5th Avenue – 78

0
41

ඉෂිනි ආපසු නිවසට පැමිණි පසු කාමරයට පැමිණ යහන මත වාඩි වූවාය. මෙතෙක් වේලා සිත තුළ තද කර ගෙන සිටි හැඟීම් එකින් එක පිටතට එද්දී ඇගේ දෑස්වලින් කඳුළු ගලා ගියේ නිරායාසයෙනි.  රිහාන්ගේ වචන නැවත නැවතත් සිත තුළ දෝංකාර දෙද්දී, ඔහුට තවදුරටත් තමන් සමඟ කිසිදු සම්බන්ධයක් පවත්වා ගැනීමට අවශ්‍ය නොවන බව ඇයට පිළිගැනීමට සිදු විය.

“ඔයා කරපු දේවල් ඔයා දන්නවනේ ඉෂිනි. මං ඒවා ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මම කැමතියි කිසිම වෛරයක් නැතුව අපි දෙන්නා දෙපැත්තකට වෙනවා නම්. ඒ නිසා මේ විදිහට ඇවිල්ලා මාව නරක මනුස්සයෙක්ගේ ගාණට වැටෙන තැනට වැඩ කරන්න එපා.”

රිහාන් වැනි සහකාරයෙකු ලැබී තිබියදීත් ඒ බැඳීම රැක ගැනීමට තමාට නොහැකි වූයේ ඇයිදැයි ඉශිනි කල්පනා කළාය. තමන්ට ආදරය කළ, තමන් වෙනුවෙන් කාලය වෙන් කළ, තමන්ගේ ජීවිතයේ වැදගත් තැනක් ලබා දුන් කෙනෙකුගේ විශ්වාසය රැක ගැනීමට නොහැකි වීම පිළිබඳව සිතන විට දැනුණු පසුතැවීම ඇගේ සිත තවත් බර කළේය.

” අනේ මට සමාවෙන්න රිහාන් “

ඉශිනි මිමිණුවාය. බැඳීමක ගෞරවය ආරක්ෂා කිරීමට එක් අයෙකුගේ උත්සාහය පමණක් ප්‍රමාණවත් නොවන බව ඇයට ඒ වන විට වැටහෙමින් තිබිණි. ඒ වෙනුවෙන් දෙදෙනාම කැපවිය යුතු වන අතර දෙදෙනාම එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එහෙත් රිහාන් සමඟ සිටි කාලයේ තමන් ඒ විශ්වාසයට කොතරම් වටිනාකමක් දුන්නා දැයි ඇය සිතන්නට වූවාය.

ඒ සියල්ලටත් වඩා ඉශිනි හට පැහැදිලි කර ගත නොහැකි වූ තවත් එක් කාරණාවක් ඉතිරි වී තිබිණි. රිහාන් කෙරෙහි තමා තුළ තිබුණේ සැබෑ ආදරයක්ද, නැතිනම් ඔහුව අයිති කර ගැනීමට  ලෝභකමක්ද, එසේත් නැතිනම් ඔහු කෙරෙහි දිගු කලක් තිස්සේ පැවති ආකර්ෂණය නිසා තමන් ඒ හැඟීම ආදරයක් ලෙස වරදවා වටහාගෙන තිබුණාද යනුවෙන් ඇය තම සිතට වද දෙමින් කල්පනා කළාය.

වසර ගණනාවක් පුරා රිහාන් සහභාගි වූ ප්‍රසංග වලට තමන් සහභාගී වූ ආකාරය ඇය සිහි කළාය. තමා එසේ කළේ ඔහුට සමීප වීමට  තිබූ කැමැත්ත නිසාද නැතහොත් ඔහු කෙරෙහි අන් තරුණියන් තුල ඇති සේ තමා තුළද ඇති වූ උමතුවක් නිසාද කියා ඉශිනි හට සිතා ගත හැකි වූයේ නැත.

