මනුස්සකම

“මට මේ බල්ලව අරගෙන යන්න තැනක් නෑනෙ ළමයො. මට ඇත්තටම එපා වෙලා තියෙන්නෙ මේ ගෙදර ඉඳලා” කියලා අම්මා කෝල් කරලා අඬා වැටෙද්දි මන්දෝදරී උන්නේ ඔෆිස් එකේ වැඩ කන්දරාවක් අස්සෙ හිරවෙලා. ඒ උනාට අම්මා කෝල් කරලා එහෙම අඬා වැටෙද්දි ඒකට ඇහුංකන් නොදී පුලුවන්ද දුවෙක්ට. අනික් එක අම්මා ඉතින් තමන්ටම ඕක කතා කරලා කියන්නෙ කියන්න වෙන කෙනෙක් නැති හන්දනෙ.

“ඇයි අම්මෙ මොකද්ද උනේ කියලා?” අහන්නෝන කමට ඇහුවට මොකෝ මන්දෝදරී නොදන්නව නෙවෙයි ඉතින් වෙලා තියෙන දේ. අම්මා ඉස්සර ඉඳලා හරි ආදරෙයි බලු පැටවුන්ට. කවුදෝ මන්දා පාරෙ දාලා ගියපු චුටි කලු පාට බලු පැටියෙක් බ්ලැකී කියලා නමක් වැටිලා මන්දෝදරීලගෙ ගෙදෙට්ට ඇවිල්ලා දැන් අවුරුදු පහ හයකට කිට්ටුයි. එච්චර දවසක් මන්දෝදරියි අයියයි උන්න ඒ ගෙදර බ්ලැකිත් සහෝදරයෙක් උනේ අන්න එහෙම. බ්ලැකී ගෙදෙට්ට එන්න කලින් මන්දෝදරීලගෙ ගෙදර බල්ලො ඕන තරං හිටියා. උන් කල වයස ඇවිල්ලා දේදුනු පාලමෙන් එහාට ගියාට පස්සෙ “ආයෙ නං මං බල්ලො හදන්නෙ නෑ” කියලා අම්මා කිව්වට මොකෝ බ්ලැකීව දැක්කට පස්සෙ නම් අම්මගෙ වචනෙට කලින් අම්මගෙ හිත ඉස්සර වෙලා තිබ්බා.

අයියයි මන්දෝදරියි විතරක් ගෙදර ඉන්න කාලෙ බ්ලැකී ඉතින් ගෙදර බාලයා විදියට හැමෝගෙම හුරතලේ විඳගෙන උන්නට මොකෝ බ්ලැකීට ප්‍රශ්න එන්න පටන් ගත්තෙ අයියා කසාද බැඳලා අයියගෙ නෝනා වෙච්ච තනූ ගෙදෙට්ට ආවයින් පස්සේ. තනූලයි ගෙදරත් බල්ලෙක් ඉන්නවා. ඒ උනාට දවස තිස්සෙම කූඩුවෙ ඉන්න ඒ බල්ලයි, සෙටිය උඩයි ඇඳ උඩයි සෙල්ලං කරන කාමර අස්සෙ අරහෙ මෙහෙ දුවන, වෙනම කෑම ඉවීමක් සිද්ද නොකර ගෙදර ඉන්න අය වෙනුවෙන් හදන කැමම කන, උපන්දින වෙනම සමරන බ්ලෑකීගෙයි අතර ලොකු වෙනසක් තියෙන විත්තිය තනූට නම් එහෙම ලොකුවට තේරුනේ නෑ. ඒ නිසාම තනූ බ්ලැකීව භාරගත්තෙ එච්චර ලොකු කැමැත්තකින් නෙවෙයි. හැබැයි මන්දෝදරීලා වැඩට ගියාට අම්මා දවස තිස්සෙම ගෙදර ඉන්න හන්දා තනූගෙ අකමැත්ත බ්ලැකීට ලොකුවට බලපාපු නැති එක නම් වෙනම කතාවක්.

හැබැයි හැමදේම හැමදාම එකම විදියට සිද්ද වෙන්නෙ නෑ කියන්න වගේ තමයි බ්ලැකී අසනීප වෙන්න පටන් ගත්තෙ. 

