“ මම මේ ආයේ ඔයාගෙන් අහන්නේ නදීශා ?ඔයාට මේ වැඩේ කරන්න පුලුවන් කියලා විශ්වාසයිද ? පැනලා බාරගත්තා වගේ නෙවෙයි හොඳද .. වැඩේ හිර වුනෝතින් කම්පැනි ඉමේජ් එකම ඩව්න් වෙන්නේ ..?”
ඒ වචන කිහිපය නදීශාගේ හිතට වැදුණේ සාමාන්‍ය වචන විදියට නෙවෙයි. ඒ වචන සහ ස්වරය එක්ක ඇගේ වෘත්තීය හැකියාව, උත්සාහය සහ අභිමානයම කාර්යාලයේ අනෙක් සගයන් ඉදිරියේ දියවෙලා ගිය බවක් තමයි නදීශාට දැනුනේ. ඇය අපහසුවෙන් හැම කෙනා දිහාම බැලුවත්, ඒ අයගෙන්වත් නදීශාගේ හිත හැදෙන විදියේ ප්‍රතිචාරයක් තිබුනේ නැහැ.
නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක සේවය කළ නදීෂා, තම රාජකාරිය දේවකාරියක් හා සමානව ඉටු කලා. උදෑසන නියමිත වේලාවට සේවයට පැමිණෙන ඇය, තමන්ට පැවරෙන සෑම කාර්යයක්ම වගකීමෙන් අවසන් කලා. රාජකාරි වේලාව අවසන් වූ පසුවත් අවශ්‍ය නම් වැඩ අවසන් කරන්න ඇගේ සහයෝගය දෙන්න නදීශා දෙපාරක් හිතුවේ නැහැ. ඒ වගේම රාජකාරි වපසරිය තුල වර්ධනය කර ගත යුතු දැනුම ඇය ආයාසයෙන් හොයලා බලලා හරි ඉගෙනගන්න උත්සාහ කලා. ඒත් ඇයට ඒ බොහො කාරණා පැහැදිලිව අවසන් අක්රගන්න නම් ලැබුනේ නැහැ. ඒකට හේතුව වුනේ ඇය තමන්ගේ සීමාවෙන් එහා බොහෝ දේ සම්පූර්ණ කරන්න උත්සාහ කරපු එක.
එහෙම වුනත්, කාර්යාලය ඇතුලේ නදීශාට තිබුණේ සැහැල්ලු රාජකාරි පරිසරයක් නෙවෙයි. ඇය දිහා හැමෝම බැලුවේ යම් අවතක්සේරුවක් එක්ක.
ආයතන ප්‍රධානියා වූණු වික්‍රමසිංහ මහතා ඇය ට දැක්වූයේ දැඩි ප්‍රතිචාරයක්. නදීෂාගේ උත්සාහයන් අගය කරනවා වෙනුවට ඔහු නිතරම ඇගේ අඩුපාඩු විතරක්ම අනෙක් අය ඉදිරියේ නිරාවරණය කරා. සමහර අවස්ථාවල ඇය නිවැරදිව කළ කාර්යයක් වුවත්, එහි සුළු අඩුපාඩුවක් සොයාගෙන ඇයව අනෙක් අය ඉදිරියේ විවේචනය කරන්න ඔහු දෙපාරක් හිතුවේ නැහැ. වික්‍රමසිංහ මහතා තමන් ගැන විතරක්ම ඒ වගේ හැසිරීම් පෙන්නන්නේ ඇයි කියලා වටහාගන්න එක නදීශාට ලේසි වුනෙත් නැහැ.
“ඔයා තාමත් මේ තනතුරට ගැළපෙන මට්ටමකට ඇවිත් නැහැ,” වික්‍රමසිංහ මහතා ආයෙම කිව්වාට පස්සේ නදීශාට දැනුනේ තමන් ඒතරම් කල් ගොඩනඟාගත්ත හැමදේම නැතිවෙලා ගියා වහ්ගේ. ඒත්නදීෂා කිසිවක් නොකියා නිහඬවවම උන්නා.
