5th Avenue – 82

0
26

” ඉෂිනි යි මායි එකට ඉන්නවා දකිනකොට ඔයාට කවදහරි අපි දෙන්නා අතරේ නොගැළපීමක් පෙනිලා තියෙනවද? “

රිහාන්ගේ ප්‍රශ්නයට ශෙනෝලි කිසිවක් නොකියා ඔහු දෙස බලා උන්නාය. ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක් වූ එය ඇගේ සිත තුළ එකවරම සිතුවිලි ගණනාවක් ඇති කරන්නට සමත් විය. තමන්ට දැනුණු දේ ඔහුට පැවසීමට ඇයට හැකියාවක් තිබුණද, ඒ සෑම වචනයක් පිටුපසම සඟවාගත යුතු තවත් හැඟීමක් තිබිණි. ඉෂිනි සහ රිහාන් එකට සිටිනු දකින විට තමන්ගේ සිත රිදුණු බව පවසනවාද ,එසේත් නැතිනම් ඔවුන් දෙදෙනා එකිනෙකාට ගැළපෙන යුවළක් ලෙස තමන්ට හැඟුණු බව පවසනවාද කියා ඇයට එකවරම තීරණයක් ගත හැකි වූයේ නැත.

” මගේ හිත රිදුණත් කමක් නෑ. මට ඇත්ත කියන්න “

රිදී ගියේ තමාගේ හිත බව රිහාන් හට පවසා ගත යුතු වුවත් ඇගේ නිහඬ බව දුටු රිහාන් නැවතත් හඬ අවදි කළේය. ඇය තමාට අවංක පිළිතුරක් දෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූයේ තමන්ගේ සම්බන්ධය දෙස වෙනත් අය බැලූ ආකාරය තේරුම් ගැනීමට වුවමනා වූ බැවිනි. 

” නොගැළපෙනවා කියලා අනිත් අයට පෙනුණත් දැන් ඒකෙන් වැඩක් නැහැ නේද? එහෙම නොගැළපෙනවා නම් ඒ දේවල් ගළපගන්න ඕන ඔය දෙන්නමයි රිහාන් “

ශෙනෝලි අවසානයේ පිළිතුරු දුන්නේ තමන්ගේ සිතේ තිබූ සියල්ල හෙළි නොවන ආකාරයටය. ඇයට අවශ්‍ය වූයේ ඔහුගේ වේදනාව තවත් වැඩි නොකර ඔහුට සිතන්නට යමක් ලබා දීමටය. 

” එහෙම ගළපගන්න තරම් දෙයක් අපි දෙන්න අතරේ තවත් ඉතුරු වෙලා නෑ ශෙනෝලි “

රිහාන් සුසුමක් හෙළා ඉදිරිය බලාගත්තේය. ඒ වන විට සවස් කාලය කෙමෙන් රාත්‍රියට හැරෙමින් තිබිණි. ඈතින් පෙනෙන ගොඩනැගිලිවල විදුලි පහන් එකින් එක දැල්වෙන්නට පටන් ගත් අතර  මාර්ග දිගේ ගමන් කරන වාහනද ආලෝකමත් වෙමින් තිබිණි. මොහොතකට ඒ සියල්ල දෙස බලා සිටි රිහාන්ට සිතුණේ ලෝකය කොතරම් ඉක්මනින් වෙනස් වනවාද කියාය. මිනිසුන්ගේ ජීවිත වලද එවැනි වෙනස්කම් සිදු වන්නේ ඔවුන් බලාපොරොත්තු වන වේගයටත් වඩා ඉක්මනින් නොවේදැයි සිතූ ඔහු සුසුමක් පිට කළේය.

“මට මහ පසුතැවීමක් දැනෙනවා ශෙනෝලි. මං ඇත්තටම ඉෂිනිට ආදරය කළා. මං අපි දෙන්නගේ ෆියුචර් එක ගැන ප්ලෑන් කළා. සෙට්ල් වෙන්න ඕන කියලා හිතුවා. ඒත් ඒ වෙනුවට එයා මට කරපු දේ හරි නැහැ. මට තවත් එයාගේ වැරදි කා ඉස්සරහවත් කියන්න ඕන නැහැ. මොකද මම හිතනවා දෙන්නෙක් වෙන් වෙන්න වුණාට පස්සෙත් අනිත් කෙනාගේ ගෞරවය රකින්න ඕන කියලා “

රිහාන්ගේ වචන වලින් ශෙනෝලිගේ සිතට ඔහු පිළිබඳව දැනුනේ සුවිශාල ගෞරවයකි. ඔහුගේ දෙමව්පියන් ඔහුව කොතරම් හොඳින් උස්මහත් කර තිබෙනවාද කියා කියනවා නම්  ඉෂිනි ඔහුට කුමන වරදක් කර තිබුණද, ඒ පිළිබඳව අන් අය ඉදිරියේ කතා කරමින් ඇගේ ගෞරවය විනාශ කිරීමට සිතන්නේ පවා නැත. සම්බන්ධතාවයක් බිඳ වැටුණු පසු අනෙක් පාර්ශ්වයට අපහාස කරමින් තමන්ගේ වේදනාව පිටකරගන්නා මිනිසුන් අතර, රිහාන්ගේ මේ හැසිරීම ශෙනෝලිට විශේෂයක් වූයේ එබැවිනි.