“බ්ලැකීගෙ කකුල් දෙකේ ලොම් යන්න පටන් අරගෙන” කියලා අම්මා කියද්දි මන්දෝදරී ඒක එච්චර ලොකුවට භාරගත්තෙ නෑ. කොහොමත් රස්නෙ කාලෙට බලු පැටවුන්ගෙ ලොම් යන ඒවා වෙන හන්දත්, කලින් උන්න බල්ලන්ගෙත් එහෙම වෙච්ච හන්දත් මන්දෝදරී අම්මට කිව්වා “ඩොක්ටර් අංකල්ට පෙන්නන්න අම්මෙ එයා ට්‍ර්ටීමන්ට් එකක් දේවි” කියලා. 

ඒ උනාට කොච්චර දොස්තරලට පෙන්නුවත් වැඩේ හරි ගියේ නෑ විතරක් නෙවෙයි සතියක් විතර යද්දි කකුල් දෙකෙන් පටන් ගත්ත ලොම් යන සෙල්ලම මුලු ඇඟ පුරාම පැතිරෙන්න ගත්තයින් පස්සෙ මේක තව දුරටත් බලාගෙන ඉන්න පුලුවන් දෙයක් නොවෙන විත්තිය මන්දෝදරීට වගේම අම්මටත් නොතේරුනා නෙවෙයි. ඒ නිසාම මන්දෝදරී දොස්තරල කීප දෙනෙක්ටම කතා කරා. කොළඹින් බෙහෙත් ගෙන්නුවා. බ්ලැකිගෙ ලේ චෙක් කරා. තයිරොයිඩ් බැලුවා. ඒ කිසිම දේක කිසිම අවුලක් තිබ්බෙ නැති හන්දා අන්තිමේ ඩොක්ටර් කිව්වෙ “අපි මේ ක්‍රීම් එක ඇඟේ ගාලා, දිගටම බෙහෙත් ටික ගාලා බලමු. බය වෙන්න දෙයක් නෑ. එයා හොඳට කන බොන්න හන්දා වගේම ඇක්ටිව් ඉන්න හන්දා මේක ලොකුවට සිරියස් දෙයක් වෙන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ. ගොඩක් දුරට ෆන්ගල් ඉන්ෆෙක්ශන් එකක් වෙන්න පුලුවන්. දැන් අපෙත් කොන්ඩෙ යන්න පටන් ගත්තම බෙහෙත් කරාට පහුවෙනිදම කොන්ඩෙ එන්නෙ නැනෙ. එන්න කාලයක් යනවනෙ. ඒ වගේම තමයි මෙයාලගෙත් ඔක්කොම ලොං ටික මුලින්ම හැලෙනව. ඊටපස්සෙ චුට්ට චුට්ට තමයි ලොං ටික එන්න පටන් ගන්නෙ” කියලා.

දොස්තර කිව්ව වචනෙ විස්තර කරගෙන අම්මයි මන්දෝදරි බ්ලැකීට වෙනද වගේම ආදරෙන් සලකගෙන උන්නට මොකෝ තනූ දැන් එලිපිටම බ්ලැකීට අනං මනං කියන විත්තිය අම්මගෙ කටින් ආරංචි වෙද්දි, අම්මා ඒව කියලා අඬද්දි ඒ වචන දරාගෙන උහුලගෙන ඉන්න ඇත්තටම මන්දෝදරිට පුලුවන් උනේ නෑ.

“හරියට එක එක ඒව කියනවා පුතේ. මං දන්නවා ලෙඩ වෙච්ච බල්ලොන්ට සමහරු ආස නැති විත්තිය. ඒ උනට කැත විදියට ජඩ බල්ල එහෙම කියලා එලවන්න ඕන නෑනෙ. ආදරෙන් යන්න කියන්න පුලුවන් නෙ” කියලා අම්මා ෆෝන් එකෙන් අඬා වැලපෙද්දි අම්මා ඒ ගෙදර ඉහ ගහගෙන ඉන්නෝන හන්දා හිතේ පිරිච්ච තරහා වචන ඔක්කෝම ඉතින් එයාකරයෙන්ම පිටකරන්න මන්දෝදරි හිතුවෙ නෑ. අන්න ඒ හන්දා තමයි මන්දෝදරි කිව්වෙ,

