5th Avenue – 79

0
24

නිවසට ඇතුළු වූ ශෙනෝලි දොර වසා එයට පිටුපා මොහොතක් දෑස් පියාගෙන උන්නාය. දවස පුරා වෙහෙස වූ නිසා ඇයට අවශ්‍ය වූයේ ඉක්මනින් ස්නානය කර යහනට වැටෙන්නට වුවත් ඒ වෙහෙසටත් වඩා ඇගේ සිතට දැනෙමින් තිබුණේ අමුත්තකි.

” මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ, ශෙනෝලි. මං හිතනවා මේ දේ ඔයාට කියලා මං මගේ හිත නිදහස් කරගන්න ඕනේ කියලා. හෙට අපි ෆ්‍රී දවසක් නේ. මං ඔයාට හෙට කෝල් එකක් දෙන්නම් “

නැවත වෑන් රථයට නැඟීමට පෙර රිහාන් පැවසූ වචන ඇගේ සිතේ නැවත නැවතත් දෝංකාර දුන් අතර ඔහුට තමන් සමඟ කතා කරන්නට අවශ්‍ය වී තිබුණේ කුමක් පිළිබඳව දැයි කියා සිතා ගැනීමට ඇයට හැකි වූයේ නැත. දවස පුරා ඔහු උන්නේ වෙනදාට වඩා නිහඬවය. ඉෂිනිගේ හැසිරීමද අසාමාන්‍ය ලෙස වෙනස් වී තිබිණි. ඒ සියල්ල අතර යම් සම්බන්ධයක් තිබේදැයි ශෙනෝලි බොහෝ වේලා කල්පනා කළාය.

ඒ අතරතුර ඇය හට සිහිවූයේ තමා තුළ රිහාන් පිළිබඳව හැඟීමක් පවතින බව අශේන් විසින් රිහාන් හට පැවසූ බව පෙර දිනයක අශේන් තමාට පැවසූ ආකාරයයි.සැබවින්ම අශේන් එවැන්නක් රිහාන් හට පවසා තිබෙනවා නම් ඔහු තමා සමග මේ කතා කරන්නට සූදානම් වන්නේ ඒ පිළිබඳව දැයි සිතුවිල්ලක් ශෙනෝලි තුළ හදිසියේ ඇති විණි.

මේ මොහොතේ තමාට පෙම්වතියක් සිටින බැවින් තමා පිළිබඳව බලාපොරොත්තු තබා නොගන්නා ලෙස පැවසීමට රිහාන්ට උවමනාවී ඇති දැයි කියා ඇය තවදුරටත් සිතුවේ කනස්සල්ලෙනි.

රිහාන් පිළිබඳව තමන් තුළ තිබූ හැඟීම් කිසිවෙකුටත් පහසුවෙන් පවසන්නට තමා සූදානම් නොවූයේ ද ,ඒ හැඟීම් තමන් තුළම තබා ගනිමින් ඔහු සමඟ සාමාන්‍ය ලෙස කටයුතු කිරීමට තමා උත්සාහ කළේද එවැනි අවස්ථාවකට මුහුණ දීමට තමා සූදානම් නොවූ බැවිනි.  

ශෙනෝලි නිදන කාමරයට ඇතුළු වූයේ ඒ වන විටත් සිතේ පැටලී තිබූ ප්‍රශ්න රාශියකට පිළිතුරක් සොයාගත නොහැකිවය.

නිවසට යන අතරමග, වෑන් රථයේ අසුනට හිස තබා ගෙන දෑස් පියා ගෙන හුන් රිහාන් සෙමෙන් දෑස් හැර සාක්කුවේ තිබූ දුරකථනය අතට ගත්තේය. අනතුරුව ඔහු ඡායාරූප ගැලරියට පිවිස ඉෂිනි සමඟ ගත් ඡායාරූප එකින් එක විවෘත කර ඒ සියල්ල දුරකථනයෙන් මකා දැමුවේය. කාලයකදී තමා වෙත සතුටක් ගෙන දුන් ඒ ඡායාරූප එකින් එක මැකී යන විට ඔහුගේ සිතට දැනුණේ වචන වලින් පැහැදිලි කර ගත නොහැකි තරමේ හිස්කමකි. 

