ඉන්ද්රනීල්ගේ කතාව
——————————–
මගෙ නම් ඉන්ද්‍රනීල් කන්දේගොඩ.
අපේ පරංපරාවම කොරේ රූකඩ හදන එක. ඒක අපේ තාත්තට සීයගෙන්, සීයට සීයගෙ තාත්තගෙන් එහෙම පරංපරාවෙන් ආව කරුමාන්තෙ. අපේ පරංපරාවට ඔය රූකඩ කරුමාන්තෙ ඇවිත් තිබ්බෙ අම්බලන්ගොඩ කන්දෙගොඩ පොඩිසිරිනා ගුරුන්නාසෙන්ගෙන්.
උන්දැලා අපෙ මුතුන් මිත්තො. අපේ පරංපරාව රූකඩ කරුමාන්තෙට කොච්චර ප්‍රසිද්ධද කියනවා නම් එක්දාස් අටසිය හැත්තෑවෙදි වගේ වේල්ස් කුමාරයා ලංකාවට හෙම ආ වෙලාවෙ බගතලේ වලව්වෙදි එහෙම අපේ ඔය පොඩිසිරිනා ගුරුන්නාන්සෙ උන්වහන්සේට බලන්න රූකඩ සංදර්සනේකුත් කරලා තියෙනවලු.
ඉතින් ඒ විදියට තමයි අපේ පරංපරාව රූකඩ සංදර්සන පවත්තන්න කටයුතු කොරේ. මගෙ මල්ලි වෙච්ච සමුද්‍රගුප්ත රූකඩ වැඩවලට එච්චර කැමැත්තක් දැක්කුවෙ නැති හන්දයි, උන්දැ ආස උනේ පොතේ පතේ වැඩවලටයි හන්දා තාත්තා රූකඩ කරුමාන්තෙ ඉස්සරහට අරගෙන යන රාජකාරිය සහමුලින්ම වගේ භාරදුන්නෙ මට. ආන් ඒ විදියට තමයි මම රටේ එක එක තැන්වලට ගිහිල්ලා රූකඩ සංදර්ශන කරන්න පටන් ගත්තෙ.
මං පුදුමාකාර විදියට ආස වුණා රූකඩ සංදර්ශන පවත්තන්න ගමින් ගමට යන එක. කොච්චර නම් දේවල් දකින්නයි, කරන්නයි පුළුහන් වුණාද ඒ හන්දා. ආය ඔය අපේ මල්ලි වගේ ගෙයි ගෙම්බා වගේ ගෙයින් ඉස්කෝලෙටයි, ඉස්කෝලෙන් ගෙටයි මාරුවෙන රස්සාවක් කරා නං එයාකාර අද්දැකීං ගන්න පුළුහන් වෙනවද කියන එකමයි මං ඔහොම සංදර්ශන කොරන්න යන චෑන්ස් එකක් හම්බෙන හැම වාරෙකම වගේ කල්පනා කොරේ. රූකඩ සංදර්සන වලින් අපිට හොඳට හම්බ කොරන්නත් පුළුහන්කම තිබ්බා. තාත්තට තිබ්බා බක්කි කරත්තෙ වෙනුවට කාලයක් ගිහින් මම ලොරියක් අරගෙන රට වටේ යන්න පටං ගත්තෙ එහෙමයි. අනික අපි ගාව අපේ සීයලගෙන් ආව රූකඩ සංදර්සන වලට අමතරව අලුතෙන් පටන් ගත්ත රූකඩ නාට්ටිත් තිබ්බ හන්දයි, ඔය පරණ රජ කාලෙ කතන්දරයි, බෝසත් කතයි ඇරුණම, රටේ තොටේ වෙන සිද්දියි, විහිලු තහලුයි, දේසපාලන කතයි දාලා හදපු අලුත් රූකඩ නාට්ටිත් තිබිච්ච හන්දා මිනිස්සු සෑහෙන්න වගේ ආව අපේ නාට්ටි බලන්න.
මට පද්මපාණිව හම්බුනේ ආං එහෙම ගමනකදි.
පද්මපාණි කියන්නෙ ඕනම පිරිමියෙක් අයිති කරගන්න ආස ජාතියෙ, පෙරුං පුරන ජාතියෙ, ලෝබකං කරන ජාතියේ ගෑනියෙක්. මගෙ තියෙන මනුස්සයෙක් එක්ක හිනාවෙන්නෙ නැති ගතියට ගෑනු වහවැටෙන විත්තිය මම දැනගෙන උන්නට මොකෝ පද්මපාණි කියන්නෙ එහෙම ලේසියෙන් පිරිමියෙක්ට දපනෙ වැටෙන ගෑනියෙක් නෙවෙයි කියන එකම තමයි මට එයැයිව අල්ලගන්න හේතුව උනෙත්. හැබැයි එයැයි මාව අල්ලගත්තද, මං එයැයිව අල්ලගත්තද කියන එක හැබෑවටම දෙයියො තමයි දන්නෙ.
