මුතුබෙලි හදවත-9

මග එමින් සිටි ත්‍රීරෝද රථයකට අත දමා ආදිත්‍යා එය නවතා ගත්තා ය. දුමාල් සන්සුන් දෑසකින් බලා සිටියේ ය. අනතුරුව ත්‍රීරෝද රිය පිටුපස සිය කළු පාට ස්විෆ්ට් රිය පදවා ගෙන ගියේ ය. ඔහු ඇය හඹා ඒවියි ආදිත්‍යා සිහිනෙනුදු සිතුවේ නැත. ඈ රිය නතර කරවූයේ පෙර දාක ආමන්තා හා දුමාල් සමගින් පැමිණි උද්‍යානය වෙතට ය. නගර මධ්‍යයක පැවතියත්, ඔය හා තුරු ගහනය ද, දිය මත සරණා හංසයන්, තාරාවන් හා සංක්‍රමණික කොකුන් ද නිසා එතැන මැවී ඇත්තේ ස්වභාවික පරිසර පද්ධතියකි. යායට වවා නඩත්තු කරනා බෆලෝ වර්ගයේ තණ පලසත්, ඇවිදින මං තීරුත් නිසා එහි පෙනුම නාගරික ය. පසෙක කුඩා දරුවන් ට ක්‍රීඩා කිරීම සඳහා විදේශයකින් ගෙන්වන ලද වර්ණවත් ප්ලාස්ටික් උද්‍යාන ක්‍රීඩා උපකරණ සවි කොට තිබේ. මෙහි නිතර දරුවන් ගේ සිනා කතා හඬ රැව් දේ. 

ආදිත්‍යා ගේ හිතට සැනසීමක් ද ආරක්ෂාවක් ද දැනිණි. විකුම් පාය ලෙස නම් කොට ඇති ධවල මන්දිරය සදිසි ව සුදු පැහැයෙන් බබළන ඇමති මන්දිරය ඇතුළේ දැන් ඇය ට කිසිදු ආරක්ෂාවක් නැත. ලෝකය මත ජීවය බිහි වූ දා සිට පැවති නැන්දම්මා ලේලි අරගලය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට ආදිත්‍යා ට කිසිදු අවශ්‍යතාවයක් වූයේ නැත. ඒ සඳසීලී සිය ලේලිය සමග තරග කරන්නට ආ නැන්දම්මා කෙනෙකු නොවූ නිසා ය. කට පුරා ඕ ආදිත්‍යා ට දුවේ කියන්නී ය. සිය පුත්‍රයා ගේ පවුල් ජීවිතය වඩා සාර්ථක එකක් කරවනු වස් කළ හැකි ඕනෑ ම දෙයක් කරන්න ට සූදානමින් සිටින්නී ය. 

ඒකටත් එක්ක මාමණ්ඩී!

ඇය කට පුරා තාත්තා කියා අමතත්දී ඔහු අඩවන් දෑසින් ආදි කියා ඈ අමතයි. 

ආදිත්‍යා ලොකු සුසුමකින් පෙනහලු පුරවා ගනිමින් කොංක්‍රීට් බංකුවක හිඳ ගත්තා ය. මින්දුල ව ද එහි වාඩි කරවා ගත්තා ය. 

“දැක්ක නේද පුතා බබාල සෙල්ලං කරනව. මගෙ පුතත් ආසයි නේද ඒ බබාල එක්ක සෙල්ලං කරන්න”

මින්දුල ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ඔහු අතේ ගුලි කර ගෙන උන් කුඩා කාරය ගෙන එහි රෝද කරකවන්නට වූයේ ය.

“අපි තව ටිකකින් ඔංචිලි පදිමු හොඳේ”

එසේ කීවාට ඔහු ව ඔංචිල්ලාවක හිඳවිය නො හැකි බව ඇය දනී. ඔහු එවන් ක්‍රියාවක දී අසාමාන්‍ය ලෙස හඬන්නට ගනී.

