වසන්තය තව දුරද – 70

0
157

“දැන් කවුද ඔය එනවය කියන අමුත්තා?” කියා චන්ද්‍රා ඇහුවේ “නලින්ද්‍ර අයියා අද ඩිනර් එකට එනවා කිව්වා. තව අමුත්තෙකුත් එක්කරගෙන එනවා” කිව්වා කියා නෙත්මාල් පැමිණ කිව් කතාව හන්දාය.

“ම්ම්ම්ම් ඒක ඉතින් ආවමම බලාගන්නකො” කියා නෙත්මාල් කිව්වේ වැඩි සිනා කතා නැතුවය. තාත්තා එක්ක කතා කරගත් විදියට මෙහෙම තිරණයක් ගත්තද අම්මාත් නංගිත් මේ දේට කුමනාකාරයේ ප්‍රතිචාරායක් දක්වාවිද කියන බය නෙත්මාල්ගේ හිතේ නොතිබුණා නොවේ. 

“අනික නලින්ද්‍ර මොකෝ මට කියන්නෙ නැතුව ඩිනර් එකට එන විත්තිය ඔයා එක්ක කිව්වෙ?” කියා නංගී ඔරොප්පුවට අහද්දි නම් නෙත්මාල්ට හිනා ගිය බව ඇත්තය, 

“මොකෝ ඉරිසියද මස්සිනාලා දෙන්නා ෆිට් උනාට්?”

“අමෝ අමෝ ෆිට් වෙන්නම මරු දෙන්නා. මොන විදියට ෆිට් වෙයිද තමයි බය මට” කියා නෙත්මලී කිව්වේ ඇස් පුංචි කර අයියා දිහා අමුතු විදියට බ්ලන ගමන් දිව දික්කරය. නලින්ද්‍රත් අයියාත් විතරක් දන්න කුමක් හෝ රහසක් මෙතන තියෙන බ්ව දන්නවා උනත් ඒ මොකද්ද කියා හාරවුස්සන්න නෙත්මලී ගියේ නැත. 

ඒ වෙනුවට ඇය නැවතත් දුරකථනය අතට ගත්තේ නලින්ද්‍රට පණිවිඩයක් යවන්නටය. යවා මේ වෙන්නේ මොනවාදැයි කියා අහන්නටය.

“ඔයා මොකක්ද අනේ මේ හොරෙන් ප්ලෑන් කරන වැඩේ? මටවත් කියන්නෙ නැතිව?” කියා පණිවිඩය යවා තත්පර කිහිපයක් ගතවන්නටත් පෙර පිළිතුරක් ලැබිණි.

“හැමදේම කලින් දැනගන්න ඕන නෑනෙ ළමයො. සමහර දේවල් සිද්ධ වෙනකල් ඉන්නත් පුරුදු වෙන්න”

නෙත්මලීගේ මුහුණේ සිනහවක් ඇඳුණේ ඒ පිළිතුර කියවූ පසුවය. එහෙත් ඒ සිනහව අතරේම යම් කුතුහලයක්ද නොතිබුනා නොවේ. නලින්ද්‍ර තමන්ගෙන් යමක් හංගන බව ඇයට දැනුණත් ඒ පිටුපස නරක දෙයක් ඇතැයි සිතන්නට ඇයට හේතුවක් තිබුණේ නැත.

“මොකද තනියම හිනා වෙන්නෙ?” නෙත්මාල් ඇසුවේ නංගීගේ මුහුණ දෙස බලමිනි.

“ඔයාට වැඩක් නෑනෙ”

“ආ… එහෙමද? හරි හරි. අපි බලමුකො අද රෑට කාටද වැඩක් තියෙන්නෙ කියලා” කියා අයියා කියද්දි  නෙත්මලී නැවතත් ඔහුට රැව්වාය. නමුත් නෙත්මාල්ගේ ඒ වචනවලට ඇය වැඩි අවධානයක් දුන්නේ නැත. ඇයට අවශ්‍ය වූයේ නලින්ද්‍ර පැමිණෙන තුරු බලා සිටීමටය. ඒ දෙනෙත් අස්සේ පැටලීමටය. ඔහු එක්ක එන අමුත්තා කවුදැයි දැන ගැනීමටය.