පද්මපාණිව හම්බවුණේ මට බොරැල්ලෙ කොරන්න ගිය රූකඩ සංදර්සනේකදි.
අපිට තරං සල්ලිය භාගෙ නැති උනාට මොකෝ පද්මපාණිලත් යමක් කමක් තිබ්බ උදවිය. අනික කොහොමත් ගමේ මොනා තිබ්බත් ඒව පදිරිනෙ කොළඹ උදවියගෙ හූනු බිජ්ජකට. පද්මපාණිලට හැබැයි හූනු බිජ්ජකට වඩා ජාති තිබ්බා. පවුලෙ එකම දරුවා වෙච්ච එයැයිට කොළඹ ගෙයක් තිබ්බා. අනික පවුලම වෙද පරංපරාවක්. එයැයිලගෙ තාත්ත මලයින් පස්සෙ ඒ වෙදකම අම්මා භාර අරන් තිබ්බා. ඉතින් අම්මාගෙන් පස්සේ කෝමත් ඒ පරංපරා වෙදකම පද්මපාණිට එන්න තිබ්බයින් ගෑනි උන්නෙ කොහොමත් අඩියක් දෙකක් උඩින්.ඒ හන්දද මන්දා මං හිනාවෙච්ච නැති තරමටම ගෑනි හිනා උනෙත් නෑ.
මගෙ ඇස් දෙකට පද්මපාණිව මුලිච්චි වෙන්න හේතුව උනෙත් ආං ඔන්න ඕක. එයැයිගෙ ලස්සන, ඇත්දල පාට මූණෙ තිබිච්ච ඒ උද්දච්ච කම. කවුරු දිහාවත් බලන්නෙ නැති ගතිය. කොළඹ සැම්පලේට ඔසරිය ඇඳලා, මුතු පොටක් දාලා, අමුතු මල්ලක් අතේ අරන්, කොණ්ඩෙත් අමුතුම තාලෙකට උඩට උරුක් කොරලා ගැටගහලා උන්න එයැයි දිහා තව පිරිමි කොච්චර අය බලාගෙන උන්නත් මට ඕන උනා එක තප්පරේකට හරි එයැයිගෙ ඒ උද්දච්ච ඇස් බැල්ම මගෙ දිහාවට හරෝගන්න. ඒ උනාට එයැයි නෙවි මං දිහාව එක තප්පරේකට බැලුවෙ. රූකඩ සංදර්ශනේ පටන් අරගෙන අපේ කාණ්ඩෙ සංදර්සනේ කොරගෙන යද්දි මට එයැයි ළඟ වාඩිවෙන්න පුළුහන්කම හම්බුණේ හිතුවෙ නැති විදියට. පද්මපාණිලා බොරැල්ල පැත්තෙ නමක් ගමක් දිනාගත්ත යමක් කමක් තියෙන මිනිස්සු හන්දා සංදර්ශනේ බලන්න ආව කාණ්ඩෙන් ඉස්සරහම එයැයිලට වාඩිවෙන්න ආසන දීලා තිබ්බා. රූකඩ සංදර්සනේ සංවිධානය කරලා තිබ්බා සංවිධායක මහත්තුරු මට වාඩිවෙන්න පුටුවක් වෙන් කරලා තිබ්බෙත් පද්මපාණි ළඟින්මයි. හැබැයි ඒ වෙද්දි මං එයැයිගෙ නම පද්මපාණි විත්තිය දැනගෙන උන්න එකක් නෑ.
මට ඇත්තටම පුදුමාකාර හදිස්සියක් තිබ්බා පද්මපාණි එක්ක කතා බස් කරන්න. එයැයි නං මුලින් මං එක්ක එහෙම කතා කරන්න හදිස්සි උනේ නෑ. මුලින්ම මං වචනෙ දැම්මම මං දිහා නිකන් මහ අමුතු තාලෙට බැලුවෙ උඩ ඉඳන් පල්ලෙහට යනකම් මං කවුද කියන්න වගේ. මාවත් චුට්ටක් සරෙන්ඩර් කරගන්න ඒ බැල්මට් එකට පුළුවන් උනාට මොකෝ මගෙ හිත ඒ වෙද්දිත් එයාගෙ ඒ මගෙ පිරිමිකමට සරෙන්ඩර් නොවිච්ච ගෑනුකම ළඟ දපනෙ වැටිලයි උන්නෙ.
