“ප්‍රශ්න විසඳගන්න ඕන විදි ගැන අපිට දාහක් බණ කියලා තාත්තා ප්‍රශ්නෙ විසඳගන්න තිබ්බ ගොංම විදියට ප්‍රශ්නෙ විසඳගත්ත එකයි තාත්තෙ මට තාම තේරුං ගන්න බැරි” කියා නෙත්මාල් කියද්දි ඇත්තටම අතුලට වෙනදා වගේ ඒ වචනවලට දෙන්නට උත්තර තිබුණේ නැත. තමන් වෙනදා තමන්ගේ දරුවන් ඉදිරියේ බුදුවරයෙකු මෙන් පෙනී උන් තැනැත්තෙකු බව ඇත්තෙකි. එහෙත් ඒ තැන නැති කරගත්තේද තමන්මය.
බුදු දහමේ කියවෙන පරිදි තමන් කරන කර්මයේ විපාක තමන්ටම විඳින්නට සිදු වුවත් මිනිසෙකුගේ ඇතැම් තීරණවල විපාක ඔහුට පමණක් සීමා නොවේ. විශේෂයෙන්ම දෙමව්පියන්ගේ තීරණ දරුවන්ගේ හිත්වලත් නොපෙනෙන තුවාල ඉතිරි කරයි. අතුලටත් සිදු වී තිබුණේ එයයි. තමන්ගේ සිතේ ඇති වූ ගින්න නිවාගන්නට ඔහු ගත් තීරණයෙන් තමන්ගේම ගෙදර සැනසීම දැවී යන බව අතුල ඒ මොහොතේ නොසිතුවේය. එහෙත් දැන් ඔහුට තේරෙමින් තිබුණේ තමන්ට දරුවන්ට කියා දුන් ජීවිත පාඩම්වලට වඩා තමන්ගේම ජීවිතයෙන් ඔවුන්ට කියා දුන් පාඩම කොතරම් වේදනාකාරී එකක් වී තිබුණාද යන්නය.
තාත්තා කෙනෙකු වීම යනු දරුවන්ට හරි වැරැද්ද කියා දීම පමණක් නොවේ. තමන් අතින් වැරැද්දක් වූ විට එය පිළිගැනීමටත්, ඒ වැරැද්දෙන් රිදුණු හිත්වලට තවදුරටත් රිදවන්නේ නැතිව සිටීමටත් තරම් සිතක් තිබීමය. තමන් කළ වරදට හේතු තිබිය හැකිය. තමන්ටත් දුකක්, තනිකමක්, අසරණකමක් තිබෙන්නට ඇත. එහෙත් තමන්ගේ දුක නිසා අනුන්ට දුකක් දුන් බව අමතක කිරීමෙන් ඒ වරදේ බර අඩු වන්නේ නැත. අතුලට දැන් ඉතිරිව තිබුණේ තමන් කළ දේ වෙනස් කිරීමට නොව, එයින් රිදුණු තමන්ගේ දරුවන්ගේ හිත්වලට තවදුරටත් බරක් නොවී සිටීමට උත්සාහ කිරීමය. සමහරවිට ජීවිතේ ප්‍රමාද වී හෝ ඉගෙන ගත යුතු අමාරුම පාඩම එය වන්නට ඇත.
“තාත්තට තව ඇත්තටම හිතන්න තිබ්බා. මොක නැතත් තාත්තෙ නංගි ගැන ඔයිට වඩා හිතන්න තිබ්බා. තාත්තා හොඳටම දන්නවා නංගි තාත්තට කොච්චර ආදරේද කියන එක. එහෙමෙකේ ඔහොම තීරණයක් ගද්දි ඒකෙන් නංගිට වෙන බ්ලපෑම කොච්චරද කියන දේ හිතන්න තිබ්බ. අපි පාරෙ බැහලා යන්නෙ කොහොමද කියන දේ හිතන්න තිබ්බා. ඒ කිසිම දෙයක් හිතන්නෙ නැතුව ගෙයින් එලියට බැස්ස ඔයාට අන්තිමේ මොනවද කියන්නකො ලැබුණෙ? මොනවද ඔයා අපිව අතැරලා ලබාගත්ත දේවල්?
