හිතුවක්කාර

නදුනි මහගෙදරට ගොඩ වුණේ සති දෙකකට පස්සේ. විවාහයෙන් පස්සේ සැමියාගේ උදව්වෙන් ඇය ඇගේ ඇඳුම් ව්‍යාපාරය පුළුල් කරපු නිසා ඇය වෙනදාට වඩා කාර්යබහුල වුණා. ඒත් දිනපතාම තමන්ගේ අම්මා වුන ලලිතාට දුරකථනයෙන් අමතන්න නදුනි අමතක කළේ නැහැ. 

” ආ. මෙයාට කාලෙකින් ගෙදර මතක් වෙලා තියෙන්නේ “

නදුනි ලලිතා එක්ක කතා කර කර කුස්සියේ වාඩි වෙලා තේ එකක් බිබී ඉන්නකොට අවුරුදු දෙකක් වයස දරුවාවත් වඩා ගත්ත සඳුනි ආවේ සමච්චලයට වගේ හිනා වෙන ගමන්.

සඳුනි කියන්නෙ නදුනිගේ එකම අක්කා. නමුත් ඒ දෙන්නා ජීවිතය දිහා බැලුවේ දෙවිදියකට. විවාහයෙන් පස්සේ රැකියාවක් කරන්න ඕනේ නෑ කියලත්, බිරිඳ කියන්නේ සැමියාගේ සම්පූර්ණ වගකීමක් කියලා සඳුනි විශ්වාස කරත් නදුනි හිතුවේ විවාහ ජීවිතයේ බර සැමියා හා බිරිඳ දෙන්නම සමානව දරන්න ඕනේ කියලා. ඒ නිසාම විවාහය පිටින් දාලා සඳුනි රැකියාවෙන් ඉවත් වෙනකොට නදුනි විවාහයෙන් පස්සේ තමන්ගේ ව්‍යාපාරය තව තවත් දියුණු කරගන්න කටයුතු කරා.

නදුනිගෙ හීන වලට යන්න උදව් කරන්න ඇගේ සැමියා වුන රමේෂ් දෙපාරක් හිතුවේ නැහැ. ඔවුන් දෙන්නම එකිනෙකාගේ ව්‍යාපාර කටයුතු වලට උදව් කරන අතරේ ඒවා සාර්ථකව ව්‍යාප්ත කරන්නත් සැලසුම් හැදුවා.ඒ නිසාම දෙන්නාම දවසින් දවස දියුණු වුණා.

ඒත් සඳුනිගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. සඳුනිගේ සැමියා දසුන් කලේ පෞද්ගලික ආයතනයක බොහොම සාමාන්‍ය රැකියාවක්. ඒ වැටුපෙන් විවාහ මංගල්‍යය වෙනුවෙන් ගත්ත ණය ගෙවන්න වගේම, ගෙදර වියදම් දරන්නත් උන නිසා සඳුනිගේ ජීවිතය ඒ තරම් සුන්දර වුණේ නැහැ.

ඒ නිසාම සඳුනි හිතුවේ නදුනිගේ ජීවිතය බොරු ආටෝපයෙන් පිරුණු එකක් කියලා. ඒ නිසාම ඇය තමන්ගෙම නංගි දිහා බැලුවේ වෙනමම ඇහැකින්.

” බිස්නස් වැඩ නිසා මට ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණානේ අක්කේ. ඉතින් මං අම්මව බලලා යන්න කියලා ආවා “

සඳුනි මේසය උඩ තිබ්බ නදුනිගේ වටිනා අත්බෑගයත් ජංගම දුරකථනයක් දිහා බැලුවේ දිලිසෙන ඇස් වලින්.

” අනේ ඔයයි ඔයාගේ බිස්නසුයි “

” ඔයාටත් තේ එකක් හදන්නද සඳුනි ? ” 

ලලිත වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටේ එහෙම අහන ගමන්. 

” අනේ හදන්නකෝ අම්මේ. අපේ ගෙදර පිටි ඉවර වෙලා.දසුන්ට සැලරී හම්බවෙන්නේ අනිද්දනේ. එතකංම ඉතින් ප්ලේන්ටි තමයි බොන්න වෙන්නේ. පුදුම අමාරු කාලයක් තමයි අම්මේ මේක. “

නදුනිට තමන්ගේ අක්කා ගැන දැනුනේ කම්පාවක්. විවාහයට කලින් ඇය රැකියාවෙන් අයින් වෙනකොට හැමෝම වගේ විරෝධය පෑවත් ඇය ඒ විරෝධය නොතකා රැකියාවෙන් අයින් වුණා. නමුත් ඇගේ වියදම් වල කිසිම වෙනසක් වුණේ නැහැ. 

