පසළොස්වක මල් – 88

0
578

” දුමී..!” 

” හෙලෝ මාමේ.. කියන්න. !” 

” ඔයා කොහෙද ඉන්නේ ?” 

” මං දැන් ඔෆිස් එකෙන් එළියට බැස්සේ. කා පාක් එකට යන ගමන්. “

” හ්ම්ම්.. එහෙනං ගෙදර නොයා කෙලින්ම අපේ ගෙදර එන්න. “

” ඒ ඇයි ?” 

” අම්මා ආවා දුමී. “

” ආහ්.. ! හරි නරකයි . මට එනවා කියලා කිව්වෙවත් නෑ . “

භරණගේ පසින් මඳ සිනහවක් නැඟුණේය. 

” හරි හරි ඔයා එන්නකෝ.. “

හදවතේ වූ කැළබිලි ස්වභාවය විශාඛාගේ ආගමනය හමුවේ දියාරු වී ගියාක් මෙන් දැනුණු මිහිදුමී වහ වහා මෝටර් රථය වෙත දුව ගොස් එය පණ ගන්වා ගත්තාය. 

සම්පූර්ණවම විවර කර තිබූ භරණගේ නිවසේ ගේට්ටුව අතරින් මෝටර් රථය ගෙමිදුලට දමා නතර කළ මිහිදුමී වහා ගෙමිදුලට පැමිණි විශාඛා වෙත දිව ගොස් ඇයව තදින් වැළඳ ගත්තාය. 

” අනේ.. මගේ චූටි කෙල්ල. “

” ආ.. මේක ඔයාට “

සුදු පැහැ පසුබිමේ රෝස පැහැ ඉරි ගිය ලිලී මලින්ද , සුදු , ක්‍රීම් රෝස හා රතු පැහැ ගත් රෝස මලින්ද , අතරින් අතර පෙනෙන සුදු පැහැ බේබීස් බ්‍රීත් මලින්ද හැඩ වුණු මල් කළඹක් සිනාමුසු මුහුණින් ඈ විශාඛා අත තැබුවාය. 

” සමන් දෙයියනේ.. ! මේක හරි ලස්සනයි දුමී. ඔයා මේක මටමද ගෙනාවේ ?” 

” නැතුව අනේ. ඔයාමනේ මට පුරුදු කළේ කාටහරි මල් දෙන එක  හොඳ පුරුද්දක් කියලා “

” අනේ.. මගේ රත්තරං කෙල්ල..”

විශාඛා යළිත් ඈ තුරුළු කර ගත්තාය. 

” හරි . හරි ඇති ඇති . අම්මාගෙයි දුවගෙයි ආදරේ. දැන් ගෙට එන්න. “

ගෙමිදුලට බට භරණගේ සමච්චලයට හිස හැරවූ මිහිදුමී ඔහු දෙස බලා මුව ඇද කළාය.

” ඉරිසියාව ඔයාට “

භරණ නැවත වතාවක් උස් හඬින් සිනාසුණු අතර ඈ භරණගේත් , විශාඛාගේත් දෑතේ එල්ලී නිවසට ගොඩ වූ අතර ගෙමිදුලේ පසෙක වූ මෝටර් රථ ද්විත්වය නුදුටුවාය. 

ආලින්දයට ගොඩ වූ සැණින් භරණගේත් , විශාඛාගේත් මුව මත වූ සිනහව තවත් පුළුල් වූ අතර එහි අසුන් ගෙන සිටි තේජ් , උමන්දා, අෂ්මිල , ශනුලි හා මහීකා දැක පුදුම වූ මිහිදුමී මුව විසල් කර ගත්තාය. 

” මේ කරදරකාරයෝ ටිකත් මෙහෙද ?” 

” ආ ඇත්තද ? උඹට දැන්ද අපිව කරදරකාරයෝ ගාණට වැටුණේ. ? ඔව් දැන් ඉන්නවනේ අපිට වඩා ලොකු එක්කෙනෙක්. දැන් අපි නිකන්ම කුණු කූඩේට. “

එතෙක් කලක් කිසිවක් නොදැන සිටි භරණත් , විශාඛාත් ඉදිරියේ තේජ් පැවසූ කාරණාව ඇසුණු මිහිදුමීගේ මුව පමණක් නොව දෑසද විසල් වී ගියේය. 

