පසළොස්වක මල් – 84

0
85

රාජකාරී ආයතනයට කතා කොට හදිසි නිවාඩුවක් අනුමත කරගත් මිහිදුමී මෝටර් රථය නිවාස සංකීර්ණයේ තම නිවස වෙත පදවා ගෙන ගියාය. හෝරාවකට ආසන්න කාලයක් කඳුළු සැළීම හේතුවෙන් රිදුම් දෙන හිසත්, අස්නකගේ තරවටුවෙන් පසුව රිදුම් දෙන හදවතත් සහිතව ඈ හට ඒ මොහොතේ යළි හැරී විජේසිංහ නිවස කරා යෑම කොහෙත්ම කළ නොහැකි වූවාය. අසනීපයෙන් සිටින මහීකා තමා දැක තවත් සිත රිදවාගනු ඇතැයි විශ්වාස කළ ඈ හිසේ රිදුමට වේදනා නාශකයක් ගෙන මඳ වේලාවක් නින්දට වැටීම යහපත් යැයි සිතුවාය. 

නිවාස සංකීර්ණයේ රථ ගාලෙන් මෝටර් රථය නවතා නිවසට ගොඩ වී කෝපි කෝප්පයක් සාදා ගත් ඈ බොහෝ වේලාවක් එය පානය කරමින් තනිවම කල්පනාවේ යෙදුණාය. ඇඟ ලා සිටි ඇඳුම් වලින් බැහැරව ඇඟ පත සෝදා පැමිණ වේදනා නාශක පෙති කිහිපයක් සෙවීමට කබඩයේ ලාච්චුව විවර කළ මොහොතේ ඈ හට පෙර දිනක මහවලතැන්න නිවසේ ස්ටෝරු කාමරයෙන් රැගෙන ආ මෙතෙක් විවර නොකළ මින්දුලාගේ දිනපොත ඇස ගැටුණාය. වේදනා නාශක සෙවීම පසෙකළූ ඈ එයද රැගෙන යහනට බර වූවාය. 

” මින්දුලා සඳහංසි මහවලතැන්න “

කහට පැහැ ගැන්වූ පැරණි දිනපොතේ මුල් පිටුවේ මින්දුලාගේ අකුරින් ලියැවුණු ඇගේ නමත් , ඈ විසින් අඳින ලද කුඩා කුඩා හුරුබුහුටි රූප කිහිපයකුත් විය. මින්දුලාගේ අත් අකුරු දුටු වනම පවසාගත නොහැකි ශෝකයකින් මිහිදුමීගේ හදවත බරව ගිය අතර ඈ සුසුමක් හෙළා සෙමින් තැන් තැන් වලින් එකිනෙකට ඇළවුණු පිටු සීරුවෙන් ගළවා පෙරළන්නට පටන් ගත්තාය. වසර කිහිපයක පෙර ලියූ දිනපොතෙහි බොහෝ පිටු බොඳව ගොස් තිබූ අතර සමහර ඒවා ගැළවීමට පවා නොහැකිව එකට ඇළී තිබුණි. නමුදු බොඳවූ අකුරු මතින් මිහිදුමී දිගටම වචන අහුළමින් උන්නාය. 

” මට හරි සතුටුයි. අයියා ආවා අද මාව බලන්න. සුභාවි හෙර. මට මුකුත්ම කිව්වේ නෑ. හැබැයි මං අද අයියා ආපු වෙලේ දැනගත්තේ මේ දෙන්නාගේ හොර වැඩේ ගැන. මේ දෙන්නා මට හොරෙන් කවදා මේවා පටන් ගත්‍තද මන්දා. අතටම අල්ලගෙන ඇහුවම සුභාවිට බේරෙන්න බැරි උනා. ඔක්කොටම ඔව් කියලා අන්තිමට මේකි කියපි මාව යාළුවෙක් කරගත්තෙත් මගේ අයියා ලස්සන නිසාලු. සමන් දෙයියනේ.. ! කපටි හෙර.. “

මිහිදුමීගේ මුව මත සිහින් සිනා රැල්ලක් ඇඳිණි. එකිනෙකට ඇළවී ඇති පිටු කිහිපයක් ගැළවීමට ගොස් හානි වූ කළ අය අතහැර දැමූ ඈ ඉන්පසු පිටුවට දෑස යොමු කළාය.

