පසළොස්වක මල් – 92

0
27

අවුරුද්දකට පසු…

තද කළු පැහැ කලිසමකට යට කෙරූ සුදු පැහැ අත් දිගු කමිසයේ එක් අතක් සීරුවට වැළමිට තෙක් නවමින් සඳළුතලයේ බරාඳයට බර වූ කඩවසම් තරුණයා ඒ වනවිටත් ප්‍රතිචාර දක්වමින් සිටි ඇමතුම හේතුවෙන් ජංගම දුරකතනය එක් සවනකටත් , එහි උරයටත් තද කර ගත්තේය .

” අස්නක ..! ඔයා කෝට් එකට යන්න ලෑස්ති වෙන ගමන්ද ?” 

” ඔව් භරණ. තව පැය භාගයක් වගේ යද්දි මං ගෙදරින් පිටත් වෙනවා. “

” දුමී.. ?” 

” දුමිත් ලෑස්ති වෙන ගමන් “

” කොහොමද යන්නේ අස්නක ?” 

” පුරුදු විදිහට. මං මගේ වෙහිකල් එකේ. එයා එයාගේ එකේ. අපිට මේ ගමන එකට යන්න බෑනේ ?” 

” මේක මීට වඩා හොඳ විදිහකට කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ?” 

” අපි උත්සාහ කළානේ භරණ. අපිට කියන්න පුලුවන් . ඉල්ලන්න පුලුවන් . ඒත්.. දුමීට බලපෑම් කරන්න අපිට බෑ. ඒක එයාගේ ජීවිතේ.”

” උඹ හොඳ හස්බන්ඩ් කෙනෙක් බං.  මං මෙහෙන් පිටත් වෙලා එන්නං “

විසල් සුසුමක් සමඟම භරණගේ මුවින් එසේ පිටවිය.  

” භරණ කතා කළා “

නිදන කාමරයට පැමිණෙන විටත් සුදු සාරියක් ඇඟ ළා මුහුණ මත යන්තමින් වත්සුණු තවරන ඈ දෙස බැලූ ඔහු ඇමතුම පිළිබඳව පැවසුවේය.

” හ්ම්ම්.. “

එපමණකි. ඇගෙන් බැල්මක් හෝ ඔහු වෙතට නොවැටිණි. 

” දුමී..! නඩුව කතා කරන්න ගද්දි දහයයි තිහවත් වෙයි. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ?” 

” නඩුව ගැනද ?” 

” ඔව්. “

ඈ තවමත් ඔහුට පිටුපා කැඩපතට මුහුණ ලා සිටගෙන සිටියාය.

” ඔයාමනේ කිව්වේ මේ ගැන අපේ ප්‍රයිවට් සර්කල් එක ඇතුළේ කතා කරන්න බෑ කියලා කවදාවත්. අඩුම අපි උසාවි යද්දි එක වෙහිකල් එකකවත් යන්නෑ. ඔයයි මමයි මෙතන දෙපැත්තක ඉන්නේ. “

ඈ කැඩපත තුළින්ම ඔහු දෙස බලා පැවසුවාය. 

අත රැඳි ජංගම දුරකතනය යළි කලිසම් සාක්කුවට දමා ගත් ඔහු ඈ පසුපසින් ගොස් ඇගේ බඳ වටා දෑත යවා ඈ තමා වෙතට තුරුළු කර ගත්තේය. 

” ලොකූ.. ! ෂර්ට් එක පොඩි වෙයි දෙයියනේ.. “

” කමක් නෑ.. “

පහත් වී ඇගේ ගෙල මත මුව තද කර ගත් ඔහු දෑස පියා ගත්තේය. 

” ලොකූ..!” 

” ම්ම්..?” 

