සම්ප්‍රදායේ බැමි ඉරා දැමූ කමලා දාස්

“මගේ සිරුර පිරිමියෙකුට හිමිවුණාට, මගේ ආත්මය කාටවත් අයිති වුණේ නෑ…”

ගැහැනියකට මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න සිදුවෙනවා කියන්නේම, ඒ ගැහැනු ආත්මය අස්සේ ඇය හුස්ම ගන්න බැරි තරමට හිරකරගෙන උන්නු වේදනාව කොච්චරද කියන එක. මේක ගැහැණියක් විදියට අපි කිසිම කෙනෙක්ට නිකන්ම නිකන් Statement එකක් විතරක් විදියට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ලංකාව වගේම ඉන්දියාව කියන්නෙත් එක්තරා දුරකට සම්ප්‍රදායේ දම්වැල් වලින් ගැටගහලා තිබිච්ච රටක්. විශේෂයෙන්ම අපි මේ කතාව කියන කාලෙ කියන්නෙ ගැහැණියව හුඟක් සම්ප්‍රදායික දම්වැල් වලින් බැඳ තිබ්බ කාලයක්.

ඒ දම්වැල් කඩාගෙන එළියට ඇවිත් තමන්ගෙ හිතේ තියෙන වේදනාව එළියට දාන ගැහැණු අයට ඒ කාලයේ සමාජයේ කිසිම පිළිගැනීමක් තිබ්බෙ නෑ.

ඉතින් අද අපි කතාකරන්න යන්නෙත් ඒ වගේම සම්ප්‍රදායික බැමි වගේම, ආදරය නොලැබිච්ච ජීවිතයක් අස්සෙ හිරවෙච්ච තවත් ගැහැණියකගෙ කතාවක්. ඒ බැමි ඉරාගෙන එළියට ඇවිත් තමාගෙ වේදනාව ගැන ලෝකෙටම කිව්ව ගැහැණියකගේ කතාවක්. එළියට හරිම සම්ප්‍රදායික ඉන්දියක් ගැහැණියක් විදියට පෙනුනත්  ඇය අවුරුදු ගණනාවක් තිස්සේ සමාජයට නොපෙන්වා, තමන්ගේ සාරි පොටක් අස්සේ හංගගෙන හිටියේ ලොකු බරක්. ඒ බර නිසා තමයි ඇයට මේ ලෝකයටම කියන්න සිද්ධ වුණේ: ‘මම කාටවත් අයිති නැහැ’ කියලා. ඒ වචන පේළිය පවා ඇය දැක්කෙ තමන්ව නිදහස් කරගැනීමක් විදියට.

ඇය දිහා පිටතින් බලනකොට පෙනුණේ හරිම සාම්ප්‍රදායික, නිහඬ ගැහැණියක් කියන එක හැබැයි ඒ පිටත කවචය ඇතුළේ හැංගිලා තිබුණේ, තමන්ව නොසලකා හරින ඕනෑම තැනකින් ගිනි පුපුරක් වගේ ගැලවෙන්න උත්සාහ කරන නිර්භීත ආත්ම ශක්තියක් තියෙන ගැහැණියක්

අද අපි ඔයාලා එක්ක බෙදාගන්නෙ අන්න එහෙම මුළු ඉන්දියාවම කම්පා කළ, ලෝකයටම සම්ප්‍රදායේ බැමි කඩන්නට පණ දුන්න කමලා දාස්ගේ කතාව. 

ආදරය නැති විවාහයකින් සහ සමාජ පීඩනයෙන් මිදිලා, තමන්ගේම නිදහස සොයාගෙන යන්න ගැහැණුන්ට කියා දුන්න කමලා දාස්ගෙ කතාව.

අවුරුදු 15 දී අහිමි වූ ළමාකම

කමලා ඉපදුණේ ඉන්දියාවේ කේරළයේ හොඳට නම ගිය සාහිත්‍යමය පවුලක වුණත්, එයාගෙ අම්මා ප්‍රසිද්ධ කිවිඳියක් වුණත්, කමලාට අම්මගෙන් ආදරයක් නම් ලැබුණේ නැති තරම්. කමලා ජීවිතේ මුළු කාලෙම හොයපු ඒ ආදරයේ අඩුවත් එක්කම තමයි එයාගෙ ඉරණම තීරණය වෙන්නේ. කමලට තියෙන්නෙ එක්තරා විදියකින් බිඳුණ ළමා වියක්. ආදරයක් නොලැබිච්ච පොඩි දරුවෙක් තමන්ගෙ මුලු ජීවිත කාලෙම පුරාම ඒ ආදරේ හොයනවාය කියන එක අපි මේ වෙද්දි ගොඩක් පොත්පත් වලින් කියවලා, අහලා, බලලා තියෙනවා. අපි දන්නවා ආදරේ නොලැබිච්ච මිනිස්සු හරියට ආදරේ හොයනවාය කියන එක. කමලා කියන්නෙත් ඒ වගේ පුංචි කාලෙ තමන්ට පවුලෙන් නොලැබිච්ච ආදරේ ලොකු වෙද්දි ජීවිතෙන් හෙව්ව කෙනෙක්.

