උකුස්සා සහ දඩයක්කාරයා

එකෝමත් එක කාලෙක කැලෑවක් අසල පුංචි ගමක දුප්පත් දඩයක්කාරයෙක් ජීවත් වුණා. මේ මනුස්සයාට ලොකු වත්කමක් තිබුණේ නෑ. තමන්ගේ බිරිඳටයි දරුවන්ටයි කන්න දෙන්න තිබුණු එකම මාර්ගය වුණේ කැලේට ගිහින් දඩයම් කරන එක.

එක දවසක් උදේ පාන්දරම දඩයක්කාරයා කැලේට ගියා. හැබැයි එදා කොච්චර ඇවිද්දත් එයාට එකම සතෙක්වත් හොයාගන්න බැරි වුණා. දවල් කාලෙ ගෙවිලා හවස් වෙද්දී දඩයක්කාරයාට හොඳටම මහන්සියි. අදත් හිස් අතින් ගෙදර යන්න වෙයි කියලා හිතෙනකොට එයාට දැනුණේ ලොකු අසරණකමක්.

ඔය අතරේ ගහක් උඩින් අමුතු සද්දයක් ඇහුණා. දඩයක්කාරයා උඩ බැලුවා. ගහේ අතු දෙකක් අතරේ ලොකු උකුස්සෙක් හිරවෙලා ඉන්නවා. කොච්චර තටු ගැහුවත් ඒ සතාට එතැනින් බේරෙන්න බෑ. දඩයක්කාරයා වහාම ගහට නැගලා උකුස්සාව අල්ලාගත්තා. අඩුම ගාණේ අද ගෙදර අයට කන්න මොනවාහරි අරගෙන යන්න පුළුවන් කියලා හිතාගෙන එයා සතුටින් ගෙදර යන්න පිටත් වුණා. ටික දුරක් යද්දී හරි අපූරු දෙයක් සිද්ධ වුණා.

උකුස්සා කතා කරන්න පටන් ගත්තා.

“ඔයා මාව කොහෙද අරගෙන යන්නේ?”

“මගේ පවුලේ අයට කන්න දෙන්න මට අද මුකුත් හම්බවුණේ නෑ. ඉතින් මං ඔයාව ගෙදර අරගෙන යනවා”

උකුස්සා ටික වෙලාවක් නිහඬව හිටියා. ඊට පස්සේ මෙහෙම කිව්වා.

“මං ඔයාට ජීවිතේටම වටින පාඩම් දෙකක් කියලා දෙන්නම්. ඒ දෙක හොඳට මතක තියාගන්න”

දඩයක්කාරයාත් මේ අමුතු කුරුල්ලාගේ කතාව අහගෙන හිටියා.

“පළවෙනි පාඩම තමයි, කවුරුහරි මොනවාහරි කිව්ව පළියට ඒක විශ්වාස කරන්න එපා. මුලින්ම ඒක ඇත්තද කියලා තමන්ගේ බුද්ධියෙන් හිතලා බලන්න”

“දෙවැනි පාඩම තමයි, නැති වුණු දේවල් ගැන හිත හිත පසුතැවෙන්න එපා. වෙච්ච දේ වෙනස් කරන්න බැරි නම් ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන්න”

දඩයක්කාරයා මේ කතා දෙක අහගෙන හිටියට ඒවා එච්චර ගණන් ගත්තේ නෑ. ටික දුරක් ගියාට පස්සේ උකුස්සා ආයෙත් කතා කළා.

“ඔයා මාව නිදහස් කළොත් මං ඔයාට වටිනා දියමන්ති මාලයක් ගෙනත් දෙන්නම්.”

දඩයක්කාරයා පුදුම වුණා. උකුස්සා එයාට ලස්සන කතාවක් කිව්වා.

දවසක් රජ කුමාරිකාවක් තමන්ගේ මාලිගාවේ උයනේ ඉන්නකොට එයාගේ දියමන්ති මාලය දැකලා උකුස්සා ඒක අරගෙන ගිහින් තමන්ගේ කූඩුවේ හංගලා තිබුණලු. දඩයක්කාරයාට මේ කතාව ඇහුණ ගමන් ලොකු සතුටක් දැනුණා. දියමන්ති මාලයක් ලැබුණොත් තමන්ගේ දුප්පත්කම සදහටම නැති කරගන්න පුළුවන් නේද කියලා එයා හිතුවා. ඉතින් දෙපාරක් නොහිතාම උකුස්සාව නිදහස් කළා. නිදහස ලැබුණු උකුස්සා ඉගිල්ලිලා ගිහින් ගහක අත්තක වැහුවා.