” පරක්කු වෙයි. “

” කිව්වනේ කේස් එක ගද්දි දහයයි තිහ විතර වෙයි. පරක්කු වෙන්නෑ. “

” මට ආයේ සාරිය අඳින්න බෑ. බොහොම අමාරුවෙන් මේක ඇඳගත්තේ. “

” මං නිකන් කිස් එකක් දෙන්න ළඟට ආවේ. ඔයා සාරියත් ගලවන්න ප්ලෑන් කළාද?”

මුව ඔසවා කැඩපත තුළින්ම ඈ දෙස බලා සිනාසී ඔහු පැවසූ දේට විළියෙන් රතු වූ ඈ හැරී ඔහුගේ බාහුවට පහරක් ගැසුවාය.

” මං දන්නවා කසකාරයෝ එද්දි පෙරහැරත් ළඟ ළඟම එනවා කියලා. “

” අම්මෝ.. දුමී..!” 

ඔහු විසල් හඬින් සිනාසුණු අතර ඔහුගෙන් මිදුණු ඈ පසෙක වූ අත් බෑගය තම අතට ගත්තාය. 

” මං සෙවන් වන් එක ඇතුළෙ ඉන්නවා. “

එසේ පැවසූ ඔහු කැඩපත ඉදිරියේ තිබූ මෝටර් රථයේ යතුරු කැරැල්ලද ගෙන ඇගේ හිසට තට්ටුවක් දමා පිටව ගියේය. විසල් සුසුමක් හෙළූ ඈ සඳළුතලයට විවර වූ වීදුරු ද්වාරය වසා දමා තම මෝටර් රථයේ යතුරු කැරැල්ල අතට ගත්තාය. 

*********************************************

උදෑසන තදබදය අඩු වූ අවන්හලේ නිදහස් ස්ථානයක අසුන් ගෙන ජංගම දුරකතනය පිරික්සමින් සිටි අස්නක දුටු මිහිදුමී ඒ වෙතට ඇවිද ගියාය.

” සිට්..”

” තෑන්ක්ස් මිස්ටර් විජේසිංහ “

ඔහු පෙන්වූ අසුනට බර වූ ඈ පැවසූ දේට දෑස සිහින් කළ ඔහු දුරකතනය පසෙකින් තබා දෑතම මේසයට බර කරමින් ඉදිරියට පැමිණියේය.

” වෙල්කම් මිසිස් විජේසිංහ. “

මිහිදුමීගේ මුව පුරා සිනහවක් පැතිර යද්දී ඔහු ලබා දුන් ඇණවුම රැගෙන එන ලෙසට එහි සිටි සේවකයෙකුට ඉඟි කළේය. පිළිවෙළින් මේසය මත වූ චොක්ලට් කේක් කැබැල්ලක් අඩංගු පිඟානත් , කෝපි කෝප්පයත් ඈ ඉදිරියේ තැබූ ඔහු දිගටම ඇගේ උවන දෙස බලා සිටියේය. 

” ගෙදරදි ඇති වෙනකන් මූණ බලා ගන්න බැරි උනාද ?” 

” බැරි උනානේ. එහෙම උනානං ඔයා සාරිය ගලව ගන්නවනේ.. “

” ලොකූ..!” 

නොදැනීම උස්වූ ස්වරයට වහා වටපිට බැලූ ඈ ඔහු දෙස බලා මුව ඇද කළාය. 

” හරි.. දුමී අහන්න..!” 

” ම්ම්ම්.?” 

” භරණට කතා කළාද ?” 

ඈ හිස දෙපසට සොළවා නැත යැයි පැවසුවාය. 

” නඩු දිනේ ළං වෙද්දි මාමා කොහොමත් මාත් එක්ක කතා කරන එක නතර කරනවනේ. “

” ශමෙල් කියන්නේ මින්දුලාට සෑහෙන්න ආදරේ කරපු මනුස්සයෙක් දුමී. “

” මං ඒක දන්නවා. මට ඒ ගැන දුකක් නැත්තෙම නෑ. “

” පිරිමියෙක්ට තමන් ආදරේ කරන ගෑනු ළමයට සුයිසයිඩ් එකකට ගිහින් ජීවිතේ නැති කරගන්න ඉඩ තිබ්බ අයව මරලා දාන්න හිතෙන එක පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි දුමී. “

” මට ඒකත් තේරෙනවා ලොකූ. “

ඈ පිඟාන මත වූ කුඩා රන් පැහැ හැන්දෙන් කේක් කැබැල්ල අරමුණකින් තොරවම කැබලි කරමින් සිටියාය.

