පසළොස්වක මල් – 80

0
171

රැල්ලෙන් රැල්ල ක්‍රමානුකූලව ගැලපූ සාරිය නෙරිය අසලින් යට කර ගත් ඈ ඉන් පසුව පොටද උර මතින් දමා එහි කටුවක් ගසා ගත්තාය. ඉන් පසුව තමා ඉදිරියෙන් තිබූ ජංගම දුරකතනයේ තීරය දෙස බලා විළියෙන් රතුවූ උවනින් ඒ වෙත පහත් වූවාය.

” ඔහොම බලන් ඉන්නෙපා ඉතිං. ලැජ්ජයි මට. “

” ම්ම්..? මං බලන් හිටියේ මගේ කෙල්ලගේ ලස්සන. නැතුව වෙන මොනවත් දිහා නෙමෙයි. “

ඔහු තරවටුව පැවසූ දේට මුව ඇද කළ ඈ සෙමින් සෙමින් උවන මත වත්සුණු තවරන්නට වූවාය. සියල්ල නිමවනතෙක් ඉවසීමෙන් ඇමතුම හරහා තමා දෙස බලා සිටින ඔහු දෙස බලා ඈ දුරකතනය අතට ගත්තාය. 

” ලොකූ..! “

” ම්ම්.. ?” 

” දවස් දහයක්ම ගියානේ ? එන්නේ නැද්ද ?” 

පිළිතුරක් නුදුන් ඔහු මඳ සිනහවක් නැඟුවේය. 

” හිනාවෙන්නේ ?” 

” ආපු දා ඉඳන් අහන ප්‍රශ්නෙනේ ඔය. ලොකූ දවසක් ගියානේ ?  එන්නැද්ද ? ලොකූ දවස් දෙකක් ගියානේ ? එන්නැද්ද ? ලොකූ දවස් පහක්ම ගියානේ ? එන්නැද්ද ?” 

පිළිතුරක් දෙනු වෙනුවට ඈ මුව ඇඹුල් කර ගත්තාය. 

” හරි හරි.. තව පොඩි දවසක් දෙන්න. මං ඉක්මණට එන්නං “

” ලොකූ.. ! “

” ම්ම්. ?” 

” මං මේ ටිකේම නිදාගත්තේ ඇඳේ. “

උගුරෙන් ඉකියක් නැඟුණද එය ඈ ආයාසයෙන් වළක්වා ගත්තාය. 

” මං.. මං ඔයාට කිව්වේ මේ ගෙදරට ආව දා ඉඳන් මං එක දවසක් සැනසීමෙන් නිදාගත්තේ නෑ. වැටිච්ච තැන උදේ වෙනකන් ඔහේ හිටියා මිසක්. ඔයා මෙහෙ ඇවිත් ගියාට පස්සේ දවසේ ඉඳන් මට හොඳට නින්ද යනවා. ඒකත් පිළිවෙළට මගේ බෙඩ් රූම් එකේ. මගේ ඇඳ උඩ. ඒක උනේ ඔයා නිසා. තෑන්ක්ස් ලොකූ.. ” 

දෑසින් ගිලිහිණු කඳුළු බිඳුවක් වසා පිස දැමූ ඈ යළි ඔහු දෙස බැලුවාය.

” දැන් ඇයි අඬන්නේ ?” 

” අඬන්නෑ අනේ.. “

” දුමී..!” 

එතෙක් පැවති ආදරණීයබාවය පසෙකලූ ඔහුගේ හඬෙහි තරවටුවක් තැවරී තිබූ හෙයින් ඈ යළිත් හිස පහත් කර ගත්තාය. 

” මං ඔයාට කියලා ආවේ ආයේ අඬන්න බෑ කියලා. ඔයා විතරක් නෙමෙයි දුමී මාත් ඉන්නේ දැන් සෑහෙන්න සැනසීමකින්. තව චූටි දවසක් ඉන්නකෝ. මං ඇවිල්ලා භරණ එක්ක කතා කරන්නං. දැන් හොඳ ළමයා වගේ ලෑස්ති වෙන්න. නැත්තන් ඔෆිස් එකට යන්න වෙන්නේ ලන්ච් ටයිම් එකට. “

හිස ඔසවා ඔහු දෙස බලා සිනහවක් නැඟූ ඈ යළිත් සූදානම් වීමට පටන් ගත්තාය. 

