නුඹයි හිටියේ මගේ තනියට.. !

” හිතේ කකියන හුඟක් දේවල්

ඇස් පියන් මට කියන්න 

නුඹයි හිටියේ මගේ තනියට

මගේ කියලා දැනෙන්න ” 

නයිට් කඩේ රේඩියෝ එකෙන් ඇහෙන වචන තමන්ගේ හදවත පසාරු කරගෙන යනවා වගේ ආකාෂ්ට දැනුනා. තමන්ගේ ඉස්සරහ තියෙන දුම් දමන කෝපි කෝප්පය අතට අරගෙන උගුරක් බීපු ආකාශ් ඒක මේසය උඩින් තිබ්බේ වන්දනා හදන කෝපි රස වැඩියෙන් දැනෙන කෝපි එකක රස මතක් කරන ගමන්. 

ආකාශ්ට වන්දනාව මුණගැහුනේ office එක ළඟ තිබුණ කැෆේ එකකදී. මොකක්දෝ මලානික බවක් එක්ක සන්සුන් බවක් හැංගිලා තිබුණු වන්දනා ගේ අහිංසක මූණෙන් බාගයක් ඇගේ අතේ තිබුණ පොතට වැහිලා තිබුන නිසා ආකාශ් උවමනාවෙන්ම ඇයට එහායින් තිබුණ මේසයෙන් වාඩි වුණා.

පොතක් කියවන බවක් පේන්න තිබුනට වන්දනා වැඩිපුරම කරන්නේ කල්පනා කරන එක කියලා අඳුනගන්න ආකාශ්ට ඒ හැටි වෙලාවක් ගියේ නැහැ. ඇගේ ඉස්සරහා තිබුණ කෝපි කෝප්පය සෑහෙන වෙලාවක් එහෙමම තියෙන විදිහත්, පොතෙන් දෑස් ඉවතට ගන්න වන්දනා බර සුසුම් හෙළන විදිහත් ආකාශ් බලාගෙන හිටියා.

ඒ විදිහට සතියට දවස් දෙක තුනක්ම ආකාෂ්ට ඔෆිස් ඇරෙන වෙලාවට වන්දනාව මුණගැහුනා. වන්දනා එක්ක කතා කරන්න වුවමනාව තිබුණත් ඒකට හයියක් නොතිබිච්ච හින්දා අවස්ථාවක් එනකන් ආකාශ් ඉවසීමෙන් බලාගෙන හිටියා.

ඒ වගේ අවස්ථාවක් ආකාශ්ට උදා උනේ නොහිතපු වෙලාවක.

මාසේ අන්තිම දවසක ගොඩක් කාර්ය බහුල වෙලා වෙනද වෙලාවට වැඩිය පැය දෙකක් විතර පරක්කු වෙලා office එකෙන් එලියට ආපු ආකාශ් වාහනය ප්‍රධාන පාරට දානකොටම පාර අයිනේ හිටපු වන්දනාව දැක ගන්න ලැබුණා. ඇයව දැක්ක ගමන්ම ඉබේටම තද වෙච්ච තිරිංග නිසා නතර වෙච්ච වාහනයෙන් ආකාශ් බැස්සා.

” හායි ” 

හුඟක් කාලෙක ඉඳලා වන්දනාව අඳුරනවා වගේ ආකාශ් ඇය ළඟට ගිහින් නතර වුනා. වන්දනා වටපිට බලලා ආයාසයෙන් හිනාවක් මූනට නගා ගත්තේ කැෆේ එකේදී දැක්ක තරුණයාව විදිහට මුණ ගැහෙන්න හිතලා තිබුනෙ නැති නිසා.

” මම දන්නවා ඔයාට මාව අමතක නෑ කියලා.මම ඔයාව කැෆේ එකේදී ඕන තරම් දැකලා තියෙනවා.මම ආකාශ්.. ඔයා ? ” 

වන්දනාට මුකුත්ම කියන්න ඉඩ නොතියා ආකාශ් ප්‍රශ්නෙත් එක්කම උත්තරෙත් දුන්නා.

” මං.. මං වන්දනා ” 

වන්දනා උත්තර දුන්නේ දෙගිඩියාවෙන්.

” ඔයා මෙතන ඉන්නෙ කවුරු හරි එනකන්ද වන්දනා ? ” 

” අ.. නෑ.. මේ.. ටැක්සි එකක් ගන්න ” 

” යං. මං ඔයාව ඩ්‍රොප් කරන්නම් ” 

ආකාශ් කිහිප වතාවක්ම බැගෑපත් වුණාට පස්සේ වන්දනා ඔහුගේ වාහනයට නගින්න එකඟ වුණා. කැෆේ එකකදී අහම්බෙන් දැක්ක තරුණිය තමන්ගේ රියදුරු අසුනට එහා අසුනේ වාඩි වෙලා යනකොට ආකාශ්ට තරුණයෙක් විදිහට දැනුනේ ජයග්‍රාහී හැඟීමක්.