ඇය ඔහු දෙස බලා උන්නේ තමන්ගේ සිත තුළ ඇති වූ හැඟීම් සඟවාගෙනය. තමන් ඉෂිනි වූවා නම්, තමන් ආදරය කරන මිනිසාට මෙවැනි වේදනාවක් ලබා දීමට කිසිදා ඉඩ දෙන්නේ නැතැයි ඇය සිතුවාය. එහෙත් මිනිසුන් එකිනෙකාට ආදරය කරන ආකාරයත්, ඒ ආදරය රැකගැනීමට ගන්නා තීරණත් වෙනස්ය. දැන් සිදුවී ඇති දේ වෙනස් කිරීමට තමාට නොහැකි වුවද, රිහාන්ගේ සිතේ බර මඳකින් හෝ අඩු කරගැනීමට උපකාර කළ හැකි බව ඇයට හැඟිණි.

” මට හිතෙනවා මං මේ affair එකට නොගිහින් හිටියා නම් කියලා “

රිහාන්ගේ හඬේ තිබූ පසුතැවීම ශෙනෝලිට හොඳින්ම දැනිණි. ඔහු තමන්ට ආදරය කළ ඉශිනි පිළිබඳව බලාපොරොත්තු තබාගෙන, අනාගතය පිළිබඳව බොහෝ සිහින මවාගෙන සිටි බව ඇය දැන උන්නාය. 

” අපිට මනුස්සයෙක් ගැන එකපාරටම කියන්න බැහැනේ රිහාන්. එයා කොහොම කෙනෙක්ද කියලා අපිට හරියටම දැනගන්න වෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. ඔයා දැන් පසුතැවෙනවට වඩා කරන්න ඕන ඔයා එයාට වැරැද්දක් කළේ නැහැ නේද කියලා හිතලා සතුටු වෙන එක. ඉෂිනි ඔයාට වැරැද්දක් කළා නම් මෙතැන පසුතැවෙන්න ඕන එයා මිසක් ඔයා නෙවෙයි”

ශෙනෝලිගේ වචන රිහාන්ගේ සිතට සැහැල්ලුවක් ගෙන ආවේය. මීට පෙර මව සමඟ කතා කළ අවස්ථාවේදී ඔහුට දැනුණු සහනයට සමාන හැඟීමක් මෙවරද ඔහුට දැනෙමින් තිබිණි. ශෙනෝලි ඔහුට උපදෙස් දෙන්නට උත්සාහ කළේවත්, ඔහුගේ වේදනාව සුළුකොට තැකුවේවත් නැත. ඇය කළේ ඔහුගේ සිතේ ඇති දේ තේරුම්ගෙන, ඔහුට තමන් දෙසම වෙනත් ආකාරයකින් බලන්නට උපකාර කිරීම පමණි.

බොහෝ වේලාවක් පුරාවට කෙරුණු ඔවුන් දෙදෙනාගේ සංවාදය නිසා රිහාන්ගේ සිතේ තිබූ බර ටිකෙන් ටික අඩුවෙමින් තිබූ අතර, ශෙනෝලි සමඟ කතා කරන විට කාලය ගෙවී යන බව ඔහුට දැනුණේද නැති තරම්ය. ඇයද ඔහුට සවන් දෙමින්, අවශ්‍ය තැනදී පිළිතුරු දෙමින් ඔහු සමඟ ඒ මොහොත බෙදාගත්තාය.

රාත්‍රිය උදා වී තිබූ බැවින් ශෙනෝලි රාත්‍රී ආහාරය සූදානම් කිරීමට මුළුතැන්ගෙය වෙත පැමිණියාය. කෝපි කෝප්පයක් පමණක් පිළිගන්වා ඔහුව පිටත් කර හැරිය නොහැකි බැවින් ඔහු වෙනුවෙන් රාත්‍රී ආහාරයක් සූදානම් කරන්නට සිතූ ඇය සලාදයක්, එලවලු පිරවූ බිත්තර ඔම්ලට් එකක් සහ බේක් කළ කුකුල් මස් සූදානම් කළාය.

කෑම මේසය මත පිළිවෙළට තබා තිබූ ආහාර දුටු රිහාන්ගේ මුහුණට සිනහවක් නැඟිණි. 

