සමාජ මාධ්‍ය පුවතට අදාළ සිදුවීමේ උණුසුම ඒ ආකාරයට පහව යන විට පසු දිනයේ උදෑසන 8 වන විටම 5th Avenue සාමාජිකයන්ගේ ස්ටූඩියෝව කාර්යබහුල වී තිබිණි. එදින පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රසංගය වෙනුවෙන් අවශ්‍ය උපකරණ සහ අනෙකුත් දෑ සූදානම් කරගත් කණ්ඩායම් සාමාජිකයන් ප්‍රවාහන රථය පැමිණි පසු එයට ගොඩ වූයේ පෙර පුහුණු වීම් සඳහා වැඩි කාලයක් වෙන් කරගැනීමේ අරමුණෙනි. ශෙනෝලි ඒ වන විටත් සංවිධායක මණ්ඩලයේ කිහිපදෙනෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඉතිරිව තිබෙන කරුණු කාරණා පිළිබඳව සොයා බලමින් උන්නාය.
ප්‍රසංග භූමියට පැමිණි සැණින් ශෙනෝලි මේඝ සමඟ සංවිධායකයන් හමුවීමට ගිය අතර වේදිකාවේ සැකැස්ම, ශබ්ද පද්ධතිය, ආලෝකකරණය සහ කණ්ඩායම් සාමාජිකයන් වෙනුවෙන් වෙන් කර තිබුණු කුටිය පිළිබඳව සොයා බැලූ ඔවුන් අඩුපාඩු කිහිපයක් ද නිවැරදි කරගත්හ. ඒ අතර සෙසු සාමාජිකයන් තම තමන්ගේ උපකරණ සූදානම් කරගෙන පෙර පුහුණුවීම් ආරම්භ කළ අතර ප්‍රසංගය ආරම්භ වීමට පෙර සියල්ල නිසි පරිදි සකස් කරගැනීම ශෙනෝලිගේ ප්‍රධාන අරමුණ වූ බැවින් ඇය ප්‍රසංග භූමිය පුරා සෑම තැනකම ඇවිදිමින් සියල්ල පිළිබඳව සොයා බලමින් කාර්ය බහුල වී උන්නාය.
ශෙනෝලි වේදිකාව මතට පැමිණ කණ්ඩායමේ සාමාජිකයන්ට අවශ්‍ය දෑ පිළිබඳව සහ වේදිකාවේ සැකැස්ම පිළිබඳව යම් කරුණු විමසන විට රිහාන් තුළ දක්නට තිබෙන වෙනස ඇයට නිරීක්ෂණය වී තිබිණි. තමා යම් දෙයක් විමසූ විට ඔහු කෙටියෙන් පිළිතුරු දී තම දෑස් මගහරින බව ඇගේ අවධානයට ලක්වී තිබුණේ වරක් දෙවරක් නොවේ.
“මොකක්ද අවුල රිහාන්?”
රිහාන් තම බේස් ගිටාරයේ තත් කිහිපයක් පිරික්සමින් සිටින අතරතුර ශෙනෝලි ඔහු අසලටම පැමිණ ඇසුවාය.
“ඇයි ශෙනෝලි?”
“ඔයා මොකක් හරි අවුලකද ඉන්නේ? නැත්නම් මාත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද?”
රිහාන් ඇය දෙස බැලුවේ එවැනි ප්‍රශ්නයක් ඇයගෙන් බලාපොරොත්තු නොවූ අයුරිනි.
“එහෙම දෙයක් නැහැ.”
