඇදෙස බලනා එක විතර ය. 

ඇනවුම් කළ සී ෆූඩ් රයිස් සහිත මෙනුව මේසය මතට එන තෙක් දුමාල් මින්දුල සමගින් හුරතල් කතා කීවේ ය. ආදිත්‍යා නො සිඳුණු සිනහ ගඟුලකින් ඔවුන් දෙස බලා සිටියා ය. විකුම් මෙවැනි පියෙකු වූවා නම් ඇය ට කෙතරම් සැනසිලිදායක ජීවිතයක් ගෙවන්නට තිබුණා දැයි ඕ සිතුවා ය.

ගෙදර යන්නට පමා වෙන එක ගැන තරමක බියක් ආදිත්‍යා ගේ හද තුළ නො වුණා ම නොවේ. නමුත් ඒ බිය යටපත් කර ගෙන ඇය තව තවත් පමා වීම ම පැතුවා ය. එයින් අමුතු සතුටක් ද වින්දා ය. විකුම් රෑ බෝ වී ගෙදර එනවා නම් ඇයට එසේ කළ නො හැකි මන්දැයි ඈ ඇගෙන් ම ඇසුවා ය. 

එය වූ කලී එකට එක කිරීමෙන් හෝ පලි දැරීමෙන් කෙනෙකුට ලද හැකි ළාමක සතුටකි. ඔවුන් ගේ ප්‍රශ්න වලට ස්ථිර විසඳුම එවන් දේ වල රැඳී නො තිබෙන බව ද ඇය ට ඒ අතරේ ම කල්පනා විය.

“මං මෙතනිං ම කැබ් එකක් ගන්නද…”

කෑම කමින් ආදිත්‍යා දුමාල් ව විමසුවා ය. ඔවුන් ගේ ඇස් තත්පර කිහිපයකට එක මත එක සමපාත විය.

“ඕන්නෑ”

දුමාල් කල්පනාකාරී ව කෙටි උත්තරයක් දුන්නේ ය.

“මෙහෙම රෑ වෙලා අපි ඔයාගෙ කා එකේ ගිහිං එතනිං බහින එක  ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”

“මටද…”

ඔහු ගේ බැල්ම තියුණු වූයේ ය. ඒ කෙතරම් තියුණු වී ද යත් ආදිත්‍යා ට බිම බැලිණි.

“මං ඔය ඇමතිලටවත් ඇමති පුතාලටවත් බය නෑ ආදිත්‍යා”

හිතේ වන මුරණ්ඩු හිතුවක්කාර කම  මුළු මහත් දුමාල් තුලින් දකින්නට එවෙලේ ආදිත්‍යා සමත් වූවා ය. නමුත් විජයවික්‍රමලා ගේ අමනුස්ස ගති ගැන වඩා හොඳින් දන්නා ආදිත්‍යා ට දුමාල් රැක ගන්නට අවැසි විණි.

“මං කිව්වෙ මං ගැන”

ඇය බත් පත දෙස බලා ගෙන මිමිණුවා ය. තරුණයා ටික වෙලාවක් ඇගේ බාධාවකින් තොර ව ඒ ස්ත්‍රීත්වය දෙස බලා සිටියේ ය.

“ඒ හරියෙදි කැබ් එකක් ගමු”

අවසානයේ දුමාල් ඇය ට එකඟ ව සිටියේ ය.

“තෑන්ක් යූ”

රියෙන් බහින්නට පෙර ආදිත්‍යා ඇහෙන නෑහෙන ගානට මිමිණුවා ය. මඳ වෙලාවක් නිහඬ ව සිටි දුමාල්, ‘ඇයි’ කියා ඇසුවේ ය.

“ටික වෙලාවකට හරි පුතාව සතුටෙන් තිබ්බට”

‘ඒ ටික වෙලාවෙ ඔයා සතුටෙන් හිටියෙම නැද්ද’ කියා අසන්නට දුමාල් ගේ කටට ආවේ ය. නමුත් ඔහු ඒ නාසා සිටියේ ය. කැබ් රියකට කතා කොට ආදිත්‍යා ව ඊට ගොඩ කරවූයේ දුමාල් ම ය. ‘පරිස්සමෙන්’ කියා ඔහු වචන වලින් කීවේ නැත. නමුත් එය ඔහු ගේ ඇස් වල ලියැවී තිබිණි. ආදිත්‍යා මුවැත්තක සේ නෙතු විදා බලා කුළී රථයට ගොඩ වූවා ය.

විකුම් පාය ඉදිරියේ දී ඇය මින්දුල සමගින් කුළී රියෙන් බැස ගත්දී ආරක්ෂක නිලධාරියා ඇදෙසත් රිය දෙසත් හොඳින් බැලුවේ ය. එතකොට ම දුමාල් ගේ රිය එතැන පසු කොට ඊළඟට වන ගේට්ටුවෙන් ඇතුළට හැරවුණේ ය.

