පසළොස්වක මල් – 87

0
84

” අ.. අන්කල් ශමෙල්..!” 

කඳුළු බේරා හැළෙන දෑස අතැඟිලි වලින් පිසදා ගත් ශමෙල් සෙමින් හිස හරවා මිහිදුමී මේසය මත තැබූ මින්දුලාගේ දිනපොත අතට ගත්තේය.

” මේක කොහෙන්ද ඔයාට හම්බ වුණේ ?” 

” එහේ ගෙදර ස්ටෝර් රූම් එකේ තිබිලා. එතන කබඩ් එකක්ම තිබ්බා. මින්දුලා පොත් ගොඩක් අස්සේ ඕක තිබ්බේ. “

” මින්දුලා නැති උනාට පස්සේ භරණටයි , ආන්ටි විශාඛාටයි එයාගේ දේවල් ආයේ ආයේ දකින එක වේදනාවක් නිසා අපි බඩු ගොඩක් ස්ටෝර් රූම් එකට දැම්මා තමයි. “

ඔහු සෙමින් සෙමින් එහි පිටු පෙරළුවේය. ඉන් පසුව එහි වූ මින්දුලාගේ අත් අකුරු මත නොරිදෙන්නට මෙන් සියුම්ව පිරි මැද්දේය. 

” අන්කල් මින්දුලාට ආදරේ කළාද ?” 

මිහිදුමී මිනිත්තු කිහිපයක්ම ඔහුත් , දිනපොතත් දෙස බලා හිඳ අවසානයේ මුව විවර කළාය. 

” ඔව්. මං භරණගේ නංගිට සෑහෙන්න ආදරේ කළා. ඒත්.. ඒක මට කියාගන්න පුලුවන්කමක් තිබ්බේ නෑ දුමී. මට කියලා කාත් කවුරුවත් නෑ. , භරණලට වගේ ලොකු පෙළපතක් නෑ. භරණ කොච්චර යාළුවා උනත් මට බය හිතුණා. ඊටත් වඩා යාළුවා කියලා ගෙට ගත්තු එකා නංගිට ආදරේ කරන එක යාළුකමටත් කරන ද්‍රෝහී කමක් කියලා භරණ හිතයිද කියන බය මට තිබුණා. “

” අනේ.. අන්කල් ශමෙල්. මගේ මාමා එහෙම පටු විදිහට හිතන මනුස්යෙක් නෙමෙයි. “

” ඒක හරි දුමී. භරණ එහෙම හිතන කෙනෙක් නෙමෙයි. ඒත්..මට ස්ථාවරේකට එනකන් මේක මින්දුලාටවත් , භරණටවත් කියන්න හිතුණේ නෑ. මං තනියම මිනිහෙක් වෙලා ඉන්න ඕනේ කියලා හිතුවේ.  මින්දුලා කැම්පස් යද්දි මං කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්ටර්න් හිටියේ. ඒ කාලේ භරණයි , සුභාවියි එෆෙයාර් එකක් පටන් ගත්තා. ඒකේ වාසිය ගත්තෙත් මම. භරණ මින්දුලා බලන්න කියලා ගිහිල්ලා සුභාවි දිහා බලනකොට මං භරණගේ තනියට ගිහිල්ලා මින්දුලා දිහා බලන් ඉන්නවා. “

කඳුළු අතරින්ම ඔහුගේ වත මත සිහින් සිනහවක් ඇඳී ගියේය. 

” ඒත්.. එක දවසක් නිවාඩු ආව වෙලාවක මින්දුලා භරණ එක්ක කියලා තිබ්බා එයා පිරිමි ළමයෙක්ට ආදරෙයි කියලා. හැබැයි කියලා තිබ්බෙත් අඬ අඬා. භරණ අහලා කවුද කියලා . මේ කෙල්ල කෙනා ගැන කියලා තිබුණෙම නෑ. භරණ දන්න කෙනෙක්ද කියලා ඇහුවමත් නෑ කියලා. කැම්පස් එකේ කොල්ලෙක්ද කියලා ඇහුවමත් උත්තරයක් දීලා නෑ. මට ඕක භරණ කිව්වම පොල්ලකින් ගැහුවා වගේ උනා. මින්දුලා කෙනෙක්ට ආදරෙයි කියලා දැනගත්තම හිතේ පුංචි බලාපොරොත්තුවක් ඇති උනත් , ඒ භරණ දන්න කෙනෙක් නෙමෙයි කියපු එක මගේ හිතේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම නැති කරලා දැම්මා දුමී. ඊට පස්සේ මං හිටියටත් වඩා මින්දුලා ඉස්සරහයි , භරණ ඉස්සරහයි පරිස්සම් උනා. “

ශමෙල් තවත් දිගු තත්පර කිහිපයක් සාගරය දෙස බලා උන්නේය .

” මට සමාවෙන්න අන්කල් “

ඔහු නැවතත් හිස් බැල්මකින් ඈ දෙස බැලුවේය.

