5th Avenue – 81

0
385

සවස හයට පමණ රිහාන් බොරලැස්ගමුවේ පිහිටි Urban Pearl Residences වෙත පැමිණියේය. රථගාලේ වාහනය නතර කළ ඔහු මොහොතක් එහිම රැඳී සිටියේ ශෙනෝලි සමඟ කතා කළ යුතු දේවල් පිළිබඳව තවදුරටත් සිතමිනි. පසුගිය දින කිහිපය තුළ සිදු වූ දේවල් ඔහුගේ සිතට විශාල බරක් වී තිබුණු අතර ඒ සියල්ල අතරින් ඔහුට නිරන්තරයෙන්ම සිහිපත් වූයේ ශෙනෝලි පිළිබඳවය.තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇති වූ ගැටලු හමුවේ ඇයටද අපහසුතාවකට හෝ සිත් රිදීමකට මුහුණ දෙන්නට සිදු වීම ඔහුට සිතුණේ වරක් දෙවරක් නොවේ.

වාහනයෙන් බැස ගත් රිහාන් ආරක්ෂක නිලධාරියාගෙන් විදුලි සෝපානය තිබෙන ස්ථානය විමසා ඒ වෙත පැමිණ රිහාන් තෙවැනි මහලට යාමට නියමිත බොත්තම ඔබා සෝපානයේ දොර වැසෙද්දී බලා උන්නේ නිසොල්මනේය  තෙවැනි මහලට පැමිණි පසු ශෙනෝලිගේ නිවස පිහිටි කොරිඩෝවට පිවිසි ඔහු අනතුරුව දුරකථනය ගෙන ශෙනෝලි හට ඇමතුමක් ලබා ගත්තේය.

ඒ වන විටත් රිහාන් පැමිණෙන තුරු බලා සිටි ශෙනෝලි දුරකථනය නාද වන හඬ ඇසුණු සැණින් එය අතට ගත්තාය.

” හෙලෝ රිහාන් “

“ශෙනෝලි, මම ආවා. ඔයාගේ ෆ්ලෝර් එකේ ලිෆ්ට් එක ළඟ ඉන්නේ “

” ආහ්, හරි රිහාන්. මම එළියට එන්නම් “

ඇමතුම අවසන් කළ ශෙනෝලි දුරකථනය සෝෆාව මත තබා ඉක්මනින් නැගිට්ටාය. ඔහු පැමිණ ඇති බව දැනගත් ඇගේ සිතට එකවරම නොසන්සුන් බවක් මෙන්ම කුඩා සතුටක්ද දැනිණි. රිහාන් තමන්ගේ නිවසට පැමිණ තමන් සමඟ කාලය ගත කරන්නට සූදානම් වනු ඇතැයි සිතීම පවා ඇයට අදහාගත නොහැකි තරම් විය.

දොර විවෘත කරගෙන පිටතට පැමිණි ඇය විදුලි සෝපානය අසල රැඳී සිටින රිහාන්ව දුටුවේ අනතුරුවය. ශෙනෝලි ව දුටු පසු ඔහුගේ මුහුණේ ඇඳුනේ සියුම් හසරැල්ලකි 

” එන්න රිහාන් “

නිවසට ඇතුළු වූ රිහාන්ගේ දෑස් අවට පරිසරය පුරා දිව ගියේ නිරායාසයෙනි. බිත්තිවල එල්ලා තිබූ ශෙනෝලිගේත්, ඇගේ මවගේත් පියාගේත් ඡායාරූප ඔහුගේ නෙත ගැටිණි. නිවසේ සෑම දෙයක්ම තිබුණේ පිළිවෙළකටය. පිරිසිදුකමත්, සරල සුන්දරත්වයත් අතරින් මතු වූයේ කෙනකුට නිදහසේ හුස්ම ගත හැකි තරමේ නිස්කලංක බවකි. ඇතුළු වූ මොහොතේම රිහාන්ගේ සිතට දැනුණේ පැහැදිලිව විස්තර කළ නොහැකි තරම් පහන් හැඟීමකි.

ශෙනෝලිගේ කාර්යබහුල ජීවිතය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුනු රිහාන්ට එතරම් වැඩ රාජකාරි මැද වුවද ඇය තමන්ගේ නිවස මෙතරම් පිළිවෙළට පවත්වාගෙන යන ආකාරය දුටු විට සිතුණේ ඇය කෙතරම් සුන්දර යුවතියක්ද යන්නය. ඒ සුන්දරත්වය ඇගේ පෙනුමට පමණක් සීමා වූවක් නොවන බවද ඔහුට හැඟිණි.