“මිනිස්සු එක එක අය එක එක විදියයිනෙ අම්මේ. අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑනෙ. එහෙමයි කියලා අපේ මනුස්සකම වෙනස් කරගන්නෝනත් නැ. අනික අම්මෙ ඉතින් ඕක අම්මගෙ ගෙදරනෙ. බ්ලැකී කියන්නෙ අම්මගෙ බලු පැටියා. එහෙමෙකේ කවුරු මොනවා කිව්වත් අම්මා මොකටද බ්ලැකීව අරගෙන ගෙදරින් එලියට යන්නෙ. එහෙම වෙන්නෝන නෑනෙ. අම්මා මොනවත් කියන්න යන්න එපා. සද්ද නැතුව ඉන්න. මිනිස්සු කියන වචනවලින් අම්මෙ අපිට පුලුවන් ඒ ඒ මනුස්සයගෙ මනුස්සකම තියෙන ලෙවල් එක මැනගන්න. අපේ ආගමේ කියලා තියෙනවනෙ අනේ බුදු හාමුදුරුවො පූතිගත්තතිස්ස හමුදුරුවන්ට ඇඟේ විස ගෙඩි ඇවිල්ලා අසනීප වෙච්ච වෙලාවෙ කිසි කැතක් නැතුව ඇප උපස්තාන කරාය කියලා. එහෙමෙකේ අපි ආදරෙන් ගෙදෙට්ට ගෙනාව බලු පැටියා අසනීප වෙච්ච වෙලේ ඌට නොසලකා ඉන්න තැනක නෙවෙයිනෙ අම්මේ අපේ මනුස්සකම තියෙන්නෙ. අපි එහෙම මිනිස්සු නෙවෙයි. ඒ නිසා අම්මා අනිත් මිනිස්සු කියන ඒව ගැන හිතන්න එපා. අනික් එක අම්මෙ ඕනම ලෙඩක් සනීප වෙන්න කාලෙ යනවා. බ්ලැකීට කොච්චර අමාරු ඇති කියලද අම්මා හිතන්නෙ. අපිට වගේ ඌට කියන්නත් බෑනෙ තියෙන අමාරුවක්. එහෙමෙකේ අපි මේ වෙලාවෙ කරන්නෝන ඩොක්ට කිව්ව විදියට ඉවසගෙන ඉන්න එක තමයි” කියලා මන්දෝදරී කිව්වෙ අන්න හන්ද.

ලොං හැලිලා, ඇගෙ හම කොරපොතු වගේ වෙලා, කලු වෙලා, ගෙඩි ඇවිල්ලා ලස්සනම ලස්සන බ්ලැකී කැතම කැත වෙලා ගිය බව ඇත්තක් උනාට අම්මගෙයි මන්දෝදරීගෙයි හිතේ බ්ලැකී ගැන තිබ්බ ආදරේ බිංදුවක්වත් අඩු උනේ නෑ. එහෙම අඩුවෙන්න හේතුවක් තිබ්බෙ නෑ.

“ලස්සන කාලෙ ආදරේ වෙන්නයි කැත කාලෙ වෙනස් වෙන්නයි බැ අම්මෙ ආදරේ. ආදරේ වැඩ කරන්නෙ එහෙම නෙවෙයි” කියලා මන්දෝදරී අම්මා දුක්වෙන හැම වෙලාවකම කිව්වා. බ්ලැකිට තමන් කියන දේ තේරෙනවද නැද්ද කියලා දන්නෙ නැති උනත් මන්දෝදරී ගෙදර යන හැම වෙලාවකම වගෙ බ්ලැකීව හෙමින් සැරේ රිදෙන්නෙ නැතිවෙන්න අතගාලා ආදරෙන් “ඉක්මනට සනීප වෙන්න” කියලා කිව්වා.

බ්ලැකීට සනිප වෙන්න ගත්තෙ චුට්ට චුට්ට. මාස ගාණක් ගිහින් මුලින්ම කකුල් වල, ඊටපස්සෙ නලලෙ, කන්වල එහෙම ලොං එන්න පටන් අරගෙන කියලා අම්මා කතා කරල කිව්වම මන්දෝදරී ඇත්තටම සන්තෝස වුණා.ඒ සන්තෝසෙට හේතුව බ්ලැකීගෙ ලොං ආයෙත් එන්න පටන් ගත්ත එකම නෙවෙයි. මෙච්චර කාලයක් බෙහෙත් කර කර, බලාගෙන ඉඳලත් කිසිම වෙනසක් නොදැක දුක්වෙච්ච අම්මගෙ හිතටත් දැන් ටිකක් හරි සැනසීමක් ලැබෙනවනෙ කියලා හිතිච්ච එක.