” වෙලාවට ඔයාගේ අක්කා මේ වෙනකොට ජීවතුන් අතර නැත්තේ දුමී. එහෙම නොවුණානං  මමයි ඔයාට සොරි කියන්නේ. “

” මේ දේවල් මාමාටවත් , අම්මටවත් දැනගන්න තියන්න එපා “

” මං ළඟ සිංදුමීලාගේ ළඟ වගේ නරුම ගති නෑ දුමී. අනික දැන් ඒ මිනිස්සු දෙන්න සැනසිල්ලෙ ඉන්නවා. මං මොකටද ඒක නැති කරලා පව්කාරයෙක් වෙන්නේ ? “

ශමෙල්ගේ වත පුරා නැවතත් පිරී ගිය කෝපයේ රටා දෙස බලා සිටිනු නොහැකි වූ මිහිදුමී දෑස බිමට බර කර ගත්තාය.

” මින්දුලා..  එයා හරියට පිපිච්ච මලක් වගේ ලස්සන කෙල්ලෙක්. ඒ කෙල්ලට කරපු අපරාදේ තමයි ඔය සිංදුමීලා පිටින් ගියේ. මං අදහන ආගම ඇත්ත නං ඒ පව ආත්ම ගාණක් යනකන් ගෙවන්න වෙනවා දුමී. “

” අන්කල් ශමෙල්ට එදා මින්දුලා මොනවද කිව්වේ ? මං කියන්නේ අර පේපරේ ප්‍රශ්නේ වෙච්ච වෙලේ ?” 

” පේපරේ ප්‍රශ්නේ වෙච්ච වෙලේ කිව්වේ ? “

” මින්දුලා නැති වෙන්න කලින් දවසේ “

” මින්දුලා නැති වෙන්න කලින් දවසේ මට එයාව මීට් උනේ නෑ දුමී. “

මොහොතක් ඔහු දෙස බලා සිටි ඈ වහා මින්දුලාගේ දිනපොතේ ඈ අවසානයට ලියූ සටහන සහිත පිටුව පෙරළා ශමෙල් වෙත ළං කළාය.

” බලන්නකෝ.. එයා අන්තිමට කියලා තියෙන්නේ මට මේවා දරාගන්න බෑ. කාටහරි කියන්න ඕනේ. ශමෙල් අයියටවත් කියනවා කියලා “

මින්දුලාගේ අන්තිම සටහන දෙස බලා සිටි ශමෙල් නැවතත් දරාගත නොහැකි කෝපය හමුවේ දෙවැළමිට මේසයට තද කර දෑතින්ම හිස තද කර ගත්තේය. 

” අනේ.. අන්කල් ශමෙල්.. ! මං හිතුවේ නෑ මේක ඔයාට මේ තරම් අමාරු වෙයි කියලා. “

මොහොතක් සිටි වනම නිහඬව සිටි ඔහු නැවතත් තරුණිය දෙස බැලුවේය. 

” අන්තිම මොහොතේ එයාට මාව මතක් වෙලා දුමී. ඒත්.. එදා එයාව මට මීට් උනේ නෑ. එයාට මොකද උනේ කියලා මං දන්නෑ. “

මිහිදුමී වේගයෙන් ඇසිපිය සැළුවාය.

 ” ඒ කියන්නේ අන්තිම මොහොතේ එයාට ඔයාටවත් කිසි දෙයක් කියාගන්න බැරි වෙලා. “

ඈ හට නොදැනීම විසල් සුසුමක් පිට වුණාය. 

” ඔයා දන්නවද මට දැනෙන සතුට. ?” 

එවර රත් පැහැ දෑසින් යළිත් මිහිදුමී වෙත බැලූ ශමෙල් විමසුවේය. 

” මින්දුලාගේ මරණෙ සිද්ධ උනා. ඒකට වගකියන්න ඕන එකෙක්වත් අද මේ ලෝකේ නෑ. “

” සිංදුමීලාට එහෙම කළේ කවුද කියලා අන්කල් ශමෙල්ට අනුමාන කරන්නවත් බැරිද ?” 

” ඒ මොකටද ? උන් ටිකව කවුරු මැරුවත් කරලා තියෙන්නෙ හොඳ වැඩක්. ඕකුන්ට ඔහොම වෙලා මදි අර අහිංසකීට කරපු අපරාදෙට. මොකා කළත් මට ඒ ගැන හරි සතුටුයි. “

කඳුළ හා කෝපය අතරින් උපන් සතුට ශමෙල්ගේ උවන තවත් රෞද්‍ර කර තිබුණේය. 

” මොන තරාතිරමක අපරාදකාරයෙක් උනත් එයාට දඬුවම් දෙන්න රටක නීතියක් තියනවා. ඒ නීතිය අතට ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑ. “

” මට නං ඒක අදාලම නෑ.. “

” ඒක මට අදාලයි අන්කල් ශමෙල් “

එසේ පැවසූ මිහිදුමී පසෙක තිබූ අත් බෑගයත් ගෙන හිඳ උන් අසුනෙන් නැඟිට්ටාය. 