කමලාට අවුරුදු 15 ක් වගේ පුංචිම වයසකදී, දෙමව්පියන් විසින් බලෙන්ම වගේ එයාව විවාහ කරලා දෙනවා. මනමාලයා එයාට වඩා ගොඩක් වැඩිමහල් බැංකු නිලධාරියෙක් වෙච්ච මාධව දාස්. අවුරුදු 15ක පුංචි කෙල්ලෙක් විදියට කමලාට  මැදි වයසේ පිරිමියෙක් වෙච්ච මාධව් දාස්ව විවාහ කරගන්න සිද්ද වෙනවා. තමන්ගෙ ළමා කම, මනස තේරුම් ගන්න බැරිවෙච්ච මැදි වයසෙ මිනිහෙක් එක්ක එක කාමරේක, එක ඇඳක තනිවෙන්න අවුරුදු 15ක පොඩි දරුවෙක්ට සිද්ද වෙනවා කියන්නෙ ඒකෙන් වෙන මානසික බලපෑම, වේදනාව කාටවත් තේරුම් ගන්න පුලුවන් වෙච්ච එකක් උනේ නෑ.

පස්සෙ කාලෙක කමලා ඒ වෙලාවෙ එයාට දරුණුවටම දැනුන මානසික පීඩාව ගැන ලියනවා.

“ඔහුට මගේ හැඟීම් ගැන වැඩක් තිබුණේ නෑ, ඔහුට ඕන වුණේ මගේ ශරීරය විතරයි, ඔහු මගේ සිරුර මත හැසිරුණේ මගේ කැමැත්තකින් තොරව” කියලා කමලා තමන්ගෙ මානසික බිඳ වැටීම, හිරකරගෙන උන්න ඒ වේදනාව එළියට දානවා. පොඩි කාලෙ නොලැබිච්ච ආදරේ කසාදෙන් හෙව්වට කමලාට කසාදෙ ඇතුළෙවත් ඒ ආදරේ හම්බෙන්නෙ නෑ. කමලා – මාධව් විවාහය ඇතුළේ “ආදරය” තිබුණේ නෑ, තිබුණේ ” යුතුකමක්”  කියන අවුරුදු 15ක දරුවෙක්ට තවමත් තේරුම්ගන්න බැරි feeling එකක් විතරයි. මාධව් වැඩට ගියාම, දරුවො ඉස්කෝලේ ගියාම ගෙදරදී දැනුණු දරාගන්න බැරි හුදෙකලා බව නැති කරගන්න කමලා කළේ ලියන එකයි.

කුස්සියේ මේසය උඩ කළ විප්ලවය

එයා ලිව්වේ රෑට. 

ගෙදර හැමෝම නිදාගත්තාට පස්සේ කුස්සියේ පුංචි මේසය උඩ ඉඳගෙන කමලා තමන්ගේ හිතේ තිබුණු උණු ලෝ දිය වේදනාව අකුරු වලට හැරෙව්වා. අනිත් ගොඩක් ලේඛිකාවො වගේ කමලා ලිව්වේ මල්, ගස්, වැල් ගැන නෙවෙයි, එයා නිර්භීතව කතා කළේ ගැහැනියක් මේ ලෝකෙට පෙන්නන්නෙ නැතුව තමන්ගෙ හිත ඇතුළේ හිර කරගත්තු ආශාවන්, පිරිමියා ගැහැනියව පාලනය කරන විදිහ සහ ඇඳේදී තමන්ව හදවතින්ම accept නොකරන පිරිමියෙක් එක්ක යහන්ගත වෙද්දි ගැහැනියකට දැනෙන පිළිකුල සහ ආශාව වගේ සංකීර්ණ හැඟීම් ගැන. මේ කාරණා නිසා ඉන්දියානු පිරිමි සමාජය මේ කතාවලින් හොඳටම තිගැස්සෙනවා. එයාලා බලාපොරොත්තු වෙච්ච නිහඬ ගැහැනියට වඩා වෙනස්, කතා කරන ගැහැනියක් වෙච්ච නිසාම කමලාගේ මේ ලියවිලි සමාජයට විශාල කම්පනයක් අරගෙන එන්න හේතුවෙනවා.

කමලා තමන්ගෙ එක කවියක මෙන්න මෙහෙම ලියනවා.

