වසන්තය තව දුරද – 51

0
262

මිනිස්සුන්ට ජීවිතේ අස්සේ දුකට මුහුණ දෙන්නට වෙන තැන් අනන්තය, අප්‍රමාණය. ජීවිතේ හම්බුවෙන හිස්තැන්ද ඒ වගේමය. කෙනෙක් නැතිවීමෙන් හැදෙන හිස්තැන්, කෙනෙක් ළඟ ඉඳගෙනත් තනියම වගේ දැනෙන හිස්තැන්, තමන්ගේ දේවල් කියාගන්න කෙනෙක් නැතිවීමෙන් හැදෙන හිස්තැන් පුරවගන්න මිනිස්සු තවත් මිනිස්සු ළඟ නතර වෙන අවස්ථාවන්ද අනන්තය. අප්‍රමාණය.

ඒ නතර වීම හැම වෙලාවකම ආදරයෙන් පටන් ගන්නේ නැත. සමහර වෙලාවට ඒවා පටන් ගන්නේ හිතවත්කමකින්ය. තමන් කියන දේ අහගෙන ඉන්නා කෙනෙක් හම්බවීමකින්ය. තමන්ට නොදැනීම ඒ කෙනා තමන්ගේ දවසේ පුරුද්දක් බවට පත්වීමකින්ය.

අතුල නොදැනුවත්වම කුමුදුනී ළඟ නතර වුණේ අන්න එහෙමය.

වජිර වෙනුවෙන් ඇය ළඟට ගිය මිනිසා, ටිකෙන් ටික තමන්ගේ හිතේ බරත් ඇය ළඟින් තියන්නට පුරුදු වී තිබුණේ එහෙමය..

එය ආදරයක් බව අතුලට සිතුණේ නැත. මේ වනාහී සමාජය ඉදිරියේ තමන්ව වැරදි කාරයකු කරන්නට හේතුවන යමකට පාර කැපෙන්නකැයි අතුල සිතුවේ නැත. තමන් වැරදි දෙයක් කරන බවක්ද ඔහුට දැනුණේ නැත.

ඔහුට දැනුණේ කුමුදුනී ළඟදී තමන්ගේ හිතට ටිකක් සැහැල්ලුවක් දැනෙන බව පමණි.

එදා හවස අතුල කුමුදුනීගේ ගෙදෙට්ට ගොඩ වුණේ බඩු මල්ලකුත් අතෙන් උස්සාගෙනය. ඒ ගෙදෙට්ට ගොඩවෙන හැම වෙලාවකම මොනවා හෝ උස්සගෙන යන පුරුද්දක් අතුලට දැන් පුරුදු වී තිබුණේය. වෙනදාකට නම් අතුල ගෙට ගොඩ වෙද්දීම චාරිත්‍රෙට මෙන් කුස්සියට ගොස් තේකක් වක්කරන කුමුදුනී මෙදා තමන්ගේ මූන මග හැර එක එල්ලේ අහස දිහා බලාගෙන උන්නේම මොකක් හෝ අලකලංචියක් නිසා විත්තිය අතුලට නොතේරුණා නොවේ.

“නංගි” කියා අතුල කතා කරබ හඬ ඇසුණද කුමුදුනී ආපසු හැරී බැලුවේ නැත.

“මොකෝ ඔය?”

“මුකුත් නෑ අයියෙ”

ඒ පිළිතුර එතරම් ඉක්මනින් දෙනු ලැබුවද ඒ තිබූ හඬේ වෙනස අතුලට නොදැනුණා නොවේ.

“මුකුත් නැත්තං ඔය ඇස් දෙක රතු වෙලා තියෙන්නෙ?”

කුමුදුනී තම අතේ පිට පැත්තෙන් ඇසක් පිසදාගත්තේ එවරය. අතුලගෙන් සියල්ල වසං කරන්න මෙන්‍ ය.

“නෑ අයියෙ. නිකං”

“නිකං කියන්නෙ?”

“නිකං ඉතින්”

“අඬලා නේද?”

“නෑ”

“නෑ කියන්නෙ?”

“අඬලා නෑ”

“එහෙනං ඔය ඇස් දෙක රතු වෙලා තියෙන්නෙ මොකෝ?”

“මුකුත් නෑ අයියෙ” කියා කුමුදුනී එතැනින් ඉවත්ව කුස්සිය දෙසට යන්නට හැරුණාට අතුල උන්නේ කතාව එතනින් නතර කරන තැනක නොවේ. වයස්ගත පිරිමි හිතක් උව ගෑනු කඳුලක් ළඟ හෙල්ලුන එක ඇත්තකි.

“නංගි” අතුල ආයෙමත් කතා කළේ ඒ හෙල්ලුන හිත දරාගන්න ගමන් ය.

“මොකක් හරි වෙලා තියෙනවා”

“මුකුත් වෙලා නෑ අයියෙ”

“මට කියන්න බැරි දෙයක්ද?”

“එහෙම දෙයක් නෑ”

“ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“නෑ”

“මට කියන්න බැරි ප්‍රශ්නයක්ද?” කියා අතුල අහද්දී කුමුදුනී වහා හිස ගස්සා ඇස් උස්සා අතුල දෙස බැලුවේ එය නැතැයි කියන්නට මෙනි.