“එහෙනම් ඔයාට පුළුවන් මං මොනවා හරි ඇහුවම මං දිහා බලලා කෙළින් උත්තර දෙන්න”
එසේ පැවසූ ශෙනෝලි ඔහුට මඳ සිනහවක් පා නැවත වේදිකාවේ අනෙක් පස වෙත ඇවිද ගියාය. ඇගේ ඒ හැසිරීම රිහාන් හට පුදුමයක් විය . ඇය තමන්ගේ වෙනස හඳුනාගෙන තිබුණද, ඒ ගැන බල කරමින් ප්‍රශ්න නොකිරීම ඔහුට සහනයක් වූ නමුත් ඉෂිනි සම්බන්ධයෙන් සිදු වූ දේ ඇයට පැවසීමට ඔහුට හැකි වූයේ නැත. ඒ පිළිබඳව කතා කිරීමෙන් සිදු වන්නේ ඇය නැවතත් අපහසුතාවකට පත්වීම පමණක් බව සිතූ රිහාන් පෙර පුහුණුවීම් කෙරෙහි නැවත අවධානය යොමු කළේය.
“අද නම් ඔයා මගේ ළඟට එන්න එපා හොඳේ ශෙනෝ. පැපරාසියෝ කොහේ කොහේ ඉන්නවද දන්නේ නැහැ.”
මයික්‍රෆෝනය පරීක්ෂා කරමින් සිටින අතරතුර එසේ පැවසූ අශේන්ගේ හඬ ඇසී ශෙනෝලි හැරී බැලුවාය.
“ඇයි? දැන් ඔයාට මාත් එක්ක ෆොටෝ එකක් ගත්තත් බය හිතෙනවද?”
“මට නෙමෙයි. හෙට උදේට ඔයාගේ ෆොටෝ එකත් එක්ක මගේ නම දාලා social media වල මොනවා ගිහින් තියෙයිද දන්නේ නැහැනේ.”
“එහෙනම් අද ඉඳන් මං ඔයත් එක්ක කතා කරන්නෙත් නැහැ “
“අයියෝ, එහෙම කරන්න එපා අනේ . එතකොට ඔයා නැතුව මං ෆේමස් වෙන්නේ කොහොමද ? ”
අශේන්ගේ පිළිතුරට ශෙනෝලි හඬ නගා සිනාසුණාය. මේඝ ඇතුළු අනෙක් සාමාජිකයන්ද ඔවුන්ගේ කතාවට එක් වූයේ අශේන්ගේ විහිළුවලට සිනාසෙමිනි. රිහාන් ඒ දෙස මඳ සිනහවක් සමඟ බලා හුන් අතර මොහොතකට හෝ උදෑසන සිට සිතේ පැවති නොසන්සුන් බව අමතක කිරීමට ඔහුට හැකි විය.
කාලය ගත වූයේ සියලු දෙනාටම සුළු හෝ විවේකයක් ලබා නොදෙමිනි. ශබ්ද පරීක්ෂාව සහ පුහුණුවීම් අවසන් වන විට සවස කාලය එළඹ තිබුණු අතර සවස හතරට ප්‍රේක්ෂකයන් හට දොරටු විවෘත කළ පසු ප්‍රසංග භූමිය ක්‍රමයෙන් පිරී යන්නට පටන් ගත්තේය. සාමාජිකයන් තමන්ට වෙන් කර තිබූ කුටිය වෙත ගොස් සූදානම් වීම්වල නිරත වූ අතර, ශෙනෝලි සහ මේඝ සංවිධායකයන් සමඟ අවශ්‍ය කටයුතු පරීක්ෂා කරමින් සිටියහ.
නියමිත වේලාවට ප්‍රසංගය ආරම්භ වූයේ ප්‍රේක්ෂකාගාරයේ උද්යෝගය මධ්‍යයේය. වේදිකාවට පැමිණි අශේන් ප්‍රේක්ෂකයන්ට ආචාර කරමින් ඉදිරියට පැමිණි විට අත්පොළසන් නාදය තවත් ඉහළ ගියේය.
