පසළොස්වක මල් – 89

0
251

දිනෙන් දින ගෙවී ගියේ සනුහරේම බොහෝ සෙයින් කාර්ය බහුල කරමිනි. උමන්දා , සුභාවි පැවසූ ලෙසම මිහිදුමීගේ සහභාගීත්වය සිදු වූයේ ඇගේ ඇඳුම් තේරීම සඳහා පමණි. එයද ඈ ඉදිරියට රැගෙන ආ සියල්ලටම රොබෝවරියක සේ හිස සළමින් අනුමත කිරීම පමණක් වූ නිසා එයටද උමන්දා , සුභාවී හා ශනුලිට අත ගැසීමට සිදු වූහ. 

” නංගි..! ඇයි මේ ? ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ?” 

තරුණියගේ හැසිරීමේ වෙනසක් දුටු සුභාවී කලබලකාරී වාතාවරණය මැද වුවද සුළු ඉඩක් ලබා ගනිමින් ඇගෙන් විමසුවාය. 

” නෑ අක්කේ. මට ටිකක් බයයි වගේ. එච්චරයි.. “

” බය වෙන්නේ මොකටද දරුවෝ ? නොදන්න මනුස්සයෙක්ව නෙමෙයිනේ කසාද බඳින්නේ ? ඔයා මුළු ජීවිත කාලෙම ආදරේ කරපු මනුස්සයනේ.. ඔහොම තමයි  ඉතිං කසාදයක් කියන්නේ සෑහෙන්න complicated දෙයක්. ආදරේ කරපු කාලේ මිනිස්සු නෙමෙයි කසාද බැඳලා කාලයක් ගියාම ඉන්නේ. ඒත්.. අස්නක ගැන එහෙම හිතන්න බෑ දුමී. එයා අවුරුදු ගාණක් ඔයා වෙනුවෙන් බලන් හිටියා. අනික ආන්ටි මහීකා උනත් එදා ඉඳන්ම ඔයාට එයාගෙම දරුවෙක්ට වගේ ආදරෙයිනේ. ඕනෙම කෙල්ලෙක්ට තමන්ගේ කසාදේ කියන්නේ චුට්ටක් හිත කලබලයි තමා ඉතිං. ඒත්.. ඒ ගැන වැඩිය හිතන්න එපා. “

කිසිදු පිළිතුරක් ලබා නුදුන් මිහිදුමී ඈ දෙස බලා මඳ සිනහවක් පමණක් නැඟුවාය. 

” දුමී.. ! ඔයාට තව ඉන්විටේශන් කාඩ්ස් වල අඩුවක් තියනවද?” 

ලිපි කවර කිහිපයක් හා ආරාධනා පත්‍ර කිහිපයක් ගෙන පැමිණි උමන්දා එසේ අසමින් දෙදෙනා අසලින් හිඳ ගත්තාය.

” නෑ අක්කේ.. ඔක්කොම හරි. “

” මහීකා ආන්ටිගේ යාළුවෝ දෙන්නෙක් මිස් වෙලාලු. දැන් ඉතිං නම් ප්‍රින්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. අත් අකුරින්ම නම ලියලා දෙනවා. “

ඈ එසේ පවසමින් ආරාධනා පත්‍ර කිහිපය දිග හැර ගත්තාය. 

” අස්නකගේ පැත්තෙන් සයින් කරන්නෙ මිනිස්ටර් නේද ? ” 

” ඔව්. ඒක හරි. “

සුභාවිගේත් , උමන්දාගේත් කතා බහ අතරම කිසිදු හැඟීමක් නොමැතිව මිහිදුමී හිස් බැල්මකින් උමන්දා ලියන ආරාධනා පත්‍ර දෙස බලා සිටියාය.

” අත් අකුරින් ලියන්න..

මින්දුලාගේ අත් අකුරු..

මං ඒවා කොහෙදිහරි දැක්කා.. 