තාත්තා දන්නවද නංගි කොච්චර කාලයක් තාත්තා ආයෙ එයි කියලා බලාගෙන හිටියද කියලා? එයාට තාත්තත් එක්ක තරහ වෙන්න ඕන වුණත් එයාට ඒක කරගන්න බැරි වුණා. මොකද එයාගෙ හිතේ තාත්තා ගැන තිබුණ ආදරේ ඒ තරම් ලොකුයි. තාත්තා එයාව අතෑරලා ගියත් එයාට තාත්තව අමතක කරන්න බැරි වුණා. ඒත් තාත්තා ඒ කාලෙ හිටියෙ කොහෙද? තාත්තා තමන්ගෙ ප්‍රශ්නවලින් ගැලවෙන්න උත්සාහ කරද්දි නංගි ඒ හැමදේම හිතේ තියාගෙන තනියම දුක් වින්දා. විබාගෙ අනාගත්තා.
මට තාත්තගෙන් අහන්න තියෙන්නෙ මෙච්චරයි. තාත්තා අපිට ආදරේ කළා නම්, තාත්තගෙ හිතේ අපි ගැණ ආදරයක් තිබුනා නම් ඒ ආදරේට කොහොමද පුලුවන් වුණේ අපිට රිද්දන්න? තාත්තට ප්‍රශ්න තිබුණා කියලා මං පිළිගන්නවා. තාත්තටත් හිත රිදෙන්න ඇති, තාත්තටත් තනිකම දැනෙන්න ඇති. ඒත් තාත්තාට විතරක් නෙවෙයිනෙ මේ පවුලෙ ප්‍රශ්න තිබුණෙ. අපි හැමෝටම අපේ ප්‍රශ්න තිබුණා. ඒත් අපි කවුරුත් ඒවායින් ගැලවෙන්න කියලා මේ පවුල අතෑරලා ගියේ නෑනෙ තාත්තෙ” කියා නෙත්මාල් අහද්දී අතුල බිම බලාගෙන උන්නේ කරකියාගන්නට දෙයක් නැති තැනය.
පුතා කියන කිසිම දෙයක් බොරුවක් නොවන බව අතුල දැන උන්නේය. තමන් ගෙදරින් පිටව යද්දී හිතුවේ ඒ මොහොතේ තමන්ට දැනුණු පීඩනයෙන් නිදහස් වීම ගැන පමණක් බවත් අතුල දැන උන්නේය. එහෙත් ඒ නිදහස සොයාගෙන යන ගමනේදී තමන්ට අහිමි වූයේ ජීවිතේ වටිනාම දේවල් බව අතුලට වැටහුණේ ජීවිතයේ තිබූ සියලු සන්තකයන් නැතිවුණ තැනදීය.
“මං දන්නවා පුතේ. මං ඒ කිසිම දෙයක් හරියට හිතුවෙ නෑ. මට ඒ වෙලාවේ මගේ ප්‍රශ්නෙ ලොකු වුණා. මං හිතුවෙ මං මෙහෙන් ගියොත් මට හිත හදාගන්න පුලුවන් වෙයි කියලා. ඒත් මං ගිය තැනක මට හිතේ සැනසීමක් තිබුණෙ නෑ. මං ඔයාලගෙන් ඈත් වුණාට පස්සෙ තමයි මට තේරුණේ මං කොච්චර ලොකු දෙයක් නැති කරගත්තද කියලා මේ පුංචි සැනසීමක් වෙනුවෙන් කියල”
“ඒක තේරෙන්න තාත්තාට අපිව නැති කරගන්නම වුණා නේද?” කියා අහද්දී නෙත්මාල්ගේ හඬෙහි වූයේ සමච්චලයක් නොව, දිගු කලක් තිස්සේ හිතේ තද කරගෙන සිටි වේදනාවකි. “තාත්තා අපිට පොඩි කාලෙ ඉඳන් කියලා දුන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒකෙන් පැනලා යන්න නෙවෙයි, ඒකට මූණ දෙන්න කියලා. ඒත් තාත්තාම ප්‍රශ්නෙට මූණ නොදී ගියා. මට ඒකයි තේරුම් ගන්න බැරි. අපිට කියලා දුන්න දේවල් තාත්තාටම අමතක වුණේ කොහොමද කියන එක”
අතුලට ඒ ප්‍රශ්නයට උත්තරයක් තිබුණේ නැත. තමන්ට අවශ්‍ය දේ සාධාරණීකරණය කරගන්නට හේතු සොයමින් සිටියා මිස, ඒ තීරණය නිසා අහිමි වන දේ ගැන අවංකව හිතා බලන්නට තමන් උත්සාහ නොකළ බව ඔහුට පිළිගන්නට සිදු විය.