” සමන් දෙයියනේ.. ! ඒ එයා.. මං එයාව දැක්කා..! 

ඇත්තමයි මං ගල් ගැහුණා. මට දැනුණේ මගේ හුස්ම නැවතුණා වගේ. එයා.. මගේ හිතේ හිටපු රූපෙමයි. මං කතා කරන්නද ගිහින්. දෙයියනේ බෑ.. කොහොමටවත් බෑ. අනික මං මොකද්ද කියන්නේ. ? බෑ.. බෑ.. බෑ.. මට තේරෙන්නෑ එයාව දැකපු වෙලේ ඉඳන් මට මොකක් උනාද කියලා. සුභාවිට මේ ගැන කියනවද ? බැහැ.. එහෙම උනොත් එයා අයියට කියයි. අනේ.. එහෙම බෑ. මං දැන් මොකද කරන්නේ ? ඇත්තටම මොකද කරන්නේ ? එයා අවුරුදු තුනකට කලින් සමන් දේවාලේ ළඟදි දැකපු විදිහමයි. දෙවියනේ.. ! 

අස්නක විජේසිංහ.. ඔයා එදා විදිහමයි. අනේ මට ඔයත් එක්ක එක පාරක් කතා කරන්න ඇත්නම්..”

රිදුම් දෙන හිස මත තවත් අකුණක් පුපුරා ගියේය. 

” ලො.. ලොකූ.. එ.. එයා කිව්වේ මින්දුලා කියලා කෙනෙක් ගැන දැනගත්තෙත් මින්දුලා නැති උනාටත් පස්සේ කියලනේ ? එතකොට මේ මොකක්ද ? සමන් දේවාලේ ළඟදි මින්දුලාට ලොකූව මුණ ගැහුණේ කොහොමද ?” 

වෙව්ලන දෑතින් මිහිදුමී කහට පැහැ දිනපොතේ තවත් පිටුවක් පෙරළුවාය. 

” මට මතකයි. එයා යාළුවෝ එක්ක ඇවිත් තිබ්බෙ රත්නපුරේට ට්‍රිප් එකක්. එයාගේ අම්මා අපේ අම්මාට තෑගි පාර්සල් කීපයක්ම එවල තිබ්බ නිසා අම්මායි මායි සමන් දේවාලේ ළඟට ගියා. මං ජීවිතේ පළවෙනි වතාවට එයාව දැක්කේ එදා. මහ ආඩම්බරකාරයෙක්. මගේ මූණවත් බැලුවේ නෑ. අපේ අම්මා එක්කනං කතා කරලා අන්තිමට දණ ගහලා වැඳලත් ගියා. හ්ම්ම්.. එදා මූණවත් බලපු නැති ආඩම්බරකාරයාව මං නතර කර ගත්තේ මගේ හිත ඇතුළේ. එදා ඉඳන් අද මේ වෙනකන් අස්නක විජේසිංහගේ ඒ ඇඳිච්ච රූපේ මගේ හිතින් මැකුණෙම නෑ. මට ඕන උනේ එයාව තව එක පාරක් බලන්න. මං සමන් දෙයියන්ගෙන් ඉල්ලුවේ ඒක. කොළඹට ආවම , මහීකාගේ ලොකු පුතා ඉන්නෙත් අපේ කැම්පස් එකේමයි.  එයා අපිට වඩා සීනියර් කියල අම්මා කිව්වම , මං මහීකාට කියන්නං කොල්ලට පොඩ්ඩක් ඔයාව බලන්න කියන්න කියලා. ආහ්.. අපේ අම්මා එහෙම කිව්වම මට දැනිච්ච සතුට. ඇත්තමයි මට පියාඹන්න හිතුණා.. “

දෙනෙතින් ගලා ගිය කඳුළක් හඬක් නොනඟාම දිනපොතට වැටී බොඳව යද්දී මිහිදුමී වහා කොපුල පිස දැමුවාය. 

