මුතු බෙලි හදවත -24

විකුම් ඇයට කතා කරන්නේ නිකන් ම නො වන බව ආමන්තා ට නො රහසකි. ආදිත්‍යා මේ මොහොතේ සිටින්නේ දුමාල් සමගිනි. දැන් තත්වය කෙබඳු ප්‍රශ්නයක් වී ඇත්දැයි සිතිය නො හැකි තරම ය. විකුම් ගේ දුරකතන ඇමතුම මගහැරීම ද ගැටළුකාරී වන්නට බැරි නැත. ඒ හින්දා ආමන්තා විකුම් ව සම්බන්ධ කර ගත්තේ ය.

“ආමන්තා. ඔයා ඉන්නෙ ආදිත්‍යා එක්කද..එයාට කියන්න හොඳ හිතින් ගෙදර එන්න කියල. එයා ගෙ ෆෝන් එක වැඩ නෑ. හැබැයි අද වෙඩින් එකට යන්න ආවෙ නැති වුණොත් මාව නරක මිනිහ කර ගන්න එපා කියන්න”

“හෙලෝ..හෙලෝ…අයියෙ..මට ඔයා කියන ඒව ඇහෙන්නෙ නෑනෙ. හෙලෝ…හෙලෝ…”

ආමන්තා ඒ කළේ බොරුවකි. ඉන්පසු වහා දුරකතනය ක්‍රියා විරහිත කළා ය. ප්‍රශ්නය දුර දිග ගොස් තිබේ. ගෙදර දුරකතනයෙන් ඇය ආදිත්‍යා ට ගත්තා ය. විකුම් කීවා සේ ම එය සම්බන්ධ කර ගත හැකි වූයේ නැත. ආමන්තා දුමාල් ගේ දුරකතනය අංකනය කළා ය.

“අක්කට දෙන්න”

දුමාල් අතින් ආදිත්‍යා ට දුරකතනය මාරු විය.

“දැං විකුම් අයිය කතා කළා. සෑහෙන්න කේන්ති ගිහිං ඉන්නෙ. ඔයාගෙ ෆෝන් එක කනෙක්ට් වෙන්නෙ නෑ කිව්ව. වෙඩින් එකට යන්න ආවෙ නැති වුණොත් එයා නරක මිනිහයි කියන්න එපා කිව්ව”

“මං යන්නෑ. යන්නෑ කිව්වොත් නෑමයි”

ආදිත්‍යා මුරණ්ඩු ලෙස කීවා ය. දුමාල් හිස හරවා ඇදෙස බැලුවේ ය.

“අනිත් එක එයා කොච්චර නරක මිනිහෙක්ද කියල අමුතුවෙන් මට කියල දෙන්න ඕන කමක් නෑ. මං නොදන්නව නෙවෙයිනෙ ඒක”

ආමන්තා මොහොතකට නිහඬ වූවා ය. ඊළඟට බරැති සුසුමක් හෙළුවා ය. 

“අක්ක”

ඒ ආමන්ත්‍රණය කළේ ත් පෙර සුසුම අතරිනි.

“මේක ලොකු අවුලක් ඇති කරයි කියලයි මට හිතෙන්නෙ”

“මට ඒ වෙඩින් එකට යන්න බෑ නංගි. වෙන දෙයක් වූණදෙන්. මෙච්චර දේවල් වෙච්ච මට එක අතකට ඕක මොකද්ද…”

“විකුම් ආයි ඔයාට ගනී. එහෙනං ෆෝන් එක ඕෆ් කර ගන්න. මං හිතන්නෙ අපි දෙන්න එකට ඉන්න එක හොඳයි. දුමාල් අයියට දෙන්නකො ෆෝන් එක”

ආදිත්‍යා දුරකතනය යළි දුමාල් වෙත පෑවේ ය. ආමන්තා හැකි ඉක්මනින් ඔවුන් වෙත එන තෙක් අතර මගක රිය නවතා ගෙන ඉන්නට දුමාල් එකඟ විය.

