5th Avenue – 83

0
274

Episode 83

පසු දින උදෑසන දහය වන විට අශේන් , රිහාන් සහ මේඝ හැරුණු කොට අන් සියලු දෙනාම 5th Avenue ස්ටූඩියෝව වෙත පැමිණියේ සුපුරුදු පරිදිය. සංගීත කණ්ඩායමට අදාළව නිෂ්පාදනය කෙරෙන නව ගීතය රචනා කරන පද රචකයා මුන ගැසීම සඳහා කණ්ඩායම වෙනුවෙන් රිහාන් පිටව ගොස් තිබුණු අතර අශේන්ගේ ගීතය පිළිබඳව අදාල රැස්වීමක් සඳහා ඔහු මේඝ සමග සහභාගි වී තිබිණි. 

ගෙවී ගිය සවස් යාමයේ එකදු මොහොතක් හෝ ශෙනෝලි ගේ මතකයෙන් ඒ වන විටත් ඈත්ව තිබුණේ නැත. රිහාන් තමා සමග තම නිවසේ රැඳී උන් සෑම තත්පරයක්ම අතිශය වටිනා බැවින් ඇය රාජකාරී කටයුතු වල යෙදී හිඳින අතරතුරේ පවා ඒ මතකයන් මෙනෙහි කළේ අමතක කර හිඳින්නට උත්සාහ දැරූ හැඟීම නැවත හදවතට තුරුළු කර ගනිමිනි.

ඉශිනි සමග යළිදු බැඳීමක් හට නොගන්නා බව රිහාන් ස්ථීර වශයෙන්ම පැවසූ බැවින් තමා මේ සිතන්නේ අන් අයෙකුගේ පෙම්වතෙකු පිළිබඳ බවට පෙරදී දැනුණු වරදකාරී හැඟීම ශෙනෝලි හට ඒ මොහොතේදී දැනුනේ නැත.ඒ වෙනුවට ඇයට දැනුනේ අනපේක්ෂිත ලෙස බිඳී ගොස් තිබෙන රිහාන්ගේ හදවත නැවත පිළිසකර කර දීම වෙනුවෙන් තමාට යමක් කල හැකි බවය.

එළඹෙන මාසයේ පළමු සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රසංගයක අවසාන සැලැස්ම සංවිධායකවරයෙකු විසින් ශෙනෝලි ගේ ඊ මේල් ලිපිනය වෙත යොමු කර තිබුණු බැවින් කල්පනාවෙන් මිදුණු ඇය එය විවෘත කර ගෙන ඒ දෙස බලා උන්නාය. ඒ අතරතුරේදී වරින් වර දුරකථනයද අතට ගෙන ඇය වෙලාව පරීක්ෂා කර බැලුවේ රිහාන් ස්ටූඩියෝව වෙත පැමිණීමට යම් වේලාවක් ගතවන බව නොඉවසිල්ලෙන් සිතමිනි. ඔහුව දැක ගැනීමේ ආශාවක් මෙන්ම හදිසියක්ද බොහෝ කාලයකට පසුව ඇය තුළ ඇතිවෙමින් තිබිණි.

කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් ඒ අතරතුරදි නිදහසේ කාලය ගෙවූ අතර අලුතෙන් නිර්මාණය කිරීමට නියමිත කණ්ඩායම් ගීතය පිළිබඳවද ඔවුන් බලාපොරොත්තු සහගතව සැලසුම් කලේ එය කණ්ඩායමේ ඉදිරි ගමන වෙනස්ම මානයකට යොමු කර දෙනු ඇතැයි සිතමිනි.

තම රාජකාරිය සමඟ කාර්ය බහුල වී හිඳි ශෙනෝලි ගේ දුරකථනයේ නාද වූයේ තවත් විනාඩි පහළොවකට පමණ පසුවය. ලැප්ටොප් පරිගණකය තිරය දෙස අවධානය යොමු කරගෙන හුන් ඇය පසෙක වූ දුරකථනය අතට ගෙන තිරය දෙස බලද්දී පුදුමයට පත් වූයේ තිරයේ සටහන් වී ඇති නම දුටු විටය.

ඇමතුම පැමිණෙමින් තිබුණේ ඉශිනි වෙතිනි. ශෙනෝලි ස්ටූඩියෝවේ අනෙක් කෙළවර හිඳිනා සාමාජිකයන් දෙස බලා හෙමින් සීරුවේ නැගිට ස්ටූඩියෝවේ දොර විවෘත කරගෙන පිටතට පැමිණියේ ඉශිනි තමා අමතන්නේ කුමන හේතුවකට වුවත් එය අන් අයගේ අවධානයට යොමු විය යුතු නැතැයි සිතමිනි.