” කරන්න තියන ඔක්කොම හොර වැඩ කරලා , දැන් ඇස් දෙක ලොකු කරන්න එපා “

සෙමින් ඇගේ කන මිරිකූ භරණ තරවටු ස්වරයෙන් පැවසුවේය. 

” අනේ.. මාමේ..!” 

කෙඳිරිලි සහගත ස්වරය හමුවේ අෂ්මිලගේ සහ තේජ්ගේ සිනා හඬ උස්ව නැඟුණු අතර මිහිදුමී ඔවුන් දෙදෙනා දෙස බලා උවන ඇඹුල් කර ගත්තාය. 

” අපි නං දන්නෑ භරණ. අපිට නං මේවාට වගකීම ගන්න බෑ. “

තේජ් නැවත වතාවක් එසේ පැවසූ අතර මිහිදුමී එක එල්ලේ භරණ දෙස බැලීමට නොහැකිව මුව බිමට බර කර ගත්තාය. 

” ඔයා මෙයාලගේ විහිලු වලට අහුවෙන්නෙ එපා දුමී. ඔන්න අපි ඔයාට තෑග්ගක් අරන් ආවේ. “

මහීකාගේ වදනත් සමඟ ඈ දෙස හිස ඔසවා බැලූ මිහිදුමී මහීකාගේ දෑස යොමුවී තිබූ තම පිටුපසට අනිච්ඡානුගතවම හැරුණාය. 

” ලොකූ..!” 

මෙතෙක් වේලා සියල්ල දකිමින් හා අසමින් නිහඬව උන් උස් සිරුරක් සහිත කඩවසම් තරුණයා සෙමින් සෙමින් ඇවිද මිහිදුමී අසලට පැමිණියේය. සති කිහිපයකට පෙර කෙටි වෙන් වීමක් සටහන් කරමින් ඇගෙන් සමු ගෙන ගිය ඔහු පිටව ගිය දිනට පසු දින සිටම නැවත ඔහුගේ ආගමනය බලාපොරොත්තු වූ ඈ , ඇමතුමක් ලැබෙන සෑම මොහොතකම ඉක්මණින් නැවත පැමිණෙන ලෙසට ඉල්ලා සිටි ඈ , ගත ව ගිය තත්පරයක් පාසා ඔහුගේ මතකයෙන් මිදෙන්නට නොහැකිව ඔහුවම පැතූ සහ ඔහුවම අයැද සිටි ඈ අපේක්ෂා කළ අන්දමට ඔහු ඉදිරියට පැමිණි මොහොතේ ඒ සියල්ලම අමතක කොට සිටියාය. සිය කුළුදුල් ප්‍රේමයේ හිමිකාරයා වූ ඔහු තම දිවිය ඇති තෙක් තම එකම ප්‍රේමය ලෙස තම හදවත හිමි කර සිටි ඔහු මේ මොහොතේ කුඩා සුරංගනා කතාවක නපුරු යෝධයෙකු මෙන් ඈ ඉදිරියේ විරාජමාන වූ අතර ඈ එහිම සිටි අහිංසක කුඩා යුවතියක්ව බියෙන් හැකිළුණාය. 

” සර්ප්‍රයිස් ..!” 

මුවින් සිනහවක් පිට වූවාද කියා වැටහීමක් නොවුණි. ඔහුගේ කර්කශ ස්වරය පෙරට වඩා හදවත පසාරු කර ගෙන ගිය අතර ඈ මහත් පරිශ්‍රමයක් දරා තම සිත තුළ ඇති විලම්භීත ස්වභාවය පිටතට නොපෙනෙන ලෙස මුහුණේ හැඟීම් වසා ගනු ලැබුවාය. 

” දුමී..!” 

හිඳ උන් සෝපාවෙන් නැඟිට ආ මහීකා මිහිදුමීගේ අත අල්ලා ගත් අතර එතෙක් වේලා මින් පෙර වැළපෙන දෑස ලෙස නම් කළ , දිළිසෙන දෑස ලෙස නම් කළ , නමුදු මේ මොහොතේ රාක්ෂ ස්වරූපයක යටින් පෙනෙන කපටි දෑසක් දෙස බලා උන් ඈ ක්ෂණිකව ඉන් මිදී මහීකා දෙසට හැරුණාය.