“ආයුබෝවන් Colombo !!! “
ඔහුගේ හඬට ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රතිචාර ලැබෙද්දී 5th Avenue සංගීතය ආරම්භ විය. පළමු ගීතයේ සිටම අශේන් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් අතර, කණ්ඩායම් සාමාජිකයන් සංගීතයෙන් ගීත වලට ජීවය එක් කළහ. වරින් වර වේදිකාවේ ඉදිරියට පැමිණි රිහාන් තම දක්ෂතා පෙන්වන ඔහුට ප්රේක්ෂකයන්ගෙන් ලැබුණේ උණුසුම් ප්රතිචාරයකි.
ඒ ආකාරයට වේදිකාවේ ඉදිරියට පැමිණි රිහාන්ගේ දෑස් ප්‍රේක්ෂකාගාරයේ VIP ටිකට් පත් සඳහා වෙන් කර තිබූ කොටස වෙත යොමු වූ අතර එහි තිබුණු මේසයක කෙළවරක ඔහුගේ දෑස් නතර වූයේ අහම්බෙනි.
ඉශිණි තම මිතුරියන් කිහිප දෙනෙකු සමග මේසයේ කෙළවර වාඩිවී උන්නාය.
මොහොතකට රිහාන්ට ඔහුගේ වාදනයේ රිද්මය පවා සිතට දැනුණු කම්පනය නිසා වෙනස් වූවාක් මෙන් හැඟුණද, ඔහු නැවත ඉක්මනින්ම තම අවධානය සංගීතය වෙත යොමු කළේය. ඉෂිනි මෙහි පැමිණේවි යැයි ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවුනු අතර ඇය තමන් දෙස බලා සිටින බව දැනුණත්, ඒ දෙස නැවත හැරී බැලීමට ඔහු උත්සාහ කළේ නැත.
ප්‍රසංගය ආරම්භ වී පැය කිහිපයක් ගතවී ගිය අතර ඉෂිනි වරින් වර තමන් දෙස බලා සිටින අයුරු රිහාන් දුටුවත් ඇය සමග සිනාසීමට හෝ ඔහුට වුවමනාවක් නොවීය. ඒ අතරතුර ශෙනෝලි ද ප්‍රේක්ෂකාගාරය අසලින් ගමන් කරන විට ඉෂිනිව දැක නැවතී ඇයට සිනහවකින් සංග්‍රහ කළේ ඇය මෙහි පැමිණ සිටින්නේ රිහාන්ගේ පෙම්වතිය ලෙස බව සිතා සිටි නිසාය.ඉෂිනිද සිදු වෙනසක් නොපෙන්වා ශෙනෝලි සමග සිනාසෙනු රිහාන් පැහැදිලිවම දුටුවේ වේදිකාවේ ඉදිරියට පැමිණ සිටි මොහොතකය.
ඒ දසුන දුටු රිහාන්ගේ සිත නැවතත් නොසන්සුන් විය. ශෙනෝලි සහ අශේන් පිළිබඳව බොරු ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල පතුරුවා හැර ඇගේ ආත්ම ගරුත්වයට පවා අනික කිරීමට උත්සාහ කර ඉශිනි මේ තරම් සුහදව ශෙනෝලි සමඟ සිනාසෙන්නේ කෙසේදැයි ඔහුට සිතාගත හැකි වූයේ නැත.
අවසන් ගීත කිහිපය ආරම්භ වන විට ප්‍රසංග භූමියම උද්යෝගයෙන් පිරී ගිය අතර වේග රිද්ම ගීතවලට ප්‍රේක්ෂකයෝ අත්පොළසන් දෙමින් නටමින් විනෝද වූහ. අවසානයේ සංගීතය නිමා වී ප්‍රසංගය අවසන් වන විට මධ්‍යම රාත්රියද උදා වී තිබිණි.
කලාකරුවන් සමඟ ඡායාරූප ගැනීමට ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙක්ම වේදිකාව පිටුපසට පැමිණියේ පුරුදු පරිදිය. රිහාන් ද ඔවුන් සමඟ ඡායාරූපවලට පෙනී සිටිමින් සිටි අතර ඉෂිනි ඔහු වෙත ළඟා වූයේ ඒ අතරතුරදීය.