හැබැයි මට අමාරු වුණේ නෑ පද්මපාණිගෙ හිත දිනාගන්න. බොරැල්ලෙ දවස් තුනක් තිබිච්ච රූකඩ සංදර්සනේ අන්තිම දවසෙන් පස්සෙ සංවිධායකවරු සංවිධානෙ කරලා තිබිච්ච පැදුරු සාජ්ජෙට පොඩි වෙලාවකට පද්මපාණි එයාගෙ අම්මා එක්කලා ආව. ඒ ආවයින් මට රූකඩ සංදර්සනේ වෙලාවට වඩා නිස්කාංසුවෙ එයැයි එක්කලා දොඩන්න කරන්න ඉස්පාසුවක් හම්බුනා. ආන් ඒ විදියට තමයි ඉන්ද්‍රනීල් වෙච්ච මට පුළුහන්කම හම්බුණේ පද්මපාණි එක්කලා දොඩන්න. එයැයි මොන වගේ චරිතයක්ද කියන එක අඳුරගන්න.
කොයි ගෑනිත් එකයි කියන එක තමයි මගෙ පිරිමිකමට වහ වැටිච්ච ගෑනු හෙන ගානක් පහු කරගෙන ආව මං ඒ වෙද්දි හිතාගෙන උන්නෙ. ඒ උනාට පද්මපාණි කියන්නෙ එහෙව් ලේසිපාසු ගෑනියෙක් නෙවෙයි කියන එක මට තේරුණෙත් එයැයි එක්ක කතා කරන්න පටන් ගත්තයින් පස්සෙ. පද්මපාණි ඇත්තටම තමන් ගැන උජාරුවෙන් හිතන් උන්න ගෑනියෙක්. එයැයිට තිබ්බා එහෙම උජාරුවට ඉන්න ඕන තරං හේතු. කොළඹින් ගෙයක්. වෙද හාමිනේ පට්ටමක්. වෙද පරංපරාවකි ආ නමක්. පද්මපාණි නීලම්මහර කියල මං ඇහැව්වම එයැයි නම කිව්වෙත් පුදුමාකාර විදියට ඔලුව උස්සගෙන. ඒ උනාට මං නෙවෙයි සැලුනෙ. මං උන්නෙම මේ උද්දච්ච වෙද හාමිනේව කෝම හරි මගෙ කරගන්නවා කියලා හිතාගෙනමයි.
ආං ඒ පරමාර්තෙ හිතේ තියාගෙන තමයි මම කොළඹ දිහාවෙ එක එක හේතු දාගෙන රූකඩ සංදර්සන පවත්වන්න හේතු කාරණ දාගත්තෙ. ඒක කොරන්න අමාරු වුණේ නෑ. එදා සංදර්ශනේ වෙලාවෙ සංවිධායක මහත්තුරු මාව පද්මපාණිගෙ අම්මලට අඳුන්නලා දුන්නයින් මට ඒ වෙද ගෙදෙට්ට යන්න එන්න අමාරු උනේ නෑ. අනික ඉතින් දකුණු රටේ ඉපදිච්ච අපි කෝමත් අල්ලපු ගෙදෙට්ට උනත් නිකන් අත පය හොල්ල හොල්ල යන ඈයො නෙවිච්ච එකේ ගම ඉඳලා පද්මපාණිලගෙ ගෙදෙට්ට යද්දි මං සෑහෙන්න කන බොන ජාති උස්සන් ගියා. කිරි පැණි ද, ඔය අපේ ගං පැතිවලින් හොයාගන්න ඇහැක්, කොළඹ දිහාවෙ වෙද්දුන්ට ආය හොයාගන්න පිටකොටුවටම යන්නෝන ජාතියෙ බේත් කොල පැලෑටි ජාතිද, ආය තව ඔය රේන්ද, කපු රෙදි එහෙමත් මං ගම දිහාවෙන් පද්මපාණිලහ යද්දි අරන් ගියයින් කෙල්ලට කලියෙන් නැන්දම්මගෙ හිත දිනාගන්න මට අමාරු වුණේ නෑ.
කෝමත් සංවිධායක මහත්තුරු නම්බු තියලා කිව්ව ඒව හන්දයි, මං වැදගත් විදියට හැසිරිච්ච හන්දයි පද්මපාණිගෙ අම්මා උනත් මං එක්කලා දොඩන්න කරන්න අකමැත්තක් දැක්කුවෙ නෑ. අනික උන්දැට කෝමත් බයවෙන්න දෙයක් තිබ්බෙ නෑ. මං ඒ ගෙදෙට්ට කොච්චර ගියත් පද්මපාණි මං එක්කලා දෙඩෙව්වෙ නෑ. ඒ උනාට මං නෙවෙයි මගේ බොරැල්ලට යන ගමන නං අතපහු කරේ.
පද්මපාණි මං එක්කලා කතා කරේ මං එහෙම එහෙට හක්කලං කොරන්න ගිහින් හතර පස් වෙනි වතාවෙදි. මුලින් මුලින් තේකක් එහෙම කාරිය දීලා මං එක්කල දොඩන්න එයැයිලගෙ අම්මලා කටයුතු කරාට මොකෝ පස්සෙ පස්සෙ මයි හිතේ එයැයිගෙ අම්මට උනත් තේරුණා ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න විත්තියා. ගොනා පොල් පැලේ කනවට අම්මා අකමැති නැති විත්තිය මට තේරුණේ “පුතා හැමදාම ඇවිත් තේ බීලා යන එකේ අද බත් ඩිංගක් කමු” කියලා එයැයිලගෙ අම්මා වතුර කෝප්පයක් අරන් එද්දි හැබෑටම මට හිතාගන්න බැරිවුණා.