කෑම මේසය සූදානම් කරමින් සිටි චන්ද්‍රා මේ දෙස බලාගෙන සිටියේ මඳ සිනහවකිනි. කාලයකට පසු දරුවන් දෙදෙනා මෙලෙස විහිලු කරමින් සිටිනු දැකීම ඇයට සතුටක් විය. එහෙත් නෙත්මාල්ගේ මුහුණේ වෙනදා නොතිබූ යම් බැරෑරුම් බවක් ඇයට නොපෙනුණා නොවේ. ඔහු යමක් සිතේ තබාගෙන සිටින බව මවකගේ ඉවට දැනුණත්, ඒ කුමක්දැයි අසන්නට ඇය ඉක්මන් නොවූවාය.

නෙත්මලීගේ දුරකතනය නැවත නාද උනේ ආන් ඒ ඇසිල්ලේය

“අන්න එනවා කියලා මැසේජ් එකක්ද කොහෙද” නෙත්මාල් කීවේ ඇය දුරකථනය අතට ගන්නා ආකාරය දැකය.

“ඔයාට නම් පුදුම අමාරුවක් තියෙන්නෙ මගේ දේවල් හොයන්න අයියෙ හොඳේ”

“මගේ අනාගත මස්සිනා ගැන ටිකක් හොයලා බලන්න ඕනනෙ ඉතින්. තමුසෙ වගේ පිස්සු හෝන්තුවකට අහු උනාට පස්සෙ ඒ මනුස්සයා ගැන එහෙමවත් හොයලා බලන්න ඉන්නෙ ඉතින් මං වගේ තව තමුසෙ හින්දා අසරණ වෙච්ච කොල්ලෙක්ම විතරයි”

“අනේ මේ මොකද්ද කියනවකො මං හින්දා තමුසෙට මූන පාන්න වෙච්ච අසරණකම” කියා අයියාට ඇද කරමින් නෙත්මලී දුරකථන තිරය දෙස බැලුවාය. නලින්ද්‍ර එවන ලද කෙටි පණිවිඩයේ තිබුණේ ඔවුන් තව සුළු වේලාවකින් පැමිණෙන බව පමණි. ඔහු සමඟ එන අමුත්තා ගැන එහි කිසිවක් සඳහන් වී නොතිබිණි.

නෙත්මලී සුසුමක් හෙළා දුරකථනය පසෙකින් තැබුවාය. අද රාත්‍රියේ සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතාගන්නට් බැරිකම හිත නොසංසුන් කර තිබුණ බව ඇත්තකි. නලින්ද්‍රගේ පැමිණීම ගැන ඇගේ හිතේ තිබුණේ වෙනදාටත් වඩා නොඉවසිලිමත් බලාපොරොත්තුවකි.

ඒ බලාපොරොත්තුව අතරේම නිවස ඉදිරිපිටට පැමිණි වාහනයක ආලෝකය මිදුල පුරා විහිදී ගියේය. නෙත්මලීගේ හිත එකවරම ගැස්සුණේ ඒ නලින්ද්‍රගේ වාහනය බව හඳුනාගත් නිසාය. ඇය අතේ තිබුණු දුරකථනය කෑම මේසය මත තබා නැඟී සිටියාය. නෙත්මාල්ගේ මුහුණේ තිබුණේ නංගීටහ් අම්මටත් නොපෙනෙන ලෙස සඟවාගත් නොසන්සුන්කමකි.

වාහනය මිදුලේ නතර විය. මුලින්ම රියදුරු අසුනෙන් බැසගත්තේ නලින්ද්‍රය. ඔහු වාහනයේ දොර වසා අනෙක් පසට ගොස් පිටුපස දොර විවර කරන තුරු නෙත්මලීගේ දෙනෙත් ඔහු වෙතම රැඳී තිබිණි. ඇයගේ හිතේ තිබුණේ නොඉවසිලිමත් කුතුහලයකි. නලින්ද්‍ර මෙතරම් රහසක් කරගෙන සිටි අමුත්තා කවුරුන් විය හැකිදැයි ඇය නොයෙක් දේ සිතුවාය. ඇතැම් විට ඔහුගේ යහළුවෙකු වන්නට ඇත. එසේත් නැත්නම් ඔහුගේ පවුලේ කෙනෙකු වන්නට ඇත. නමුත් නලින්ද්‍ර තමන්ට නොකියා මේ තරම් විශේෂ දෙයක් සැලසුම් කරන්නේ ඇයිදැයි නෙත්මලීට සිතාගන්නට පුලුවන් උනේ නැත.