” ඔයාට කාගෙන්හරි කරදරයක් උනොත් මං උනත් හැසිරෙන්නේ ඒ විදිහට. ඔයිට වැඩිය දරුණු විදිහට. “

” ඒ මොන දේ උනත් කාටවත් කාගෙවත් ජීවිතේ නැති කරන්න අයිතියක් නෑ ලොකූ.. “

” ඒක දන්න නිසා තමයි ඔයා මගේ වයිෆ් උනත් අද මේ වෙනකන් මං ඔයාට වචනයක්වත් නොකියන්නේ. “

” දෙයක් අහන්නද ?” 

” හ්ම්ම්.. “

” ඇයි මට registration එක දවසේ එහෙම බොරුවක් කිව්වේ ?” 

” ඔයා මේ කේස් එක කොහොමහරි උඩට ඇදලා ගන්නවා කියලා දැනිච්ච නිසා මට ඕන උනේ ශමෙල්ව මෙහෙන් පිට කරන්න. එයාට යන්න තිබුණේත් අපේ registration එක දවසෙමයි. මට ඕන උනේ එයාට කාලේ අරන් දෙන්න. එවෙලේ මං ඒ ශමෙල් කියලා කිව්වනං එයාව එයාපෝට් එකේදි හරි අහු වෙනවා. “

” මං ඒක දන්නවා. අන්තිමට අන්කල් ශමෙල්ව බේරන්න ඔයා ඔයාව ඇපේට තිබ්බා. දන්නවද මට ඒවෙලේ කොච්චර රිදුණද කියලා ? “

” ඔන්න ඉතිං..” 

දෑස කඳුළින් තෙත් වද්දී ඔහු වහා ඇගේ අතක් තදින් අල්ලා ගත්තේය. 

” මින්දුලාගේ ඩයිරි එක මං කියෙව්වේ ඊට කාලෙකට කලින්. ඒත්.. ඒ අකුරු කොහේහරි දැකලා පුරුදු ගතියක් තිබුණා. අන්තිම මොහොතෙයි ඔයාගේ අල්මාරි එකේ තිබ්බ ලියුම මතක් උනේ. ඇත්ත කියන්න ලොකූ , ඔයා ඒක මට අහුවෙන්න හිතාමතාම නේද එතන තිබ්බේ ? අම්මගේ තනියට එහෙ නතර වෙන්න ගිය වෙලේ ඔයා ඕන විදිහකට අල්මාරිය යූස් කරන්න කිව්වෙත් ඒ නිසා. හිතාමතාම ඔයාගේ රූම් එක මට දෙන්න කියලා අම්මට කියලා තිබුණෙත් ඒ නිසා. කොටින්ම සුදු අයියලා ටුවර් එක යද්දි අම්මගේ තනියට මට ඉන්න කියලා හැමෝම ලව්ව කියෙව්වෙත් ඒ නිසා. “

ඔහු සිහින් සිනහවක් නඟා කෝපි කෝප්පය සෙමින් තොළ ගෑවේය. 

” අවුරුද්දක් තිස්සේ කෝට් එකට ඇවිල්ලද මන්දා ඔයත් නිකන් ඩිටෙක්ටිව් කෙනෙක් වගේ වෙලානේ ?” 

ඈ නැවත වතාවක් ඔහු දෙස බලා මුව ඇද කළාය. 