“මට දියමන්ති මාලය ගෙනත් දෙන්න.”

දඩයක්කාරයා කෑගහලා කිව්වා.

එතකොට උකුස්සා හිනා වෙලා මෙහෙම ඇහුවා.

“මං ඔයාට කියපු පළවෙනි පාඩම මතකද? කවුරුහරි කිව්ව පළියට දෙයක් විශ්වාස කරන්න එපා කිව්වා නේද? මං වගේ කුරුල්ලෙක් කොහොමද ඔච්චර වටිනා දියමන්ති මාලයක් අරගෙන ගිහින් කූඩුවේ හංගන්නේ කියලා ඔයා එක පාරක්වත් හිතුවද?”

දඩයක්කාරයාට තමන් කරපු මෝඩකම තේරුණා. එයා ඔළුවේ අත ගහගෙන පසුතැවෙන්න පටන් ගත්තා.

“අනේ මගේ අතේ හිටපු සතාවත් මං නැති කරගත්තා. දැන් මගේ දරුවන්ට කන්න දෙන්නේ මොනවද?”

එතකොට උකුස්සා ආයෙත් කතා කළා.

“ඔයාට මං කියපු දෙවැනි පාඩමත් අමතක වෙලා. නැති වුණු දේවල් ගැන හිත හිත පසුතැවෙන්න එපා කිව්වා නේද?”

එහෙම කියපු උකුස්සා ඈතට පියාඹලා ගියා. දඩයක්කාරයා ගහ යටට වෙලා ටික වෙලාවක් කල්පනා කළා. ඊට පස්සේ තමන්ගේ වැරැද්ද තේරුම් අරගෙන ආපහු ගෙදර යන්න පිටත් වුණා.

ඔන්න ඕක තමයි කතාව.මේක නිකම්ම නිකම් උකුස්සෙක් ගැන කියවෙන කතාවකට වඩා අපේ ජීවිතේ ගැන කියවෙන කතාවක් කියලා. මොකද අපිත් සමහර වෙලාවට ඔය දඩයක්කාරයා වගේමයි. කවුරුහරි මොනවාහරි කිව්ව ගමන් ඒක විශ්වාස කරනවා. කවුරුහරි අපි ගැන නරක දෙයක් කිව්වොත් ඒක ඇත්තද කියලා හොයලා බලන්නෙත් නැතුව දුක් වෙනවා. තවත් වෙලාවකට ලොකු ලාභයක් ලැබෙයි කියලා හිතාගෙන අපි ළඟ තියෙන වටිනා දේවල් නැති කරගන්නවා. ඊටත් පස්සේ වෙච්ච දේ ගැන හිත හිත පසුතැවෙනවා. හැබැයි අතීතය ගැන කොච්චර පසුතැවුණත් අපිට ඊයේ දවස වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කරන්න පුළුවන් හෙට දවස විතරයි.

මේ කතාවේ මං වැඩියෙන්ම කැමති උකුස්සාගේ හැසිරීමට. තමන්ගේ ජීවිතේ අනතුරේ තියෙද්දීත් උකුස්සා කලබල වුණේ නෑ. තමන්ට ගැලවෙන්න බැරි තත්ත්වයක් ඇතුළෙත් එයා කල්පනා කළා.

අන්න ඒක තමයි අපි ඉගෙනගන්න ඕන වැදගත්ම දේ. ජීවිතේ අපිට හැමදාම හොඳ දේවල්ම වෙන්නේ නෑ.

සමහර දවසක අපි හිතාගෙන හිටපු හැම සැලැස්මක්ම කඩා වැටෙන්න පුළුවන්. රස්සාව නැති වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් අසාර්ථක වෙන්න පුළුවන්. අපි විශ්වාස කරපු මනුස්සයෙක් නිසා අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

එහෙම වෙලාවට බය හිතෙන එක සාමාන්‍යයි. හැබැයි බය හිතෙන එකයි, බය නිසා හිතන්නේ බලන්නේ නැතුව තීරණ ගන්න එකයි කියන්නේ දෙකක්. ප්‍රශ්නයක් ආව ගමන් කලබල වෙලා ගන්න තීරණයක් නිසා සමහර වෙලාවට තියෙන ප්‍රශ්නය තවත් ලොකු වෙන්න පුළුවන්.