ප්‍රශ්න කිරීම් ඇරඹුණේ පසු දා උදේ ය. ආදිත්‍යා ව පහළ මහලට කැඳවිණ. කෑම මේසයෙහි සේනක ද විකුම් ද සඳසීලී හා විජිනි ද වූහ. ඔවුන් මේ විදිහට එක කෑම මේසයක කෑම කන්නට ඉඳ ගන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේ කරන්නට අවස්ථාවක් හෝ වෙලාවක් උදා වන්නේ කලාතුරකින් වන නිසා ය. එක එක්කෙනා ට එක එක වැඩ ය. එක එක වෙලාවට ගෙදරින් නික්ම යති. එක එක වෙලාවට යළි ගෙදර එති. එක එක වෙලාවට කෑම කති.

“ඉඳගෙන කෑම කන්න දුව”

සඳසීලී ඇරයුම් කළා ය.

“පුතා එක්ක කරදරයි අම්ම. අම්මල කන්න”

ආදිත්‍යා ඒ ඇරයුම ඉතා නිහතමානී ලෙස ප්‍රතික්ෂේප කළේ මින්දුල කලබලයක් ඇති කළ හොත් විකුම් කෝප ගනු අතැයි සිතිවිල්ලෙනි.

“ඊයෙ රෑ වෙනකල් තමුං කොහෙද ගියේ…”

ආදිත්‍යා එතැනින් නික්ම යන්නට පෙර විකුම් ඉස්සර වූයේ ය.

“මං ගෙදර ගියා. අම්මට කියලනෙ ගියේ”

ආදිත්‍යා ගේ ස්වරයෙහි වූයේ නො සැලකිල්ලක් හෝ නො රිස්සුමකි. සඳසීලී පවා ඒ හඬින් තැති ගත්තා ය.

“ඔච්චර රෑ වෙනකල්…”

ආදිත්‍යා ගෙදරින් යන එන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්නයි විකුම් ආරක්ෂක නිලධාරියා ව දැනුවත් කොට තිබිණි. 

“එහෙමම පාක් එකට ගියා”

“ඒත් ඔච්චර රෑ වෙනකල්…”

“රෙස්ටොරන්ට් එකකින් ඩිනර් අරගෙනයි අපි ගෙදර ආවෙ”

“මොකක්…”

හැම නෙතක් ම ආදිත්‍යා වෙත දැල්වී තිබිණි. දියාරු නොවී ඕනෑ ම ප්‍රශ්නයකට ඍජු ව පිළිතුරු බඳින්න ට ඇය තමන්ට ම උපදෙස් දෙමින් සිටියා ය. 

“ඇයි…ඒකෙ මුකුත් අමුත්තක් තියෙනවද…”

ආදිත්‍යා  නො පැකිල සිය සැමියා ගේ මූණ දෙස බලා ගෙන ප්‍රශ්න කළා ය. විජිනි කට ඇද කරනු දුටු සඳසීලි, ඇය ට මේ ප්‍රශ්න වලට මැදිහත් නොවන්නයි ඉඟි කළා ය.

“රෑ තිස්සෙ ලෙඩ ළමයෙකුත් අරං රෙස්ටොරන්ට් ගානෙ ගියාද..ශෝක්නෙ..”

“ළමයගෙ තාත්ත එයාගෙ යුතුකං ඉෂ්ට කරන්නෙ නැත්තං කොහොමහරි ඒව වෙන්න ඕනනෙ. මට මේ දරුවව ගේ අස්සෙ තියා ගෙන එයාව ඉක්මනට සනීප කර ගන්න බෑ. ඒ ළමය සමාජෙ දකින්න ඕන. සමාජෙ එක්ක මූව් වෙන්න ඕන. තනියම යන්න හොඳ නැත්තං ඔයාට පුළුවන්නෙ එන්න. මං එපා කියල නෑනෙ”

ආදිත්‍යා කියා ගෙන ගියා ය. මොහොතකටවත් ඇගේ මුහුණෙන් හසරැල්ල වියැකී ගියේ නැත. ඇයට ඈ ගැන සාඩම්බරයක් දැනිණ.

“ආදිත්‍යා කියන්නෙ ඇත්ත”

එසැනෙන් සියලු ඇස් යොමු වූයේ ඒ වදන් කියූ මිනිසා වෙතට ය. සේනක විජයවික්‍රම ඍජු ව තබා ගත් කයින් යුතු ව ආදිත්‍යා දෙස බැලුවේ ය. ඇය ඔහු ගේ බැල්ම මගහැරියා ය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...