නැවත නැවතත් පෙර මතකයක් හදවතින් ඉහලට විත් එබී බලන්නට පටන් ගත් මොහොතේ ඈ එහිම ගිලී සිටියාය .

” නංගි..! මෙන්න මේ දෙක මේ කවර වලට දාන්න. “

ආරාධනා පත්‍ර ද්විත්වය සුදු පැහැයත්, ළා ලැවෙන්ඩර් පැහැයත් මිශ්‍ර කවර තුළට බහාලන මොහොතේ ඇගේ මතකය ක්ෂණිකව අවදි විය. වෙව්ලන දෑඟිලි තුඩු ආයාසයෙන් පාලනය කර ගත් ඈ උමන්දාගෙන් හා සුභාවිගෙන් යන්තමින් මිදී වහා නිදන කාමරය වෙත දිව ගියාය. 

**********************************************

විජේසිංහ නිවසේ ගෙමිදුලේ නතර කළ මෝටර් රථයෙන් පිටතට බට තරුණිය එහි නතර කර ඇති අස්නකගේ රිය දෙස බැලුවාය. ඔහු මේ මොහොතේ නිවසේ බව හොඳින්ම දැනුණත් ඇයට මෙය තව දුරටත් ප්‍රමාද කළ නොහැකි විය. ඒ නිසාම සාමාන්‍ය ආකාරයට වත සකසා ගත් ඈ නිවස තුළට පා තැබුවාය. 

” දුමී..!” 

” ආන්ටි ඉල්ලපු ඉන්විටේශන් දෙක ගෙනාවා . “

” අනේ තෑන්ක්ස් දුමී.. මේ මගේ පරණම යාළුවෝ දෙන්නෙක්. මං හිතන් හිටියේ registration එක නොකියා වෙඩින් එකම කියනවා කියලා. ඒ උනාට මේ අපේ ලොකූගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් ඉන්නවා ඒ දෙන්නගෙත් හොඳම යාළුවෙක්. මෙයාලට කියන්නම ඕනේ. ඊළඟට මෙයාට කිව්වා කියලා අර දෙන්නා දැනගත්තොත් ඔන්න මට කියවයි ඒ දෙන්නව හැළුවා කියලා. “

මහීකා පවසන එකදු වදනක වැටහීමක් නොවූ මිහිදුමීගේ සිත පූර්ණ වශයෙන් යොමු වී තිබුණේ උඩු මහළ වෙතටය. වරින් වර උඩු මහලට යොමු වන ඇගේ දෑස දුටු මහීකා මුවට නැඟි සිනහව තොල්පට සපා වළක්වා ගත්තාය. අස්නක උඩු මහලේ සිටින නිසා මිහිදුමී ඔහු වෙත යෑමට නොඉවසිලිමත්ව සිටින බවට ඈ අනුමාන කළාය. 

” උඩට යන්න දුමී.. ලොකූ නානවද කොහෙද ?” 

” හා ආන්ටි..”

මහීකාගෙන් අවසරය ලැබුණු සැණින් ඈ එහි ගුණ අගුණ නොසිතාම තරප්පු පෙළ දිගේ ඉහලට දිව ගිය අතර මහීකා මුව පුරා සිනහවක් නැඟුවාය. 

මහීකා පැවසූ පරිදිම අස්නක වූයේ නාන කාමරයේය. එක දිගට වැටෙන ජලයේ හඬට කන් දුන් මිහිදුමී හඬ නොනැඟෙන අන්දමට ඔහුගේ අල්මාරිය විවර කළාය. ඉන් පසුව එහි ලාච්චුව විවර කොට පෙර දින ඔහුගේ ඇඳුම් නැවත සකස් කිරීමේදී අහම්බයෙන් දැක ලාච්චුවට දැමූ ලිපි කවරය අතට ගත්තාය.