පද්මපාණි පවා මං එක්කල හීන් සීරුවෙ කතා කරන්න පටන් ගත්තෙ අන්න ඕවයින් පස්සෙ. එතනින් පස්සෙ මං ජීවත් වුණේ රජෙක් වගේ. මොකෝ පද්මපාණි වගේ කොළඹ ගෑනියෙක්ව කාර බැඳගෙන ගම එක්කන් යනවා කියන්නෙ හරියට ඉංගිරිසි රැජිණව ලංකාවට එක්කන් ආව හේ ගම ඉන්න උදවියට ලොකු දෙයක් විත්තිය මං දැන උන්නා. හැබැයි මං හදිස්සි උනේ නෑ. මං දැනං උන්නා මං නිකන් බලු නකුටෙක් වගේ පස්සෙන් යන්න තියාගත්තොතින් පද්මපාණිලා වගෙ කොළඹ හැදිච්ච, බටහිර පන්නෙ දැන අඳුරගෙන ජීවත් වෙච්ච ගෑනු කසාද බැඳලා ගම ගියයින් පස්සෙ අපේ ඔළුවට අත හෝදන්න එන විත්තිය. ඒ හන්දම මං කිසි වෙලාවක පද්මපාණිට පෙන්නුවෙ නෑ මං ඉන්නෙ එයැයිට පිස්සු වැටිලා කියන එක. මං එයැයි ඉස්සරහා හැසිරුණේ “රූකඩ නටවන මටද බැරි ගෑනු නටවන්න” වගේ.
පද්මපාණිව මට ගම කැන්දන් එන්න ඇහැක් උනේ ඒ හන්දා. කාසි බාගෙන් ලොකුම ලොකු දෑවැද්දක් එක්ක, කොළඹ දිහාවෙ ඉපදිච්ච, කොළඹට උරුමකං කිය, කොළඹ ඉඩං කඩං තියෙන වෙද හාමිනේ කෙනෙක්ව මං ගමට කැන්දන් එනවය කියන කාරණාව ගමේ උන්ට හත් දොහක් මගුල් කන්න හේතු වෙච්ච කාරණාවක් වෙච්ච විත්තිය ඇත්ත. අපි කියන්නෙත් නැතුවම තමයි උන්දැලා පද්මපාණිට වෙද හාමිනේ කියන්න පටන් ගත්තෙ. අපෙ ගමේ ඒ වෙද්දි වෙද පරංපරාවක් උන්නෙ නැති හන්දද, බේත් හේත් ගන්න ගාල්ලෙ මහගම වෙද මහත්තයලහ යන්න සිද්ද වෙච්ච හන්දත් පද්මපාණිට අමාරු වුණේ නෑ ගමේ වෙද හාමිනේ වෙන්න. මහ ගෙයි ඕන තරං අපිට ඉඩකඩ තිබ්බා ඒ වැඩේට. අනික් අතට මං ඒ වෙද්දිත් උන්නෙ අපිට ඉන්න වෙනම ගෙයක් කාරිය හදන ගමන්.
ගම ආවයින් මොකෝ පද්මපාණි උන්නෙ පුදුමාකාර උද්දච්චකමකින්. කොළඹ තාලෙට හැදිච්ච හන්දයි, අපිට වඩා පොත පත ඉගෙන ගෙන තිබිච්ච හන්දයි. කොළඹ සල්ලිය භාගෙ තියෙන හන්දයිද මංදා පද්මපාණි අපේ ගෙවල්වල ඈයන්ට පවා සැලකුවෙ තමන්ට වඩා පල්ලෙහා ඈයන්ට වගේ. අපේ අම්මලා උනත් වැඩි මනාපයක් දැක්කුවෙ නෑ පද්මපාණිගෙ ඕන් නැති වැඩ වලට. ඒ උනාට මක්කවුණත් මං කාර බැඳන් ආව ගෑනි හන්දද මන්දා අම්මලා මට කියන දෙයක් කිව්වා මිසක පද්මපාණිට මක්කවත් කෙලින් කියන්න නොගියයින් ගෙදර ප්‍රශ්න වෙන්නෙ නැතුව වැලැක්කිච්ච එක ඇත්ත. ඒත් ඒකෙන් උනේ පද්මපාණි තව උඩගිය එක විතරයි. මං රූකඩ නටවන එකයි, ඒකි වෙද හාමිනේ කෙනෙක් වෙච්ච එකෙයි මහා පතරංග පරතරයක් තියෙන විත්තිය හැමතිස්සෙම හගිස්සවල අපි නිකන් අඩු කුලේ ඈයො ගානට දාලා තමයි පද්මපාණි කතා කොරෙ. කොටින්ම අපෙ අම්මලා අසනීප වෙච්ච වෙලාවක බේතක් හේතක් කරෙත් වෙද හාමිනේ විදියට සලකලා මිසක්කා මේ ගෙදර දුවෙක්, ලේලියෙක් විදියට නෙවි. අන්න ඒ වෙලාවෙ නං මට හිතුණා එලියෙන් රන් කුසලානෙ උනාට මක්කද ඇතුළ පුස් නෙවෙද කියලා. ඒත් මට ඒ වෙද්දි කොරන්න දෙයක් තිබ්බෙ නෑ. මං ගැනුන්ට අතක් උස්සන පිරිමියෙක් නොවුනයින් මට සිද්ද උනා පිරිමිකම පැත්තක දාලා ඔක්කොම ජාති ඉවසන් ඉන්න.