ඉෂිනි පිළිබඳව වෛරයක් සිතේ තබා ගැනීමට කිසිසේත්ම ඔහුට උවමනා වූයේ නැත. තමන් රැවටුණු බව පිළිගෙන ඒ මතක වලින් මිදීම පහසු නොවුණද, තවදුරටත් ඒ අතීතයට බැඳී සිටීමට ද ඔහුට අවශ්‍ය නොවූ අතර සිදු වූ සියල්ල අමතක කර ජීවිතය සාමාන්‍ය පරිදි ගෙන යාමට ඔහු තුළ දැඩි අවශ්‍යතාවයක් විය.

පසුදා උදෑසන ශෙනෝලි අවදි වූයේ රිහාන්ගේ ඇමතුම බලාපොරොත්තුවෙනි. යහනෙන් නැගී සිටීමටත් පෙර ඇය දුරකථනය අතට ගෙන පරීක්ෂා කර බැලුවේ ඔහුගෙන් ඇමතුමක් හෝ පණිවිඩයක් තිබේද යන්නයි. එහෙත් දුරකතන තිරයේ රිහාන්ගේ නම දකින්නට ලැබුණේ නැත. ඔහු නිවසට යන්නට ඇත්තේ තමා නිවසට පැමිණ බොහෝ වේලාවකට පසුව බැවින් තවමත් ඔහු අවදිවී නැතැයි සිතා ශෙනෝලි බලාපොරොත්තු සහගතව තම දවස ආරම්භ කළාය.

උදෑසන කාලයේ නිවස පිරිසිදු කරන අතරතුර පවා වරින් වර දුරකථනය අතට ගෙන බැලීම ඇයට නතර කර ගත නොහැකි වූ අතර   දුරකථනය නාද වන සෑම විටම ඇය වහාම දුරකථනය අතට ගත්තේ ඇමතුම පැමිණෙන්නේ රිහාන්ගෙන් යැයි සිතමිනි . ඇමතුම ඔහුගෙන් නොවන බව දැනගත් පසු ඇය නැවතත් බලාපොරොත්තු සුන් වූ හැඟීමෙන් පසු වූවාය.

ඔහුට තමා සමග කතා කිරීමට ඇත්තේ තමා බලාපොරොත්තු වන කාරණාවම නම් තමා ඒ මොහොතට මුහුණ දිය යුත්තේ කෙසේදැයි ශෙනෝලි කල්පනා කළාය.

දහවල් එකට පමණ නැවත දුරකථනය නාද වූ අතර තිරය මත දිස් වූ නම දුටු ශෙනෝලිගේ හිත ගැස්සිණි. ඇය වහාම ඇමතුමට පිළිතුරු දුන්නේ එය පැමිණෙමින් තිබෙන්නේ රිහාන් ගෙන් බැවිනි.

” හෙලෝ “

” ඔයා ගෙදරද ඉන්නේ ශෙනෝලි? “

” ඔව්, රිහාන් “

“මට අම්මගේ වැඩකට පොඩ්ඩක් එයත් එක්ක එළියට යන්න වෙලා. මං ඔයාට කතා කරන්න හිටියට කතා කරන්න බැරි වුණේ ඒකයි. අපි හෙමින් සැරේ කතා කරමු ශෙනෝලි “

ශෙනෝලි මොහොතක් නිහඬව උන්නාය. උදෑසන සිට බලාපොරොත්තු වූ ඇමතුම ලැබුණත්, ඇය බලාපොරොත්තු වූ කතාබහ සිදු නොවූ බැවිම් ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නටවත් ඇයට සිත් දුන්නේ නැත. 

” හරි රිහාන්. අපි එහෙනම් පස්සේ කතා කරමු “

ඇමතුම අවසන් වූ පසු ශෙනෝලි මද වේලාවක් දුරකථනය දෙස බලා උන්නාය .

තමා මේ බලාපොරොත්තු සහගතව බලා හිඳින්නේ වෙනත් අයෙකුගේ පෙම්වතෙකු තමාට අමතනතුරු නොවේදැයි සිතුනු පසු ශෙනෝලි ට දැනුනේ තමා පිළිබඳවම දෙගිඩියාවකි.සිතින් හෝ තමා ආදරය කරමින් සිටින්නේ කිසි දිනක තමාට හිමිකර ගත නොහැකි අයෙකුට බව ඇය පැහැදිලිවම දැන උන්නාය. ඒ කෙසේ වුවද හදවතකට දැනෙන හැඟීම් පහසුවෙන් මකා දැමිය හෝ නවතා දැමිය හැකිද? 

