මගේ දූ දවසක!

“ගුඩ්මෝනිං කමලා ආන්ටී..”

දුල්මිත් නිපුනිත් වොෂ් රූම් එකට ආවේ එහෙම කියාගෙන.සේදුම් ඉවර කරපු කමලා ලස්සන කෙල්ලෝ දෙන්නා දිහා බැලුවේ හිනා වෙලා.

“අද ස්පෙෂල් මීටින් එකක් අනේ..මේ මේකප් එක ඇතිද? ලස්සනයිද?”

මේකප් කරන ගමන් දුල්මි අහන්නේ කමලාගෙන්.ඒ ගැන මොකුත් නොදන්නව වුණත් කමලා හිනා වුණා.ඒත් එක්කම ඇගේ හිතට විදුලි සැරයක් වගේ පුංචි අමාලිව මතක් වුණා.ඉස්කෝලේ රැස්වීමට කතා කරන දවසට අමාලිත් පුංචි කණ්නාඩි කෑල්ලෙන් හැඩ වෙන්නේ මේ වගේමයි.

“මැඩම්ලා කොහොමත් ලස්සනයිනෙ..”

කමලා කියන්නේ ඇත්තම හැඟීම.මේ ගෑනු ළමයි ලස්සනට අඳින, රූපෙන් ලස්සන අය විතරක් නෙවෙයි.හිතත් ලස්සන අය.ඒක කමලා දන්නවා.

“කමලා..අද මගේ බර්ත්ඩේ එක..”

දවසක් එහෙම කියලා නිපුනි කේක් කෑල්ලක් කමලාගේ අතින් තිබ්බා.රස තරම පෙනුමෙන් පේන ඒ කේක් කෑල්ල කන්න කමලාට හිතක් ආවේ නෑ.අමාලි මේ වගේ දේවල්වලට පෙරේතයි.මහ ගාණක් දීලා කේක් කන්න නෙවෙයි, වේල් තුන කන්නෙත් අමාරුවෙන්.පියතිස්ස අහක යන නඩුවකට පැටලිලා හිරේ ගිය දවසේ ඉඳලා ජීවිතේ හරි අමාරුයි.ලොකු ඔෆිස් එකක පිරිසිදු කරන්නියක් වෙලා හොයා ගන්න සොච්චම් වැටුපෙන් අමාලිගේ හීන ඉෂ්ට කරන්න කමලාට අමාරුයි.

“කමලා..”

එදා හවස ඔෆ් වෙන්න කලින් නිපුනි කමලා ඉන්න තැන හොයාගෙන ආවා. ඇගේ අතේ තිබුණේ පාර්සලයක්.

“මේක ඔයාගේ දුවට.මං දැක්කා කේක් කෑල්ල හංගා ගන්නව.අද මගෙ උපන්දිනේ හින්දා මේ තෑග්ග එයාට..”

රස රස කෙටි කෑම ගොඩක්, කේක් එකක් තිබුණු පාර්සලේ අමාලි බාර ගත්තේ පුදුම සතුටකින්.

ඊට පස්සේ නිපුනිටත් දුල්මිටත් නිතර නිතර අමාලි ගැන අහන්න ඕනෑ වුණා.සැපපහසු පාසල්, අධ්‍යාපනික වටිනාකම් ඉහළ පාසල් පිරුණු කොළඹ ටවුමේ අමාලි යන පාසල දුෂ්කර පාසලකට සමානයි කියලා තේරුම් ගියාම නිපුනිත් අමාලිත් පුදුම වුණා.

“ඒ උනාට නංගිට තියෙන්නේ සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙන්න.ඊටපස්සෙ පුලුවන්නෙ හොඳ ඉස්කෝලෙකට යන්න..”

දුල්මි කිව්වේ අලුත් බලාපොරොත්තු අරගෙන.

“ටියුෂන් නොයා කැම්පස් යන්න අමාරුයිනෙ මිස්..”

කමලා එහෙම කියන්නේ හූල්ලන හඬින්.

“මේ අපි ඉන්න ඔෆිස් එකේමනෙ කමලා ආන්ටී ඔයත් වැඩ කරන්නෙ.බය වෙන්න එපා..”

ඉගෙනගෙන තැනකට ආව මිනිස්සු තමයි ඒකෙ වටිනාකම දන්නෙ.කමලා එහෙම හිතුවා.ඔළුව කැක්කුම තදට දැනෙන වෙලාවක පැනඩෝල් හොයන්න දුවන, ඔසප් අමාරුකම් දැනෙන දවසට කෝපි හදා ගෙන එන කමලාගේ මනුස්සකම දුල්මිලාටත් නොදැනුණා නෙවෙයි.