” ලොකූ ඇවිත් තියෙන්නේ හදිස්සියේ. අපි හැමදේම භරණ එක්කයි , විශාඛා අක්කයි එක්ක කතා කරගත්තා. ලොකූට සති දෙකකින් ආයේ යන්න ඕනෙලු. අපි නෙක්ස්ට් වීක් registration එක ගමු. “

විශ්මයානුකුල දෑස මහීකාගේ උවන වටා එතී ගිය අතර ඇගේ පුදුමය තේරුම් ගත් මහීකා නැවත මුව පුරා සිනහවක් නැඟුවාය. 

” ඔය බය වෙන්න කිසි දෙයක් නෑ. ඔයාට මහන්සි වෙන්න කිසිම දෙයක් නෑ. අපි ඔක්කොම බලා ගන්නං “

” ඒක නං ඇත්ත දුමී. ළඟ වැඩියි කියලා බය වෙන්න එපා. අපි ඉන්නවනේ. ඔයාට කරන්න තියෙන්නේ ඩ්‍රෙස් එක ෆිටෝන් කරලා බලලා ඒක සිලෙක්ට් කරන්න විතරයි. “

නැඟිට ආ උමන්දාද මිහිදුමීගේ අතකින් අල්ලා ගෙන පැවසුවාය. 

” අනේ.. දුමියෝ.. මට මේක හීනයක් වගේ. අන්තිමට ඔයා හැමදේම දින්නා.. “

ඇගේ කොපුල් දෝතින්ම අල්ලා ගත් සුභාවී කඳුළු පිරුණු නෙතින් ඈ දෙස බලා පැවසුවාය. 

” දුමී..!” 

” මාමේ.. ?” 

” මොකෝ.. නිකන් ?” 

මිහිදුමී අසලට ළං වූ භරණ සෙමින් සෙමින් ඇගේ හිස පිරි මැද්දේය.

” ඔය දෙන්නම දෙපැත්තට වෙලා විඳවපුවා අපි හැමෝම බලන් හිටියේ. හැමදේම අමතක කරලා දාන්න දුමී. පහුගිය දේවල් වල හෙවනැල්ලක්වත් අපිට ආයේ එපා. මතකයක්වත් අපිට එපා. අපි මේ මොහොතේ ජීවත් වෙමු. ඔයාට දාහකින් හොයාගන්න බැරි හස්බන්ඩ් කෙනෙක් හම්බ වෙන්න යන්නේ. අස්නකගේ හිතේ ඔයා ගැන තියන ආදරේ මං දන්නවා. එයා තරම් ඔයාට ගැළපෙන වෙන කෙනෙක් නෑ. “

” මාමේ.. !” 

දෙනෙතට කඳුළු පිරෙන්නේ භරණගේ වදන් වලටද එසේත් නොමැති නම් හදවත පුරා පැතිර ඇති බියටද බව තේරුම් නොගත් ඈ භරණට තුරුළු වූවාය. 

” ඇති ඇති චූටි බබා. මෙතන අපි ඔක්කොම  ඉස්සරහා තමා බබා වෙන්නේ “

නැඟිට ආ තේජ් තරවටු ස්වරයෙන් එසේ පවසා මිහිදුමීගේ හිසට ටොක්කක් ඇන්නේය.

” මොකද්ද අනේ..?” 

අනෙක් පස හැරී ඔහුගේ බාහුවට පහරක් ගැසූ මිහිදුමී ඔහු දෙස බලා මුව ඇද කළාය. 

සියළු දෙනාගේම සතුටු සාමිච්චී සහ මංගල්‍ය ලියාපදිංචි උත්සවය පිළිබඳව යෝජනා, අදහස් සියල්ල මැද සියලු දෑ නිහඬවම අසා උන් මිහිදුමී වෙත පැමිණි සුභාවී ඇගේ අතින් අල්ලා ගනිමින් ඉවතට ඇවිද ගියාය.

” ලොකු මහත්තයා ආපු වෙලාවේ ඉඳන් වේලෙනවා. අම්මා අස්සේ ඉන්නැතුව ටිකක් ගිහින් කතා කරන්න. අන්න උඩ බැල්කනි එකේ.”

සුභාවි වෙත මඳ සිනහවක් පෑ තරුණිය සෙමින් සෙමින් තරප්පු පෙළ නැඟ ඉහල මහළේ සදළුතලය වෙත ඇවිද ගියාය. 

” දුමී.. ! “

ඇගේ අඩි හඬට පසු පස හැරුණු අස්නක ඉක්මන් ගමනින් ඈ වෙත පැමිණ තදින් වැළඳ ගත්තේය.