වෙව්ලන දෑසින් අවපැහැ ගත් ලිපි කවරය දෙස බලා සිටි ඈ එහි තිබූ නම සිතා මතාම කිසිවෙකු හෝ විසින් කුරුටු ගා ඇති බව දුටුවාය. නමුදු එහි ලිපිනය ලියැවී තිබුණේ කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතටය. මින්දුලාගේ දිනපොත කියවා අවසන් කර දින කිහිපයක් ගතව ගොස් තිබූ කාලයේ මහා රාත්‍රියේ අහම්බයෙන් ඇගේ අකුරු තමා කොහේදී හෝ දුටු වගක් ඈට මතකයට නැඟුණද මේ වනතුරුත් ඒ කොහිද කියා හරි හැටි වැටහීමක් නොවුණාය. නමුදු දහවලේ උමන්දාගේ මුවින් පිටවූ අත් අකුරු යන වචනයත් , බහාලුම් කවරත් ඇගේ අමතක වූ මතකය යළි මනසට රැගෙන ආවේය. තව දුරටත් කාලය මිඩංගු නොකළ ඈ ලිපි කවරය වහා තම අත් බෑගය තුළට දමා ගෙන නැවත පහත මහළට යෑමට සූදානම් වූවාය.

” ඒයි..!” 

පසුපසින් ඇසුණු අස්නකගේ හඬට තිගැස්සුණු ඈ විසල් හුස්මක් ළය පුරා ගෙන ඔහු වෙතට හැරුණාය. 

” කොහෙද දුවන්නේ ?” 

” ඔයා නාන නිසා මං පහළට යන්න හැදුවේ. “

ඔහු නිහඬවම එක් දොර පියනක් විවරව තිබූ අල්මාරිය දෙස බැලුවේය. තම හෘදස්පන්දන වේගය සාමාන්‍ය වේගයට වඩා දෙතුන් ගුණයකින් අධික වන බව වැටහුණු ඈ නිහඬවම ඔහු දෙසත් , අල්මාරිය දෙසත් බලා සිටියාය. නමුදු කිසිදු විශේෂයක් නොපෙන්වූ ඔහූ විවරව ඇති දොර පියන වසා දමා ඈ අසලට ඇවිද ආවේය. තවමත් තෙත බේරී වැටෙන හිසකෙස් වලින්ද , උඩුකය නිරුවත්ව ඉඟ වටා දැවටුණු කෙටි තුවායකින් පමණක් සැරසී සිටි ඔහු වහා ඈ තමා වෙතට ඇද තදින් තුරුළු කර ගත්තේය.

” ලොකූ.. !” 

කෙඳිරිලි ස්වරයක් ඇගේ මුවින් පිට වුණිද එය මායිම් නොකළ ඔහු දිගටම හිස පහත් කරමින් ඇගේ ගෙල වටා හාදු තවරන්නට වූයේය. 

” ආපු දා ඉඳන් අල්ලගන්න බලන් හිටියේ. අඩුම අපාර්ට්මන්ට් එකේවත් හිටියේ නෑ. භරණගේ ගෙදරටම වෙලා හිටියා.”

ඔහු දෙතොල මෑත් නොකරම නෝක්කාඩු පවසන්නේය.

” වැඩ ගොඩයිනේ ලොකූ.. “

ඈ නැවතත් කෙඳිරිලි ස්වරයෙන් පිළිතුරු බැන්ඳාය.

” හ්ම්ම්.. “

” දැන් ඇති . ලොකූ…!” 

ඈ එහා මෙහා වී වහා ඔහුගෙන් මිදුණාය.

” ඇයි ?” 

” මාර්ක්ස් හිටියි. මං බොහොම අමාරුවෙන් ස්කින් එක මේන්ටේන් කරන් ඉන්නේ. “

ඈ වහා මුවට පැමිණි මුසාවක් ඔහු ඉදිරියේ තැබුවාය. විසල් කරගත් නෙතින් ඈ දෙස බැලූ ඔහු මුව කොනින් සිනහවක් නැඟුවේය. 

” එතකොට මට චාන්ස් එකක් ඇත්තෙම නැද්ද ?”