*****************************************

” ගන්න ඕන බඩු වගයක් තියනවා අක්කේ. මං ඒ ටිකත් අරන් ගෙදරට දාලාම එන්නං. අනික අද මීටින් එකක් නිසා ඔෆිස් ගියේ සාරියක් ඇඳගෙන. දවසම මේක පටළවන් ඉඳලා එපා වෙලා ඉන්නේ. මං ගෙදට්ට ගිහින් වොශ් එකක් දාගෙනම එන්නං “

සුපිරි වෙළඳ සැළක රථ ගාලෙන් තම මෝටර් රථය නතර කළ මිහිදුමී ඇමතුමේ අනෙක් පස උන් සුභාවි හා කතා බහේ රැඳෙමින්ම ඉන් පිටතට බැස්සාය. 

” හරි එහෙනං එන්න ඕනේ හොඳේ. මං ඔයාටත් එක්කම කෑම හදන්නේ. “

” හරි අනේ.. හරි.. “

නැවත වතාවක් සුභාවි වෙත තම වචනය දුන් තරුණිය ඇමතුම විසන්ධි කර දමා වෙළඳ සැළ වෙත ඇවිද ගියාය.

” නංගි..! මිහිදුමී නේද ?” 

ත්‍රීරෝද රථයකට ගොඩ වෙමින් සිටි කාන්තාවක් පුදුම සහගත දෑසින් ඈ දෙස බලා සිටි අතර හඳුනාගැනීම අපහසු වූ මිහිදුමී ඇය දෙස මඳ වේලාවක් බලා උන්නාය. 

” මං දිල්හාරා . පුෂ්පා ලොකු අම්මාගේ දුව. “

” සමන් දෙයියනේ..! අනේ සොරි අක්කේ.. මට අඳුරගන්න බැරි උනා. “

වසර ගණනාවකට පෙර තමාට උප්පත්තිය දුන් පැරණි කුටුම්භයේ ඥාතී සමූහයාගෙන්ද  මහවලතැන්න නිවසට ගොඩ වූ පසු වෙන් වූ ඈ ඉඳහිටක එවකදී ඔවුන් යන එන අතරමඟක මුණ ගැසුනද මේ එකී කුටුම්භයේ ඥාතීයෙකු හමුවන්නේ වසර ගණනකට පසුවය. ඉදින් පහසුවෙන් ඇයට ඥාති සොහොයුරිය හඳුනාගත නොහැකි වූවාය. කිසිදු ගැටළුවක් නොමැතිව සිටි කුටුම්භයේ සියළු ගැටළු , කරදර ආරම්භ වූයේ තම උපත සමඟ බවත් , හමුවන බොහෝ අවස්ථාවල ඔවුන් ඇයව නොසළකා හැරීම , අපහාස , අවළාද නැඟීම , කොන් කිරීම ආදී කරුණු හේතුවෙන් ඇයට පෙරදීද ඒ කිසිවෙකු හා යහපත් හැඟීමක් නොවුණාය. නමුත් ගෙවී ගිය වසර කිහිපයක කාලයක තුළ ගොඩ නැඟී ඇත්තේ එවන් වදන් වලින් කිසිදිනෙක යළි බිඳ වැටීමට ඉඩක් නොමැති තරුණියකි. එය ඔහුගේ ආගමනය හේතුවෙන්ද තව තවත් ශක්තිමත් වී තිබුණේය. එහෙයින් වසර ගණනකට පසුව උවද පැරණි ඥාතී සොහොයුරිය දැකීම ඇගේ හදවත සතුටින් පුරවා දැමුවේය. 

” අක්කලා මෙහෙ කොහෙද ?” 

වහා ඈ අසලට අඩියක් තැබූ මිහිදුමී වහා ඇගේ අතකින් අල්ලා ගත්තාය.

” මගේ හස්බන්ඩ්ගේ මහප්පා කෙනෙක් ඉන්නවා ඇඹුල්දෙණියේ. එහේ අද රෑ බණක්. අපි මේ එහෙ යන ගමන්. “

ඈ ත්‍රී රෝද රථයේ සිටි අවුරුදු දහතුනක , දහ හතරක පමණ පිරිමි දරුවන් දෙදෙනෙක් දෙසද බලමින් පැවසුවාය. 