ඒවයින් මේවයින් පද්මපාණි ගැන මට තිබිච්ච ආසාවල් ඔක්කොම නැති බංගස්තාන වෙලා තිබ්බෙ.
පිරිමින්ගෙ ආසාවල් හරි තාවකාලික විත්තිය මං දැනං උන්නා. ඒ උනාට මං කවදාවත් හිතුවෙ පද්මපාණි ගැන මගෙ හිතේ තියෙන ආසාව එයාකාර තාවකාලික එකක් වේය කියලා. ගම කැන්දාන ආ දවසෙ පහන් එළියෙන් මයෙ කාමරේ අස්සෙ දුටුව පුදුම තරං ලස්සනයි කියලා මං හිතාන උන්න රූපෙ කාලයක් යද්දි නිතරම දකින කුකුලගෙ කරමලේ වෙද්දි “කොයි ගෑනිත් රෙද්ද ලෙහුවම එකයි” කියලා හිතන්න මාව පෙළඹුවට මොකෝ ගම ඉද්දි මට ඕන හැටියෙ නටන්න පුළුහන්කමක් තිබ්බෙ නෑ. රූකඩ නටවන පරංපරාව වෙච්චට මොකෝ අපිට ගමේ මිනිස්සු ගෞරව කරා. පද්මපාණිගෙන් අපිට හේන්දු වෙච්ච වෙද පට්ටම ඒ ගෞරවේ තව උස්සන්න හේතුවක් කාරිය උනා. එහෙව් එකේ මට ඕන උනේ නෑ ගහේ තියෙන පැපොල් ගෙඩිය කන්න, අතේ තියෙන පිටරටින් ගෙනාව ඇපොල් ගෙඩිය නැති කොරගන්න. මට ඒකට උදව් පදව් කොරේ මගේ රූකඩ සංදර්සනේ.
ගමින් ගමට යන රූකඩ සංදර්සන වල මට ඇත්තටම ගිහින් කොරන්න රාජකාරියක් ඒ වෙද්දි තිබුණේ නෑ. ඒව කොරන්න ඕන පදං කාණ්ඩෙ ඒ වෙද්දි මට උන්නා. හැබැයි මං ආස කොරා රූකඩ සංදර්සන බලන්න ගොහින් ඒ ගංවල ඉන්න ගෑනුන්ව මට වහ වට්ටගෙන උන්ව රූකඩ වගේ නටවන්න. ඒ සමහර ගෑනු එක්ක මට එක වචනයයි කතා කොරන්න උනේ. උන් ලෑස්ති උනා රෑට ගෙවල්වලට පිටිපස්සෙ දොර ජනෙල් ඇරලා තියන්න මට ගෙට එන්න. සමහරු මේ කසාද බැන්ද බවලතියො. හැබැයි ලෝකෙට රහසින් කරන තාක්කල් වැරැද්ද උනත් රහ විත්තිය උන් වගේම මමත් දැනගෙන උන්න හන්දා මං ඒවට පිටුපාන්න ගියේ නෑ. ඇරලා තිබ්බ දොරකින් ඇතුලට යන එකේ කිසි වරදක් නැති එකේ මං දොරෙන් ඇතුළට ගියා. ගිය විදිහටම ආපහු ආවා. කසාද බැන්ද ගෑනු එක්කලා තමයි මං වැඩි හරියක් පූට්ටු වුණේ. ඒ මක්කද කියනවා නම් කසාද බැන්ද ගෑනු කීයටවත් තමන්ගෙ දරු මල්ලො අත් ඇරලා මේ එක දවසක් බුදියගත්ත පිරිමියෙක් පස්සෙන් එන්නෙ නැති විත්තිය මං හොඳාකාරවම දැනගෙන උන්න හන්දා. එතන මට බයවෙන්න දෙයක් තිබ්බෙ නැති හන්දා. හැබැයි එකමෙක වතාවක විතරක් මං යමින් උන්න ඒ පීල්ල පනින්න මට සිද්ද වුණා.