පුළුවන් තරම් වෙලා මේ උද්‍යානයට වී හිඳ ගෙදර යමියි ආදිත්‍යා සිතා ගත්තා ය. එතකොට මේ ටික වෙලාව හෝ හිතේ ගින්දරකින් තොර ව සිටිය හැක.

සේනක ගේ බැල්මෙහි අමුත්තක් ආදිත්‍යා ට දැනෙන්නට ගත්තේ අද ඊයේ ක නොවේ. ඇය විකුම් ගේ බිරිඳ ලෙස විකුම් පාය ට පැමිණි මුල් කාලයේ සිටම ය. නමුත් විකුම් සිය සැමියා ලෙස නාම මාත්‍රික ව හෝ සිටි නිසාවෙන් ඔහු නිර්භය ව ඈ වෙත සමීප වූයේ නැත.සේනක මේ විදිහට හැසිරෙන්නට පටන් ගත්තේ විකුම් ආදිත්‍යා කෙරේ කිසිදු උනන්දුවක් නො දක්වන බව ස්ථිර වූවා ට පස්සේ ය. මින්දුල කෙරේ විකුම් ගේ ප්‍රතිචාරයත්, ආදිත්‍යා ගේ දැඩි බවත් පසෙක සිට නිරීක්ෂණය කළ සේනක බය නැතිව ම ආදිත්‍යා ට ලං වන්නට පෙළඹුණේ ය.

“අපි බලමු පුතේ මොකද වෙන්නෙ කියල”

මින්දුල ගේ උරහිස වටා අතක් දා ගනිමින් ඔහු ව තුරුලු කර ගත් ඇය මිමිණුවා ය. මින්දුල කියන්නේ එවැන් කාරණා ගැන අවධානයක් හෝ අවබෝධයක් ඇති දරුවෙකු නොවේ. නමුත් මේ විදිහට හෝ හිතේ තියෙන දෙයක් කතා කරන්න ට ඇයටත් පුතෙක් සිටිනා එක ගැන ආදිත්‍යා සැනසුණා ය.

මින්දුල ට වම් පසින්, බංකුවේ වූ ඉඩෙහි යමෙක් හිඳ ගත්තේ ය. ආදිත්‍යා වහා හිස හරවා බැලුවා ය. දුමාල්!

ආදිත්‍යා ගේ සිතට ක්ෂණික ව පිවිසි කෝපයේ දිග පළල ගැන ඇය ට හෝ සිතා ගත නො හැකි විණි.

“මොකද ආ මේ….”

මින්දුල කලබල නො කරනු වස් පහළ ස්වරයකින් මුත් ඈ එසේ විමසූයේ තදිනි.

“මොන විකාරයක්ද ඒ ගමන..”

දුමාල් ගේ මුවට සිනහවක් නැගෙන්නට නාවා ම නොවේ. නමුත් ඔහු එය පිට වන්නට ඉඩ නොදුන්නේ ආදිත්‍යා තවත් කෝපත් වෙතැයි බියෙනි.

“ඔයා මගෙ බොඩි ගාඩ් කියල හිතුවද…මොන එහෙකටද මෙහෙම මගෙ පස්සෙං එන්නෙ…”

“අනේ මේ…රටේ කෙල්ලො නැතුව කියල හිතුවද මට මේ කසාද බැඳපු ගෑනියෙක් පස්සෙං යන්න…”

දුමාල් එසේ කතා නො කළා නම් ආදිත්‍යා කෙසේවත් ඒ ලෙසින් කර බා නො ගනු ඇත. එවර ඇය මින්දුල ව තදින් ග්‍රහණය කර ගෙන වේගවත් ව හුස්ම ගන්නට වූවා ය. මොන හේතුවක් නිසා වුව ඔහු වන් තරුණයෙකු මෙලෙස ඇය හඹා එනවා ට ආදිත්‍යා තුළ කැමැත්තක් නැත. පිරිමින් ගැන දැන් දැන් ඈ තුළ ලියලන්නේ ප්‍රසාදයක් නොවේ. 