“මම පව්කාරියෙක්, මම සාන්තුවරියක්. මම ආදරය ලබපු කෙනෙක්, ඒ වගේම පාවා දීම් ලැබුව කෙනෙක්. ඔබට නැති සතුටක් මට නෑ, ඔබට නැති දුකක්/වේදනාවක් මට නෑ. මමත් මට කතාකරන්නෙ ‘මම’ කියලා. (“I am sinner, I am saint. I am the beloved and the betrayed. I have no joys that are not yours, no aches which are not yours. I too call myself I.”)

“My Story” සහ ලෝකය කැළඹීම

1976 දී කමලා “My Story” (මගේ කතාව) නමින් එයාගෙ ජීවිත කතාව එළි දක්වනවා. මේක නිකම් පොතක් නෙවෙයි, ඒක ඇත්තටම ඉන්දියාවේ බැමි වලින් ගැහණියව සිර කරලා තිබ්බ පුරුෂ මූලික සමාජයටම විසි කළ බෝම්බයක් වගේ දෙයක් වෙනවා. විවාහක ගැහැනියක් වෙලා ඉද්දී, වෙනත් පිරිමින් එක්ක තිබුණු සම්බන්ධතා ගැන පවා කමලා මේ පොතේ හංගන්නේ නැතුව හෙළි කරනවා. එයා කිව්වේ “මට මගේ සැමියාගෙන් නොලැබුණු ආදරය මම වෙන තැන්වලින් හොයන්න ගියා…” කියලයි. මේ නිසා සමාජය ඇයව අර්ථ දක්වන්නෙ “නරක ගැහැණියක්” විදියට. ඒ හේතු නිසාම එයාගෙ  පවුලේ අය පවා එයාව අත්හරිනවා. පස්සේ කාලෙක කමලා කිව්වේ “මේ පොතේ තියෙන දේවල් වලින් භාගයක්ම මම මවාගත්ත බොරු වෙන්න පුළුවන්” කියලා වුණත්, ඒ වෙද්දී ඒ පොත ඉන්දියානු ගැහැනියගේ යටපත් කළ, අවංක හඬ මුළු ලෝකයටම අරගෙන ඇවිත් ඉවරයි.

“Why do you love this man who offers you only pain?” – “”ඔයාට වේදනාව විතරක් දෙන මේ මනුස්සයාට ඇයි ඔයා ආදරේ කරන්නේ?”” කියලා කමලා අහද්දි ජීවිතේ පළවෙනි වතාවට “මේ කතාව ඇත්තක් නේද?” කියලා තමන්ගෙ ජීවිතේ ගැන question  කරපු කාන්තාවන් ඉන්දියාවෙ ඉපදෙන්න, බිහිවෙන්න කමලාගෙ මේ වචන හේතුවක් වෙනවා.

ගිනි පුපුරක් කියන්නෙ අපි නොහිතන විදියෙ මහා ගින්නක් පත්තු කරන්න හේතුවෙන දෙයක් නම් ඉන්දියානු සමාජය අස්සෙ කාන්තාවගේ දෑත් බැඳලා තිබ්බ බැමි ලෙහා දාන්න, පුච්චලා දාන්න හේතුවෙච්ච ගිනි පුපුරක් වෙන්න කමලාට පුළුවන් වෙනවා. ඒ ගිනි පුපුරට කාන්තාවො දහස් ගාණක් හිත අස්සෙ හිරකරගෙන උන්න වේදනාවේ ගිනි දැල් නිවා දමන්න හේතු වෙනවා.

කමලා තමන්ගෙ එක ලියමනක මෙන්න මෙහෙම කියනවා: 

“මිනිහෙක්ව ඔයාට ආදරේ කරවගන්න එක ලේසියි. ඔයා ගැහැනියක් විදිහට එයා අහන්න කැමති දේ ගැන විතරක් කියන්න. එයා ඉස්සරහාට නිරුවතින් යන්න, එතකොට එයාට හිතෙයි එයා තමයි ගොඩක් ශක්තිමත් කියලා. එයාට විශ්වාස කරන්න දෙන්න, ඔයා ඊට වඩා කොච්චර මෘදුයි, තරුණයි, ලස්සනයි ද කියලා. ඔයාගේ කැමැත්ත පෙන්නන්න.

හැමදේම එයාට තෑගි කරන්න, ඔයාව ගැහැනියක් කරන හැමදේම එයාට දෙන්න, දිග කොණ්ඩේ සුවඳ, පපුව අතරේ තියෙන දහඩිය සුවඳ, ඔසප් ලේ වල උණුසුම් කම්පනය, ඒ වගේම ඔයාගේ කවදාවත් ඉවර නැති ගැහැනු ආශාවන් ඔක්කොම.