ඒ ලාලසාව හම්බෙච්ච වෙලාවෙ. ඇත්තටම ඒ රූකඩ සංදර්සනේට මං ගියේම ඒක සතියක් විතර පැවතිච්ච කාරණාවක් හන්දා. එහෙම නැති උනා නම් මං ඇත්තටම ඒ අහ යන්නෙත් නෑ. එහෙම උනා නම් මට ලාලසාව හම්බෙන්නෙත් නෑ.
ලාලසා කියන්නෙ එහෙම මේ මහ ලස්සනක් තිබිච්ච ඉස්තිරියාවක් නෙවි. පද්මපාණිගෙ කකුලෙ අතන මෙතන හැප්පිලා තැරි ගැහිලා තිබිච්ච පුංචිම ඇඟිල්ල තරංවත් ලාලසාගෙ ලස්සනක් තිබ්බෙ නෑ. ඒ උනාට මොකක් හරි හේතුවකට මට දැනුණෙම “මං එයැයිව සෑහෙන කාලයක් තිස්සෙ දන්නවාය” කියලමයි. ඒ නිසාමද මන්දා රූකඩ සංදර්සනේ මුල් දවස්වලදි, ඒ ගමෙත් ගෑනු උන්නට මට රෑට එන්න ගෙයි දොර ඇරලා තියන්න ලැහැත්ති වෙච්ච, ඉඩක් හම්බෙච්ච අතරින් පතර මං උන්දැලගෙ රෙද්ද අස්සෙ රිංගුවට ලාලසාව හිතෙන් අහක් කොරගන්න මට හැටියක් තිබ්බෙ නෑ., ගෑනු කී දෙනෙක්ගෙ රහ බැලුවත් ලාලසාවත් අහ බලන්න ඕන්න කියලමයි මගෙ හිත මට කිව්වේ. ඒ උනාට මං දැනං උන්නා ලාලසා කියන්නෙ අනිත් ගෑනුන්ව අල්ලගත්ත තාලෙට අල්ලගන්න පුළුහන් ගෑනියෙක් නොවෙන විත්තිය. හැබැයි වැඩේ අමාරු උනේ නෑ. කොයි ගෑනිත් පිරිමියෙක්ගෙ හරිහමං බැල්මක් ලඟ හෙලවෙන විත්තිය සියවෙනි වතාවටත් මට කියලා දුන්නෙ ලාලසා. “වැඩිය කා එක්කවත් හිනා කතා නැති” මිනිහෙක් ය කියලා කට්ටිය කිව්ව මං එයැයි එක්ක හිනාවෙච්ච එකම ලාලසාට මහ දෙයක් විත්තිය මට කිව්වෙ එයැයිගෙ දිලිහෙන ඇස්.
එකමෙක වතාවක් මං එයැයි එක්ක හිනා උනයින් පස්සෙ එයැයි මං ආයෙ වතාවක් හිනාවෙනකං බලන් ඉන්න විත්තිය මගෙ ඇස් මට හැගිස්සුවා.
මගෙ ඇස් ලාලසා පස්සෙ පන්නන්න පටන් ගත්තෙ අන්න ඒ විදියට. පොල ලඟදි මං කතා කරපු වෙලේ එයැයි ගැස්සිච්ච විදියට මට තේරුණා එයැයි කවදාවත් පිරිමියෙක් එක්කලා තනි පංගලමෙ දොඩලා නැති විත්තිය. අනික් අතට ගම ආවයින් පස්සෙත් වෙනස් වෙච්ච නැති පද්මපාණිගෙ ලොකුකම ඉස්සරහා මට ඕන වෙලා තිබ්බෙ ලාලසා වගේ මං කියන දේ අහන, මට ගෞරව කරන, මට පිරිමියෙක් හේ සලකන ගෑනියෙක්ව. බොරු කියන්න ඕන නෑනෙ. ලාලසා එක්ක ගඟ අද්දර මී ගහ යට කතා කොර කොර ඉද්දි එයැයිව අල්ලන්න කොරන්න, ඉඹින්න, මිරිකන්න ආසාවල් කොච්චර තිබ්බත් ඊට වඩා මං ආස කොරා ලාලසා මට පිරිමියෙක් හේ සලකපු එකට. ආදරේ වැඩිම වෙච්ච වෙලාවට මගෙ දෙයියො කියලා එයැයි කතා කරද්දි පද්මපාණි තරහා ගියාම මට කතා කොරන විදිය මතක් වෙලා මට ඇත්තටම හිතුණා “පද්මපාණි වගේ එලියෙන් දිලිහෙන ගෑනියෙක්ව බැඳගත්ත වෙලේ මට මේ වගේ ගමේ ගෑනියෙක් බැඳගත්තා නම් මොනතරං නං ආලෙන් ලීලෙන් වෙලිලා ඉන්න තිබ්බද” කියන එක. ඒත් එ වෙද්දි මං පරක්කු විත්තිය මං දැනගෙන උන්නා.