” දුමී.. ! මේ අහන්න.. මින්දුලා නැති වෙන වෙලාවේ හැමදේම කියලා එයා ශමෙල්ට ලියුමක් ලියලා තිබුණා. ඔය සිද්ධිය වෙලා තියෙන්නේ රෑ නිසා එයා බෝඩිමේ ළඟින් ආශ්‍රය කරපු ගර්ල් කෙනෙක්ට ඒක දීලා , මොන දේ සිද්ධ උනත් හෙට උදෙන්ම ඒක පෝස්ට් කරන්න කියලා. ඒත්.. පහුවදාට එළි වෙද්දි මින්දුලා බෝඩිම ඇතුළෙම එල්ලිලා ඉන්නවා දැක්කම අර ගර්ල් ශොක් වෙලා තියනවා. ඒ නිසා එයාට අර ලියුම ගැන අමතක වෙලා. මින්දුලාගේ ෆියුනරල් එකෙන් සති ගාණකට පස්සෙ තමා එයාට අර ලියුම ගැන මතක් වෙලා තියෙන්නේ. “

” මින්දුලා අන්තිම මොහොතේ අන්කල් ශමෙල්ට එයාගේ හැමදේම කිව්වත් , එයා බලාපොරොත්තු වෙලා නෑ අන්කල් ශමෙල් ඒකට විසඳුමක් දෙයි කියලා ?” 

” ඔව් ඒක හරි. ඔය ලියුමේ තියනවනේ ශමෙල් අයියේ මං හැමෝගෙන්ම සමු ගන්නවා , අම්මවයි , අයියාවයි බලා ගන්න. කවුරුහරි එයාට වැරදි චෝදනාවක් කළොත් ඔය ලියුම පෙන්නන්න කියලා. අන්තිම මොහොතේ මින්දුලාට ඕන උනේ එයාගේ ජීවිතේ බේරගන්න නෙමෙයි. අර පේපර් එක හොරකම් කළා කියලා එයාට චෝදනාවක් ආවොත් ඒකෙන් එයාගේ නම කැත වෙන එක බේරගන්න.  කොහොමහරි මින්දුලාගේ මරණෙන් පස්සේ අර ගර්ල් හිතේ තිබ්බ බය නිසාම තවත් මාස ගාණක් ඔය ලියුම පෝස්ට් නොකර තියන් ඉඳලා තියනවා. ඊටත් පස්සෙ දවසක තමා නිකන් හිතිලා ඒක පෝස්ට් එකට දාලා තියෙන්නේ. අන්න එහෙමයි ඕක ශමෙල් අතට ගියේ. “

” එතකොට ඒක ඔයා අතට ආවේ?” 

” මං කිව්වනේ ප්‍රාර්ථනා ඇවිල්ලා මට සේරම විස්තර ටික කිව්වා කියලා. ඊට පස්සේ මං සිංදුමීව මීට් වෙන්න කොච්චර ට්‍රයි කළත් ඒක හරි ගියේ නෑ. පස්සේ මට නිකමට හිතුණා මින්දුලාගේ බෝඩිමේ හිටපු එයා ළඟින් ආශ්‍රය කරපු කාවහරි හොයාගන්න. දෙතුන් දෙනෙක්ගෙන් අහලා හොයලා බැලුවම අර ලියුම පෝස්ට් කරපු ගර්ල් ගැන මං හොයාගත්‍තා. ඒත් .. එයාව මීට් වෙන්න මං යන්න හිටපු දවසට කලින් දවසේ සිංදුමී නැති උනා. සිංදුමීගේ මරණෙත් එක්ක මං දැනගත්‍තා එතනින් එහාට දේවල් හොයලා වැඩක් නෑ කියලා. ඒත්.. ඊටත් දවස් පහකට විතර පස්සේ අර ගර්ල්ම මාව මීට් වෙන්න ආවා. එයා දැනගෙන තිබ්බා එයාව මං හෙව්වා කියලා. ඊට පස්සේ මං ඔය ලියුම ගැනයි , ශමෙල් ගැනයි දැනගත්‍තා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here