ඇය වූ කලී පිරිමියෙකු ට ප්‍රේමයෙන් ලං වූ තැනැත්තියක නොවේ. තාත්තා හැරුණු විට ඈ සමීප වූ එක ම පිරිමියා විකුම් ය. නමුත් එය හුදු නෛතික හා ශාරීරික සමීප වීමක් පමණක් බව කොතෙකුත් ඇය ට සිතී තිබේ. හදවතින් ඔහු හා සමපාත වීමේ උත්සාහයන්, මේ වසර තුනක් පිරෙනා යුග දිවියෙහි ඇය ඕනෑ තරම් දරා තිබේ. නමුත් හැම මොහොතක ම වේදනාත්මක පරතරයක් ඇය ට දැනිණ. මුළුමනින් ඔහු ට සමීප වන්නට කිසි දා ඇය ට හැකි වූයේ නැත.

“මින්දුල කියන්නෙ මට මගෙ අතීතෙ ආදිත්‍යා”

කල්පනාවේ සිටි ආදිත්‍යා ට ඒ හඬ ඇසුණේ දුර ඈත වෙනත් චක්‍රාවාටයකින් සේ ය. කවුරුන් හෝ කතා කළා දැයි සහතික කර ගනු වස් ඕ වට පිට බැලුවා ය. එක ම බංකුවේ අනිත් කෙලවර හිඳ උන් දුමාල් හැරෙන්නට වෙනත් කිසිදු පුරුෂයෙකු  පේන මානයක වූයේ නැත. ආදිත්‍යා ඔහු දෙස බලා ගත්තා ය.

“මින්දුල කියන්නෙ මට මගෙ අතීතෙ ආදිත්‍යා”

ඒ හඬ සිය මනස තුළ පිළිරැව් නැගෙන්නා සේ ඇය ට දැනුණේ ය. ආදිත්‍යා වඩාත් හොදින් ඇය ට යබද ව හිඳ ඉන්නා තරුණයා දෙස බැලුවා ය.

“මාත්…මුළු ලෝකෙම එකතු වෙලා ඕෆනේජ් එකකට දාන්න කියපු ළමයෙක්”

“ඔයාට ඔටිසම් ද…”

ආදිත්‍යා වහා ඇසුවා ය. දුමාල් ට සිනා ගියේ ය. ඈ ඇසූ ප්‍රශ්නය ගැන ආදිත්‍යා ට ක්ෂණික ලැජ්ජාවක් දැනිණි.

“ඔයාට මින්දුල ගෙ ඔටිසම් එක්ස්පීරියන්ස් එක විතරක් තියෙන නිසයි ඔහොම හිතන්නෙ. ඒත් ළමයිංව අනාථ නිවාස වලට දාන්න තියන එකම හේතුව ඔටිසම් නෙවෙයි ආදිත්‍යා”

දුමාල් කතා කළේ ආදිත්‍යා දෙස බලාගෙන නොවේ. නමුත් ඕ විසල් කර ගත් විශ්මිත දෑසින් ඔහු දෙස බලා ගෙන ම සිටියා ය. දුමාල් ගේ මුහුණ පුරා රැවුල් කොට වැවී තිබුණේ ය. පිරුණු කොපුල් සහිත වූවත් ඒ ඇස් වල ගුප්ත ශෝකීමය බවක් විය. ආදිත්‍යා කුතුහලයෙන් ඇවිස්සී සිටියා ය.

“මගෙ හිතේ මං මැරෙනකල්ම ඇඳිච්ච ගෑනු රූපයක් තියෙනව. හීනෙකිං වගේ අතීතෙ පුරා ඇවිදින… කෙට්ටු පොඩි ශරීරයක් තියෙන ගෑනු රූපයක්. පොඩි කොල්ලෙක්ව අතිං අල්ලගෙන පාරවල් දිගේ ඇවිදගෙන යන…කන්න දෙයක් හොයා ගැනීම වෙනුවෙං කුළී වැඩක් හොයන…සමහර ගෑනු මිනිස්සු බැණල පන්නගන්න…සමහර අය මැරෙනකල් වැඩ අරං ඉඳුල් ටිකක් විතරක් හිලව්වට දෙන…අර කොල්ලව තුරුල් කර ගෙන සමහර වෙලාවට කෑ ගහල අඬන…ආයෙමත් යකඩ ගෑනියෙක් වගේ හයිය වෙන…කෙට්ටු පොඩි ශරීරයක් තියන ගෑනු රූපයක්…මගෙ අම්ම කියල මගෙ හිතේ සදහටම කෙටිල ඉන්න ගෑනු රූපෙ…”