” වාඩි වෙන්න රිහාන් “

ශෙනෝලි සෝෆාව දෙසට අත දිගු කරමින් කීවාය. එහෙත් රිහාන් එහි වාඩි නොවී බැල්කනියට විවෘත වන දොරෙන් පිටතට පැමිණ එතැනින් පෙනෙන අවට පරිසරය දෙස මොහොතක් බලා හිඳ බැල්කනියේ කෙළවරට වන්නට තබා තිබූ පුටු දෙස බැලුවේය. ඉන්පසු ඔහු නැවත ශෙනෝලි දෙසට හැරුනේය.

” මෙතන හොඳයි “

ශෙනෝලි හිස සලා එකඟ වූ පසු රිහාන් එතැනින් වාඩි වූයේ සුවපහසුවෙනි

” කෝපි එකක් බොමු “

එසේ කී ශෙනෝලි මුළුතැන්ගෙය වෙත ගිය අතර බැල්කනියේ සිට ඈතට විහිදී ගිය මාර්ග දෙස බලා හුන් රිහාන් කල්පනා කළේ මේ කතා බහ ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්නය. සිතේ එකතු වී දෙනා කාරණා බොහෝය. ඒ සියල්ල එකවර කියාගැනීමට අවශ්‍ය වුවද, ඒවා වචනවලට පෙරළා ගන්නේ කෙසේදැයි සිතාගත නොහැකිව රිහාන් ලතවූයේය.

මොහොතකින් මුළුතැන්ගෙය දෙසින් කෝපි සුවඳක් හමා ආ අතර ඒ සුවඳත්, වටපිටාවේ පැතිර තිබූ නිහඬ බවත් අතරේ රිහාන්ට සිතුණේ ජීවිතය මෙතරම් සරලව හා නිස්කලංකව ගෙවා දැමීමට හැකියාවක් තිබියදී තමන් කොතරම් කලබලකාරී තත්ත්වයන් අතර සිර වී සිටිනවාද කියාය. ඇතැම් විට තමන්ට අවශ්‍ය වී තිබුණේත් මේ ආකාරයේ නිහඬ මොහොතක් විය හැකි යැයි කියා ඔහුට සිතිණි.

කෝපි කෝප්ප දෙකක් රැගෙන පැමිණි ශෙනෝලි ඉන් එකක් රිහාන්ට පිළිගන්වා ඔහුට යාබදව තිබුණු පුටුවට බර වූවාය. 

” මං ඔයාගේ ගෙදරට ආපු එක අවුලක් නැහැ නේද ශෙනෝලි? “

” අනේ, කිසිම අවුලක් නැහැ රිහාන් “

ඇය පිළිතුරු දුන්නේ අවංක සිනහවකිනි.

” මට ඔයත් එක්ක කතා කරන්න ඕන වුණා. ඒ දේවල් ටික හිතේ තියාගෙන තව දවසක්වත් ඉන්න බැරි නිසා තමයි මං අදම කොහොමහරි  ආවේ “

රිහාන්ගේ වචන ඇසුණු සැණින් ශෙනෝලිගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය. ඔහු මේ තරම් හදිසියේම තමන් හමුවීමට පැමිණියේ කුමක් පිළිබඳව කතා කරන්නටදැයි ඇයට නැවත සිතා බැලුවාය. ඊළඟ මොහොතේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සිතන අතරේ ඇගේ සිතේ වූ නොසන්සුන් බව තව තවත් වැඩි විය.

තමන්ගේම නිවසේ බැල්කනියේ රිහාන් සමඟ එකට වාඩි වී කෝපි බොමින් සිටින බව ඇයට දැනුණේ විශ්වාස කළ නොහැකි සිහිනයක් ලෙසටය. තමන් බොහෝ කලක් සිතින් පමණක් ළං කරගෙන හුන් තරුණයා අද තමන් ඉදිරියේ මෙලෙස සිටින විට ඒ හැඟීම සඟවාගෙන සාමාන්‍ය ලෙස හැසිරීම ඇයට පහසු වූයේ නැත.

” මං ඉෂිනි එක්ක බ්‍රේකප් වුණා ශෙනෝලි “

රිහාන් ඈත බලාගෙනම ඇසෙන නෑසෙන පමණට වචන පිට කළ අතර ශෙනෝලි පුදුමයෙන් ඔහු දෙස බැලුවාය. පසුගිය දින කිහිපය පුරාම රිහාන් සිටියේ වෙනදාට වඩා නිහඬව හා නොසන්සුන්ව බව ඇයට මතක් විය. ඔහුගේ හැසිරීමේ වෙනස ඇය දුටුවද, ඒ සියල්ලට හේතුව මෙය බව ඇයට සිතාගත හැකි වූයේ නැත. එහෙත් ඔහුත් ඉෂිනිත් අතර සම්බන්ධය අවසන් වී ඇති බව දැනගත් මොහොතේ ඇගේ සිත තුළ මතු වූයේ ප්‍රශ්න ගණනාවකි. 