ඇයට පිළිතුරු දෙන්නට බොහෝ දේ තිබුණත්, ඇය තීරණය කළේ වචනවලින් සටන් නොකර, තම හැකියාවෙන් පිළිතුරු දීම වඩා සුදුසුයි කියලා. වචන වලින් කොයි තරම් හැප්පුනත් ආයතන ප්‍රධානියා තමාව තවත් පහලටම හෙලන බව ඇය වටහාගෙනයි උන්නේ.
එදා රාත්‍රියේ නිවසට ගිය පසු ඇය කණ්ණාඩිය ඉදිරිපිට සිටගෙන තමන්ගෙන්ම ප්‍රශ්නයක් ඇහුවා.
“මම ඇත්තටම තව දියුණු වෙන්න ඕනේද ?. මම මේ දන්නවා කියලා හිතාගෙන අක්‍රන වැඩ වලින් මට දේවල් මඟ ඇරෙන්නේ කොහේ හරි තියෙන දෙයක් මම ඉගෙනගෙන මදි නිසාද ?… සර් අනෙක් කිසිම කෙනෙක්ට මට සලකන විදියට සලකන්නේ නැත්තේ මම ඇත්තටම අඩුවක් කරන නිසාද ?
නදීශා තමන්වම ප්‍රශ්න කරන්න ගත්තා. අධිමාන්නයෙන් තමන් සියල්ල ඉගෙනගෙන ඉන්නවාය කියන කාරණාව අමතක කලා. රාජකාරියට අදාල යම් යම් දේවල් වෙහෙසවෙලා ඉගෙනගත්තත් තමන්ට මඟ හැරුණු කාරණාත් තියෙන බව ඇය තේරුම් ගත්තා.
“ඔව්. මට තව ඉගෙන ගන්න තියෙනවා.”
ඊළඟ දවසේ සිට නදීෂා තම ජීවිතයට අලුත් සැලැස්මක් හදාගත්තා. ඇයට අදාල රාජකාරියට අදාළ පාඨමාලා අවබෝධයෙන් හදාරන්න පටන් ගත්තා. පරිගණක දැනුම වැඩි කරගත්තා. වාර්ත සකස් කිරීම, කාර්ය කළමනාකරණය, සන්නිවේදනය සහ නායකත්වය පිළිබඳ දැනුම ලබාගත්තා. ඒ වගේම ආයතනයේ අනෙකුත් නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගත්තා. අලුත් දේ ඉගෙන ගන්න කිසිවිටෙකත් ලැජ්ජා නොවන බව පෙන්න්වුආ.
ඒ අතරතුර ආයතනයේ ඇය මුහුණ දුන් අසාධාරණකම්ද අඩු වුනෙත් නැහැ.
සමහර අවස්ථාවල ඇයගේ දක්ෂතාවයට වඩා ඇයගේ අඩුපාඩුව විවේචනය වුනා. සමහර විට ඇය කළ හොඳ කාර්යයක ගෞරවය වෙනත් අයෙකුට හිමි වෙන දිහාව ඇයට බලාගෙන ඉන්න වුනා.
නමුත් නදීෂා කිසිවිටෙකත් රාජකාරිය නොසලකා හැරියේ නැහැ. ඒ වගේම ඇය දිනෙන් දින ඇයගේ දක්ෂතා ඔපමට්ටම් කරගන්නත් උත්සාහ කර්න එක නැවැත්තුවෙත් නැහැ.
“මගේ තනතුරට ගෞරවයක් ලැබෙන්නේ මම අන් අය සමඟ හැසිරෙන ආකාරයෙන්,” යන අදහස ඇය තුළ තදින් තිබුණා.