‘දුමාල්’ කියා ආදිත්‍යා ගේ හිත මිමිණී ය. නමුත් මුවින් වදනකුදු දොඩන්නට නොව උගුරෙන් හ්ම් හඬක් නගන්නට වුව ඇය ට හැකි වූයේ නැත.

“ඔයාගෙ පුතාව දකිනකොට මට හිතෙන්නෙ එයාට තියෙන්නෙ එදා මට තිබිච්ච ඇස් කියල. ආත්ම විශ්වාසයක් නැති…ලෝකෙ ගැන බය සැක රැඳිච්ච…ඒත් හිස් ඇස් දෙකක්…මින්දුල මට මාව මතක් කරනව ආදිත්‍යා”

ආදිත්‍යා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස දුමාල් ගේ ඇස් වලින් කඳුළු ගලා යන්නට ගත්තේ ය. ඔහු ටික වෙලාවක් කිසිත් වචන කර ගත නො හැකි ව කඳුළු වලට විතරක් ඉඩ දී ගෙන සිටියේ ය. ආදිත්‍යා බාධා කරන්න ට ගියේ නැත. පිරිමියෙකු තමන් ළඟ හිඳ ඔහු වෙනුවෙන් ම හඬත්දී ගැහැනු පපුවකට දැනෙන බර ගැන හැඟීම ඈ මේ විඳින්නේ සිය ජීවිතයේ ප්‍රථම වතාවට ය.

“ඒත් ඔයාගෙ අධිෂ්ඨානයෙන් පිරිච්ච ඇස් මට මතක් කරවන්නෙ මගෙ අම්මව”

දුමාල් සුරතේ ඇඟිලි වලින් මුව වසා ගත්තේ ය. ඔහු ගේ මවු මිය යන්නට ඇතැයි ආදිත්‍යා ට සිතිණ.

“හැබැයි එක වෙනසක් තියෙනව”

‘මොකද්ද දුමාල් ඒ’ කියා අසන්නට බැරි තරමට ආදිත්‍යා ගොළු වී සිටියා ය.

“දුක් විඳලම දිරාපත් වෙච්ච ශරීරයකට වැරහැලි පෙරෙව්ව ගෑනියෙකුයි ඇමති පුතෙක් ගෙ වයිෆ් වෙච්ච සැපවත් ජීවිතයක් ගෙවන ගෑනියෙකුයි අතරෙ වෙනස…”

ප්‍රශ්න කිරීමකින් තොරව ම ඔහු ඇගේ ප්‍රශ්නය ට පිළිතුරු ලබා දී තිබිණි.

“එ් දිරාපත් වෙච්ච ගෑනිගෙ බඩට අර කොල්ලා එන්න කලිං ඒ ගෑනිත් ලස්සනට ඉන්න ඇති. ඒකනෙ කවුරු හරි මිනිහෙක් ඒ ගෑනිගෙ බඩට දරුවෙක් දුන්නෙ. ආදිත්‍යා…දරුවාබඩට ආවෙ කොයි විදිහටද කියන එක අම්මා කෙනෙක්ට වැදගත් නෑ. ඇමති පුතෙක් ගෙං නීත්‍යානුකූල ව වුණත්…ඇමතියෙක්ගෙං හරි වෙන බල පුළුවංකාරයෙකුගෙං නීත්‍යානුකූල නොවෙන බලහත්කාරෙකිං හරි රැවටීමකිං හරි වුණත්…හිඟන්නෙක්ගෙං වුණත්…අම්මට දරුවෙක් කියන්නෙ දරුවෙක්මයි. ඒ ආදරේ කිසිම වෙනසක් නෑ. ඒ කැප කිරීම් වල කිසිම වෙනසක් නෑ. මං ඒක ඉගෙන ගත්තෙ මගෙ අමමගෙං නෙවෙයි”

දුමාල් ආදිත්‍යා දෙස හිස හරවා බැලුවේ ය. ‘එහෙනං’ කියන ප්‍රශ්නය ඇගේ ඇස් වල විය.