” ඒ ප්‍රශ්නෙදි මට දරාගන්නම බැරි දේ තමයි මං නිසා ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දේවල්”

රිහාන්ගේ කතාවෙන් ශෙනෝලි තවත් විමතියට පත් වූවාය. තමන්ට මුහුණ දෙන්නට සිදු වූ දෙයක් පිළිබඳව ඔහු පවසන්නේ කුමක්දැයි ඇයට වැටහුණේ නැත.

” මං? “

ඇය විමසුවේ ඔහු පැවසූ නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ කරමිනි.

“ඔව්. අර සෝෂල් මීඩියා ප්‍රශ්නේ..ඒක ඉශිනි ගේ වැඩක් .එයා ඒක කළේ ඔයත් එක්ක තිබුණ තරහට “

ශෙනෝලිගේ සිතට එකවරම දැනුණේ පුදුමයකි. තමන් කිසිදු වරදක් කර නොමැතිව ඉෂිනි තමන්ට එරෙහිව එවැනි දෙයක් කළේ ඇයිද යන විමතිය ඇගේ මුහුණෙන් පැහැදිලිවම පෙනුණි. 

” ඔයා මොනවද මේ කියන්නේ රිහාන්? “

” ඒක ගැන මටත් හිතාගන්න බැරි වුණා.ඔයා වගේම මමත් පුදුම උනා. ඒත් එක වෙලාවකදී ඉෂිනිට ඒක කියවුණා ශෙනෝලි. එයා ඒ වගේ තත්ත්වෙකට වැටුණා කියන එක මට මේ වෙලාවෙත් හිතාගන්න බැහැ “

” ඉතින් එයාට එහෙම කරන්න තියෙන හේතුව මොකක්ද? “

රිහාන් මොහොතක් නිහඬව උන්නේය. ඉන්පසු ඔහුගේ මුවින් පිට වූයේ එකම එක වචනයකි.

” මම “

ශෙනෝලිගේ සිත තුළ වූ ගැටලුකාරී බව තවත් වැඩි විය. ඉෂිනි එවැනි දෙයක් කිරීමට තමන්ට තිබෙන සම්බන්ධය හේතුවක් කරගත්තේ කෙසේදැයි ඇය කල්පනා කළාය. තමන්ගේ සිතේ රිහාන් පිළිබඳව ඇති හැඟීම් කිසිවකු සමඟ හෙළි කර නොතිබෙන විට ඉෂිනි එවැන්නක් සැක කළේ කෙසේද යන්න පවා ඇයට පුදුමයක් විය.

” එදා ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි ඩෙත් ඇනිවසරි එක දවසේ අපි එළියට ගිය එක ගැන ඉෂිනිට අවුලක් තිබුණා. ඒක තරහා ගන්න තරම් දෙයක් නෙමෙයිනේ ශෙනෝලි. ඒත් ඒ වගේ දෙයක් නිසා එයා මේ තරම් දරුණු දෙයක් කරයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ “

රිහාන් දිගු සුසුමක් හෙළා කෝපි කෝප්පයෙන් උගුරක් බීවේය. ඔහුගේ සිතේ තිබූ බර සම්පූර්ණයෙන්ම පහව ගොස් නොතිබුණද  ශෙනෝලි ඉදිරියේ ඒ පිළිබඳව කතා කිරීමට හැකි වීමෙන් ඔහුට යම් සහනයක් දැනෙන්නට පටන් ගෙන තිබිණි.

” රසයි “

රිහාන් ශෙනෝලි දෙස බලා කී අතර ඇය මදහසකින් යුතුව රිහාන් දෙස බලා උන්නාය. නිවසට පැමිණි අයෙකු වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කර පිළිගන්වන්නට ඇයට මෙතෙක් අවස්ථාවක් නොතිබුණු අතර එම පළමු අවස්ථාව රිහාන් වෙනුවෙන් ලැබීම ඇයට විශේෂයක් වී තිබිණි .

රිහාන් උන්නේ කනස්සල්ලෙනි. ඉෂිනි සමඟ ඇති වූ ගැටුම, බිඳ වැටුණු විශ්වාසය, තමන්ට දැනුණු වේදනාව මෙන්ම ඒ සියල්ල අතරතුර ශෙනෝලිට සිදු වූ සිත් රිදවීම් පිළිබඳවත් කතා කිරීමේ අවශ්‍යතාවය ඔහු තුළ තිබිණි. ඇය ඉදිරියේ වාඩි වී සිටින විට ඒ සියල්ල වචනවලට පෙරළා ගැනීමට හැකි යැයි ඔහුට හැඟුනු අතර ශෙනෝලි යනු තමා මෙතෙක් සිතේ සිර කරගෙන සිටි දේවල් නිදහසේ කියාගත හැකි කෙනකු බවද ඔහුගේ සිත කියන්නට විය.  

රිහාන් මොහොතක් ශෙනෝලි දෙස බලා උන්නේය. ඉන්පසු නැවත කෝපි කෝප්පයෙන් උගුරක් පානය කළේය.

” මං දෙයක් අහන්නද ශෙනෝලි? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here