වාහනයේ අනෙක් පසින් නලින්ද්‍ර පිටුපස දොර විවර කරද්දී ඇය මඳක් ඉදිරියට නැඹුරු වූයේ ඒ කවුදැයි බලන්නටා. ඒ මොහොතේ ඇගේ හිතේ තිබුණේ කුඩා දරුවෙකුට තමන් වෙනුවෙන් සූදානම් කර ඇති තෑග්ගක් විවෘත කරන තුරු ඇති වන නොඉවසිල්ල වැනි හැඟීමකි. නලින්ද්‍රගේ මුහුණේ තිබූ සන්සුන් බව දුටු විට ඒ කුතුහලය දෙගුණ තෙගුණ විය. ඔහු මේ සියල්ල කලින් සැලසුම් කර ඇති බව පැහැදිලිය. එහෙත් ඒ සැලැස්ම ඇගේ ජීවිතයත් සමඟ මෙතරම් සමීපව බැඳී ඇතැයි ඇය කිසිසේත් සිතුවේ නැත.

එහෙත් ඊළඟ මොහොතේ වාහනයෙන් බැසගත් පුද්ගලයා දුටු සැණින් ඒ මුහුණේ තිබූ සිනහව මැකී ගියේය.

නෙත්මලීට දැනුණේ හදිසියේම තමන් අවට තිබූ සියලු ශබ්ද නැවතී ගියාක් මෙනි. මොහොතකට පෙර හිත පුරා තිබූ කුතුහලයත්, නොඉවසිල්ලත් කොහේදෝ අතුරුදන් වී ගොස් ඒ වෙනුවට විස්වාස කරගත නොහැකි තරමේ පුදුමයක් හිත පුරා පැතිර ගිය බවකි. තමන් දකින්නේ සැබෑවක්දැයි තේරුම් ගන්නට නොහැකිව ඇය ඇසිපිය නොහෙළා බලා සිටියාය.

ඒ මුහුණ ඇයට අමතක කළ හැකි එකක් නොවේ. කාලයක් තිස්සේ තමන්ගේ හිතේ දහස් වාරයක් මවාගත්, තමන්ට මතක් නොකර ඉන්නට උත්සාහ කළත් කිසිදා අමතක කරගත නොහැකි වූ මුහුණකි ඒඑ. ඔහු නැවත තමන් ඉදිරියේ සිටිනු දැකීම ගැන ඇය කොතරම් සිහින මවා තිබුණද, ඒ සිහින සැබෑ වන දවසක තමන්ට මෙතරම් නිහඬව බලා සිටින්නට සිදුවනු ඇතැයි ඇය කිසිදා සිතුවේ නැත.

උගුරේ යමක් සිර වී තිබුණාක් මෙන් දැනෙද්දී, වචනයක්වත් පිටකරගත නොහැකිව දෙනෙත් විශාල කරගෙන බලා සිටි ඇයට, තමන්ගේ හිතේ මෙතෙක් කල් එකිනෙකට පැටලී තිබූ ආදරයත්, වේදනාවත්, තරහවත් එකවරම අවදි වන බව දැනුණ බව ඇත්තකි. ඔහු වෙත දුවගෙන ගොස් තුරුලු වන්නට හිත කෑගසද්දී, ඔහු තමන්ව අතහැර ගිය දවසේ සිට හිතේ තැන්පත් වූ වේදනාව ඇගේ දෙපා එක තැනක නතර කරගෙන සිටියේය.

“තාත්තෙ”

නෙත්මලීගේ මුවින් ඒ වචනය පිටවුණේ ඇයටත් නොදැනීමය. ඒ සමඟම චන්ද්‍රාගේ මුවින්ද තවත් වචනයක් ගිලිහී ගියේය.

“අතුල”

නිවසේ දොරකඩ සිටගෙන සිටි චන්ද්‍රාටත්, සාලයේ සිටි නෙත්මලීටත් ඒ මොහොතේ දැනුණේ එකම පුදුමය වුවත්, ඔවුන්ගේ හිත් තුළ ඇති වූ හැඟීම් එකිනෙකට වෙනස් විය. නෙත්මලීගේ දෙනෙත් පුරා කඳුළු පිරී ගියේය. ඒවා නවතාගන්නටවත්, තමන්ට දැනෙමින් තිබුණේ සතුටක්ද, දුකක්ද, නැතිනම් මෙතෙක් කල් හිතේ හිරකරගෙන සිටි වේදනාවද යන්න වෙන්කර හඳුනාගන්නටවත් ඇයට පුලුවන් උනේ නැත.