” වන්දනා මොනවද කරන්නේ? ” 

වාහනය පදවන අතරේ ආකාශ් වන්දනා ගෙන් එහෙම ඇහුවේ නිහඬතාවය බිඳින්න.වන්දනාව දැක්ක පළවෙනිම දවසේත් ඇගේ මුහුණෙ තිබ්බ මලානික බව ඒ වෙලාවෙදිත් ආකාශ් අඩ අඳුරේ දැක්කා.

තමන්ගේ පියා කුඩා කාලයේදී හැර ගිය ආකාරයත් , මවගේ දෙවනි විවාහයේ සැමියාගෙන් ලද තාඩන පීඩනත් ගැන වන්දනා ආකාශ් එක්ක කිව්වේ මහා වේදනාවකින්. වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක් වුන තමන් අඩියෙන් අඩිය ජීවිතය ගොඩනඟාගෙන එනකොට සිදුවුනු මවගේ වියෝවෙන් පස්සේ පෙම්වතාත් හැර ගිහින් ජීවිතය නැවත අඩියටම ඇද වැටුනු ආකාරය ගැන කිව්ව වන්දනා කඳුළු සලන්න පටන් ගත්තා. 

ආකාශ් ට වන්දනා ගැන දැනුනේ පුදුමාකාර අනුකම්පාවක් වගේම වචනයෙන් විස්තර කරගන්න බැරි හැඟීමක්. 

වන්දනා නැවතිලා ඉන්න තැනින් ඇයව බස්සවලා නැවත ගෙදර ආපු ආකාශ් නිදි වර්ජිතව ඇය ගැන කල්පනා කළා. පුංචි කාලෙ ඉඳලම හරි හැටි ආදරයක් නොලබපු ඇයට තමන් පිහිටක් වෙන්න ඕනේ කියලා ආකාශ් තීරණය කළේ එළිය වැටෙන්න ඔන්න මෙන්න තියලා.

තවත් දවසක පුරුදු විදිහටම කැෆේ එකේදිම වන්දනාව මුණගැහුණු ආකාශ් ඇගේ දුරකථන අංකයත් ඉල්ලගෙන තමන්ගේ අදහස ඇයට ප්‍රකාශ කළා. 

තමන්ගේ පවුල් පසුබිමත්, තමන් ඉන්න තත්ත්වයත් එක්ක ආකාශ්ගේ පවුලට තමන් ගැලපෙන එකක් නෑ කියලා හිතපු වන්දනා ආකාශ් ගේ යෝජනාව තරයේම ප්‍රතික්ෂේප කළත් ආකාශ් පරාජය භාරගන්න සූදානම් වුණේම නැහැ. 

” මං ජීවත් උනේ ගොඩක් ප්‍රශ්න එක්ක. මං කැමති නෑ කාටවත් කරදරයක් වෙලා ජීවත් වෙන්න. මං මටවත් ආදරේ කරන්නැති කාලෙක මං හිතන්නේ නෑ මට තව කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් වෙයි කියලා “

වන්දනා බොහොම අහිංසක විදිහට ආකාශ්ට කිව්වත් ආකාශ් ඒ ගැන තැකීමක් කලේ නැහැ. 

මාස ගණනාවක් ගත වුණාට පස්සේ දවසක් හදිසියේම ආකාශ් තමන්ගේ දෙමව්පියන් එක්කම වන්දනා නැවතිලා ඉන්න තැනට ආවා. වන්දනා වගේ සුන්දර අහිංසක තරුණියක් ප්‍රතික්ෂේප කරන්න ආකාශ්ගේ දෙමව්පියන්ටත් හේතුවක් නොතිබුණු නිසාත්, ආකාශ් ගේ දෙමව්පියන් වන්දනාව පිළිගත්ත නිසාත් අන්තිමේදී වන්දනා ආකාශ් එක්ක විවාහ වෙන්න තීරණය කලා.

තමන් කවදාවත් නොලබපු විදිහේ ආදරයක් තමන්ට ලැබෙයි කියලාත්, විවාහයෙන් පස්සේ තමන්ට සැනසිලිදායක ජීවිතයක් ලැබෙයි කියලත් වන්දනා විශ්වාස කරා. 

බොහොම සරල විවාහ උත්සවයකින් පස්සේ ආකාශ් වන්දනා එක්ක පුංචි කුලී ගෙදරකට ආවේ ජීවිතයේ හැමදේම මුල් අඩියේ ඉඳලා පටන් ගන්න බලාපොරොත්තුවෙන්.

දෙමව්පියන්ගේ ආදරය හරිහැටි නොලබපු වන්දනා ගේ හදවතේ තියෙන සමහර තුවාල අඳුනගන්න ආකාශ් ට බැරි උන නිසා සමහර තැන් වලදී වන්දනා තමන්ගේ හැඟීම් ප්‍රකාශ නොකර නිහඬව ඉන්න පුරුදු වුණා. රැකියාවට ගිහිල්ලා ඇවිල්ල මහන්සි වෙලා ඉන්න ආකාශ්  වන්දනා ගේ මේ හැසිරීමේ වෙනස්කම් ගැන ඇහුවත් වෙහෙසට පත් වෙලා ඉන්න තමන්ගේ සැමියාව තවත් වෙහෙසට පත් කරන්න වන්දනාට ඕන වුණේ නැහැ. 