ඔව් ඇත්ත, මිනිහෙක්ව ආදරේ කරවගන්න එක ලේසියි, හැබැයි ඊට පස්සේ එයා නැතුව ජීවත් වෙන්න ඔයාට මුහුණ දෙන්න වෙයි.” කියලා පිරිමියෙක්ට ආදරය කිරීම නිසාවෙන් ගැහැණියකට අහිමි වෙන්න ඉඩ තියෙන “තමන්” වීම ගැන කමලා හරි ලස්සනට වචන කරනවා.

කමලා ඒ වෙද්දිත් ඒ සියල්ල experience කරපු කෙනෙක් වීම නිසාම ඉන්දියාවෙ බොහොමයක් ගැහැණුන් රහසෙන් පවා ඒ වචන විශ්වාස කරන්න පටන් ගන්නවා.

ආගම මාරු කර ‘කමලා සුරයියා’ වීම

ජීවිතේ අවසාන කාලයේ, වයස අවුරුදු 65 දී කමලා ආයෙත් හැමෝම පුදුම කරන්න කටයුතු කරනවා. ඒ හින්දු කාන්තාවක් විදියට හිටපු එයා හදිසියේම ඉස්ලාම් ආගම වැළඳගෙන “කමලා සුරයියා” බවට පත් වීමත් එක්ක. කටකතා ගොඩක් තිබුණත්, කමලා ඒ ගැන කිව්වේ වෙනස්ම කතාවක්.

“මට ඕන ආරක්ෂාව… හින්දු දහමේ නැති රැකවරණයක් මුස්ලිම් කාන්තාවට ලැබෙනවා, බුර්කාව ඇතුළේ මට ඇත්තම නිදහසක් දැනෙනවා” කියල එයා කියනවා. ඒ වෙද්දිත් කමලා ඇත්තටම හොයමින් හිටියේ තමන්ව පොදු සමාජයේ ඇස්වලින් ආරක්ෂා කරන පුංචි සෙවණක්. මේ තීරණය නිසා හින්දු අන්තවාදීන් එයාට මරණ තර්ජන පවා එල්ල කරනවා. “ඇයි ආගම මාරු කළේ?” කියලා ඇහුවම එයා දුන්න උත්තරය වුණේ “මම මැරෙන්න කැමති නෑ.. මට ආදරය ඕන” කියලා.

තමන්ගේ මුළු ජීවිතයම “ඇත්තම ආදරය” සහ නිදහස සොයා යමින් ගත කරපු මේ අපූරු ගැහැනිය 2009 මැයි මාසයේදී පූනේ හොස්පිටල් එකකදී මිය යනවා. කමලා දාස්ගෙ අන්තිම කැමැත්තට අනුව, කේරළයේ පල්ලියකදී රාජ්‍ය ගෞරව සහිතව එයාව භූමදානය කරනවා. ඒ වෙලාවෙත් ඒකට විරුද්ධ වෙන්න අය හිටියා, නමුත් අන්තිමේදී ඇය පැතූ ඒ “මුස්ලිම් ගස සෙවනේ” ඇය නිදා ගත්තා.

කමලා දාස් තමන්ගේ කතාවෙන් අපට ඉගැන්නුවේ තමන්ගේම ශරීරය සහ තමන්ගේම ආශාවන් ගැන කතා කරන්න ගැහැනියකට තියෙන අයිතිය ගැන. ලෝකය මොනවා කිව්වත්, තමන්ට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන් බව කමලා ඔප්පු කළා. පවුලෙන්, සමාජයෙන්, ආගමෙන් පවා පීඩාවට ලක් වුණ කෙනෙක් උනත් ඒ බැමි සියල්ල ඇය ඇගේ අකුරු වලින් ඉරලා දැම්මා.

අදටත් කමලා දාස්ගේ හඬ රැව් දෙන්නේ, තවමත් සම්ප්‍රදායේ දම්වැල් ඇතුළේ හිරවෙලා ඉන්න ගැහැනු හදවත් නිදහස් කරන්න. 

“ආදරය කියන්නේ කිසිම විටක හිරගෙයක් නෙවෙයි… ඒක නිදහසක්. ඒ නිදහස සොයා යන්නට කිසිම ගැහැනියක් බිය විය යුතු නැත.”

කමලා දාස්, ගැහැනියකගේ ශරීරය පිරිමියෙකුට හිමි වුවත්, ඇගේ ආත්මය කිසිවෙකුට අයිති කරගත නොහැකි බව මුළු ලෝකයටම පෙන්වූ විප්ලවකාරී කිවිඳියක් විදියට නම් කරන එක ඇත්තටම වරදක් නොවෙන්නෙ අන්න ඒ නිසා.

Related Articles

Don't Miss


Latest Articles