” good morning ඉශිනි “

ශෙනෝලි සුපුරුදු රාජකාරීමය හඬින් දුරකථනයට පිළිතුරු දුන්නේ ස්ටූඩියෝවේ දොර පසුකර කොරිඩෝවේ තවත් පියවර කිහිපයක් එහාට යන අතරතුරය.

” ගුඩ්මෝනින් ශෙනෝලි. ඔයා බිසීද ? ” 

” නෑ ඉශිනි කියන්න “

ශෙනෝලි ගේ හදවතේ යම් චකිතයක් නැගිණි. ඉශිනි ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු වැඩසටහනට පසුව ඇය කිසිදු දිනක ශෙනෝලි ට දුරකථනයෙන් අමතා නොතිබුණු බැවින් ඇය හිටිහැටියේම මෙලෙස තමාට දුරකථන ඇමතුමක් ලබා දීමට සුවිශේෂී හේතුවක් ඇතැයි සිතමින් ඇය තවත් යමක් පවසන තුරු ශෙනෝලි බලා උන්නාය.

” ඔයා ඉන්නේ ස්ටූඩියෝ එකේද ? “

ඉශිනි ඇසුවේ අනතුරුවය

” ඔව් “

” අ.. ඔයාට පේන මානෙක රිහාන් ඉන්නවද ? “

රහසක් අසන්නාක් මෙන් ඉශිනි එසේ විමසද්දී ශෙනෝලි උන්නේ ඇය තමා ඇමතූ හේතුව අනුමාන කරන්නට උත්සාහ කරමිනි.

” නෑ ඉශිනි. මම ස්ටූඩියෝ එකෙන් එලියේ ඉන්නේ ” 

ශෙනෝලි එසේ පිළිතුරු දුන් විට ඇමතුමේ අනෙක් පස හිඳි ඉශිනි තත්පර කිහිපයක් නිහඬව තම හඬ අවදි කළාය.

” ශෙනෝලි රිහාන්ට කියන්න එපා මම ඔයාට කතා කළා කියලා.මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ “

” මොනවා ගැනද ඉශිනි ?”

සැබැවින්ම ඉශිනි උන්නේ දෙගිඩියාවෙනි. ශෙනෝලි තමා හට කිසිදු වරදක් නොකර ඇය අතින් තමාට වරදක් සිදුවී තිබියදී ඇයවම ඇමතීමට සිදුවීම දෛවයේ පුදුම සහගත සැලසුමක් යැයි ඉශිනි සිතුවාය.

” මේකයි ශෙනෝලි. මං ඇත්තටම ඔයාට මෙහෙම කතා කරන්න නෙමෙයි හිටියේ. ඒ උනාට. මේ වෙලාවේ ඔයාට කතා නොකර බැරි වුණා මට “

ශෙනෝලි ඇයට කතා කිරීමට ඉඩ හැරියාය. ඉශිනි පහර ගැසීමට උත්සාහ කළේ තම ආත්ම ගෞරවයට වුවත් තමා ඇගේ තත්ත්වයට වැටිය යුතු නැතැයි සිතමින් ඇය තමා ඇමතීමට හේතුව කුමක් වුවත් ඇයට සවන් දීමට ශෙනෝලි දෙවරක් නොසිතාම තීරණය කළාය.

” ඔයා දන්නවා ඇති මායි රිහානුයි අතර ප්‍රශ්නයක් වුණා කියලා “

ශෙනෝලි දිගු සුසුමක් හෙළුවාය.සියල්ල දැන උන්නත් රිහාන් ඒවා තමා සමග බෙදා ගත්තා යැයි ඉශිනි සමඟ පැවසීමට ඇගේ සිත ඉඩ දුන්නේ නැත. රිහාන් සහ තමා අතර පැවැති කතාබහ ඔහු සහ තමන් අතර පමණක් පැවතිය යුතු බැවින් ඒ පිළිබඳව වචනයක් හෝ කතා කිරීම කළ යුත්තක් නොවේ. 

” මං එහෙම එකක් දන්නේ නැහැ ඉශිනි “

ශෙනෝලි සෘජුවම පැවසුවේ ඉශිනි ව පුදුමයට පත් කරමිනි.