ඒ නිසා සමහර වෙලාවට අපි කරන්න ඕන මුලින්ම හිත සන්සුන් කරගන්න එක. එක මොහොතක් නතර වෙලා කල්පනා කරන්න.

ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මං දන්න දේවල් මොනවද? මං හිතාගෙන ඉන්න දේවල් මොනවද? මේ වෙලාවේ මට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද?

ඒ වගේම හැම කතාවක්ම විශ්වාස කරන්න කලින් හොයලා බලන්න.

අද කාලේ සමාජ මාධ්‍යවල එක වීඩියෝ එකක් බලලා මිනිස්සු ගැන තීරණ ගන්නවා. එක පෝස්ට් එකක් දැකලා මුළු සිද්ධියම දන්නවා වගේ හැසිරෙනවා. කවුරුහරි කිව්ව දෙයක් අහලා අවුරුදු ගාණක යාළුකම් නැති කරගන්නවා.

හැබැයි අපි අහන හැම කතාවක්ම ඇත්ත නෙවෙයි. ඒ නිසා අහන දේවල් විතරක් නෙවෙයි, ඒ දේවල් ඇත්තද කියලා හිතන්නත් ඉගෙනගන්න.

මේ කතාවේ තවත් ලස්සන පාඩමක් තියෙනවා. උකුස්සා දඩයක්කාරයාට වඩා ශරීරයෙන් දුර්වලයි. දඩයක්කාරයාගේ අතේ හිරවෙලා හිටියේ. හැබැයි බුද්ධියෙන් දඩයක්කාරයාට වඩා ඉස්සරහින් හිටියේ උකුස්සා. ඒකෙන් අපිට මතක් කරලා දෙන්නේ නුවණ කියන්නේ බලය, සල්ලි, වයස හෝ තනතුර අනුව ලැබෙන දෙයක් නෙවෙයි කියලා. සමහර වෙලාවට අපිට වඩා පොඩි කෙනෙක්ගෙන් අපිට ඉගෙනගන්න දෙයක් තියෙන්න පුළුවන්. අපිට වඩා අඩුවෙන් ඉගෙනගත්ත කෙනෙක්ට අපි නොදන්න දෙයක් තේරිලා තියෙන්න පුළුවන්.

ඒ නිසා කවදාවත් කෙනෙක්ව අවතක්සේරු කරන්න එපා. අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ජීවිතේ කියන්නේ හැමදාම අපිට ඕන විදිහට සිද්ධ වෙන කතාවක් නෙවෙයි. සමහර වෙලාවට අපි දිනනවා. සමහර වෙලාවට පරදිනවා. තවත් සමහර වෙලාවට අපේම වැරදි නිසා අපිට වටිනා දේවල් නැති වෙනවා. හැබැයි ඒ හැමදේකින්ම අපිට ඉගෙනගන්න පුළුවන්. වැරැද්දක් කළා කියලා ඔයා මෝඩ මනුස්සයෙක් වෙන්නේ නෑ. හැබැයි ඒ වැරැද්දෙන් කිසිම දෙයක් ඉගෙනගන්නේ නැතුව ආයෙත් ඒකම කරනවා නම්, එතන ප්‍රශ්නයක් තියෙනවා.

ඒ නිසා ජීවිතේ ලොකු ප්‍රශ්නයක් ආව දවසට අර උකුස්සාව මතක් කරගන්න.

කලබල වෙන්න කලින් හිතන්න. විශ්වාස කරන්න කලින් හොයලා බලන්න. නැති වුණු දේවල් ගැන පසුතැවෙනවා වෙනුවට ඉතුරු වෙලා තියෙන දේවල්වලින් මොනවද කරන්න පුළුවන් කියලා බලන්න.

මොකද ජීවිතේ හැමදේම අපේ පාලනය යටතේ තියාගන්න අපිට බෑ.

හැබැයි අපිට සිද්ධ වෙන දේකට අපි ප්‍රතිචාර දක්වන විදිහ ගැන හිතලා තීරණයක් ගන්න අපිට පුළුවන්.

ඒක තමයි සැබෑ බුද්ධිමත්කම.

ජීවිතේ හැමදේම නැති වුණත්, හිතලා බලන්න තියෙන හැකියාව නැති කරගන්න එපා. මොකද සමහර වෙලාවට අපිව වැටුණු තැනින් ආයෙත් නැගිට්ටවන්නේ අපි ළඟ ඉතුරු වෙලා තියෙන ඒ නුවණම තමයි.

More Stories

Don't Miss


Latest Articles