” අද නම් සුභාවිගෙන් බේරෙන්නම බැරි උනා. මගේ මොකද්දෝ වෙනසක් තියනවලු. මූණත් එක්ක වෙනස් වෙලාලු. මං තනියම හිනා වෙනවලු. කල්පනා කරනවා වැඩියිලු. අසනීපයක්ද කියලත් ඇහුවා. අයියෝ.. මං කොහොමද අනේ මට තියන අසනීපේ එයාට කියන්නේ. මට මේක හිතේ හිර කරන් ඉන්න බෑ. ඒත්.. සුභාවිට කියන්නත් බෑ. ඕකි කියයි අයියට. “

” සුභාවි නැතුව මට පාළුයි. බෝඩිමෙත් හරිහමන් යාලුවෙක් නෑ. මේකේ ඉන්නේ මහ නපුරු සින්නො ටිකක්. කොයි වෙලෙත් ඇඟට කඩන් පනින්න බලන් ඉන්නේ. අනේ සුභාවි පව්. එයා ඇක්සිඩන්ට් උනානේ. කකුලක් ඩැමේජ් . අයියා කිව්ව විදිහට මාස දෙකක්වත් එක තැන ඉන්න වෙයිලු. අනේ .. එතකොට ඒ මාස දෙකම මං තනියම. අයියත් එක්ක වෙලාවක සුභාවිව බලලා එන්න යන්න ඕනේ. “

සුරුස් හඬින් නාසය ඉහළට ඇදි මිහිදුමී ඊළඟ පිටු කිහිපයත් නිහඬවම පෙරළුවාය. 

” මං හිටියේ කැලේ කඩේ මේසෙක ඉඳගෙන කල්කිරි එකක් බොන ගමන් . සුභාවි ඉන්නකොට නං අපි දෙන්නා සමහර දවස්වලට මෙතනට එනවා. හැමදාම හතරෙන් පස්සේ මේකේ ආප්පයි , පරාටායි තියනවා. මාරම රසයි. මාත් එක්ක ආපු අනිත් උන් දෙන්නත් මොනාහරි බිව්වම ඇති කිව්ව නිසා මං කිරි එක අරන් ඇවිත් වාඩි වෙලා ඒක බිබී හිටියේ. 

මින්දුලා.. ? මින්දුලා මහවලතැන්න ? 

කන ළඟ ඇහිච්ච ගොරෝසු කටහඬට මං ඔලුව උස්සලා බලද්දි සමන් දෙයියනේ.. ! මෙන්න මෙයා මගේ ඇස් ඉස්සරහා. 

ප්‍රශ්නයක් ඇහුවා උනාට ඒකට දෙන්න ඕනේ උත්තරේ දැනන් හිටියට මං හිටියේ ගල් වෙලා. මං ස්ට්‍රෝ එකත් කටේ ගහන් එයා දිහා බලන් ඉද්දි මාත් එක්ක හිටපු අනිත් එකී මේසේ යටින් අත දාලා මගේ කකුල කෙනිත්තුවා. එවෙලෙයි මං කල්පනාවෙන් මිදුණේ. හරිනං කියන්න ඕනේ ඔව් කියලා උනාට ඒ අකුරු දෙක මගේ කටින් පිටවුණේ නෑ. හොල්මනක් දැක්කා වගේ බයවෙලා බලන් ඉන්න මං දිහා ඇස් දෙක හීන් කරලා බලපු එයා මගේ ඉස්සරහා තිබ්බ පුටුවක් පස්සට ඇදලා වාඩි උනා. 

සමන් දෙයියනේ.. ඒ බැල්ම.. !” 

ඒ වාක්‍යයෙන් අනතුරුව මින්දුලා විසින් ඇඳි රතු පැහැ හදවත් රූප කිහිපයක්  , සමනල රූප කිහිපයක් සමඟ සිනහ මුහුණු කිහිපයක් දුටු මිහිදුමී ඒ මත සියුම්ව තම දැඟිලි ගෙන ගියාය. 