” මේ අක්කාගේ පුතාලද ?” 

” ඔව්. නංගි. නංගිව දැක්කේ අවුරුදු ගාණකින්. ඉස්සර ඉස්කෝලේ යන කාලේනං පාර තොටකදි හරි දකිනවනේ. “

” කැම්පස් ආවට පස්සේ මං මෙහෙම සෙට්ල් උනා අක්කේ. ඒ උනාට නිවාඩුවක් ලැබිච්ච ගමන් මං රත්නපුරේ යනවා. දැන් කොහොමද ලොකු අම්මට එහෙම ?” 

” අනේ දැන් ඉන්නේ අසනීපෙන් නංගි. එක ලෙඩක් කියලා නෑ. දාහක් ලෙඩ. සමහර වෙලාවට මතකෙත් අඩුයි දැන් . ඔයා රත්නපුරේ ආව වෙලාවක ඒ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ නංගි. පවුලේ අය නැති උනාට අපි ලේ නෑයෝනේ ?” 

මිහිදුමීගේ මුව මත මඳ සිනහවක් ඇඳිණි. එය සමච්චලයක්ද , සතුටකට ඇඳි සිනහවක්ද යන්න තෝරා බේරා ගත නොහැකි වූ දිල්හාරා එය සිතීමම ඉවත දැමුවාය.

” ඒ නෑයොමනේ අක්කේ මගෙන් මුළු පරම්පරාවටම අපලයි කියලා මුලින්ම කිව්වේ. ඉතිං මං ආයේ ආයේ එහෙ එන්න ගත්තොත් නැති කරදරත් මගේ පිටට වැටෙයි. “

” අනේ ඔයා ඕවා තාම හිතේ තියන් ඉන්නවද ? අපේ අම්මලගෙත් මනස්ගාත නංගි. දැන් ඒවා එයාලට මතකත් නෑ. ඒ මොන දේ උනත් ඔයා අද ඉන්න ලස්සන බලන්නකෝ. ඉතිං ඒවට හරි නං එයාලා ආඩම්බර වෙන්නයි ඕනේ. “

” අක්කගේ නංගියි , මල්ලියි දෙන්නා කොහොමද ?” 

” දැන් දෙන්නම බැඳලා. නංගි ඉන්නේ පානදුරේ. මල්ලි නං බලන්ගොඩ. ඔයාට මතකද හසරංගව ? “

” හසරංග අයියා.. ආ.. ඔව්. මට මතකයි. සුදු නැන්දගේ පුතානේ ?” 

” හ්ම්ම්.. සිංදුමීගේ මරණෙන් පස්සේ එයත් සෑහෙන්න කඩන් වැටුණා නංගි. අන්තිමෙ ඩුබායි ගියානේ. තාමත් ඉන්නේ ඩුබායි වල. එහෙදිම හම්බුණු ලංකාවේ ගෑනු ළමයෙක්ව බැන්ඳා. දැන් අවුරුදු දෙක තුනක් ඇති. හැබැයි තාම බබාලනං නෑ. “

දිල්හාරා එක දිගට පවසන කාරණා කිසිවක් ඇගේ සවනට නිසියාකාරව නොවැටුණි. ඒ වෙනුවට එකී කතාව තුළින් මතු වුණු සිංදුමීගේ නාමය සඳහන් වාක්‍යය ඈ තිගැස්මකට ලක් කර තිබිණි. 

” සිංදුමී අක්කගේ මරණේ එක්ක හසරංග අයියට මොකද උනේ අක්කේ ? අනික එයාගේ ඒකට මොකද්ද තියන සම්බන්දේ ?” 

”  ඇයි ඔයා දැනන් හිටියේ නැද්ද සිංදුමී කැම්පස් ගමන ඉවර කළාම හසරංගව කසාද බඳින්නනේ හිටියේ “

හිස මත විසල් අකුණක් පුපුරා ගියේය. හෘදස්පන්දනය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන හදවතට ආයාසයෙන් තරවටුවක් දමා ගත් ඈ නැවතත් දිල්හාරාගේ අතකින් අල්ලා ගත්තාය. 