” මොන වරද කළත් සිංදුමී කියන්නේ මගේ අක්කා. එයාගේ මරණේ ඇහෙන් දැකලා ඒක දරාගන්න බැරුවයි මගේ අම්මා නැති උනේ. මං මොන දේ හරි කරලා ඒ ගෑනු ළමයි පස් දෙනාව මරපු එකාව හොයාගන්නවා. ඌට දෙන්න ඕනේ උපරිම දඬුවම දීලයි මං මේක අතාරින්නෙ. ගිහින් එන්නං “

එසේ පැවසූ ඈ වේගයෙන් ඇවිද ගොස් රථ ගාලේ වූ තම මෝටර් රථයට ගොඩ වූවාය. වේගයෙන් ඇවිද ආ ඈ දෙස බලා සිටි එක් දෑසක් අත වූ ජංගම දුරකතනයෙන් පණිවිඩයක් කෙටුවේය. 

” She met Shamel “

එකී කෙටි පණිවිඩය ක්ෂණිකව අනෙක් පස වැළපෙන දෑසක් ඉදිරියේ නතර විය. 

***********************************************

ගතව ගිය දින කිහිපය අවසානයේ ශනූ සහ අෂ්මිල නැවත දිවයිනට පැමිණි අතර තවත් දින කිහිපයක් හෝ නැවතීමට කෙතරම් ඇවිටිලි කළද ඒ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළ මිහිදුමී එදිනම විජේසිංහ නිවසින් පිටත්ව තම නිවාස සංකීර්ණය වෙත පැමිණියාය. මහීකාගේ නිවසට ගොඩ වූ දා හදවතේ තුළ පැවති සන්තුෂ්ටිය ගෙවී ගිය දින වකවානුව තුළ ඇයගෙන් පළා ගොස් තිබූ අතර ඉන් මිදී ඉක්මණින් යළි නිවස බලා ඒමට ඈ පුළ පුළා බලා සිටියාය. එකී අතරමැද කාලය තුළ බොහෝ දුරට අස්නකගෙන් ලැබෙන ඇමතුම් මඟ හරිමින් සිටි ඈ දිනකට වතාවක් හෝ දෙවතාවක් පමණ ඔහු හා දොඬමලු වීමට වග බලා ගත්තාය. තමා තුළ අළුතින් හටගත්තා වූ විපරීතභාවය කුමක්ද කියා හරි හැටි වැටහීමක් නොතිබූ ඈ වසර ගණනාවක් පුරා තම කුළුදුල් ප්‍රේමයේ අයිතිකරු වූ ඔහුගේ ඇමතීමකට, වදනකට පවා නුහුරු වූ බියකින් පෙළෙමින් සිටියාය. 

ප්‍රේමය නම් විසල් සාගරය තුළ මේ තාක් මරණීය මොහොත දක්වා හෝ ගිලී යාම සැපතකැයි සිතා අදහමින් සිටි ඈ ඉමක් කොනක් නොමැති මහා සාගරය තුළ ඒ වනවිට අතරමංව සිටියාය. ඉදින් ගෙවුණු සෑම රාත්‍රියක්ම ඇගේ තනියට වූයේ මින්දුලාගේ කහට පැහැ ගත් දිනපොත පමණකි . සෑම රාත්‍රියකම එහි අකුරක් නෑර කියවමින් සිටි ඈ දින කිහිපයකට පෙර ළං කර ගත්තා වූ සුව නින්ද නැවත අහිමි කරගනිමින් සිටියාය. 

වසර ගණනාවක් මුළුල්ලේ අහිමි කරගත් තම ප්‍රේමය වෙනුවෙන් හඬා වැටුණු තරුණිය ඉතා සුළු දින කිහිපයක් එකී ප්‍රේමය යළි හිමි කර ගැනීමේ චිත්තඃප්‍රීතියෙන් සැනසිලිදායක කාලයක් ගෙවූවද නැවත වතාවක් ඒ හිමි කර ගත්තාවූ ප්‍රේමයටම බියෙන් තම සැනසීම අහිමි කර ගනිමින් සිටියාය. මැදියම් රැයද ගෙවී ගොස් හෝරාවක් පමණ ගත වූ කාලයක් තුළ අඩ නින්දේ සිටි ඈ තිගැස්සී අවදිව , එතෙක් වකුටු වී උන් සෝපාවේ හිඳ ගත්තාය. ඉන් පසුව ඉක්මණින් තමා අසලම තිබූ විදුලි බල්බය දල්වා ටීපෝව මත තිබූ මින්දුලාගේ දිනපොත දිග හැර ගත්තාය. 

” ඔව්.. මේ අකුරු..? මං මේ අකුරු වෙන කොහෙදිහරි දැකලා තියනවා. කොහෙදිද ? රත්නපුර ගෙදරදි ?  නෑ.. මේ මෑතකදි .. මගේ ඔලුවට එන්නෙම මං මේ අකුරු මේ මෑතකදි කොහෙදි හරි දැක්කා කියලනේ. ඒත්.. කොහෙදිද ..?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here