“මං කිව්වනෙ අම්මෙ බ්ලැකීට හොඳ වෙනවා කියලා. ඔහොම තමයි ඉතින්. ලෙඩ සනීප වෙන්න කාලයක් යනවනෙ”

“අනේ ඔව් පුතේ. ඊයෙ මං කුස්සියට යද්දිත් පස්සෙන් ආවා. ඉස්සර වගේම තමයි ඉතින්. මං කතා කරද්දි වලිගෙත් හොලවනවා. අර ඉස්සර අපි බ්ලැකී වල්ගෙ වනන්න කිව්වම වගෙ දැන් වල්ගෙ වනනවා. මුල් දවස්වල එහෙම කරේ නෑනෙ” කියලා අම්මා ඒ ටික කිව්වෙ හරිම සතුටින්. බ්ලැකීට ලෙඩේ හැදුණු දවස්වල අඬපු විදියටම දැන් බ්ලැකීගෙ පුංචි වෙනසක් දැක්කත් සතුටු වෙන්න අම්මට පුළුවන් වෙලා කියන එකත් ඒකත් ආදරේ හැටියක් වෙන්න ඇති කියලාත් ඒ වචන අහද්දි මන්දෝදරීට හිතුණා.

කොහොමත් මන්දෝදරී ගෙදර ගිය හැම වෙලාවකම වගේ බ්ලැකී ලඟට ගිහින් ටිකක් වෙලා එයා එක්ක කාලෙ ගත කරන්න අමතක කළේ නෑ. ඉස්සර වගේ ඇඟ පුරාම ලොම් නැති වුණත්, තාමත් සමහර තැන්වල හම කළු වෙලා තිබුණත්, ඒ කිසිම දෙයක් මන්දෝදරීට වැදගත් වුණේ නෑ. එයාට ඕන වුණේ බ්ලැකී සනීපෙන් ඉන්නවා දකින්න විතරයි. තමන් ආදරේ කරපු කෙනෙක්ට දිගටම ආදරේ කරන්න එයාගෙ පෙනුම වැදගත් නෑ කියලමයි මන්දෝදරී නං හිතුවෙ.

ඒත් මේ අතරෙ තනූගෙ හැසිරීමේ නම් ලොකු වෙනසක් වෙලා තිබුණෙ නෑ. බ්ලැකී ගැන එආ කලින් වගේම අකමැත්තෙන් තමා කතා කරේ. අම්මා ඒවා මන්දෝදරීට කිව්වට මන්දෝදරී නං කිව්වෙම “අම්ම ඕවට මුකුත් කියන්න එපා අපි බලන්නෝන බ්ලැකීව සනීප කරගන්නනෙ” කියලා.

“ අනික අම්මෙ, මිනිස්සු එක එක විදියයිනෙ. අපිට හැමෝම අපි වගේ හිතන්න කියලා බල කරන්න බෑ. ඒත් ඒ හින්දා අපිත් අපේ විදිය වෙනස් කරගන්න ඕන නෑනෙ. බ්ලැකී කියන්නෙ අපි ආදරෙන් ගෙදරට ගෙනාපු සතෙක්.එයා මෙහෙම ලෙඩ වෙයි කියලා අපි හිතුවෙ නෑනෙ. ඒත් දැන් ලෙඩ වෙලානෙ. ඉතින් අපි එයාව අතෑරලා දාන්නද? අපිට එහෙම කරන්න පුලුවන්ද අම්මෙ? අපිට වගේ බ්ලැකීටත් මේකෙන් ඉක්මනට සනීප වෙන්න ඕන ඇති. හැබැයි අපිට වගේ බ්ලැකිට ඒක කියාගන්න බෑ. රිදෙන තැනක් පෙන්නන්න බෑ. අමාරුයි කියලා කියන්න බෑ. බ්ලැකීට පුළුවන් අපි දිහා බලාගෙන ඉන්න විතරයි. එහෙම එකේ අපිත් එයාව නොසලකා හැරියොත් එයා කාගෙ පිහිටක් බලාපොරොත්තු වෙන්නද අම්මෙ?

අනික අම්මෙ බ්ලැකීට ලෙඩේ හැදුණා කියලා එයා තවදුරටත් අපි හුරතක් කරපු සතා නොවෙන්නෙ නෑනෙ? ඉස්සර ගෙදරට කවුරු හරි ආවම බුරාගෙන දුවගෙන ගියෙත් ඔය බ්ලැකීම තමයි. අපි කෑම කනකල් ළඟට වෙලා බලාගෙන හිටියෙත් ඔය බ්ලැකීම තමයි. අම්මා කොහේ හරි යන්න ලෑස්ති වෙද්දි පස්සෙන් ඇවිත් දොර ළඟට වෙලා බලාගෙන හිටියෙත් ඔය බ්ලැකීම තමයි. දැන් ඇඟේ ලොම් හැලිලා, හම කළු වෙලා කියලා ඒ දේවල් වෙනස් වුණාද? එයාට අපි ගැන තියෙන ආදරේ අඩු වුණාද? එහෙම නැත්නම් අපිට එයා ගැන තියෙන ආදරේ අඩු වෙන්න ඕනද?