” මං.. මං එහෙම දෙයක් දැනන් හිටියේ නෑ. අක්කා කියන්නේ අපේ සිංදුමී අක්කයි , හසරංග අයියයි අතරේ එෆෙයාර් එකක් තිබුණා කියලද ?” 

” ඔව් අනේ. ඒ දෙන්නා ඉස්කෝලේ ගියේත් එකටනේ. එක පන්තියේ හිටියේ. අනික ඔය ඒලෙවල් කරන කාලෙදියි දෙන්නා යාලු උනෙත්. හසරංගට කැම්පස් යන්න බැරි උනාට ඉස්කෝලෙන් අයින් උනු දා ඉඳලා පොඩි මාමාගේ කඩේ බලාගත්තේ එයා. ඔයාට මතකනේ පොඩි මාමගේ කඩේ ? ඒ දවස්වල ඒ පැත්තටම තිබ්බ එකම කඩේ ඒක. කොච්චර හොඳට බිස්නස් තිබ්බද ? සිංදුමීගේ කැම්පස් ගමනට පවා හැම වියදමක්ම කළේ හසරංග. දෙන්නගේ සම්බන්දේ ආරංචි උනාම ගෙවල් වලින් අකමැති උනෙත් නෑ. ඔයාලගේ අම්මා දැනගෙන හිටියා හසරංග කොහොම හරි කඩේ වැඩ කරගෙන දියුණු වෙයි කියලා. සුදු නැන්දයි , පොඩි මාමයි හිතුවා සිංදුමී කැම්පස් ගිහිල්ලා ඉගෙනගෙන උපාධියක් අරන් ගමට එන එක කොච්චර නම්බුවක්ද කියලා. ඉතිං කාටවත් , කොහෙන්වත් විරුද්ධ වෙන්න ඉඩක් තිබ්බේ නෑ. “

දිල්හාරාගේ පැහැදිලි කිරීමත් සමඟම මිහිදුමීට විසල් සුසුමක් හෙළුණාය. 

” මං ඔය වගක් දැනන් හිටියෙ නෑ අක්කේ. “

” වෙන්නැති ඉතිං. ඔයා ඒ කාලේ පුංචියිනේ. “

” හසරංග මේ මෑතකදි කතා කරපු වෙලාවක ඔයා ගැනත් මගෙන් ඇහුවා. එයා එවෙලෙත් මට දොස් කිව්වා අපේ අම්මලගේ වැරදි නිසා තමයි ඔයා අපි හැමෝගෙන්ම ඈත් උනේ කියලා. ඔයා කැම්පස් ගියා කියලා ආරංචි උනා , හොඳ ජොබ් එකක් කරනව කියලා ආරංචි උනා. එකාතකට ඔයාට විශාඛා නෝනලගේ ගෙදරට යන්න පුලුවන් වෙච්ච එකම පිනක් නංගි. මොකද අපි එක්ක හිටියානං ඔයා අද ඔය තත්වේ නෑ. මොනා උනත් ඇත්‍ත කියන්නෙපැයි.”

” හ්ම්ම්.. මට ඔයාගේ නම්බර් එක දෙන්න අක්කේ. “

දිල්හාරා වහා අත් බෑගයේ තිබූ තම ජංගම දුරකතනය අතට ගත්තාය. තම දුරකතන අංකය මිහිදුමීට පැවසූ ඈ යළිත් දුරකතනය මත දෑඟිලි එහා මෙහා කළාය. 

” හසරංගගේ නම්බර් එකත් ඔයාට මං දෙන්නං නංගි. ඉඩක් තියන වෙලාවක කතා කරන්න. එයා ගොඩක් සතුටු වෙයි ඔයා කතා කළොත්. “

” හරි අක්කේ. එහෙනං දෙන්නකෝ “

ඊලඟ පියවර ලෙස හසරංගගේ දුරකතන අංකය ඉල්ලා සිටීමට සිතා සිටියද එය දිල්හාරා විසින්ම සිදු කිරීම මිහිදුමීගේ සිතට සැනසීමක් ගෙන දෙන්නට විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here