“ඔය වගේ පරිසරවල ළමයි ඉක්මනින් පැනල යනවා.ප්‍රෙග්නන්ට් වෙනව.කමලා කියන තරම්ම දුව දක්ෂයි නම් නිපූ ඒ ළමයා කොහොමහරි ඔය අපායෙන් ගොඩ එන්න ඕන..”

දුවගේ වාර විභාගේ ලකුණු ගැන කමලා හීන් හඬින් කිව්ව දවසක දුල්මි මිතුරියට කිව්වේ ඇත්තටම අනුකම්පාවෙන්.

පන්තියේ ඉහළම ළකුණු තියෙන්නේ තමන්ට බව අමාලි කියනකොට කමලාට දැනෙන්නේ පුදුම සැනසීමක්.දරුවන්ගේ පුංචි ජයග්‍රහණයකට වුණත් ලොකු සැමරීම් කරන ඔෆිස් එකේ මැඩම්ලා දිහා කමලා බලාගෙන ඉන්නෙ ආසාවෙන්.

“ඉගෙන ගත්තු නිසානෙ ඒ මිනිස්සු මෙච්චර හොඳින් ඉන්නෙ.ඉගෙන ගන්න හිතන්නෙවත් නැතුව හිටිය අපි දුක් විඳිනවා..”

බිම මොප් කරන ගමන් කමලා තමන්ටම කොඳුරා ගන්නවා.

“අනේ අද නම් හරි මහන්සී අප්පා..”

හවස ගෙදර යන්න කලින් වොෂ් රූම් එකට එන ලස්සන නෝනලා මහන්සි අරිනකොට කමලාට පුදුමයි.සීත කාමරවලට වෙලා කම්පියුටරයක් දිහා බලන් හිටියට මහන්සි ද? එහෙනම් දවස පුරාම වැඩ කරන තමන්ට කොච්චර මහන්සි ද?

“මොලේ වෙහෙසෙනකොට මහන්සි ඇති.”

රෑට පාඩම් කරලා හරිම මහන්සි කියන අමාලි මතක් වෙනකොට කමලා හිතනවා.

ඒ නෝනලා මොලේ මහන්සි කරලා සල්ලි හොයනවා.තමන් ඇඟ මහන්සි කරලා සල්ලි හොයනවා.මොලේ මහන්සි වුණාට ලැබෙන්නේ සොච්චමක් නෙවෙයි.අවුරුදු ගාණක් ඉගෙන ගන්න ගිය මහන්සිය සැපපහසු ලෝකයක් හදන්න උදව් කරනවා.

“මමත් කොළඹ නෙවෙයි කමලා.පොළොන්නරු පැත්තෙ.අපේ අම්මලා ගොවිතැන් කරල මහන්සි වෙලා තමයි මට ඉගැන්නුවේ.මං ඒකයි කියන්නෙ කමලා ආන්ටිට බැරි නෑ.දුවට උගන්නන්න.එච්චරයි ඔයාට කරන්න පුලුවන්..”

රිය අංගනයේදී දුල්මි එහෙම කියලා පිටවෙලා ගිහින් ටික වෙලාවක්.දුල්මිට ළඟදි උසස්වීමක් ලැබුණු බව කාර්යාලයේ හැමෝම සතුටින් කතා වෙනවා කමලාටත් ඇහුණා.ඒ අම්මලාට මොන සතුටක් ඇද්ද?

දිලිසෙන සුදු පාට කාර් එකෙන් දුල්මි යන්න ගිය හැටි කමලා ආයේ සිහි කළා.දවසක අමාලිත් එහෙම ලස්සන කාර් එකක් පැදගෙන ලස්සන ගෙදරකට එන හැටි කමලා හිතින් මවා ගන්නවා.

“මං එදාට ඉන්නේ මගෙ දුවගෙ ගෙදර අස් කරන ගමන්”

ගෙදර යන්න කලින් කුණු බඳුන් අස් කරන අතරේ කමලා තමන්ටම මුමුණා ගත්තා.

හැම අම්මා කෙනෙකුටම හීන තියෙනවා.අම්මලා මහන්සි වෙන්නේ ඒ හීන වෙනුවෙන්.ඒත් ඒ හීනවල දිනුම අයිති අම්මලට නෙවේ.දරුවන්ට.

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content