“නෑ අයියෙ”

“එහෙනං?”

“මුකුත් නෑ කිව්වනෙ” ඒ වචන ටික කියද්දීත් ඇගේ හඬ තවදුරටත් ස්ථාවරව තබාගන්නට ඇයට හැකි නොවුණ බව වෙනම කතාවකි. අතුල බඩු මල්ල මේසය මත තබා කුමුදුනී දෙසම බලාගෙන උන්නේ කුමක් කරන්නටදැයි හිතාගන්න බැරුවය.

“මට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙන්න විදියක් ඇතෙයි කියලා මං හිතන්නෙ නෑ නංගි මෙච්චර දවසක් අපි දෙන්නා දෙපැත්තට බෙදා හදාගත්ත ප්‍රශ්නවල හැටියට”

“නෑ අයියෙ එහෙම දෙයක් නෙවි”

“කවුරුහරි මොනවා හරි කිව්වද?”

“නෑ අයියෙ”

“කවුරුහරි ඇවිල්ලා මොනවා හරි කරදරයක් කළාද?”

“නෑ අයියෙ”

“එහෙනං ඇයි මේ? එකපාර මොකද්ද මේ වුණේ? ” කියා අතුල අහද්දී එයට දෙන්නට කුමුදුනී ළඟ උත්තරයක් තිබුණේ නැත. ඒ උත්තරයක් නැති නිසා නොව, කියන්නට තරම් හේතුවක් හිතාගන්නට බැරි නිසාය.

 “නිකං දුක හිතුණා”

“හේතුවක් නැතුව දුක හිතෙන්නෙ නෑනෙ”

“සමහර වෙලාවට හිතෙනවා අයියෙ”

“මොකක් ගැනද?” කියා අතුල ඇහුවාට කුමුදුනී ආයෙමත් කිසිවක් නොකියා බිම බලාගෙන උන්නා මිසක මක්කාවත් කීවේ නැත.

“වජිර මතක් වුණාද?”

“මතක් වුණා අයියෙ. ඉන්නකං බොන්න හතරතේ ණය වෙලා මං කොච්චර අමාරුවෙන්ද මේ ගෙදර විය හියදං ටික කරගත්තෙ. මැරිලවත් මට නිදහසක් නෑ අයියෙ අතනින් ණය ගත්ත මෙතනින් සල්ලි ගත්තා කියලා ඒ මිනිස්සු මේ ගෙවල් අස්සෙ හිතු මනාපෙ රිංගන්න තියාගෙන. සල්ලි දුන්නෙ නැති උනාම උන් එනවා වෙන වෙන ජාතිවලින් ඒ උවමනා එපාකං පිරිමහගන්න. දෙයියනේ මං කියලා මොනා කරන්නද අයියෙ? මං ඉල්ලගත්ත සල්ලියක්ද? අනික මං කොහෙන් කියලා සල්ලි ගෙවන්නද කියන්න අයියෙ?” කියද්දි කුමුදුනී මෙච්චරවෙලා අතුලගෙන් සඟවාගෙන හිත අස්සේ හිරකරගෙන උන් දුක කඳුළු බවට හැරී නෙත් ඔස්සේ කම්මුල් දිගේ ගලා හැලුණාය.

“කවුද නංගි ගෙදෙට්ට ආවේ?” කියා අතුල ඇහුවේ ඇත්තටම දරුවෙක්ට කතා කරනවා වගෙ ස්වරයකිනි.

“අනේ මං දන්න එකක් නෑ අයියෙ. දෙතුන් දෙනෙක්ම ආවා. මරණෙ නිසාලු කලින් ආවෙ නැත්තෙ. මට තරහයි වජිර එක්කත් වෙලාවකට. මැරිච්ච මනුස්සයෙක් ගැන ඔහොම කියන එක හොඳ නෑ කියලා දන්නවා. ඒත් මට තරහයි. එයා ඉන්නකං මං කී සැරයක් කිව්වද මේ විදියට ණය වෙන්න එපා, ගෙදර වියදම් ටිකවත් බලලා කරන්න කියලා. ඒත් එයාට ඒ වෙලාවෙ ඒවා ගාණක් තිබ්බෙ නෑ. බොන්න තියෙනවා නං, යාලුවෙක් කතා කළොත් යන්න තියෙනවා නං, සල්ලි ඕන උනාම කොහෙන් හරි හොයාගන්නවා. මං ඕවා ගෙවන්නෙ කොහොමද අහපුවාම හරි හරි බලමු කියලා කියනවා. ඕන්න අන්තිමේ බලලා තියෙන හැටි. අන්තිමේ එයැයි සෙත්තපෝච්චි උනා. දැන් බලන්නකො අයියෙ, එයා කරපු දේවල්වලට මං තමයි මේ ගෙදර ඉඳගෙන උත්තර දෙන්න ඕනෙ පිට එවුන්ට. කවුරුහරි දොරට තට්ටු කළත් මට දැන් පරාණ බයයි අයියෙ. කවුද කින්ද මන්ද කියලා බලලා තමයි මං දැන් දොරවල් ජනෙල් අරින්නත් ඕන. කවුරුහරි සල්ලි ඉල්ලගෙන ආවොත් මං මොනවා කියන්නද? වජිර මලා මං දන්නෙ නෑ කියලා කිව්වට ඒ මිනිස්සු යනවද? මං ගෑනියෙක් කියලා, මට සල්ලි හොයාගන්න විදියක් නෑ කියලා, ඒ මිනිස්සුන්ට වගක් නෑනෙ අයියෙ. මට වෙලාවකට හිතෙනවා අයියේ ඇත්තටම මීට වඩා හොඳයි මාත් වහ ඩිංගිත්තක් හරි කාලා මළා නං කියලා. ඇයි දෙයියනෙ  ගෑනියෙක් කියලා උහුලන්න ඇහැක් දුක් කන්දරාවක්ද මං මේ දවස් ගාණට ඉහිලුවෙ කියන්නකො?