” දුමී.. ! මගේ මැණික..!” 

තව තවත් ඈ තදින් තමා වෙතට ළං කර ගත් ඔහු ඇගේ උවන පුරා හාදු තවරා ඇගේ නළල මත තම නළල තබා ළං වූයේය. ඉන්පසුව වචනයක් හෝ නොදොඩා ඇගේ දෙතොලට බර වූයේය. ඔහුගේ ක්‍රියාවට කිසිදු සහයෝගයක් ලබා නොදෙමින්  පාෂාණීභූතව සියල්ල දරා සිටි ඈ උමතුවෙන් මෙන් තමා සිප වැළඳ ගන්නා ඔහුගේ පහසට එකදු ප්‍රතිචාරයක් හෝ නොදැක්වූවාය. නමුදු ගෙවී යන මිනිත්තු කිහිපය තුළ ඇගේ වෙනස වටහා ගත් ඔහු ඈ අත හැර ඇගේ උවන දෙස කෙලින් බැලුවේය.

” මොකද වෙලා තියෙන්නේ ? මං හිතුවා මටත් කලින් මේ ස්ටෙප් එක ගනී කියලා. ? දැන් ඉන්නේ නිකන් හරියට ඩෙඩ් බොඩි එකක් වගේනේ ?” 

” ලො.. ලොකූ.. ! සො.. සොරි.. මං මේ.. මං ඉන්නේ මේ වෙන දේවල් විශ්වාස කරගන්න බැරුව. “

” ආහ්.. ඒක මිසක් . මං හිතුවා වෙන මොකක් හරිද කියලා “

ඔහු නැවතත් කිසිවක් නොපවසාම ඇගේ දෙතොල තම අණසකට ගත්තේය. උණුසුමක, ප්‍රේමයක , සැනසීමක අන්තයටම ගිලිය හැකි පැරණි හාදුවක සන්තර්පණය කිසිලෙසකවත් මෙදින නොලැබුණු ඈ උන්මත්තකව ඔහු සිප ගන්නා හාදුවෙන් පුපුරු ගසන දෙතොලේ රිදීම දරා ගනු නොහැකිව වහා ඔහුගෙන් ගැලවී මෑත් වූවාය.

” මොන මඟුලක් වෙලාද දුමී.. ?” 

” ම.. මට රිදුණා ලොකූ.. ” 

ඔහු වහා ළංව නැවතත් ඇගේ නිකටින් අල්ලා ඇගේ උවන තමා වෙතට ඔසවා ගත්තේය . 

” ගිය දවසේ ඉඳන්ම කවද්ද එන්නේ , කවද්ද එන්නේ ගගා මං එන දවසක් අහ අහා හිටියා. මං හිතුවා දැකපු ගමන් දුවන් ඇවිල්ලා මාව හග් කරයි කියලා. කමක් නෑ පහළ හැමෝම හිටියනේ. ඒත්.. මෙතනට ආවහමවත් ?  ඔයා හැසිරෙන්නේ මං නිකන් පිට මිනිහෙක් ගාණට දාලා . “

” ලො.. ලොකූ.. එහෙම දෙයක් නෙමෙයි. “

” බොරු කියන්න ලෑස්ති වෙන්නෙපා දුමී. මේ වෙන දේවල් විශ්වාස කරගන්න බෑ නෙමෙයි. ඔයා ඉන්නේ වෙනම ලෝකෙක. මට ඔයාව කියවගන්න බෑ කියලා හිතුවද ? “

ඔහු දෑඟිලි ඇගේ මුවට පහළින් තද කර දෙකොපුල තදින් අල්ලා ගත්තේය. 

” මෙන්න මේක හොඳට මතක තියාගන්නවා දුමී. මං තමුසේ වෙනුවෙන් අවුරුදු ගාණක් බලන් හිටියා. හොඳින් හරි නරකින් හරි නෙක්ස්ට් වීක් අපේ registration එක වෙනවා. පරණ දේවල් හරි , මොනවම හරි දෙයක් ඉස්සරහට දාලා තව එකෙක් දෙන්නෙක්ගේ හුස්ම මගේ අතින් නතර කරගන්න ලෑස්ති වෙන්න එපා. “

එසේ පැවසූ ඔහු ඈ අත හැර වේගයෙන් පහත මහළට පල්ලම් බැස්සේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here