හිතුවක්කාර වූවා ට ආදිත්‍යා ට බියක් ද නො දැනුණා නොවේ. මෙහෙව් මුරණ්ඩු වීමක් මීට පෙර ඈ කොහෙත් ම සිදු කොට නැත්තේ ය. ඒ නිසා ම විකුම් වුව ඈ විවාහ උත්සවය මගහැර යාවියි සිතුවේ නැත. දුකට ටිකක් කියවූවා ට, ඔහු ව ප්‍රතික්ෂේප කරන්නට තරම් දිරියක් ඇයට වෙතැයි ඔහු මේ වන තුරු සිතා සිටියේ නැත. 

විකුම් ආලින්දයේ ඒ මේ අත සක්මන් කරමින් නො සන්සුන් ඉරියව් පෙන්වූයේ ය. සඳසීලී බලා සිටියා ය. ආදිත්‍යා මෙසේ කරතැයි ඈ වුව බලාපොරොත්තු නොවූ තරමි. ආදිත්‍යා යනු අවිහිංසක යුවතියකි. සඳසීලී සිය දඩබ්බර පුත් විකුම් වෙනුවෙන් ඇය ව තෝරා ගත්තේ ත් ඒක ය. කෙසේ වෙතත් ඕනෑ ම අහිංසක ගැහැනියක ට දේවල් දරා ගත හැකි සීමාවක් තියේ. ආදිත්‍යා දැන් සිටින්නේ ඒ සීමාව ඉක්මවා යමින් කියා විතරක් සඳසීලී දනී. 

“අද තමයි ඔය ගෑනි මගෙං පාඩමක් ඉගෙන ගන්නෙ. හැබැයි මං අම්මට එකක් කියන්නං. අම්ම එන්න එපා මේවට ඇඟිලි ගහන්න. මං බලා ගන්නං”

විකුම් සඳසීලී ටත් ගුගුළේ ය. සිය පුතා කවුද යන කාරණය ගැන මේ අම්මා හොඳින් දන්නී ය. ඒ නිසා තව තවත් ප්‍රශ්න දුර දිග යනවා වෙනුවට මෙවා සාමකාමී ව විසඳා ගැනීම යහපත් බව ඇය කල්පනා කරයි.

“ඔයා දැං ඔය වෙඩින් එකට තනියම යන්න. ඒ අය ඇහුවොත් ආදිට ටිකක් සනීප මදි කියන්න. නැත්තං පුතාට සනීප නෑ කියන්න. එතකොට ඒක එතනිං ඉවරයි. ඊට වඩා දෙයක් කවුරුවත් හොයන්න එන්නෙ නෑනෙ”

ඇවිළෙන ගින්නට පිදුරු ලනවාට වඩා වටින්නේ එය නිවන්නට උත්සාහ කිරීම බව සඳසීලි දනී. ඇය ට ඕනෑ වූයේ ත් මේ ගින්න මෙතැන ම නිවා දමන්නටයි. කේන්තියෙන් පුපුරමින් වුව විකුම් අම්මා කී දේ කළේ ය. විවාහ උත්සවයේ පිරිස අතරේ දී විකුම් ට ආදි නැති අඩුවක් දැනුණා නොවේ. නමුත් ඔහු ට ඈ කළ අවමානය අමතක කර දමන්නට ඔහු සමත් වූවා ද නොවේ.

ආදිත්‍යා සිටියේ ගිනි මැලයක් මැද්දේ ය. නමුත් ඇය හිත හදා ගෙන සිටියා ය. හැමදාමත් මේ විදිහට ගින්දරත් එක්ක සෙල්ලම් කරනවාට වඩා එක්කෝ දැවී මියෙන එක පහසු ය.