” මං අස්නක. 

එයා පටන් ගත්තේ එහෙම. 

මං අස්නක. අස්නක විජේසිංහ. මහීකා විජේසිංහ කියන්නේ මගේ අම්මා. මං මැනේජ්මන්ට් එකේ. ඔයා මෙඩිසීන් ? ෆස්ට් ඉයර් නේ ? 

අන්න ඒකට නං මට යන්තමට ඔලුව හොල්ලලා ඔව් කියලා අඟවන්න හරි පුළුවන් උනා. 

ආන්ටි විශාඛා කියලා තිබ්බා ඔයා ගැන පොඩ්ඩක් බලන්න කියලා. ඔයාත් එක්ක හිටපු යාළුවත් ඇක්සිඩන්ට් එකක් වෙලා මාස ගාණක් කැම්පස් එන්නැති කතාවක් කිව්වා. ඔයා ඉන්න බෝඩිමෙත් මං දන්න කීපදෙනෙක් ඉන්නවා. මොනා හරි දෙයක් තිබ්බොත් මට කියන්න. යන්නං “

එයා එහෙම කියලා ආයෙම නැඟිටලා යන්න ගියා. මං කට ඇරලා ලොකු හුස්මක් අරන් ආයේ ඒක ඒ විදිහටම පිට කළා. මං හිතන්නේ මං ඒ මුළු වෙලාවෙම හිටියේ හුස්ම ගන්න අමතක වෙලා “

වෙව්ලන දෑඟිලි මතින් හදවත තුළින් නැඟ එන්නාවූ අසීමිත රිදුම තුරුළු කරගනිමින් ඉදිරි පිටු කිහිපය එකින් එක පෙරළුණේය.

” මින්දුලාද ? එයා මුලින්ම ඇහුවේ එහෙම. මට බය හිතුණා. මං හිතුවේ රැග් කරන්න හදනවා කියලා. එයා හරි ලස්සන ගෑනු ළමයෙක්. ඒත්.. ඒ ලස්සන හිතේ තිබ්බේ නැද්ද මන්දා. එයාලා හැමෝම හැසිරුණේ මහ නපුරු විදිහට. 

බය හිතුණත් මං ඔව් කියලා කිව්වා. මං සිංදුමී. මැනේජ්මන්ට් එකේ. මට අස්නක කිව්වා ඔයාව බෝඩිමේදි පොඩ්ඩක් බලන්න කියලා. කියන්න දෙයක් නැති කමට මං එයා එක්ක හිනා උනා. ඒත් ඒ ටික කියපු එයා හිනාවක්වත් නැතුව ආයේ හැරිලා යන්න ගියා. “

” මං අයියා එක්ක දෙවෙනි වතාවටත් සුභාවිව බලලා ආවා. අපි දෙන්නා එන අතරේ කතා උනේ ආයේ සුභාවිව බලන්න නොයා එයා සනීප වෙලා එනකන් ඉමු කියලා. අපිත් එක්ක හොඳට කතා බහ කළාට සුභාවිලාගේ අම්මලා අපි ගැන මොනවා හිතනවද දන්නෑනේ. මං ඕවා හිත හිත  administration බිල්ඩින් එක පහු කරන් මෙඩිකල් ෆැකල්ටි එක පැත්‍තට ඇවිදන් යද්දි ආයෙම අර ගොරෝසු කටහඬ සතියකට විතර පස්සේ ඇහුණේ. 

මින්දුලා.. ! 

අපේ අම්මා මේක දෙන්න කිව්ව. 

එයා එහෙම කියලා මට සුදු පාට බෑග් එකක් දික් කළා. 

” කෑම එකක්. “

බය වෙලා වගේ බලන් ඉන්න හින්දාද මන්දා එයා ආයෙම එහෙම උත්තර දුන්නා. ඒත්.. මං බය උනේ එයාටවත් , එයාගේ බෑග් එකටවත් නෙමෙයි. එයාගේ පිටි පස්සෙන් ඇවිල්ලා එයාගේ අත අල්ල ගත්‍ත හිනා පොදක් නැති මූණට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here