ලාලසා ගැන මට තිබ්බා පුදුමාකාර පුරස්නයක්.
“අපි මුලිච්චි වෙලා තාම ටික දොහයි. ඔයා මගේ විස්තරයක්වත් හරියාකාරව දන්නෙ නැතුව මට මෙච්චර ආදරේ පාන්නෙ ඇයි? මාව මෙච්චර වටින්නෙ ඇයි?” කියලා මං එයැයිගෙන් ඇහුවේ මට ඇත්තටම ඒ පුරස්නෙට උත්තරයක් උවමනා වෙච්ච හන්දා.
බොරු කියන්නෝන නෑනෙ, ගෑනු සීයක් එක්කලා බුදියන් උන්න මාවත් හොල්ලලා දාන්න එයැයිගෙ ඒ වචන වලට ඇහැක් වුණා.
ලාලසා මං දිහා ටික වෙලාවක් බලාගෙන උන්නා මං එහෙම ඇහුවම. ඒ ඇස් දෙකේ තිබ්බෙ මං එයාගෙන් බලාපොරොත්තු වෙච්ච උත්තරේ නෙවෙයි. මං අහපු පුරස්නෙම තව වතාවක් හිතනවා වගේ බැල්මක්.
“මං දන්නෙ නෑ දෙයියො” එයැයි කිව්වෙ හීන් හඬින්.
“මං ඔය ඇත්තන්ට ආදරේ කරන්න පටන් ගත්තෙ ඔය ඇත්තන්ව දැනගෙන නෙවෙයි තමයි”
“එහෙනං?”
“ඔයැයිව දැනගත්තට පස්සෙ මං ආදරේ කොරන්න පටන් ගත්ත නං මට බය වෙන්න තිබ්බා”
“ඒ මක්කද?”
එයැයි හිනාවුණා. ඒ හිනාවෙ තිබ්බෙ මට එතකොට තේරුම් ගන්න බැරි මොකක්දෝ මහ අමුතු දෙයක්.
“එහෙම උනා නං ඔයැයිගෙ හොඳ නරක බලලා, තියෙන නැති දේවල් බලලා, මට ගැළපෙනවද නැද්ද බලලා ආදරේ කොරන්න වෙයිනෙ. ඒත් මං ඔය ඇත්තන්ට ආදරේ කොරන්න පටන් ගත්තෙ ඔය ඇත්තො මං දිහා බලලා මුලින්ම හිනා වෙච්ච දවසෙ පටං. එදා ඔයැයි කවුද කියලා මං දැනගෙන උන්නෙ නෑ. ඔයැයිගෙ ගෙදර කොහෙද, පවුලෙ කී දෙනෙක් ඉන්නවද, ඔයැයි මොන වගේ මිනිහෙක්ද කියලා මං දැනගෙන උන්නෙ නෑ. මං දැනගෙන උන්නෙ එක දෙයක් විතරයි.”
“මොකක්ද?”
“ඔයැයි මං දිහා බලද්දිමට මං මහ වටින ගෑනියෙක් කියලා දැනෙනවයි කියන එක”
එයැයි එහෙම කියලා ටික වෙලාවක් නිස්සද්ද වුණා. ආපස්සට මක්කද කියන්න කට ඇරියා.
“ඒකයි මට ඔයැයිව මෙච්චර වටින්නෙ.” මං උන්නෙ ඒ වචනවලට උත්තරයක් හොයාගන්න බැරිව තිගැස්සිලා. මෙච්චර අවුරුදු ගාණක් ගෑනු අහන කියන ඕන දේකට දෙන්න උත්තර තිබිච්ච මට ජීවිතේ පලවෙනි වතාවට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. මං උන්නෙ ගොලුවෙලා හේ.
“මට ඔයැයි ගැන දැනගන්න දේවල් තියෙනවා කියලා මං දන්නවා දෙයියො. ඒවා දැනගත්තම මං ඔයැයිට ආදරේ කරන එක නවත්තයිද, තව වැඩිවෙයිද, මං දන්නෙ නෑ. ඒත් මං හිතන්නෙ ආදරේ කියන්නෙ කෙනෙක් ගැන ඔක්කොම දැනගෙනත් එයැයි ළඟ ඉන්න එක විතරක් නෙවෙයි.”
“එහෙනං?”
“කෙනෙක් ගැන කිසිම දෙයක් දන්නෙ නැතුවත් එයැයි ළඟ ඉන්න හිතෙන එකත් ආදරේ වෙන්න පුළුහන්” කියලා ලාලසා කියද්දි මං එයැයි දිහා බලාගෙනම උන්නා.
“හැබැයි දෙයියො මං ඔයැයි ගැන දැනගන්න ඕන දේවල් ඔය ඇත්තොම මුල් වෙලා මට කියන දවසක් එනකං මං මගෙ දෙයියො කියලා හිතෙන් හිතාගෙන ඉන්න මනුස්සයට ආදරේ කරගෙන ඉන්නවා.”