“අද විකුම් අයිය මොන අඩව්වක් අල්ලයිද දන්නෑ අක්කෙ”

ආමන්තා සැබවින් ම ආදිත්‍යා ගැන බියෙන් පසු වූවා ය. ඔහු කෙතරම් නරක මිනිසෙකු වුව තවමත් ඇගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ඔහු යි. 

“මටත් හිතෙනව. ඒත් මං ඒකට මූණ දෙන්න ලෑස්තියි නංගි..මොනා වුණත් අද පුතා සතුටෙන් හිටිය. හිනා වෙලා හිටිය. වචන කීයක් කතා කළා ද…මං හිතන්නෙ ඒව ගැන…විකුම් ට කරන්න පුළුවන් ලොකුම දේ මාව ඩිවෝස් කරන එක..එයාට ඒක ඕනනං…අනේ එහෙම කරන්න එපා කියල මං වැඳ වැටෙන්නෙත් නෑ. දැං මං ඉන්නෙ උලත් එකයි පිලත් එකයි වගේ තැනක නංගි”

ආදිත්‍යා කතා කළේ තුනී ව නො ගිය මඳහසකිනි. ඈ තුළ කෙතරම් ශක්තියක් ගැබ් ව තිබේ දැයි ඒ මඳහස සාක්ෂි සහිත ව ආමන්තා ට ඔප්පු කොට සිටියේ ය.

මේ ගැටළුවට කෙසේ මැදිහත් වන්නද කියා දුමාල් ට වැටහුණේ නැත. එය වූ කලී පවුලේ ප්‍රශ්නයකි. පිටස්තරයෙකු වශයෙන් ඊට අත පෙවීමේ අයිතියක් ඔහු ට නැත්තේ ය. නමුත් ආදිත්‍යා වෙනුවෙන් ඕනෑ ම වෙලාවක ඕනෑ ම තැනක පෙනී සිටීමේ හැකියාව ඔහු සන්තක වන බව දුමාල් දැන සිටියේ ය.

බෝම්බය පුපුරා ගියේ රාත්‍රියේ ය. විකුම් බීමතින් ගෙදර ආවේ ආදිත්‍යා ගෙන් පලි දරන්නට සිතා ගෙන ම ය. 

“ආදිත්‍යා”

ඔහු කාමරය ළඟට විත් කෑ ගැසුවේ ය.

“ඇරපං ගෑනියෙ දොර”

ආදිත්‍යා සන්සුන් ව ගොස් දොර ඇරියා ය. විකුම් ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගෙන පහර කිහිපයක් ගැසුවේ ය. ආදිත්‍යා හ්ම් කීවේ නැත. නමුත් ආමන්තා මැද්දට පනිමින් කෑ ගැසුවා ය.

“නවත්තන්න ඕක. ගහන්න එපා. අනේ අක්කට ගහන්න එපා”

ඇගේ අයැද සිටීම් වලින් පලක් නොවන බව දැනෙත්දී ආමන්තා තර්ජනව කළා ය.

“ඔයා මේක නවත්තන්නෙ නැත්තං මං පොලීසියට කතා කරනව විකුම් අයියෙ. තමුංගෙ ගෑනිට වුණත් මෙහෙම අතින් පයින් ගහන්න අයිතියක් ඔයාට නෑ. අනිත් එක ඔයා ම වැරදි කරල මේ ගෑනි නිස්කාරණේ ගුටි කන්නෙ මොකටද…”

ආමන්තා ගේ කෑ ගැසීම විකුම් පාය පුරා රැව් දුන්නේ ය. දුමාල් ද ඒ අසා සිටියේ ය. තරුණායා පත් ව සිටියේ බලවත් නො ඉවසිල්ලකට ය. ඔහු කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය. විකුම් ආදිත්‍යා ට පහර දෙනු ඇත යන සිතිවිල්ල ඔහු ව කෝපයෙන් අවුළුවමින් තිබිණි. නමුත් ඔහු ට කිසිත් කර ගත නො හැකි වූයේ ය. ආදිත්‍යා විකුම් පායෙහි සිටින තාක් ඔහු ට ඈ වෙනුවෙන් පෙනී සිටිය නො හැකි ය.