අතුල ඇය දෙස බලා සිටියේ හදවත පුරා බලාපොරොත්තු පුරවාගෙනය. තමන්ව දුටු සැණින් දෑස්වලට කඳුළු පිරුණු ඒ දියණිය, වෙනදා මෙන්ම දුවගෙන විත් තමන්ගේ පපුවට තුරුලු වනු ඇතැයි අතුල සිතුවේය. ඇය කුඩා කාලයේදී තමන් වැඩ ඇරී ගෙදර එන විට දුවගෙන එන හැටි ඔහුට මතක් නොවුණා නොවේ. එදා මෙන් අදත් ඒ දුර අඩු කරගන්නට ඇයට හැකි වේවි යැයි ඔහු බලාපොරොත්තු නොවුණා නොවේ.

එහෙත් නෙත්මලී සිටි තැනින් සෙලවුණේවත් නැත.

ඇගේ දෙනෙත්වලින් කඳුළු ගලා ගියද, ඒ පාද  පියවරක්වත් ඉදිරියට ආවේ නැත. තාත්තා දකින්නට ඇය කොතරම් ආසාවෙන් සිටියාද යන්න ඇත්තකි. ඔහුගේ තුරුලේ හිස හොවාගෙන හිතේ තිබුණු සියල්ල කියා අඬන්නට ඇයට කොතරම් වාර ගණනක් සිතුණාද යන්නත් ඇත්තකි. නමුත් ඒ සියලු බලාපොරොත්තු අතරේම තමන් ඔහු එනතුරු බලා සිටි හැම දවසකම ඔහු නොපැමිණි බව ඇයට අමතක කළ නොහැකි විය.

අතුලගේ මුහුණේ වූ බලාපොරොත්තුව ටිකෙන් ටික මැකී යන අයුරු නෙත්මාල්ටද පෙනුණේ ඒ අතරේය. ඔහු හෙමින් මව දෙස බැලුවේ ඒ නිසාවෙනි

චන්ද්‍රාගේ දෙනෙත් තිබුණේ අතුල වෙතම යොමුවය. කලක් තිස්සේ තමන් සමඟ එකම වහලක් යට ජීවත් වූ මිනිසා අද තමන් ඉදිරියේ සිටියේ වෙනස්ම අයෙකු ලෙසිනි. ඔහු කෙට්ටු වී තිබිණි. මුහුණේ තිබූ පිරුණු බව අඩුවී, නොකැපූ රැවුල නිසා පෙනුමද වෙනස් වී තිබිණි. ඒ මුහුණ දකිද්දී ඇගේ හිතේ කොතැනක හෝ වේදනාවක් ඇවිලුණ බව ඇත්තකි. තමන් සමඟ ජීවිතයේ බොහෝ කාලයක් ගත කළ මිනිසා මේ තරම් වෙනස් වී සිටිනු දැකීම හිතට පහසු හැඟීමක් නොවේ.

එහෙත් ඒ වේදනාව නිසා ඇගේ තීරණය වෙනස් වූයේ නැත. ඔහු ගැන දුක සිතීමත්, ඔහුට නැවත තම සැමියා ලෙස තමන්ගේ ජීවිතයට ඇතුළු වීමට ඉඩ දීමත් එකක් නොවන බව චන්ද්‍රා දැන සිටියාය.

අතුල උන්නේ කුමක් කර යුතුදැයි හිතාගන්නට බැරුවය.  නලින්ද්‍රද කිසිවක් නොකියා පසෙකට වී ඔවුන්ට ඒ මොහොත විඳගන්නට ඉඩ දුන්නේ එනිසාය.

අම්මාගේ මුහුණේ වෙනස දුටු නෙත්මාල් ඇය වෙත ළං වී උරහිස මත හෙමින් අතක් තැබුවේ අම්මා කෝපයෙන් යමක් කියාවිදැයි හිතේ බියක් තිබුණ නිසාවෙනි.

මඳ වේලාවක් අතුල දෙස බලා සිටි චන්ද්‍රා අවසානයේ හඬ අවදි කළාය

“ගෙට එන්න අතුල”

ඒ වචනවල ආදරයක් තිබුණේද, සමාවක් තිබුණේද යන්න අතුලට තේරුම් ගත නොහැකි වූ හැඟීමකි. ඔහු නිහඬව හිස සැලුවේ එනිසාය.

නෙත්මලී තවමත් උන්නේ කඳුළු පිරි දෙනෙතින් තාත්ත දෙස බලාගෙනය. ඔහු නැවත තමන්ගේ ජීවිතයට පැමිණ සිටි බව ඇත්තකි.

 ඒත් ඒ සදහටමද තාවකාලිකවද යන්න හිත තිබුණ ප්‍රශ්නයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here