ඒ නිසා ඇය ප්‍රධානියා ගැන අනෙක් සේවකයන් සමඟ කිසිලෙසකින්වත් ගැටලු ඇති කරගත්තේ නැහැ. කාර්යාලයේ ගැටලු පෞද්ගලික වෛරයක් බවට පත් කරගත්තෙත් නැහ. තමන්ගේ වෘත්තීය ආචාරධර්ම කිසිවිටෙකත් අත්හැරියේ නැහ.
කාලය ගෙවී ගියේ නදීශා ක්‍රමයෙන් අදාල ආයතනය තුළ යම් පරිපූර්ණත්වයකට පත් කරමින්.
වසර කිහිපයකට පස්සේ ඇය අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරගත්තා. ඇයගේ දැනුමත්, අත්දැකීමත්, කාර්ය සාධනයත් ඉහළ ගියා
පුර්ව දැනුම් දීමකට පස්සේ ආයතනයේ නව තනතුරක් සඳහා තරග විභාගයක් පැවැත්වුනා.නදීෂාද ඒ සඳහා ඉදිරිපත් වූණා.
අන්තිමේදි ඇය ආයතනයේ ඉහලම තනතුරකට පත් වුනා.
ඇය පත්වීමේ ලිපිය අතට ගත් මොහොතේ ඇගේ මතකයට පැමිණියේ ප්‍රධානියාගේ වචන නොව, ඒ වචන ඇසූ පසු තමන් ගත් තීරණය. ඕ තමන් ගැන විශ්වාසයෙන් උද්දාමයට පත් වුනා.
“මම කාටවත් මාව ඔප්පු කරන්න යන්නේ නැහැ. මම මාවම දියුණු කරගන්නවා.”
පත්වීමේ උත්සවයේදී වික්‍රමසිංහ මහතා ප්‍රධාන අසුනක උන්නා. ඔහු ඇය වෙත ඇවිල්ලා බොහොම ආඩම්බරයෙන් ඇයට සුබ පැතුවා.
“ඔයා ගොඩක් දුර ඇවිත් තියෙනවා නදීෂා. සුභ පැතුම්.. ඔයාගේ අඩුපාඩු ඔයා නිවැරදි විදියට නිවැරදි කරගත්තා. සමහරවිට මම ඔයාට සලකපු විදිය ටිකක් අපහසු ඇති… ඒත්…, ඒක තමයි ඔයාව ගොඩනංවන්න තිබුණ විදිය..”
නදීෂා සිනාසුණා. වික්‍රමසිංහ මහතා ගේ පැහැදිලි කිරීම පිළිගත්ත බව පෙන්න්වුආ.
“ස්තුතියි සර්.”
එපමණකින් ඇය ඔහුට සමුදුන්නා.
ඇයට අතීතය ගැන කිසිදු කෝපයක් තිබුනේ නැහැ.ඇය තේරුම්ගෙන තිබුණේ තමන්ගේ ජීවිතයේ ඇතැම් බාධක, අවසානයේ තමන්ගේ ශක්තිය බවට පතකර ගැනීමතුල සාර්තකත්වය උදාවෙන බව.
ඇය ඉදිරියට ගියේ කිසිවෙකු පහළට ඇද දමා නොවේය යන විශ්වාසය ඇගේ හිතෙහි හැමදාකම තිබුණා.
“ මම මේ ගමන ආවේ කිසිම කෙනෙක්ව කපාගෙන නෙවෙයි …. කාටවත් අපහාස කරලා නෙවෙයි .. මට වැටෙන්න, අපහාස විඳින්න වුනත් මම ඒ හැම තැනකම නැවතිලා ආයෙම හිතුවා… මට වැරදෙන තැන ඉගෙනගන්න උත්සාහ කලා. ඒක ඇත්තටම ඉගෙනගත්තා..”
වැඩබාරගත්ත දවසේ තමන් එක්ක වැඩ කරන පිරිස අමතලා නදීශා එහෙම කිව්වේ ඇත්තටම ආඩම්බරෙන්.