” මම ජිම් එකට ගිය කාලේ කෑවේ මේ වගේමයි. කාලෙක ඉඳලා ජිම් එක පැත්ත පළාතේ යන්න බැරි වුණා ශෙනෝලි “

ඔහුගේ කතාවට ශෙනෝලි සිනාසුණාය. ඒ කතාබහත් සමඟ රාත්‍රී ආහාර වේලාව ගෙවී ගියේ බලාපොරොත්තු වූවාට වඩා සැහැල්ලුවෙනි. රිහාන් බොහෝ කලකට පසු සිතේ නිදහසකින් ආහාර ගනිමින් අතර ඔහුගේ මුහුණෙන් පෙනුණු සතුට ශෙනෝලිටද සතුටක් ගෙන ආවේය.

රාත්‍රී ආහාරය අවසන් වූ පසු ශෙනෝලි මුළුතැන්ගෙය පිරිසිදු කිරීමට පටන් ගත් අතර රිහාන් සාලයට පැමිණ බිත්තියේ එල්ලා තිබූ ශෙනෝලිගේත්, ඇගේ දෙමව්පියන්ගේත් ඡායාරූප දෙස බලා උන්නේය. ඒ ඡායාරූප වලින් පෙනුණු මුහුණු අතරින් ඔහුගේ දෑස් වැඩි වේලාවක් රැඳී තිබුණේ ශෙනෝලිගේ මවගේ ඡායාරූපය මතය.

“ඔයා අම්මගෙම ෆොටෝ කොපියක් ශෙනෝලි “

ඔහු ශෙනෝලි දෙසට හැරී කීවේය.ඒ වචන ඇසුණු ශෙනෝලි යන්තමින් සිනාසුණාය. ඇගේ මව පිළිබඳ මතකය ඇයට සැමවිටම මෙන් ගෙන ආවේ සමීප හැඟීමකි. 

මඳ වේලාවකට පසු ඔවුන් නැවතත් බැල්කනියට පැමිණ වාඩි වූ අතර රාත්‍රියේ සිසිල් සුළඟ ඔවුන් අතරින් හමා ගියේය. ඈතින් පෙනෙන ආලෝකයන් දෙස බලා සිටි රිහාන්ට දැනුණේ තමන්ට මෙවැනි නිදහසක් ලැබුනේ දිගු කාලයකට පසුව බවය. සිතේ තිබූ දේවල් කෙනකු සමඟ බෙදාගැනීමට හැකි වීමත්, තමන් ගැන විනිශ්චයක් නොදී සවන් දෙන කෙනකු ළඟ සිටීමත් ඔහුට විශාල සහනයක් වී තිබිණි.

එහෙත් ශෙනෝලිගේ සිතේ වෙනස්ම නොසන්සුන් බවක් තිබුණු අතර රිහාන් සමඟ ගත කරන පැය කිහිපය ඇයට ඉක්මනින් අවසන් කරගැනීමට ඇයට අවශ්‍ය වූයේ නැත. ඔහු සමඟ මෙලෙස නිදහසේ කතා කරන්නට ලැබීම ඇයට සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනුණද, ඒ සිහිනය කෙතරම් කාලයක් පවතීදැයි ඇය දැන උන්නේද නැත. අශේන් තමන්ගේ සිතේ රිහාන් පිළිබඳ ඇති හැඟීම ඔහුට පවසා තිබුණහොත්, රිහාන් යම් මොහොතක ඒ පිළිබඳව තමන්ගෙන් විමසනු ඇතැයි ඇයට බියක්ද තිබිණි.

“අද මගේ හිතට දැනෙන්නේ ලොකු නිදහසක් ශෙනෝලි. ඉෂිනි ඔයාට කරපු දේ ගැන මට ඔයාට කියන්න ලොකු ඕනකමක් තිබුණා. ඒත් ඒක කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව මම හිටියේ “

රිහාන්ගේ වචන ඇසෙද්දී ශෙනෝලි නිහඬව ඔහු දෙස බැලුවාය. තමන් ඉෂිනි වූවා නම්, තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් කිසිදා එවැනි දෙයක් නොකරන බව ඇයට සිතිණි. රිහාන් වැනි කෙනකුගේ ආදරය ලැබී තිබියදීත් එය රැකගැනීමට නොහැකි වූ ඉෂිනිගේ තීරණය කොතරම් අනුවණදැයි ඇයට හැඟිණි. එහෙත් ඒ සිතුවිලි කිසිවක් ඇය වචනවලට පෙරළුවේ නැත.

රිහාන් මොහොතක් ඇය දෙස බලා උන්නේය ඉෂිනි සමඟ සිදු වූ දේවල් ගැන ඇයට පැවසූ පසු ඇගේ නිහඬ බවත්, වචන තෝරාගනිමින් පිළිතුරු දුන් ආකාරයත් ඔහුට මතක් වූයේ ඒ මොහොතේය.

” ඔයා තරහද ශෙනෝලි? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here