“ඔයාගෙං”

ඇගේ ඇස වහා බිමට හැරවිණ. දුමාල් ඈ විනිවිද බලා සිටියේ ය. පපුව රිදෙත්දී ආදිත්‍යා හෙමිහිට හුස්ම ගත්තා ය.

“අම්මගෙ බඩට මං ආවෙ කොහොමද කියල කවදාවත් මං අහල නෑ. හැබැයි අම්මගෙ නෑදෑයො මට වෛර කළා කියල මං දන්නව. සමහර විට මං ආවෙ කොහෙන්ද කියල ඒගොල්ලො දැනං ඉන්න ඇති. මාව අනාත මඩමකට දාන්න කියල හැමෝම අර කෙසඟ ගෑනිට බලපෑම් කරපු හැටි…මගෙ ඇඟ ඇතුළෙ ඉන්න මේ මින්දුල ගෙ ඇස් තියෙන කොලු පැංචාට හොඳට මතකයි ආදිත්‍යා. අම්මා රෑ කළුවරේ මිදුලට වෙලා ඉඳං මාව තුරුල් කරං අඬනව. මං හිතුව කොයි වෙලේ හරි මට ඒ ගමන යන්න වෙයි කියල…මං මනසිං සූදානම් වෙලා වෙන්නැති ඉන්න ඇත්තෙ. ඒත් අම්මා කියන නම තියෙන ගෑනු හිතක් කොච්චර හයියද ආදිත්‍යා…එයා කවදාවත් මාව එයාගෙං ඈත් කළේ නෑ”

ආදිත්‍යා ගේ උගුර රිදෙමින් ද දෑස් දැවෙමින් ද තිබිණි. දුමාල් ඈ හඹා ආවේ ඒ කතාව ඇය ට කියන්නට බව ආදිත්‍යා ට වැටහෙන්නේ දැන් ය. ඒ කෙට්ටු කැහැටු අම්මා කියන ගැහැනිය ගැනත්, ඇමති වාසගමකින් පිදුම් ලත් ආදිත්‍යා විජයවික්‍රම කියන ගැහැනිය ගැනත් එක සමාන වූ  ශෝකී හැඟීමකින් ඇය විඳවමින් සිටියා ය.

“ගෙවල් වල විතරක් නෙවෙයි අම්මා පාරවල වලත් වැඩට ගියා. මට මතකයි මාව තියල යන්න තැනක් නැතුව ඒ දවස්වල වැඩට යනකොට අම්ම මාවත් අරං ගියා. කොහෙන්ද මන්දා හොයා ගත්ත පරණ අත් දිග ශර්ට් එකක් ඇඳගෙන අම්මා අම්මා පාරට තාර දාන මිනිස්සු එක්ක හරි හරියට වැඩ කළා. ඉර අව්වෙං පිච්චෙනවට අනුංගෙ කිහිලි ඉරිච්ච ශර්ට් එකක් ඇඳං වැඩ කළාට…අම්මගෙ හිත කොයි මොහොතෙත් පිච්චි පිච්චියි තියෙන්න ඇත්තෙ. පාරෙ ගහක් යට හෙවනෙ මාව වාඩි කරල අම්ම මට අරං දුන්නෙ පොතක් පැන්සලක්. අකුරු ලියන්න ඉගෙන ගනිං පුතේ කියල. අම්ම වගේ දුක් විඳින්නෙ නැතුව සැප විඳින මහත්තයෙක් වෙන්න ඉගෙන ගනිං පුතේ කියල. ඒත් යමක් කමක් තේරෙන්න ගන්න කාලෙ වෙනකොට මට ඕන වුණේ අම්මගෙ බඩට මාව දීල මාරු වෙච්ච මහත්තය වගේ මහත්තයෙක් වෙන්න නෙවෙයි. අම්ම වගේ දුක් විඳගෙන හරි අධිෂ්ටානෙං වැඩ කරන මිනිහෙක් වෙන්න”