කිසිවක්ම නොපැවසූ ඈ උවන බිමට බර කර ගත්තාය. 

” registration එක ඉවර වෙනකන් ඉන්නවකෝ. මං අල්ලගන්නං ඊට පස්සේ. “

” හරි .. හරි එතකොට ඒක බලමු. මං දැන් යනවා. මං ආවේ ආන්ටි මහීකාට ඉන්විටේශන් කාර්ඩ්ස් දෙකක් දෙන්න. තාම මගේ ඩ්‍රෙස් එකේ වැඩ ඉවර නෑ. දැන් ආයෙම එතනට යන්න ඕනේ. “

එසේ පැවසූ ඈ ඔහු කිසිවක් කීමට පෙරම නිදන කාමරයෙන් පිටතට පැන තරප්පු පෙළ දිගෙහි දිව්වාය. 

” දුමී..!” 

ඔහුගේ උච්චස්වරයට ඈ යළිත් නොනැවතුණු අතර ඉහල මහලේ සිටි ඔහු දෙස බලා අත වනා මෝටර් රථය කරා දිව ගියාය. 

” බායි…!”

*********************************************

දෑතම සුක්කානම මත තද කර ගනිමින් ඉකි ගසා හඬන තරුණිය හෝරාවකට ආසන්න කාලයක් මෝටර් රථයේ තනිව ගෙව්වාය. 

අස්නකට හොරා ඔහුගේ අල්මාරියෙන් රැගෙන ආ අවපැහැ ලියුම් කවරය තුළ මින්දුලාගේ අත් අකුරින් ලියැවුණු ලිපියක් විය. කවරයේ ලිපිය ලබන තැනැත්තාගේ නම කුරුටු ගා තිබුණද එහි ලිපිනය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතට වීමත් , මින්දුලාගේ මරණය සිදුවන විට ශමෙල් රැකියාවේ නිරතව සිටියේ එහි බවත් සුළු මොහොතකට පෙර ඈ විශාඛාට ඇමතුමක් ලබා දී තහවුරු කර ගත්තාය. 

එමෙන්ම සිංදුමී ඇතුළු පස් මිතුරියන්ගේ කාණ්ඩයෙන් එතෙක් තමන්ට සිදු වූ සියළුම අකටයුතුකම් අකුරක් නෑර සඳහන්ව තිබූ එකී කවරය තුළ බහාලූ ලිපියේ ආමන්ත්‍රණය තිබුණේද ශමෙල්ටය. නමුදු ඔහු පැවසූ ආකාරයට ඔහු මින්දුලා පිළිබඳව කිසිවක් හෝ නොදැන සිට ඇත. ඔහු වෙනුවෙන් ඈ ලියූ ලිපිය ඔහු වෙත නොගොස් අස්නකගේ අතට ලැබුණේ කෙසේද යන වග මිහිදුමීගේ හදවතේ විසල් ප්‍රශ්නයක් ඉතිරි කර තිබිණි. 

ඒ සියල්ලටත් වඩා මෝටර් රථය තුළ සිට හඬා වැටෙන තරුණියගේ කඳුළු වලටත් , වේදනාවටත් හේතු වූයේ මේ සියල්ලේ පෙර අපර ,සතර මුළු අස්නක මුල සිට දැන සිටින්නට ඇති බව දැනගැනීමය. එසේ නම් ඔහු තමා හා පැවසූ කාරණා වල හරි අඩක්ම මුසා බස්ය. 

මින්දුලාගේ මරණයේ වගකීම සිංදුමී ඇතුළු පස් මිතුරියෝ වෙත බැර වද්දී , එකී පස් මිතුරියන්ගේ මරණ වල වගකීම මෙතෙක් මේ සියල්ල තනිවම දැන සිටි ඔහු වෙත බැර වීම කෙසේවත් නතර කළ නොහැකි බව හදවතට දැනෙද්දී ඈ කඳුළින් පිරී ගිය දෑස තදින් පිස දැමුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here