ගෙදර කවුරුත් ආදිත්‍යා ගේ කාමරය වෙත දිව ආහ. කම්මුල් රත් වෙන පහර කිහිපයකින් සංග්‍රහ ලැබ සිටියත් ආදි ගේ ඇස් වල එක කඳුළු බිඳුවක් වූයේ නැත. ඒ වෙනුවට ඒවා මත වෙන කිසි දා ක නොවූ ද්වේශයක් වූ බව සඳසීලී නම් පැහැදිලි ව දුටුවා ය. ඇය භීතියෙන් තැති ගත්තේ එනිසාවෙනි.

“ඔය විදිහට අක්කට ගහන්න ඔයාට කිසිම අයිතියක් නෑ. හස්බන් කෙනෙක් විදිහට ඔයා මොනාද එයා වෙනුවෙන් ඉෂ්ට කරල තියෙන යුතුකම්…”

එක කුසයක සිට උපන් සිය සහෝදරී වෙනුවෙන් ආමන්තා කෑ ගැසුවා ය. විකුම් ඇගේ ප්‍රශ්නය ට හඬ නගා සිනහ වූයේ ය.

“ඇයි මං තමුංගෙ අක්කට යුතුකම් ඉෂ්ට කරන්නෙ ආ…”

ආදිත්‍යා ට දැනුණේ ඔහු ගේ මැදුරේ ඔහු ගේ අය ඉදිරියේ ඇය පුංචි බිම් මලක් ව දෙපා වලට පෑගී චප්ප වී ගියා බඳුව ය. 

“එයාට පුළුවන් වුණාද නිරෝගී ළමයෙක්වත් මට දෙන්න…”

ආමන්තා සොයුරිය දෙස බැලුවේ ‘ඇයි මේ මිනිහගෙ කම්මුලට ගහන්නෙ නැත්තෙ’ වැනි බැල්මකිනි.

“විකුම්”

සඳසීලී කෑ ගැසුවා ය.

“මෝඩ කතා කියන්න එපා පුතා. අර දරුව අසනීපයක් ඇතුව ඉපදුණෙ ආදිගෙ වරදකින් නෙවෙයිනෙ”

“මං ලැජ්ජ වෙනව මේ වගේ මනුස්සයෙක් එක්ක තාමත් මං මේ ගෙදර ජීවත් වෙන එක ගැන”

ආදිත්‍යා මුල් ම වතාවට කතා කළ වචන ටික ඒ ය. ඇගේ ඇස් වල ගින්දර ක දීප්තිය විය. 

“ඉතිං පලයං”

විකුම් වහා ම කීවේ ය. ආදිත්‍යා තිගැස්සුණා ය. 

“කාටද උඹව මෙහෙ බලෙං තියා ගන්න ඕනෙ…පලයං…”

අල්පෙනෙති තුඩක් බිම වැදුණත් ඇහෙන තරමට නිශ්ශ්බ්දතාව රජ කළේ ය. විකුම් එතැනින් නික්ම යන්නට ගියේ ය. ආදිත්‍යා ට මුල් ම වතාවට ආත්ම අසරණ කමක් දැනිණ. නමුත් ඇසිල්ලකින් ඕ ඒ මානසිකත්වයෙන් ගොඩ ආවා ය. 

“ආදි යනවනං මාත් මේ ගෙදරින් දොට්ට බැහැල යනව. අන්න ඒක සිද්ද කරගන්න ලෑස්ති වෙන්න එපා කවුරුත්”

සඳසීලී කතා කළේ තාත්තා ටත් පුතා ටත් පොදුවේ ය. සේනක නළල රැලි නංවා ඉවත බලා ගත්තේ ය. 