මට ඇත්තටම ජීවිතේ එපා වෙලා අයියෙ තියෙන්නෙ. අයියා විතරයි මට මෙහෙමවත් දෙයක් කියන්නෙ. මං මේ කියන්නෙ මට කියන්න වෙන කෙනෙක් නැති හන්ද ඇත්තමයි. අයියත් නැත්තං අයියෙ අම්මපා ඇත්තමයි මං එක පාරට දෙපාරක් ජීවිතේට මොනාහරි කරගෙන.

ඒ තරං තිත්ත වෙලා තියෙන්නෙ අයියෙ මට දැන් හැමදේම”

එක හුස්මට එසේ කියා අවසන් වූ පසු කුමුදුනී තවත් කිසිවක් කියන්නට නොගොස් බිම බලාගෙනම උන්නාය. මෙතෙක් වේලාවක් හිත අස්සේ හිරකරගෙන උන් දේවල් එළියට දැමූ පසුව හරි නං හිත සැහැල්ලු වෙන්න උවමනා උනත් හිත තවත් බර වී ඇති සේය. කඳුළු පිසදාගන්නට උත්සාහ කළද ඒවා නවතින්නට සූදානමක් නැති සේය.

“මං කවදාවත් අයියගෙන් මොනවත් ඉල්ලලා නෑනෙ. වජිරගෙ යාලුවෙක් කියලා අයියා මේ තරං උදව් කරපු එකත් මට හොඳටම ඇති. ඒත් අද මට නිකං මට කාටහරි මේ ටික කියන්නම ඕනෙ වුණා. නැත්තං මට හිතෙන්නෙ මං පිස්සු හැදෙන්න යනවා වගේ අයියෙ. ලේසි පාසු දුකක් නෙවි අයියෙ මං හිත අස්සෙ හිරකරං උන්නෙ දවාලෙ ඉඳන්”

ඇය එසේ කියද්දී අතුල කිසිවක් නොකියා බලාගෙන උන්නේය. කුමුදුනීගේ මුහුණෙහි තිබූ අසරණකමත්, කඳුළින් රතු වූ ඇස් දෙකත්, ඒ වචන අතරින් එළියට එමින් තිබූ තනිකමත් අතුලගේ හිත බරකරන්නට හේතු විය.

“හරි නංගි” කියා අතුල මඳ හඬින් කීවේ ඒ බරැති හැඟීම දරාගන්නට බැරිම තැනය.

එහෙත් එතැනින් පසුවත් ඔහුට කියන්නට තිබූ වචන හමු වූයේ නැත. මෙතෙක් කුමුදුනීගේ ප්‍රශ්නවලට වචනවලින් උත්තර දුන් අතුලට ඒ මොහොතේ වචනවලින් ඇගේ දුක අඩු කරන්නට නොහැකි බව දැනෙන්නට පටන්ගෙන තිබුණේය.

අන්තිමේ අතුල හෙමින් අත දිගු කළේය. කුමුදුනීගේ අත ඔහුගේ අතට හසුවුණේ එතරම් උත්සාහයකින් තොරවය.

“මට කියන්න බැරි දෙයක් ඔයාට නෑනෙ නංගි. මෙහෙම ප්‍රශ්නද අපි කතා කරේ. ඔයා මට කියන්න. අනික ඔය සල්ලි ටික පියවන්න මම උදව් වෙන්නම්”

කුමුදුනී ඒ වචන ඇසුවේ අතුල දෙස බලාගෙනමය. එක මොහොතකට දෙදෙනාගේ ඇස් එකිනෙක හමුවිය.

ඒ බැල්මෙහි ආදරයක් තිබුණේයැයි කියන්නට අතුලටවත්, එය ආදරයක් නොවන බව කියන්නට කුමුදුනීටවත් ඒ මොහොතේ හැකි වූයේ නැත. තිබුණේ දුකෙන් පිරුණු ගැහැනියකගේ ඇස් දෙකක් සහ ඒ දුක ඉස්සරහා තවත් බලාගෙන ඉන්නට බැරි වූ මිනිසෙකුගේ බැල්මක් ඒකාත්මික වීම පමණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here