රැකියාවට නොයා නිවාඩුවක් ලබා ගත් ඉශිනි යහනේ දිගාවී සිවිලිම දෙස බලාගෙන කල්පනා කරමින් උන්නාය. පෙරදා රාත්‍රියේ රිහාන්ගේ වචන වලින් පසු තමන් ගේ සිත හදා ගෙන ඔහුගෙන් ඈත් විය යුතු බව තීරණය කලද ත, උදෑසන වන විට, ඒ තීරණය රැක ගැනීම තමාට කළ නොහැකි බව ඇයට වැටහෙමින් තිබිණි.

ඇය දුරකථනයේ තිබූ රිහාන් සමඟ ගත් ඡායාරූපයක් විවෘත කළාය. ඒ දෙස බලා සිටි ඇයට නැවතත් දැනුණේ තමන් අහිමි කර ගත්තේ තමා සමඟ අනාගතයක් පිළිබඳව සිහින දුටු තරුණයා නොවේද යන්නයි. විශ්වාසය යනු දෙදෙනෙකු අතර කොතරම් පරිස්සමින් රැකගත යුතු දෙයක්දැයි ඉශිනි හට යළි සිහිපත් වූ අතර එය බිඳ දැමූනු පසු, ආදරය තිබූ පමණින් සියල්ල නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ඇය තේරුම් ගනිමින් උන්නාය.

රිහාන්ට නැවත නැවත ඇමතීමෙන් තමා නැති කර ගන්නේ තමාගේම වටිනාකම බව ඩියොන් පැවසුවද රිහාන් යනු තමා ආදරය කරන තැනැත්තා බැවින් පසෙකට වීම කිසි සේත්ම පහසු කාරණාවක් නොවේ.දිනක් හෝ දෙකක් ඇතුළත ඔහු පිළිබඳව ඇති හැඟීම් වලින් මිදීමද කළ හැක්කක් නොවේ. පාලනය කරගෙන හිඳින්නට සිතූ සිත පාලනයෙන් මිදී යද්දී රිහාන් හට ඇමතුමක් ලබා ගැනීමට වුවමනාවක් ඉශිනි තුළ ඇතිවූයේ ඊළඟ මොහොතේදීය. අවසානයේ දුරකථනයේ ඇමතුම් ලැයිස්තුව වෙත පිවිසි ඇය රිහාන්ගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තාය.

ඒ වන විට රිහාන් උන්නේ තම මෝටර් රථය පදවමිනි. දුරකථනය නාද වන විට ඔහු එය අතට ගෙන තිරය දෙස බැලු අතර ඒ මත ඉෂිනිගේ නම දුටු ඔහුගේ සිතට ඇති වූයේ නොරිස්සුමකි.

” ඇයි පුතා? “

රියදුරු අසුනට යාබදව හුන් ශ්‍යාමලී රිය පදවමින් හුන් තම පුතුගේ හැසිරීම වෙනස් වූ ආකාරය පැහැදිලිවම දුටුවාය.

” ඉෂිනි කෝල් කරනවා අම්මා “

” ඒ පාර මොකද? “

රිහාන් මොහොතක් නිහඬව උන්නේය. පෙරදා රාත්‍රියේ සිදු වූ දේ ඇයට පැවසිය යුතු බව ඔහුට සිතිණි.

” මට තේරෙන්නේ නෑ අම්මා. ඊයේ රෑත් මං එයාට කිව්වා මට තවදුරටත් මේ affair එක ඉස්සරහට ගෙනියන්න බැහැ කියලා. ඒත් එයා තාමත් ඒක පිළිගන්න කැමති නැහැ මං හිතන්නේ”

පෙරදා රාත්‍රියේ පැවති ප්‍රසංගයට අනපේක්ෂිත ආකාරයට ඉෂිනි සහභාගි වී සිටි ආකාරයත් ,ප්‍රසංගයෙන් අනතුරුව ඈ තමා වෙත පැමිණ හමුවීමට බැගෑපත් වූ ආකාරයත් රිහාන් තම මවට විස්තර කළේය. ඉෂිනි තම තීරණය පිළිනොගෙන දිගින් දිගටම තමන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීම පිළිබඳව ඔහුගේ සිතේ වූයේ දැඩි කනස්සල්ලකි. ඇය කෝපයෙන් හෝ හදිසි තීරණයකින් නැවත තමන් සොයා පැමිණ යම් ගැටලුවක් ඇති කරගනීවි දැයි ඔහුට බියක්ද දැනෙමින් තිබිණි.

” මම ඉෂිනිත් එක්ක කතා කරන්නද පුතා? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here