“මං ඔයාට ඒකට උත්තරයක් දෙන්න දන්නෙ නෑ පුතේ. මට වැරදුණා. ඒක පිළිගන්නවා ඇරෙන්න මට දැන් කියන්න දෙයක් නෑ”
“වැරදුණා කියලා දැනගත්තට පස්සෙ ඒක හදාගන්නත් ඕනනෙ තාත්තෙ. හැබැයි ඒක හදාගන්නවා කියන්නෙ තාත්තට ඕන විදියට හැමදේම ආයෙත් සිද්ධ වෙන එක නෙවෙයි. අම්මට වෙච්ච දේවල් අමතක කරන්න කියන්න බෑ. නංගිටත් එහෙමයි. මටත් එහෙමයි. තාත්තා අපිට කොච්චර ආදරේ කළත් ඒ ආදරේ තිබුණා කියලා අපිට රිදිච්ච තැන්, හිත බිඳිච්ච කැඩිච්ච තැන් නැති වෙන්නෙ නෑ”
“මං දන්නවා පුතේ. මං ඔයාලට ඒ දේවල් අමතක කරන්න කියන්නෙ නෑ”
“එහෙනම් තාත්තා දැන් මොකද බලාපොරොත්තු වෙන්නෙ? අපි මොකක් කරන්නෝන කියලද තාත්තා හිතන්නෙ? තාත්තා ආයෙත් අපේ ජීවිතවලට එන්න ඕන නම්, ඒක තාත්තට ඕන නිසා විතරක් කරන්න බෑනෙ. අම්මටත් හිත හදාගන්න කාලයක් ඕන. නංගිටත් ඕන.තාත්තට ඒක තේරෙනවා ඇතිනෙ නේද?”
අතුල හිස සැලුවේය. ඒ ගැන වාද කරන්නට උවමනාවක් අතුල්ට තිබුණේ නැත. අනෙක් අතට තමන්ට ඕන දේ ඉල්ලන්න පුලුවන්කමක් තමන්ට දැන් තියෙනවද කියාත් අතුල හිතුවේය. එහෙත් ඒ අයිතිය නැති කරගත්තේ තමන්ම වුවත්, තමන්ගේ දරුවන් වෙත නැවත ළං වන්නට තිබූ ආසාව යටපත් කරගන්නට පුලුවන්කමක් අතුලට තිබුණේ නැත.
“තාත්තට දැන් මගෙන් වෙන්න ඕන මොකද්ද?” නෙත්මාල් ඇසුවේ අන්න ඒ අතරවාරයේය.
අතුල ඒ ප්රශ්නය හමුවේ මොහොතක් නිහඬව සිටියේය. තමන්ගේ ඉල්ලීම කියන්නට හිත තිබුනේ ලැජ්ජාවෙනි. තමන්ගේම තීරණයකින් අතහැර ගිය ගෙදරට නැවත එන්නට අද තමන්ට තමන්ගේම මිනිසුන් ඉදිරියේ පින්සේන්ඩු වෙන්නට සිදුවී ඇත. එහෙත් තවදුරටත් තමන්ට අවශ්‍ය දේ සඟවාගෙන සිටීමෙන් පලක් නැතැයි ඒ අතරේම අතුලට හිතුනේය.
“මගෙන් වරදක් වුණ බව ඇත්ත පුතා. ඒත් ඕනම මනුස්සයෙක්ට ආයෙ වැරදි හදාගන්න ඉඩක් හම්බෙන්න ඕන. මං කරපු දේවල් හරි කියලා කියන්නෙ නෑ. මට පුළුවන් නම් ඒ හැමදේම හදාගන්න උත්සාහ කරනවා. ඒත් ඒකට මට ඔයාලගෙන් ඈත් වෙලා ඉඳලා බෑ පුතේ” ඒ වචන ආවේ අසරණ පියෙකුගේ වේදනාබර පපුතුරකින් බව නෙත්මාල්ට මෙන්ම නලින්ද්‍රට නොතේරුනා නොවේ.
“මොකද්ද දැන් තාත්තට මගෙන් වෙන්න ඕන?” නෙත්මාල් ඇසුවේ එනිසාම හැඟුම්බර වු හඬකිනි
අතුල පුතා දෙස බැලුවේ එක හා සමාන වේදනාව කැටිවුණ ඒ දෙනෙත්වල තමන් ගැන තිබූ කලකිරීම තවමත් පහව ගොස් නැති බව ඔහුට පෙනුණේය. එහෙත් තමන්ට අහිමි වූ ඒ පවුල වෙත නැවත ළං වන්නට ඇති ආසාව තවදුරටත් වචන අතරේ සඟවාගෙන සිටීමට අතුලට පුලුවන් උනේ නැත.
“මට ආයෙ ගෙදර එන්න ඕන පුතා”