තව දුරටත් වාවා දරා ගන්නට ආදිත්‍යා අපොහොසත් වූවා ය. එක් වන ම ඕ දෝතෙහි මුහුණ ඔබා ගෙන හඬන්නට පටන් ගත්තා ය. දුමාල් මඳ වෙලාවක් සිය කතාව නවතා මින්දුල දෙස බලා සිටියේ ය. ඔහු ගේ ළපටි අත් පා පිරිමැද බැලුවේ ය. ඔහු ගේ හිතේ ඇවිදිනා කොලු ගැටයා ට මේ තරම් සියුමැළි අත් පා තිබුණේ නැත. මේ වගේ හුරුබුහුටි මුහුණක් තිබුණේ ත් නැත. නාවර පෙරා ගත් මූණ අත පය සෝදා පිරිසිඳු කොට ගත ලන්නට ඇඳුම් ආයිත්තම් වූයේ ත් නැත. ඔහු ඇන්දේ කොහේ හෝ ගෙදරකින් ලැබුණ, පට්ට ගසා ඉවත් කරනු ලැබූ නිල් කොට කලිසමකි. එය බොහෝ විට ඔහු ගේ බඩ හෝපොතු ගැහුණු ඉණෙහි පිහිටියේ නැතිව පහලට රූටා ආවේ ය. ළමා දුමාල් නිතර ම පහලට වැටෙන කොට කලිසම අත් දෙකෙන් උඩට ඔසවමින් සිටියේ ය.

“අම්මට කඩේක බඩු කිරන රස්සාව ලැබුණ කාලෙ මට හොඳට මතකයි. එතකොට අපි හිටියෙ ඇල අයිනෙ තිබුණ පටු තීරුවක අටෝ ගත්ත පැලක. ඒ වගේ ගෙවල් කීපයක් ම ඒ පේළියෙ තිබුණා. ඒක ආණ්ඩුවට අයිති ඉඩං කෑල්ලක්. මිනිස්සු බලෙංඅල්ලගෙන තමයි පැල් අටෝගෙන හිටියෙ. ඇල පළල් කරන කාලෙක ඔය පැල්පත් වල ඉන්න මිනිස්සුංව එලවයි කියල කට්ටිය කතා වෙනව මට ඇහිල තියෙනව. සමහරු කිව්ව තැනක් දීල මිසක් ඒගොල්ලංව එලවන්න දෙයිහාමුදුරුවන්ටවත් බෑ කියල. පරණ ටකරං කෑලියි ඉටි කොලයි ගහල හදා ගත්ත ඒ පැලට ගියාට පස්සෙ තමයි මට මං කවුද කියල හිතෙන්න ගත්තෙ ආදිත්‍යා. අම්ම නෑදෑයංගෙ බල කිරීමට තාත්ත කෙනෙක් නැති කොල්ලව අනාත මඩමකට දැම්මනං අද ඔයා වාඩි වෙලා ඉන්න මේ බංකුවෙ අනිත් පැත්තෙ ඉඳං මේ කතාව කියන්න දුමාල් කෙනෙක් නැති වෙන්න තිබුණා. ඉතුරු වෙන දුමාල් ගෙ කතාව මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා”

“දැං…කෝ ඒ අම්ම…”

මෙතෙක් වෙලා මහ බරක් දනවමින් හිත මත පැටවී තිබි පැනය ආදිත්‍යා හෙමිහිට පිටතට දැම්මා ය. දුමාල් ඇගේ කොළ පාට ඇස් දෙස කෙළින් ම බලමින් සිය දෑස් විකසිත කළේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content