මට නම් හිතාගන්නවත් බෑ අම්මෙ, අපි ආදරේ කරන කෙනෙක්ට අමාරු කාලයක් ආවම ඒ කෙනාව තවත් අසරණ කරන්නෙ කොහොමද කියලා. කෙනෙක් ලස්සනට ඉන්නකොට, සතුටින් ඉන්නකොට, හැමදේම හොඳින් තියෙනකොට ඒ කෙනා ළඟින් ඉන්න ලේසියි. ඒත් ඒ කෙනාට කරදරයක් වුණාම, අසනීපයක් හැදුණාම, කලින් වගේ ඉන්න බැරි වුණාමත් ඒ විදියටම සලකන්න පුළුවන් නම් තමයි ඒ ආදරේ වටින්නෙ. නැත්නම් අපි ආදරේ කරලා තියෙන්නෙ ඒ කෙනාටද, එහෙම නැත්නම් ඒ කෙනාගෙ ලස්සනටයි අපිට ලැබුණු සතුටටයි විතරද?.

 අපිට හැමදාම එකම විදියට ඉන්න බෑනෙ. අද අපි හොඳට ඉන්නවා. හෙට අපිටත් ලෙඩක් හැදෙන්න පුළුවන්. අද අපි ලස්සනට ඉන්නවා. කාලයක් යද්දි වයසට යනවා. අපිට දැන් පුලුවන් දේවල් ඉස්සරහට බැරි වෙන්න පුළුවන්. එදාට අපිටත් කවුරු හරි ආදරෙන් සලකනවා නම්, අපිව අතාරින්නෙ නැතුව බලාගන්නවා නම් කොච්චර දෙයක්ද? එහෙම එකේ අපිට පුලුවන් කාලෙදි අපේ ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්ව අපි කොහොමද අතරින්නෙ?

අනිත් එක අම්මෙ, අපි බ්ලැකීව ගෙදරට ගෙනාවෙ එයා හැමදාම ලස්සනට ඉඳියි, කවදාවත් ලෙඩ වෙන්නෙ නෑ කියලා හිතාගෙන නෙවෙයිනෙ. අපි එයාට ආදරේ කළේ එයාට කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ කියන බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ. එහෙම නම් එයාට අමාරුම වෙලාවක් ආවම කරන්නෝන එයා ලඟින් ඉන්න එක අම්මෙ. අපිට ඒක කරන්න පුළුවන්. ඒ හින්දා තනූ මොනවා කිව්වත් අම්මා ඒවා හිතට ගන්න එපා. මං කියන්නෙ නෑ අම්මා ඒවා අහගෙන දුක් විඳින්න ඕන කියලා. ඒත් ඒ වචන හින්දා අපි බ්ලැකීට සලකන විදිය වෙනස් කරගන්න ඕන නෑ. අපි කරන්නෙ හරි දෙයක් නම්, ඒක දිගටම කරගෙන යන්න අපිට පුලුවන් වෙන්න ඕන.

බ්ලැකීට හොඳටම සනීප වෙන්න තව කල් යයි. සමහරවිට එයා ඉස්සර වගේම ලස්සන වෙයි. සමහරවිට වෙනදා වගේ ලොම් එන්නෙ නැති වෙයි. ඒත් ඒ මොන දේ වුණත් අපි එයාට ආදරේ කරන එක වෙනස් වෙන්නෙ නෑනෙ අම්මෙ. අපිට ඕන එආ සනීපෙන් ඉන්නවා දකින්න විතරයි. ඒ හින්දා අම්මා දුක් වෙන්න එපා. අපි දෙන්නා පුළුවන් විදියට බ්ලැකීව බලාගමු. අනිත් අයගෙ හිත්වල තියෙන දේවල් වෙනස් කරන්න අපිට බැරි වුණාට, අපේ හිත්වල තියෙන ආදරේ වෙනස් නොකර තියාගන්න අපිට පුලුවන්නෙ”

More Stories

Don't Miss


Latest Articles