දෑතින්ම මුහුණ වසා ගත් ඉෂිනි තවත් වරක් හඬා වැටුණාය. තමන් අතින් සිදු වූ වැරදි වලට හේතු සොයමින් ඒවා සාධාරණීකරණය කිරීමට තවදුරටත් ඇයට අවශ්‍ය වූයේ නැත. එහෙත් තමන් විසින් රිහාන්ට බොරුවක් නොකියා සිටියා නම් අද මේ තත්ත්වයට මුහුණ දීමට සිදු නොවන්නට තිබුණා නොවේ දැයි සිතෙන සෑම මොහොතකම ඇගේ පසුතැවීම තව තවත් වැඩි වෙමින් තිබිණි. ඇය ජංගම දුරකථනය අතට ගෙන එහි ඡායාරූප ගැලරිය විවෘත කර රිහාන් සමග ලබා ගත් ඡායාරූප එකින් එක නැවත එහා මෙහා කරමින් බැලුවේ වේදනාවෙනි.

ඒ ආදරණීය තරුණයා අද පටන් තව දුරටත් තමාට හිමි නොවන බව නැවත සිහි වූ පසු ඉශිනි ගේ දෑස් වල කඳුළු අලුත් විණි.

“රිහාන් ආපහු ඔයත් එක්ක සෙට්ල් වෙන්නේ නැහැ කියලා ඔයාට දැන් කන්ෆර්ම් නේ. ඒ නිසා මෙහෙම පස්සෙන් යන එකෙන් වෙන්නේ ඔයා ඔයාවම පහළට දාගන්න එකයි, ඔයාගේ වටිනාකම නැති කරගන්න එකයි.ඔයා මොකටද එච්චර පල්ලෙහට වැටෙන්නේ ඉශිනි ? ඔයාට මොනවයෙන් අඩුවක්ද ? “

ටික වේලාවකට පෙර තමාව නිවස අසලින් ඇරලවා යාමට පෙර ඩියෝන් පැවසූ ඒ වචන වලට පිළිතුරක් දීමට පවා ඉශිනි ට හැකි වූයේ නැත. ඒ මොහොතේ ඒවා අසා සිටීම ට පවා අපහසු වුවත්, දැන් ඇයට ඒ සියලු කාරණා වල  සත්‍යයක් තිබෙන බව දැනෙමින් තිබිණි.

රිහාන්ගේ ආදරය නැවත ලබා ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම තමන් විසින් තමන්ගේම ගෞරවයද අහිමි කර ගන්නේ නම් තමා මේ මොහොතේ සිට නතර විය යුතුය.ඔහුගේ තේරීම එය නම් තමා එයට ගරු කළ යුතුය. එහෙත් ඒ කෙසේ වුවත් රිහාන් හා තමා අතර පැවැති බැඳීම බිඳ වැටුණේ තමා කල වංචාවක් නිසා යැයි චෝදනාවට ලක් වීමට ඉශිනි හට උවමනා නොවූ අතර සම්බන්ධය පිළිබඳව කවුරුන් හෝ විමසන අවස්ථාවේ දී රිහාන් කුමන ආකාරයේ පිළිතුරක් ලබා දෙනු ඇත් දැයි කියා ඉශිනි කල්පනා කළාය. සාමාන්‍යයෙන් රිහාන් යනු තවත් අයෙකුව විවේචනය කරන හෝ තවත් අයකුට අපහාස නොකරන පන්නයේ තරුණයකු වන බැවින් වෙන් වීමෙන් පසුව වුවද ඔහු තමාගේ ගෞරවය සුරකිනු ඇත.

කඳුළු පිසදා ගත් ඉෂිනි ඇඳ මත වැතිරී දෑස් පියා ගත්තාය. රිහාන් පිළිබඳ සියලු හැඟීම් එක රැයකින් අමතක කිරීමට ඇයට නොහැකි බව ඇය දැන හුන් නමුත් ඔහුගේ ජීවිතයට බලෙන් ඇතුළු වීමට උත්සාහ කිරීමෙන් තමන්ට වත් ඔහුට වත් යහපතක් සිදු නොවන බව තේරුම් ගැනීමට ඇයට ඒ මොහොතේදී අවශ්‍ය විය.

ප්‍රසංගය අවසන් වී 5th Avenue සාමාජිකයන් නැවත තම තමන්ගේ නිවෙස් කරා රැගෙන යාමට පැමිණි ප්‍රවාහන රථය ප්‍රසංගයෙන් පිටත් වන විට අලුයම එකයි තිහද පසු වී තිබිණි. දිගු වේලාවක් වේදිකාවේ ගත කළ සාමාජිකයන් සියලු දෙනාම පාහේ උන්නේ දැඩි වෙහෙසකිනි. රථය තුළ ඒ තරම් කතාබහක් ද නොවුනු අතර කිහිපදෙනෙකු අසුන්වලට හේත්තු වී දෑස් පියා ගෙන පසු වෙද්දී මේඝ සහ අශේන් නින්දට වැටී සිටියහ.