“ආදිත් ඕනවට වඩා හිතුවක්කාර වෙනවනෙ”

නිහැඬියාව බින්දේත් සේනක ම ය. 

“මොකද්ද මං කරපු හිතුවක්කාරකම…”

කවදාවත් නැතිව ආදිත්‍යා කඩා පැන්නා ය.

“මගෙ කසාද මනුස්සය වෙන ගෑනියෙක්ව අතේ එල්ලගෙන මගෙ ඉස්සරහට ම ආව. ඒක ඇස් දෙකෙංම දැක්කට පස්සෙත් මට කියන්නෙ ඒ මනුස්සයත් එක්ක ජෝඩු දාගෙන මගුල් ගෙවල් වල ගිහිං ලෝකෙට පරකාසෙට හිනා වෙවී ඉන්න කියලද….නෑ. මේ ආදිත්‍යා ගෙං ඒකනං වෙන්නෑ”

“ළමයෝ ඔහොම දේවල්ද ගෙවල් ඇතුළෙ…”

සේනක ට කියා නිම කරන්නට ලැබුණේ නැත.

“තාත්තෙ මේ. මේ ගෙවල් ඇතුළෙ මොනා සිද්ද වෙනවද කියල මං දන්නෑ. හැබැයි අපේ ගෙවල් ඇතුළෙ මෙහෙම දේවල් වෙලා නෑ. මෙහෙම දේවල් සිද්ද වෙන තැනක් මටනං ගෙයක් වෙන්නෙත් නෑ”

සේනක ගේ කම්මුල හරහා එල්ල කරන්නට ටික දවසක සිට ඕනා වී තිබි පහර එසේ හෝ එල්ල කර ගත හැකි වීම ගැන තෘප්තිමත් හැඟීමක් ආදිත්‍යා ට දැනිණ. සඳසීලී මහත් වරදකාර හැඟීමකින් විඳවූවා ය. සිය පුතු යහ මගට ගන්නට සිතා වුවත් ඇගේ අතින් තවත් ගැහැනියක ට වූයේ බරපතල වරදක් ය යන හැඟීමෙන් ඇගේ හදවත තෙරපෙන්නට විය.

“ආදිත්‍යා. දොර ලොක් කර ගන්න”

කියමින් ඇය එතැනින් නික්ම ගියේ සේනක වෙතට තියුණු බැල්මක් හෙලමිනි. ආදිත්‍යා වහා ම විදුලි පහන් නිවමින්,සේනක එහි සිටියදී ම දොරගුළු ලෑවා ය. ඔහු නිකට පිරිමදිමින් හෙමි හෙමිහිට යන්න ගියේ ය.

“අක්…කෙ…”

ආමන්තා ගේ හඬ බිඳිණි. ආදිත්‍යා මුව මඳහසක් නගා ගත්තා ය.

“මං මොකක් හරි කරන්න ඕන නංගි. නර්සරි ඩිප්ලෝමා එකක් තියෙන එකේ…නර්සරි එකක් පටං ගත්තොත්…පුතාවත් එතන තියාගෙනම ඒක කරන්න පුළුවන්. එතකොට පුතාටත් හොඳයි”

හොඳ ම කල්පනා පහළ වන්නේ නරක ම වෙලාවල් වල දැයි ආදිත්‍යා දන්නේ නැත. නමුත් මේසිතිවිල්ල මේ මොහොතේ පහළ වූ බව නම් ඇය දනී.

කාමරයේ විදුලි පහන් නිවුණ ගමන් දුමාල් ආමන්තා ගේ දුරකතනය ට ඇමතුමක් ගත්තේ ය.

“දුමාල් අයිය”

ඇය දුරකතනය ආදිත්‍යා වෙත පෑවා ය. ඇය හිස සලමින් එය ප්‍රතික්ෂේප කරමින් ම යහනේ මුනින් තලා වැතිරුණා ය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...