” එතකොට බබාට ? ” 

නදුනි ඇහුවේ සඳුනිගේ උකුලේ හිටපු කුඩා දියණියව වඩා ගන්න ගමන්.විවාහයෙන් පස්සේ ගෙදර නතර වෙලා ඉන්න නිදහසට කරුණක් තියෙන්නම ඕන නිසා සඳුනි විවාහ වුන ගමන් වගේම දරුවෙක් ගැන හිතුවා. ඒත් ඊට කලින් මූල්‍යමය අතින් ස්ථාවර වෙන්න ඕනේ කියලා කීප සැරයක්ම ලලිතා අවවාද කරත් සඳුනි ඒ අවවාද කනකට ගත්තේ නැහැ. ඒත් ඒ හිතුවක්කාරකම් වල ප්‍රතිඵල අද වෙනකොට පුංචි දරුවෙකුටත් විඳින්න වෙලා නේද කියලා නදුනිට හිතුණා.

” දරුවත් ඉතින් මේවට පුරුදු වෙන්න ඕන නේ “

ඒ කතාව අහගෙන හිටපු ලලිතා සුසුමක් හෙලන ගමන් තේ එක සඳුනි අතට දුන්නා.ඊට පස්සේ තුන්දෙනාම අතර තිබුණේ දිගු නිහඬියාවක්.

ඒ නිහඬියාව අතරතුර වරින් වර සඳුනි තමන්ට දරුවාව හුරතල් කරන නංගි දිහා බැලුවේ විමසිල්ලෙන්.නදුනිගේ මුහුණේ තිබුණේ අමුතු දීප්තිමත් බවක්. පේන නොපෙනෙන ගානට ඇය තවරලා තිබුණ මේකප් වලින් ඒ දීප්තියට තවත් ලස්සනක් එකතු වෙලා තිබුණා. ඒ වගේම නදුනි පැළඳගෙන හිටපු ආභරණ හුඟක් වටින ඒව කියල බැලූ බැල්මටම පෙනෙන්න තිබුන නිසා ඇය ගෙවන්නේ මොන වගේ සුවපහසු ජීවිතයක්ද කියලා හිතාගන්න සඳුනිට අපහසු වුණේ නැහැ.

” අක්ක කැමති නැද්ද ආපහු රස්සාවක් කරන්න? එහෙම නැත්නම් පොඩි බිස්නස් එකක්වත්?”

නදුනි ඇහුවේ හුඟක් වෙලා කල්පනා කරාට පස්සේ.

” අනේ මට ඕවා හරියන්නෙ නෑ.අනිත් එක ඕවට ගියාම මේ ළමයා බලාගන්නේ කවුද ? ” 

සඳුනි උත්තර දුන්නේ තරහෙන්. හැම වෙලාවෙම තමන් හිතන දේ විතරක් හරි කියල හිතෙන ඇය එක්ක පරිස්සමෙන් කතා කරන්න ඕන කියලා නදුනිට හිතුණේ ඊට පස්සේ.

” බබා බලා ගන්න නම් ඔයාට සර්වන්ට් කෙනෙක් හරි ගන්න පුලුවන් නේ. එහෙම නැත්නම් බබාව ඩේකෙයා එකකට හරි දාන්න පුළුවන්. එහෙම නැත්තං අක්කේ ඔයාට පුළුවන්නේ ගෙදර ඉඳන් කරන මොනාහරි දෙයක් පටන් ගන්න ? මං කියන්නේ බිස්නස් එකක්වත් ? ” 

” ඔයා කියන්නේ මටත් ඔයා වගේ සල්ලි පස්සේ දුවන්න කියලද ? ” 

සඳුනි තේ එකෙන් උගුරක් දීලා කෝප්පය මේසේ උඩින් තිබ්බා. ලලිතා හිටියේ මේ කතාව ඉවසීමෙන් අහගෙන ඉන්න ගමන්. වයසින් බාල උනත් ජීවිතය ගැන හොඳ දැක්මක් නදුනිට තියෙන විදිහත් සඳුනිට ඒ අවබෝධයෙන් ටිකක්වත් නොමැති වීම ගැනත් ලලිතා හිතුවා.

” මං ඔයාට සල්ලි පස්සේ දුවන්න කියන්නේ නෑ අක්කේ.ඒ වුනාට ජීවත් වෙන්න සල්ලි ඕනෙ කියල ඔයාට මේ වෙනකොටත් තේරෙනවා ඇතිනේ. අද කාලේ කරපිංචා මිටියක් ගන්නත් සල්ලි ඕනේ. ලෝකේ යන්නේ ඉස්සරහට මිසක් පස්සට නෙමෙයි.එන්න එන්න වියදම් වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. “

නදුනි උත්තර දුන්නේ බොහොම සන්සුන්ව. වැඩිදුර ඉගෙන ගන්න කියලා කිව්වත් උසස් පෙළ ඉවර වුණ ගමන්ම සඳුනිට උවමනා වුණේ රැකියාවකට යන්න. ඊටත් පස්සේ ඇයට ඕන වුණේ ඒ රැකියාවේ ඉවත් වෙලා විවාහ වෙන්න.ඒත් නදුනිට ඕන වුණේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් ගොඩනඟාගෙන ස්ථාවර උනාට පස්සේ විවාහ වෙන්න. නදුනි තීරණයක් ගන්න කලින් දුරදිග හිතල බැලුවත් සඳුනි හැමදාම බැලුවේ සහ හිතුවේ අද දවසේ ජීවත් වෙන විදිය ගැන විතරයි.