” මොකක්ද වන්දනා මේකේ තේරුම ?ඔයා වෙලාවකට හොඳට ඉන්නවා.වෙලාවකට මැරිලා වගේ ඉන්නවා. ඔයත් එක්ක ඉන්න ගියාම එපා වෙනවා “

ආකාශ්ගේ පිහිතුඩු වැනි වචන වන්දනාගේ හදවත පසාරු කරගෙන යනකොට කඳුළු පිරුණු දෑස් වලින් ඔහු දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් වන්දනා කළේ නෑ. ආකාශ්ගේ බල කිරීම නිසා විවාහයට එකඟ වුණාද, එහෙමත් නැත්නම් තමන්ගේ තනිකම නිසා තමන් විවාහයට එකඟ වුණාද කියලා වන්දනා කල්පනා කරා.

” මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? අම්මයි තාත්තයි නැති වෙච්ච එකම ළමයා ඔයා නෙමෙයිනේ ? කොල්ලෙක් දාලා ගිය එකම කෙනත් ඔයා නෙමෙයි. මාවත් කෙල්ලෝ කී දෙනෙක් ඔය වගේ දාල ගිහින් තියෙනවද.මං ඕවා හිත හිත දුක්වෙන්නේ නෑ ” 

ආකාශ් කිව්වේ තරහෙන් වන්දනා දිහා බලන ගමන්. තමන්ගේ හදවතේ තියෙන සුව නොවිච්ච තුවාල ගැන සමහර වෙලාවල් වලදී වන්දනා ආකාශ් එක්ක කතා කරන්න උත්සාහ කරත් ඒ හැම වෙලාවකදීම ඔහු කෝපයට පත්වුනා මිසක් වන්දනාට ඇහුම්කන් දෙන්න උත්සාහ කළේ නැහැ.

සුව නොවිච්ච හදවතක් එක්ක ආකාශ් එක විවාහ වෙන්න එකඟ වෙච්ච එක තමන්ගේ වැරැද්ද කියලා අන්තිමට වන්දනා තීරණය කළා. ලස්සන ජීවිතයක් හිමිවෙලා තියෙන ආකාශ්ට තමන්ව ගැලපෙන්නෙ නෑ කියලා හිතපු වන්දනා හැමදේටම සමාව ඉල්ලලා ලිපියක් ලියලා දවසක් හවසක නිවසින් පිට වුනේ හිස් හැඟීමකින්. 

හවස් වෙලා ගෙදර ආපු ආකාශ් වන්දනාගේ ලිපිය දැකලා කලබල වුනේ එය ලිපිය පුරාම තිබුණු වන්දනාගේ වේදනාව හදවත බර කරනකොටයි. තමන්ගේ බිරිඳට ඇහුම්කන් දෙන්න තිබුණා නේද කියලා විශාල පසුතැවීමක් දැනෙන්න ගත්තට පස්සේ ආකාශ් හොයන්න පුළුවන් හැම තැනකම වන්දනාව හෙව්වා. 

ආකාශ් වගේම ඔහුගේ දෙමව්පියනුත්, වන්දනාට හිටපු සීමිත යාළු මිත්‍රයෝ හැමදෙනාමත් වන්දනාව හෙව්වත් ඒ කිසිම කෙනෙකුට ඇයව හොයාගන්න බැරි උනා. 

” හිතේ කකියන හුඟක් දේවල්

ඇස් පියන් මට කියන්න 

නුඹයි හිටියේ මගේ තනියට

මගේ කියලා දැනෙන්න ” 

මිහිරි ගීතයක ඒ වචන ඇහෙන කොට ආකාශ්ට ආයෙමත් දැනුනේ ලොකු පසුතැවීමක්

” එයා ආවේ මාව විශ්වාස කරලා.මට තිබුණා ඇත්තටම එයාගේ ප්‍රශ්නෙ මොකද්ද කියලා අඳුරගන්න, එයාට ඇහුම්කම් දෙන්න.එයාට හිතෙන්න ඇති එයාට මේ ලෝකෙ කවුරුත් නෑ කියලා.කිසිම කෙනෙක් ඒ විදිහට තනිවෙන්න හොඳ නෑ. කාටවත් කරදරයක් නොවෙන්න එයා යන්න ඇත්තේ ඒකයි “

කොහේ කොහොම හිටියත් වන්දනා ආපහු දවසක තමන් හොයාගෙන එයි කියන බලාපොරොත්තුව ආපහු හිතේ තියාගෙන ආකාශ් නයිට් කඩෙන් එලියට බැස්සා. 

More Stories

Don't Miss


Latest Articles