ශෙනෝලිද දවස පුරා කළ වැඩ කටයුතු පිළිබඳව සිතමින් අසුනකට හේත්තු වී උන්නාය.  එහෙත් ඇගේ අවධානය වරින් වර දැන් රථයේ රියැදුරු අසුනට එහා පස වාඩි වී සිටි රිහාන් වෙත යොමු වූ අතර ඔහු දෑස් පියාගෙන අසුනට හේත්තු වී උන්නේ දැඩි වෙහෙසට පත්ව සිටින අයෙකු ලෙසිනි.

දවස පුරා ඔහුගේ හැසිරීමේ තිබූ වෙනස ශෙනෝලි අමතක කළ නොහැකි වූ අතර ඉෂිනිද වෙනදා මෙන් ප්‍රසංගය ආරම්භ වීමට පෙර රිහාන් වෙත පැමිණ කතා නොකිරීම ඇයගේ අවධානයට ලක්වී තිබිණි. ප්‍රසංගය අවසන් වූ පසුද ඉශිනි වෙනදා මෙන් ඔහු අසල රැඳී සිටීමට උත්සාහ නොකර ඉක්මනින් පිටත්ව යාමද සරලව බැහැර කළ හැකි කාරණාවක් නොවන බව ශෙනෝලි සිතුවාය.

ඉෂිනි සහ රිහාන් අතර යම් දෙයක් සිදු වී ඇති බවට ඇයට සැකයක් ඇති වුවත්, ඒ කුමක් දැයි නිශ්චිතව සිතා ගැනීමට ඇයට හැකි වූයේ නැත. රථය වේගයෙන් ඉදිරියට ඇදෙද්දී රිහාන් වරින් වර දෑස් විවර කර ජනේලයෙන් පිටත බලා නැවතත් අසුනට හිස හේත්තු කර ගන්නා ආකාරයද, ඔහු දිගු සුසුමක් හෙළන ආකාරයද ශෙනෝලි දුටුවේ අනතුරුවය.

නිවෙස් වලට ලං වූ විට සාමාජිකයන් කිහිප දෙනෙකු එකිනෙකාට සමු දෙමින් බැස ගිය අතර මේඝ සහ රිහාන් පමණක් ඉතිරිව සිටිය දී ශෙනෝලිගේ නිවස අසලට පැමිණි වෑන් රථය නතර වූයේ අලුයම එකයි තිහ පමණ වන විටය. ඇය තම බෑගය රැගෙන වෑන් රථයෙන් බැසීමට සූදානම් වූයේ පිටුපස අසුනේ සිටි මේඝ දෙස හැරී බලමිනි.

“මං යනවා මේඝ එහෙනම්. ගුඩ් නයිට්!”

මේඝ යන්තමින් දෑස් හැර බලා ශෙනෝලි ට අත වනා නැවත දෑස් පියාගෙන අසුනට හේත්තු වූයේය. අනතුරුව තම අත් බෑගය වෑන් රථයෙන් බැස ගත් ශෙනෝලි එහි දොර වසන්නට සූදානම් වන විටම ඉදිරිපස අසුනේ සිටි රිහාන් ද දොර විවෘත කරගෙන ඉන් බැස ශෙනෝලි අසල නතර වූයේය

“පරිස්සමෙන් යන්න ශෙනෝලි “

රිහාන්ගේ හඬ ඇසුණු විට ශෙනෝලි දෙස බැලුවේ පුදුමයෙනි. තමන් තමාගේ නිවස ඉදිරිපිටම සිටගෙන සිටියදී ඔහු එසේ පැවසීම ඇයට පුදුමයක් වූ අතර එතරම් දුරක් තමන් සමඟ පැමිණ එසේ කියන්නට ඔහුට විශේෂ හේතුවක් තිබේදැයි ඇය කල්පනා කළාය.

“ඔයාට මට මොකක් හරි කියන්න තියෙනවද රිහාන්?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here