” දසුන්ට හෙට අනිද්දට ප්‍රමෝෂන් එකක් හම්බවෙයි. එතකොට මේ ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න අපිට පුළුවන් වෙයි “

” ඒ වුණාට තාම වෙඩින් එකේ ණයත් ගෙවනවා නේද ?  “

නදුනි ආයෙම ඇහුවා. සඳුනි ඒ වෙලාවේ කලින්ටත් වඩා කෝපයට පත් වුණා

” ඉතින් දැන් ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ ? ඔයා මේ දවස් ගානකට පස්සේ ගෙදර ආවේ අපිට ලොකු කම් පෙන්නලා යන්නද ? “

සඳුනි නැගිටලා නදුනිගේ අතේ හිටපු දරුවාව උදුරලා ගත්තා.හිත රිදුනක් නදුනි වචනයක් වත් කියන්න ගියේ නැහැ.ඒ වෙනුවට ඇය ගිහින් මේසයේ කොනකින් වාඩි උනේ ලලිතා දිහා බැල්මක් හෙලන ගමන්.

” නංගි කියන කතාවේ ඇත්තක් තියෙනවා සඳුනි. ඕගොල්ලෝ දුරදිග බලන්නේ නැතුව ගත්ත සමහර තීරණ නිසා මේ පොඩි එකා දුක් විඳිනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද ? දරුව මේ ලෝකෙට එන්නේ දෙමව්පියන්ගේ උවමනාවට. එහෙම ඇවිල්ලා ඒගොල්ලෝ දුක් විදින්න ඕනෙද ? අනිත් එක ඔය ප්‍රොමෝෂන් හම්බවෙනවා කියන එක කොයි කාලේ ඉඳන්ද කියන්නේ ? අද කාලේ එක මනුස්සයෙක්ගෙ පඩියකින් පවුලක් ජීවත් කරවන්න බැහැ.ඕගොල්ලන්ගේ තාත්තා උනත් ඒ කාලේ කොච්චර නම් මහන්සි උනාද? මං අහන්න පටන් ගත්තේ ඊට පස්සෙනේ. ඊට පස්සේ මේ පවුලේ බර කොච්චර සැහැල්ලු වුනාද ? “

සඳුනිගේ කෝපය ටිකෙන් ටික පහ වෙලා ගියේ ලලිතාගේ වචන ඇහුනට පස්සේ. 

” දරුව බලාගන්න එක ඔයා රස්සාවකට යන එකට බාධාවක් නං ඔයාට තිබුණා දැම්ම දරුවෙක් නොහද ඉන්න. අනිත් එක දරුවෝ බලාගන්න තැන් උනත් දැන් කොච්චර තියෙනවද? ඔය විදිහට දසුන්ටම පවුලේ බර දීලා ඒ මනුස්සයා රැයක් දවාලක් නැතුව මහන්සි වෙනකොට කෝ ඕගොල්ලන්ට අනාගතය ගැන හිතන්න වෙලාවක්? හිතුවක්කාර වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ සඳුනී.ඕගොල්ලන්ගේ වැරදි තීරණ හින්දා අන්තිමට දුක් විදින්න දරුවෝ”

අම්මා කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා සඳුනිට හිතෙන්න පටන් ගත්තා. ඒත් ප්‍රශ්න වලට උත්තර හොයන්න පටන් ගන්න ඕනේ කොහෙන්ද කියල තේරුමක් ඇයට තිබුණේ නැහැ. 

” අක්ක කැමතිනම් මගේ බිස්නස් එකට උදව් වෙන්න. ගෙදර ඉඳන් විකුනන්න මං අක්කට ඇදුම් ටිකක් එවන්නම්. ඒකෙන් කීයක් හරි හොයාගෙන අක්කට පුළුවන්නේ මොකක් හරි බිස්නස් එකක්වත් පටන් ගන්න ” 

ජීවිතයේ අමාරු කාලයක් ගත කරමින් හිටපු සඳුනිට නංගිගේ ඒ වචන කාන්තාරයකට වැටෙන දිය පොදක් වගේ වුණා. 

More Stories

Don't Miss


Latest Articles