“මට දැන්වත් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද රිහාන්?”
ඇගේ හඬ පිටවූයේ ඇසෙන නෑසෙන ප්‍රමාණයට වූ අතර රිහාන් අවට සිටි පිරිස දෙස බැලුවේය.
“ඉෂිනි, ඔයා හදන්නේ දැනටමත් තියෙන ප්‍රශ්නේ තවත් වැඩි කරගන්නද? ප්ලීස්, මේ වගේ තැනක ප්‍රශ්න ඇති කරලා අපි දෙන්නගෙම නම කැත කරන්න එපා.”
“මං කියන්නේ මට කතා කරන්න එක අවස්ථාවක් දෙන්න කියලා විතරයි රිහාන්.”
“එහෙම අවස්ථාවක් දෙන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ ඉෂිනි. ප්ලීස්, මං කියන එක අහලා මෙතනින් යන්න. ඔයා කරන්නේ තව තවත් මට ඔයාව එපා කරන එක විතරයි.”
ඉෂිනි ඔහු දෙස බලා උන්නේ වේදනාවෙනි.
“එහෙම එපා වෙන්න තරම් මං මොනවද රිහාන් කළේ?”
ඒ ප්‍රශ්නයෙන් රිහාන් මොහොතකට නිහඬ වූ අතර සිදු වූ සියල්ලෙන් පසුවත් ඇය එසේ අසන්නේ කෙසේදැයි ඔහුට අදහාගත හැකි වූයේ නැත.
“ඔයා කරපු දේවල් ඔයා දන්නවනේ ඉෂිනි. මං ඒවා ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මම කැමතියි කිසිම වෛරයක් නැතුව අපි දෙන්නා දෙපැත්තකට වෙනවා නම්. ඒ නිසා මේ විදිහට ඇවිල්ලා මාව නරක මනුස්සයෙක්ගේ ගාණට වැටෙන තැනට වැඩ කරන්න එපා.”
ඉෂිනිට අවශ්‍ය වූයේ තවදුරටත් රිහාන්ගේ පෙම්වතිය ලෙස තමන්ට හිමි තැන අහිමි වී නොමැති බව පෙන්වීමටය. එහෙත් ඔහුගේ වචන ඉදිරියේ ඒ බලාපොරොත්තුව තවදුරටත් තබා ගත නොහැකි බව ඇයට වැටහුණු අතර කිසිවක් නොපැවසූ ඇය අවට සිටි අය සමග සුපුරුදු ලෙස සිනාසෙමින් එතැනින් ඉවත් වූවාය.
රිහාන් නැවතත් ඡායාරූප ගැනීමට එක් වූ නමුත් ඔහුගේ සිතේ ඇතිවුණු නොසන්සුන් බව පහව ගියේ නැත.
ප්‍රසංග භූමියෙන් පිටතට පැමිණි ඉෂිනි අඳුරු මාවත දිගේ මඳ දුරක් ඇවිද ගොස් නවතා තිබූ මෝටර් රථයක් අසල නතර වූවාය.අනතුරුව රියදුරු අසුනට එහා අසුනේ වූ දොර විවෘත කරගෙන වාහනයට නැග දොර වසාගත් ඇය රියැදුරු අසුනේ හුන් ඩියෝන් දෙස බැලුවාය.
“උනේ මොකක්ද කියලා මම අහන්නේ නැහැ. හැබැයි හොඳක් නම් උනේ නැහැ කියලා ඔයාගේ මූණෙන් පේනවා ඉෂිනි.”
ඉෂිනි කිසිවක් නොකියා ඔහු දෙස බලා උන්නාය. ඩියෝන් ඇය දෙසට හැරුනේ දිගු සුසුමක් හෙළමිනි.
“ඔයා කරන්නේ දිගින් දිගටම රිහාන්ගේ පස්සෙන් යනවා වගේ වැඩක් කියලා මං ඔයාට මෙතනට එන්න කලින්ම කිව්වා නේද?”