” really ? මං හිතුවා ඒ ගැන දැනටමත් රිහාන් ඔයාට කියලා ඇති කියලා “

” රිහාන් සාමාන්‍යයෙන් එයාගෙ පර්සනල් දේවල් කා එක්කවත් ශෙයා කරන්නේ නෑනේ ඉශිනි”

ඉශිනි මොහොතක් නිහඬව උන්නේ ශෙනෝලි සැබවින්ම පවසන්නේ සත්‍යයක් දැයි සිතා ගත නොහැකිවය. රිහාන් කොතෙක් ප්‍රතික්ෂේප කලද තමා සිතා උන්නේ ඔහු සහ ශෙනෝලි අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතිනවා යයි කියා වුවද එවැන්නක් සිදුව නැතැයි ඉශිනි සිතුවේ තවදුරටත් දෙගිඩියාවට පත් වෙමිනි.

” හරි. මම ඔයාට ඒ ගැන කියන්නම්කෝ එහෙනම්. අපි දෙන්න අතර පොඩි ප්‍රශ්නයක් වුණා. ඕනම affair එකකදි එහෙම වෙන්න පුළුවන්නේ ශෙනෝලි ? එහෙම නේද ? ” 

ඉශිනි වෙනස්ම චරිතයක් මවා ගනිමින් උන්නාය. 

” ඔව් නේද ?” 

ශෙනෝලි එසේ පැවසුවේ ඇයට දීමට වෙනත් පිළිතුරක් නොවූ තැනය.

” ඔයා දන්නවනෙ රිහාන් ටිකක් අමුතු කෙනෙක් කියලා. ඉතින් මට මේ ප්‍රශ්නය එයත් එක්ක හරියට කතා කරලා විසඳ ගන්න ඕනේ.හැබැයි එයා මගේ කෝල්ස් වලට ආන්සර් කරන්නෙත් නැහ, මාව මීට් වෙන්න එන්නෙත් නැහැ.මට එකපාරටම මේ වෙලාවේ ස්ටූඩියෝ එකට එන්නත් බැහැනේ ෂෙනෝලි “

ඉශිනි මේ සූදානම් වන්නේ කුමකට දැයි කියා ශෙනෝලි හට ඉවෙන් මෙන් වැටහෙමින් තිබිණි.

” තවත් ගෑණු ළමයෙක් විදිහට මං හිතනවා ඔයාට මාව මේ වෙලාවේ තේරුම් ගන්න පුළුවන් කියලා. මට මේ උදව්ව ඉල්ලන්න වෙන කෙනෙක් නැහැ ශෙනෝලි.අනිත් එක මම හිතනවා රිහාන් ඔයා කිව්වොත් ඕනම දෙයක් අහනවා කියලා.මොකද ඔය දෙන්නා ගොඩක් ක්ලෝස් නේ. මට හිතෙනවා මට මේ උදව්ව කරන්න පුළුවන් ඔයාට විතරයි කියලා. මේ ප්‍රශ්නෙ හරියට විසඳගන්නෙ නැතුව ඉන්න මට හරි අමාරුයි ශෙනෝලි.කොටින්ම කියනවනම් මට ඔෆිස් එකේ වැඩක් වත් මේ දවස් වල හරියට කර ගන්න බැහැ.මම රිහාන් ව කන්ටැක් කරගන්න ගොඩක් ට්‍රයි කරලා බැරිම තැනයි ඔයාට කතා කරනවා කියලා හිතුවේ “

ඉශිනි තමන්ට අවශ්‍ය වූ කාරණාව ඉටු කර ගැනීම සඳහා පියවර සකස් කර ගත්තේ බිඳෙන් බිඳය. ශෙනෝලි පිළිබඳව කරුණු අසා ඇති ආකාරයට ඇය දෙවරක් නොසිතා ඕනෑම අයෙකුට උපකාර කිරීම සඳහා පෙළඹෙන තැනැත්තියක් බැවින් රිහාන්ව සම්බන්ධ කර ගැනීමට ඇති පහසුම මාර්ගය ඇය යැයි ඉශිනි සිතුවාය.

” ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනේ ඉශිනි ඔයාට ? “

ශෙනෝලි එය විමසුවේ අවංකවමය. තමාට ඇය වෙනුවෙන් යමක් කිරීමට නොහැකි වුවත් අඩුම තරමේ ඇයට සවන් දීම හෝ කළ යුතු යැයි සිතුනු බැවින් ඇය පිළිතුරක් දෙන තුරු නැවත ශෙනෝලි අයට ඉඩ දී බලා උන්නාය.

” ඔයාට පුළුවන්ද මට රිහාන්ව මීට් වෙන්න විදිහක් හදල දෙන්න ? ප්ලීස්? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here