ඒ වචන ටික මගේ පපුව ඇතුළට කොහෙන්දෝ ඇවිත් හිරවුණා වගේ මට දැනිච්ච බව ඇත්තක්. පපුව උඩහින් මක්කහරි හිරියක් ගිය විත්තියත් ඇත්ත. මක්කද කියනවනම් ඒ වෙලාවෙ තමයි මට පලවෙනි වතාවට හිතුණෙ “මේ ගෑනි මට ආදරේ කොරන්නෙ මං කවුද කියලා මෙලෝ දෙයක් දන්නෙ නැතුව. මං එයැයිට කිව්ව දේවල් විතරක් විස්වාස කොරගෙන” ඒක ආදරේද මෝඩකමද කියන්න මං එවෙලෙ හිතන්න මහන්සි උනේ නෑ. මොකෝ කොච්චර ඒක ගැන හිතුවත් මං ගැන ඇත්ත ලාලසාට කියන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.
සතිය ගෙවිලා ගියේ හිතුවෙ නැති තරං ඉක්මණට. අපි හැමදාම වගේ හැන්දෑවට ගඟ අද්දර මීගහ යට මුලිච්චි වුණා. එහෙමකට ලස්සනක් නැති උනාට මක්කද මොකක් හරි ආස හිතෙන් ගතියක්, ගෑනුකමක්, මාව පිරිමියෙක් කරන ගතියක් තිබිච්ච ලාලසා ළඟ දැවටෙන්න මටත් ආසාවක් තිබ්බා.
හැබැයි මං කලිනුත් කිව්වෙ පිරිමින්ගෙ ආසාවල් හරි තාවකාලිකයි. මට ලාලසාවත් එපා වුණේ අන්න එහෙම. ඒක එපා වුණාය කියනවට වඩා මම ඇත්ත තේරුං ගත්තය කිව්වොතින් හරියටම හරි මයි හිතේ. සංදර්සනේ අහවර කොරලා ආය යන්න දවස් ලං වෙද්දි මට තේරුණා “ලාලසාව අන්තිම වතාවට හම්බෙන්න ඕන නැති විත්තිය”. මොකෝ ඒ අන්තිම වතාවෙදි බාගදා එයැයි මං ගැන අහන ඒවට මට උත්තර දෙන්න උනොත් කියන බය, එයැයි මාව හොයාගෙන අපෙ දිහා ඒය කියන බය, එහෙම උනොත් බෝම ලස්සනට ලෝකෙම පේන්න සර්ව සම්පූර්ණ විදියට තියෙන මගෙ ජීවිතේ විනාස වෙන්න පුළුවන් විත්තිය මට හිතිච්ච හන්දා. ගමින් ගමට යන ගමන් ඒ ගමේ ඉන්න එක එක රහ ගෑනු එක්කල පයුරු පායාස පවත්තන එකෙන් ගත්ත විනෝද ලාලසා වගේ එහෙමකට වටින්නෙ නැති ගෑනියෙක් හන්දා ඉස්සරහට කොරගෙන ගිහින්, පද්මපාණිව නැති කොරගන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.
නොකියම මං ගමෙන් පිටවුණේ ඒකයි. මං එයැයිට කියන්නෙ නැතුව යන්න හිතාන ඉන්න විත්තිය දන්නෙ නැතුව අපි අන්තිමට හම්බෙච්ච වෙලා ලාලසා කිව්ව දෙයක් මට ලොරියෙ නැගලා අපෙ ගම දිහාවට එද්දිත් මතක තිබ්බා.
“මැරුණයින් පස්සෙ අන්තිම විනාඩි හතෙන් එක තප්පරේකට හරි ඔයැයිව මාව මතක් උනොත් මට ඒ ඇති දෙයියො. මේ සංසාර ගමන කෙළවර උපදින හැම ආත්මෙකම ඉත සැනසිල්ලෙ මියැදෙන්න මට ඒ හොඳටම ඇති”
ඒ උනාට ඒ වචන මං අපේ ගං මායිමට එද්දි එහෙම අමතක කොරලා දැම්මා.
“ආය මක්කටද මේ දවස් තුන හතරක් කතා කොරපු ගෑනියෙක්ව මං මැරෙන මොහොත වෙනකං මතකෙ තියං ඉන්නෙ. තව ඉස්සරහා සංදර්සන වලදි තව කොච්චර අපූරු ගෑනු හම්බෙයිද. අනික ලාලසා උනත් කල් යද්දි මාව අමතක කොරලා වෙන එකෙක් එක්කලා පූට්ටු වෙන්නෙ නැතෑ. එතකොට ඔය කිව්ව බොරු ආල කතන්දර අහවරයි”
මං මට එහෙම කියාගත්තා.
-අහවරයි-











